රන්මුතු දූව දුටු එම්.ජි.ආර්. විජය අබියස හඬා වැටෙයි....

ජනවාරි 31, 2019
විජය, මාලිනී සමඟ එම්.ජී.ආර්, මනික්සන්ද්‍රසාගර

දකුණු ඉන්දීය සිනමාව ගැන කතා කරන විට එහි බිහිවූ ප්‍රතාපවත් චරිතයකි එම්.ජි.ආර්. යන කෙටි නමින් හැඳීන්වූ එම්.ජි.රාමචන්ද්‍රන්, ඔහු සිනමාවේ පමණක් නොව දකුණු ඉන්දිය දේශපාලනයේදීද කැපී පෙනිණි. වසර ගණනාවක් එරට සිනමාවේ ප්‍රධාන චරිතය මැව් ඔහු එරට සිනමා ලෝලීන්ගේ අමරණිය වීරයා ලෙස හැඳීන්වුවහොත් එය අතිශයෝක්තියක් නොවේ, අසල්වැසි උතුරු ඉන්දීය සිනමාවේ කලින් කලට දිලිප් කුමාර්, දෙව් ආනන්ද්,රාජ් කපුර්, රාජේශ් ඛන්නා, රාජේන්ද්‍ර කුමාර්, ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන් වැනි වීරයින් බිහි වුවද අසුව දශකය මැද පමණ වනතෙක් දකුණු ඉන්දීය සිනමාවේ වීරයා වශයෙන් සැලකුණේ ද මොහු වූ අතර මොහුගේ යුගයේ මොහු හා සමවන්නට හැකිවූයේ දකුණු ඉන්දීය සිනමාවේ සිටියේ සිවාජි ගනේෂන්ට පමණි, නළුවකු වශයෙන් ස්ථාවරව එම්.ජි.ආර්. හට සටනක් දෙන්නට හැකි තැනක සිවාජි සිටියද දේශපාලන බිමේ එම්.ජි.ආර්. සිටියේ සිවාජි හට වඩා ඉදිරියෙනි. ලංකාවේ ඉපදුනු මෙම දකුණු ඉන්දීය සිනමා වීරයා එදා විශේෂයෙන් හැට හැත්තැව දශකවල මෙරට සිනමා ලෝලීන් අතරද මහත් සේ ජනප්‍රියව සිටියේය, එදා කොළඹ නගරයේ දමිළ චිත්‍රපට තිරගතවූ කැපිටල්, කිංස්ලි, ගෙයිටි, සෙල්ලමහල්, සෙන්ට්‍රල්, ප්ලාසා, ජෙසීමා සිනමාහල් මොහුගේ චිත්‍රපට තිරගත වනවිට අතුරු සිදුරු නැතිව පිරි යාම මිට උදාහරණයකි, රුව පමණක් නොව චිත්‍රපට නාමාවලියේ මොහුගේ නම වැටෙන විටම ප්‍රේක්ෂක ඔල්වරසන් හඬින් මෙන්ම විසිල් නදින් සිනමාහල් ගිගුම් දුන්නේය.

