ගින්නෙන් ඉපදී පණ පෙව්වෝ

ජනවාරි 24, 2019

අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය පසුගිය 18 වැනිදා සිට දිවයින පුරා තිරගත කිරීම ආරම්භ විය. එය ඔස්කාර් සම්මාන උලෙළේ ප්‍රධාන තරග කාණ්ඩය නියෝජනය කිරීමට සුදුසුකම් ලද පළමු සිංහල චිත්‍රපට ද්විත්වයෙන් එකක් බවට ද පත් විය. මෙරට දේශපාලන ඉතිහාසයේ ආන්දෝනාත්මක චරිතයක් වූ රෝහණ විජේවීරගේ චරිතය ප්‍රධාන‍ කොට ගෙන ඔහු විසින් නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි කැරැල්ලේ මතක සටහන් ගෙන එමින් නිර්මාණය කෙරුණු ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ චරිතවලට අදාළ සැබෑ පුද්ගලයන් පිළිබඳ කළ කෙටි විමසුමක් මෙසේ දිග හැරේ.

රෝහණ විජේවීර

1943 ජූලි 14 වැනිදා මාතර කෝට්ටේගොඩදී උපත ලද රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම සමාරම්භක සභාපතිවරයා වේ. අම්බලන්ගොඩ ධාර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යපනය ලබා වෛද්‍ය සිසුවකු ලෙසින් රුසියාවේ ලුමුම්බා සරසවියට ඇතුළත් වූ ඔහු 1964 වසරේදී නිවාඩුවක් වෙනුවෙන් මෙරටට පැමිණි පසු දේශපාලනයට අවතීර්ණ විය. ඔහුගේ නායකත්වයෙන් 1971 අප්‍රේල් 05 වැනිදා ජවිපෙ ප්‍රථම කැරැල්ල දියත් කළ අතර 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක් විය.

චරිත නිරූපණය - කමල් අද්දරආරච්චි

--------------------------------------------------------

උපතිස්ස ගමනායක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙසින් කටයුතු කළ දොන් උපතිස්ස ගමනායක උපත ලැබූයේ 1948 ඔක්තෝබර් 17 වැනිදා පාදුක්ක වේරගලදීය. ගොවි ජනපද ව්‍යාපාරය ය‍ටතේ ගොවියෙකු වූ පියා සමඟින් කන්තලේ ගොවිජනපදය වෙත ගිය ඔහු 1969 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් විය. පාසල් වියේදීම ජවිපේ දේශපාලන කටයුතුවලට සම්බන්ධවී කටයුතු කළ ඔහු 1989 නොවැම්බර් 13 වැනිදා ඝාතනයට ලක් විය.

චරිත නිරූපණය ජගත් මනුවර්ණ

--------------------------------------------------------

සෝමවංශ අමරසිංහ

1943 ජූනි 13 වැනිදා ඉඳුරුවදී උපන් ඒ. කේ. සෝමවංශ අමරසිංහ කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙකු ලෙසින් පුහුණුව ලැබීය. 1971 කැරැල්ලට සම්බන්ධ වූ ඔහු යුරෝපයට ගොස් ජවිපෙ ප්‍රතිසංවිධානය කළ අතර 2014 පෙබරවාරි 02 වැනිදා දක්වා ජවිපෙ සිව්වැනි නායකයා ලෙසින් වසර 23ක් කටයුතු කළේය. වසර 46ක් ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙකු වූ ඔහු 2015 අප්‍රේල් 16 ජවිපෙන් ඉවත්ව ජනතා සේවක පක්ෂය පිහිටුවා ගත් අතර 2016 ජූනි 15 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

චරිත නිරූපණය - සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ

--------------------------------------------------------

සමන් පියසිරි ප්‍රනාන්දු

1958 මාර්තු 23 වැනිදා මාතර දී උපත ලද සෙල්ලපෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා ලෙසින් කටයුතු කළේය. 1977 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව වාණිජ්‍ය උපාධිර‍යකු වූ අතර ජවිපෙ අවි පුහුණු කඳවුරු පවත්වාගෙන ගියේය. 1989 දෙසැම්බර් 29 වැනිදා සමන් පියසිරි ප්‍රනාන්දු ඝාතනයට ලක් විය.

චරිත නිරූපණය සුසාන් නිරෝෂන් (බාතම්)

--------------------------------------------------------

සුමිත් අතුකෝරල

1950 වසරේදී හම්බන්තොට වීරකැටියේදී උපන් දොන් දියෝනිස් නන්දසිංහ ආරච්චිගේ විජේනායක හෙවත් සුමිත් අතුකෝරාල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ උපාධි අපේක්ෂකයකු විය. උපැවිදි වීමෙන් පසු පූර්ණ කාලීනව ජවිපෙ සමඟින් එක් වූ අතර අධ්‍යාපනික දේශන පැවැත්වීම සම්බන්ධයෙන් නමක් දිනා ගත් ඔහු ජවිපෙ මූල්‍ය ලේකම්වරයා ද විය. 1988 සැප්තැම්බර් මස ඔහු ඝාතනය ලක් විය.

