ටවුමෙ ඉස්කෝලෙ නමැති අත්වැරදීම

ජනවාරි 17, 2019

සිනමාව පවතින්නේම පැවැත්ම පිළිබඳ නා නා අර්බුද මධ්‍යයේය. ඊට තුඩු දෙන හේතු ගවේෂණය, විමර්ශනය හා හැදෑරීම නිතිපතාම සිදුවේ. අදාළ වාර්තා ආදිය ප්‍රකාශයට පත් කරන්නේ වරෙක සුබවාදී බලාපොරොත්තු දල්වමිනි. එනමුදු එම බලාපොරොත්තු ඒ හැටියෙන්ම සාක්ෂාත් නොවන වග පැහැදිලිය.

මෙසේ සිනමාවේ පැවැත්ම පිළිබඳ අර්බුදයට හේතු වන නොයෙකුත් හේතු අතර විවිධත්වයක් හා අපූර්වත්වයක් ප්‍රමාණවත්ව විද්‍යාමාන නොවීම යන හේතුව ද පවතී. ප්‍රමාණවත් අවධානයක් ඒ කෙරෙහි යොමු වන්නේ කලාතුරකිනි. එක අතකට දෘශ්‍ය පක්ෂය සුලබ විම යන කාරණය එහිලා වැදගත් වනු ඇත. එබන්දක් අර්බුදයේ පිළිබිඹුවක් සේ නොදැනීම කනගාටුදායකය. විචාර පිළිවෙත් වුව එහි සැබෑ තතු හසු කර නොගත්තේ යැයි ද සිතේ.

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘ටවුමෙ ඉස්කෝලෙ’ වෙනුවෙන් තෝරා ගන්නේත් සිනමාවේ පැවැත්ම පිළිබඳ අර්බුදයට තුඩුදෙන විවිධත්වයක් හා අපූර්වත්වයක් නොමැතිය යන හේතුවට අභියෝග කරන පුවතකි. වුවමනා සම්පත් සුනිල්ට සැපයෙන්නේ කල් නොයවාය. එනිසාම විවිධත්වයක් සේම අපූර්වත්වයක් ද ස්ථාපිත කරනසුළු සිනමාපටයක් සේ ‘ටවුමෙ ඉස්කෝලෙ’ ප්‍රකාශයට පත් කිරීමේ අවකාශය ඔහු අබියස විවර වේ. සිනමාකරුවකු වශයෙන් ලාංකේය සිනමා කලාපය තුළ තහවුරුවීමට ඉන් ලැබෙන පිටුබලය අති මහත්ය. සමහර විට ප්‍රේක්ෂක ප්‍රතිචාර සම්බන්ධයෙන් ගැටලු මතුවීමටද ඉඩ තිබේ. එබන්දක් යට කී ආකාරයේ තහවුරුවීමකට එරෙහි කොන්දේසියක් කොට නොගැනීම කෙරෙහි ද සුනිල්ගේ අවධානය යොමු විය යුතුව තිබිණ.

‘ටවුමෙ ඉස්කෝලෙ’ ආරම්භක රූප පෙළ යම් ආධුනික ලක්ෂණ සහිතව වුව විවිධත්වයක් හා අපූර්වත්වයක් දනවන අන්දමින් නිරූපණය කෙරේ. පොලීසියේ මැදිහත්වීමෙන් රෝහල් ගත කරන අසාධ්‍ය තත්ත්වයේ පසුවන පාසල් දැරියකි. ඇගේ වයසේම දැරියක හඬා වැලපෙයි. පොලිස් ප්‍රධානියා නියෝග කරන්නේ ඇයව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරන ලෙසය. රෝගී දැරිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ. ඇගේ මවත් පියාත් හඬා වැලපෙමින් දිව එති.

පූර්ව ප්‍රචාරක කටයුතු ඔස්සේ ‘ටවුමෙ ඉස්කෝල’ නරඹනු පිණිස එන ප්‍රේක්ෂකයනට උක්ත රූප පෙළ හා එක් නොවී සිටීමට නුපුළුවන. සෙස්සන්ට අකමැති නම් සිනමා ශාලාව හැර යා හැකිය. මන්ද ඔවුනට සිනමාපටය සමඟ බැඳෙනා කුතුහලය හෙලිදරව් කර ගත හැකි හෙයිනි.

කෙසේ නමුත් වර්තමානය හා දින දෙක තුනකට පෙර අතීතය ද, වසරකට පෙර අතීතය ද, මුසු කරමින් සුනිල් සිය ප්‍රේක්ෂකයනට පවසන්නේ මේ දැරිය පාසලේ වැසිකිළියක් තුළ දින කිහිපයක් සිර වී සිටි බවය. ඊට වගකිව යුත්තේ අර හඬා වැලපෙන දැරිය හා එම පාසලේම ගුරුවරියක වන ඇග් මව බවය.