වයස හැට පිරුණද ප්‍රධාන චරිතයේ නැතිනම් චිත්‍රපටයේ කොල්ලාගේ චරිතය රඟපෑ ඔහුගෙන් තම සිනමා ලෝලීන් බලාපොරොත්තු වුවේද වීරයාගේ චරිතයමය, නමුත් පසු කලෙක ඔහු මෙය කැමැත්තකින් නොකළ බැව් පවසා ඇත,ඒ අන් කිසිවෙකු හමුවේ නොව මෙරට ජනකාන්ත නළු විජයකුමාරතුංගයන් හමුවේය, ඉන්දියාවට ගිය අවස්ථා කිහිපයකදීම විජයට එම්.ජි.ආර්.හමුවී තිබේ, අසුව දශකය අග භාගයෙහි ඔවුහු වරක් හමුවුහ,ඒ වනවිට දෙදෙනාම සිනමාවට අමතරව දේශපාලනයේ කැපී පෙනිණි. නමුත් විජය පවසන පරිදි ඔවුන් 1973 වසර අග මුණ ගැසුණු අවස්තාව සුවිශේෂී වන්නේ ඊට පෙර අවස්ථාවක ද ඉන්දියාවට ගිය විජයට එම.ජි.ආර්.හමුවීමට තිබු අවස්ථාවක් විජය ප්‍රතික්ෂේප කිරීමෙනි, එවර විජය මේ දැවැන්ත දකුණු ඉන්දීය නළුවා හමුවීමෙන් වැලකි ඇත්තේ ඔහු හමුවීම එතරම් වැදගත් අවස්ථාවක් ලෙස විජය නොසිතු බැවිනි,ඒ වනවිට ඉන්දියාවේ වාහිනී චිත්‍රාගාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරය දැරූ රාම් මුර්ති 1973 වසර අවසන සිදුවූ මෙම විශේෂ අවස්ථාව සඳහා පාර කැපිය, විජය සමග මාලිනි ෆොන්සේකා හා මෙරට සිනමාවේ කැපී පෙනුණු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුවූ මනික්සන්ද්‍රසාගරද මෙම අවස්ථාවට සහභාගී වී තිබු අතර මේ සම්බන්ධයෙන් සුවිශේෂී ලිපියක් එවකට මෙරට පළවූ විසිතුර සිනමා පත්‍රයේ 1974 ජනවාරි මස 05 දින කලාපයට ප්‍රවීණ සිනමා ලේඛකයෙකු වන නවරත්න මහතා විසින් ලියා තිබු අතර විජය හා එම.ජි.ආර්ගේ හමුව පිළිබිඹු කෙරෙන ජායාරූපයක්ද පළ කර තිබිණි. ඔහු සඳහන් කරන ආකාරයට එම ඡායාරුපය ඔහුට ලබා දී ඇත්තේද විජය කුමාරතුංගයන් විසිනි.

එම්.ජි.ආර්.මුණගැසීමෙන් පසු ඔහු හමුවීම සම්බන්ධයෙන් කලින් දැරූ සිතුවිල්ල සම්පුර්ණයෙන්ම වෙනස් කරගන්නට විජයට සිදුවිය,ඒ මෙම දකුණු ඉන්දීය නළු දැවැන්තයාගේ කෙලින් අදහස් දැක්වීම හේතුවෙනි, එහිදී එම්.ජි.ආර්. පවසා ඇත්තේ තම රඟපෑම් සම්බන්ධයෙන් ප්‍රසාදයක් තමන් තුළ නැති බවත් ප්‍රේක්ෂකයින් තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ එවන් රඟපෑම් බැවින් එලෙස තමා රඟපාන බවත් ය. ලංකාවට පැමිණි අවස්ථාවක ඔහු අපේ රන්මුතුදුව චිත්‍රපටය නරඹා තිබේ, මෙහි රඟපෑ නළු නිලියන්ගේ දස්කම් මහත්සේ අගය කර ඇති ඔහු රන්මුතුදුව ගැනද කතා කර ඇත්තේ මහත් ආශාවෙනි."මේ වගේ චිත්‍රපටයක රඟපාන්න මටත් ආසයි, එත් මං දන්නව කවදාවත් මට ඒ වගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති බව, හේතුව අපේ අයට ඒ වගේ චිත්‍රපට අල්ලන්නේ නැති වීම,"

මේ අකාරයෙන් එම්.ජි.ආර්ගේ අදහස් දැක්වීම හේතුවෙන් ඔහු ගැන විජයගේ සිතෙහි ඇතිවී ඇත්තේ මහත් අනුකම්පාවකි, එමෙන්ම ඔහු හමුවීමට අකමැත්තෙන් ගියද පසුව එම හමුව සම්බන්ධයෙන් එසේ යාමට පෙර දැරූ ආකල්පයද වෙනස්වූ බව විජය පවසා තිබිණි.

අනිල් වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.