ගාමිණී - විජය සමඟ රඟපෑ යුගය හරිම රසවත්

රංගන ශිල්පී - කිංස්ලි වීරරත්න
ජනවාරි 17, 2019

නමින් කිංස්ලි වීරරත්න ලෙස වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හිම නිරත රංගන ශිල්පියෙකි. පසුගිය දිනෙක කිංස්ලි සරසවියට ගොඩ වැදුණේ ඔහුගේ නවතම කලා තොරතුරු බෙදා හදා ගන්නයි.

‘මම උපන්නෙ ත්‍රිකුණාමලයේ. පාසල් අධ්‍යාපනය ලැබුවේ ත්‍රිකුණාමලයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ මහා විද්‍යාලයෙන්. ඒ කාලෙදි මම පාසලේ දී රෙස්ලින් හා බොක්සිං ක්‍රීඩා කළා. මේ අතුරතුර සිනමාවට, වේදිකාවට මගේ ඇල්ම වැඩි වුණා.

මුලින්ම මම පාසැල් වේදිකා නාට්‍ය කලාවට තමයි දායක වුණේ. පාසලේදී වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වුණා. ‘රැල්ලයි - වැල්ලයි’, පියසේන ජයවන්ගේ ‘ගල් මල්’, ආනන්ද පෙරේරාගේ ‘එක අම්මගෙ පුත්තු’, ‘ගුත්තිල - මූසිල’ වගේම ජයවීර ගුරුතුමාගේ වෙසක් වේදිකා නාට්‍යවලත් මම චරිත නිරූපණය කළා.

‘මම 60 70 දශක වන විට සිනමාවේ විවිධ චරිත නිරූපණයට එකතු වුණා. ඒ වන විට සිංහල සිනමාවේ දැවැන්තයින් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝතිපාල මගේ හොඳම හිතවතුන්. ඔවුන් සමඟ ගෙවුණු අතීතය සිහිපත් කළත් හිත සතුටින් පිරෙනවා. ඔවුන් සමඟ රඟපෑ යුගය මගේ ජීවිතයේ අමරණීය මතයක්. ‘පෙම්බර මධු’ චිත්‍රපටයේ මම රඟපෑවේ ධීවරයකුගේ චරිතයක්. රක්තා චිත්‍රපටයේ ‘සෙබළෙක්’ ලෙස රංගනයේ යෙදුණා. මෑතකාලීනව බලපුවහම ‘සිරිදළදාගමනය’, ‘අනගාරික ධර්මපාල’, ‘ඇහැලේපොල කුමාරිහාමි’ චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණයෙන් දායක වුණා. මේ වන විට චිත්‍රපට විසි පහක පමණ මම රඟපා තිබෙනවා.’

සිනමා නිර්මාණ ඔස්සේ තම හැකියාවන් ප්‍රේකෂකයන් අතරට ගෙන යන්නට කිංස්ලිට හැකි වූ බව ඉතිහාසයේ ඔහු රඟපෑ චිත්‍රපට පිළිබඳ මතකය දිග හරමින් කිංස්ලි පවසන්නේ හැඟීම්බරවය.

‘ඇත්තටම කලා ලෝකය කියන්නේ හරිම වාසනාවන්ත තැනක්. අපි කලා ලෝකයේ වැඩිහිටියන් හැටියට අපෙන් පසුව එන පරපුරට ආදර්ශවත් විදිහට තමයි කලාවේ නියැළුණේ. ඒ වගේම අපේ කලා නිර්මාණ මඟින් මේ සමාජය දැනුම්වත් කරන්න පුළුවන්. ගුණ යහපත් සමාජයක් බිහි කරන්න කලාව හරිම ප්‍රයෝජනවත්’ කිංස්ලි පවසයි.

ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංගගේ සිට වර්තමාන ජනප්‍රිය ප්‍රවිණ නළු නිළියන් සමඟත් රඟපාන්නට ලැබීම ගැන කිංස්ලි පවසන්නේ මෙලෙසයි.

ඇත්තටම පරැණි යුගයේ සිටි ප්‍රවීණ නළු නිළියන් වගේම වර්තමාන යුගයේ සිටින ප්‍රවිණ නළු නිළියන් සමඟත් මම රඟපෑවා. ඒ හැම දෙනාම මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් සමඟ රඟපාන්න පහසුයි. ටෙලි නාට්‍ය කලාවෙත් මට බොහෝ දුරක් එන්නට ලැබුණා.

‘උදුම්බරා’, ‘කැලෑහඳ’, ‘සඳ දිය මංකඩ’ වගේ ටෙලි නාට්‍යවලටත්, චිත්‍රපටවලටත් මගේ දායකත්වය මෑතකදී ලබා දුන්නා.’

වෘත්තියෙන් මේ වන විට පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන කිංස්ලි පදිංචිව සිටින්නේ මාතරයි.

‘ඉදිරියේත් මා රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක්ම විකාශය වන්නට වගේම තිරගතවීමටත් නියමිතව තිබෙනවා. කොහොම නමුත් තවදුරටත් උපරිමව දක්ෂතාවයෙන් යුතුව කලා කටයුතුවලට දායක වෙමින් උපරිම සේවයක් කලාව වෙනුවෙන් ඉටු කිරීමයි මගේ බලාපොරොත්තුව.’ කිංස්ලි පවසන්නේ ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන් රසිකයන් පිනවීමට තම හදවතේ නැගෙන ප්‍රාර්ථනාවන් සිහි ගන්වමිනි. කලා ලොවේ තව දුරක් යාමට ඔහුට සරසවිය අපෙන් සුබපැතුම්.

තුෂාරි නේරංජා
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.