චරිත නිරූපණය - සංජීව උපේන්ද්‍ර

--------------------------------------------------------

පියදාස රණසිංහ

වලස්මුල්ල වරාපිටියේදී උපද ලද පියදාස රණසිංහ එගොඩබැද්ද සහ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යපානය ලබා වලස්මුල්ල කරන්දෙණිය මහා විද්‍යාලයේ ගණිත සහ විද්‍යා ගුරුවරයෙකු ලෙසින් කටයුතු කළේය. 80 ජූලි වර්ජනයට සම්බන්ධවීම නිසා රැකියාව අහිමි වූ අතර 1982 සිය 1989 නොවැම්බර් 15 වැනිදා මිය යන තෙක්ම ජවිපෙ අභ්‍යන්තර ලේකම් ලෙසින් කටයුතු කළේය.

චරිත නිරූපණය - තුසිත ලක්නාත්

--------------------------------------------------------

සිසිර රන්දෙනිය

අනුරාධපුර දිසා ලේකම්වරයකු වූ සිසිර රන්දෙනිය 1971 කැරැල්ලට එක් විය. 1981 ජූනි 4 සංවර්ධන සභා ඡන්දයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වූ අතර 1990 මුල්භාගයේදී ඝාතනයට ලක් විය.

චරිත නිරූපණය ජෙහාන් අප්පුහාමි

--------------------------------------------------------

ඩී. එම් ආනන්ද

1957 වසරේදී උපත ලද දිසානායක මුදියන්සේලාගේ නන්දසේන රිදීබැඳඇල්ල පන්සලේදී වල්පොල නාරද පියනන්ද නමින් පැවිදි දිවියට පත් වූ අතර 1977 වසරේදී පේරාදෙණිය කලා අංශයෙන් විශ්වවිද්‍යලයට ඇතුලත් විය. 1978 වසරේදී ජවිපෙ ක්‍රියාකාරීත්වයට එක් වී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පළමු වසරින් පසුව උපැවිදිව ඩී. එම් නන්දසේන බවට පත් විය. ඩී. එම්. ආනන්ද ලෙසින් ජවිපෙ ඔහු හැඳීන් වූ අතර ජවිපෙ දෙවැනි කැරැල්ලේ නිල නොවන තෙවැනි නායකයා ලෙසින් කටයුතු කළ ඩී. එම් ආනන්ද 1989 නොවැම්බර් 15 වැනිදා ඝාතනයට ලක් විය.

චරිත නිරූපණය - නාරද තොටගමුව

--------------------------------------------------------

ලයනල් බෝපගේ

1944 වසරේදී උපද ලද බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවකු වූ ඔහු 1980 සිට 1983 ජුලි 29 වැනිදා ජවිපෙ තහනම් වන තෙක් ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළේය. 1984 වසරේදී නිල වශයෙන් ඉවත් වී සර්වෝදය ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කළ අතර 1989 දී විදෙස් ගත වූ අතර ඔහු සිය දරුපවුල සමඟින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.

චරිත නිරූපණය ප්‍රියන්ත සිරිකුමාර

--------------------------------------------------------

එච්. එන් ප්‍රනාන්දු

මෙරට ගුරු සංගම් නායකයෙකු වූ එච්. එන් ප්‍රනාන්දු රෝහණ විජේවීරයේ බිරිය චිත්‍රාංගනීගේ වැඩිමහල් සහෝදරයා වේ. 1971 කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු අතර නිදහස් වී පැමිණ ගුරු වෘත්තියට සමු දී පූර්ණ කාලීනව ගුරු සංගම් ව්‍යාපාරයට එක් විය.

චරිත නිරූපණය ප්‍රසන්නජිත් අබේසූරිය

--------------------------------------------------------

ශ්‍රීමති චිත්‍රාංගනී විජේවීර

1980 මාර්තු මාසයේදි රෝහණ විජේවීර සමඟින් විවාහ දිවියට පත් වූවාය. දරුවන් සිව්දෙනෙකුගේ මවක වූ ඇය විජේවීර ඝාතනයට ලක්වීමෙන් අනතුරුව දරුවන් සමගින් කොළඹ නාවිත හමුදා මූලස්ථානය වෙත භාරවිණි. වසර 26ක් ඇය සහ දරුවන් ත්‍රිකුණාමලය නාවික හමුදා ආරක්ෂාව යටතේ ජීවත් වූවාය.

චරිත නිරූපණය සුලෝචනා වීරසිංහ

--------------------------------------------------------

වෛද්‍ය ජයතිලක

කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා 1984 දී පමණ පූඩළුඔය ඩන්සින් වතුයායේ වතු රෝහල් වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අතර වසර තුනක් පුරා රෝහණ විජේවීරට ආරක්ෂාව ලබා දුන්නේය. වයස අවුරුදු 54දී ඔහු සිය දිවියෙන් සමු ගත්තේය.

චරිත නිරූපණය විශ්වජිත් ගුණසේකර

(මූලාශ්‍ර - ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2 වැනි කැරැල්ල කෘතිය)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.