සිනමාකරු සුනිල් සිනමාපටය නිමාවට පත් කරන්නේ එසේ උද්ගත වූ සියලු ගැටලු නිරාකරණය කරමිනි. ඒ සඳහා ඔහු උපයෝගී කොට ගන්නා ක්‍රමෝපායයන් විවිධත්වයක් හෝ අපූර්වත්වයක් වෙනුවට දනවන්නේ ඊට ඉඳුරාම ප්‍රතිපක්ෂ හැඟීමකි. ඒ අනුව ටවුමෙ ඉස්කෝලෙ විවිධත්වයක් හා අපූර්ත්වයක් පිළිබඳ ලාංකේය සිනමා කලාපයේ වුවමනා කෙරෙහි අවම සැලකිල්ලක් දැක් වූ අවස්ථාවක් වේ. එහෙයින්ම සිනමාපටය නිමා වන මොහොතේදී ප්‍රේක්ෂකයා තුළ උපදින්නේ ‘ඇති යාන්තම් අර දරුවාගේ ජීවිතය බේරුණා’ යන අදහස පමණි. නමුත් සුනිල්ගේ අරමුණ එය නොවන වගට අටුවා ටීකා අවශ්‍ය නැත. ඔහුට වැදගත් වන්නේ නිසැක වශයෙන්ම ප්‍රේක්ෂකයා තැති ගන්වන, විස්මයට පත් කරන, මොහොතින් මොහොත කුතුහලයෙන් වෙලා ගන්නා සිදුවීම් සමුච්චයක් සහිත සිනමාපටයක් නිර්මාණය කිරීමය.

දුෂ්කර ගැමි පාසලක සිට නගරයේ ඉහළ පෙළේ පාසලක් කරා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව එන දැරියකි. ඈ සියලු විෂයන්ට සේම ක්‍රීඩාවට ද, කලා කටයුතු ආදියට ද දක්ෂය. එනිසාම ඈ තවත් දක්ෂ දැරියකගේ උදහසට ලක් වේ. ඊට මඟ පාදන්නේ එම පාසලේම ගුරුවරියක වන ඇගේ මවය. පෙර කී ආකාරයේ භයංකර සිදුවීමකට ඉඩකඩ සැලසෙන්නේ මේ පසුබිම නිසාවෙනි.

බැලූ බැල්මට මෙතැන ඇත්තේ උද්වේගකර පුවතකි. නමුත් මෙහිලා ළමා සිනමාපටයක් නිර්මාණය කිරීමට සුදුසු වටාපිටාවක් නොපවතී. සුනිල් හා නිෂ්පාදක පාර්ශවය ‘ටවුමෙ ඉස්කෝලෙ’ ඉදිරිපත් කරන්නේ ළමා සිනමාපටයක්ය යන අර්ථ දැක්වීම හරහාය. ළමා චරිත, ළමා ක්‍රියාකාරකම් තිබූ පමණින් ළමා සිනමාපටයක් නිර්මාණය කළ හැකි නොවේ. ඇත්ත වශයෙන්ම ‘ටවුමෙ ඉස්කෝලෙ’ හි ඇතුළාන්තය පවසන්නේ එය විවිධත්වයක් හා අපූර්වත්වයක් ගෙනෙන වැඩිහිටි පේ‍්‍රක්ෂකයන් ඇමතීමට සූදානම් සිනමාපටයක් විය හැකි බවය.

සිනමාපටයම එක් කරලන හාස්‍ය දනවන අවස්ථා කිහිපයකි. ඒවා අවශ්‍යමදැයි යන ප්‍රශ්නය සුනිල් වෙත ඉදිරිපත් කළ යුතුමය. දැරියගේ අතුරුදන් වීමෙන් කලබල වන දෙමාපියන් හා සෙසු වැඩිහිටියන් ද, පොලීසිය ද දක්වන ප්‍රතිචාර සේම දැරියගේ ඉරණම ද ප්‍රේක්ෂක අවධානය නොබිඳ හසු කරගත යුතුව තිබූ බව පෙනේ. යට කී සරල හාස්‍ය ඊට මහෝපකාරී නොවන වග සත්‍යයකි.

අන්තිමේදී දැරියගේ ජීවිතය රැක දෙන්නට වෛද්‍යවරු සමත් වෙති. සිනමාකරු සුනිල්ගේ දයානුකම්පාව නිසා දැරිය මරණයේ දොරටුව කරා රැගෙන ගිය දෙදෙනාට පොලිස් කූඩුවෙන් ඔබ්බට යන දඬුවමක් නොලැබේ. ඊට වඩා විස්මයක් ද සුනිල් ගෙනහැර පායි. එනම් දැරියන් දෙදෙනා නිවුන් සොහොයුරියන් වන බව යම් වෛද්‍යවරයකු ලවා කියැවීමය. ඔවුන් උපන්දාම එකිනෙකාගෙන් වෙන් කොට ඇත්තේ එම වෛද්‍යවරයායි. මෙබඳු කතා නොදුටු - නොඇසූ සිනමා ප්‍රේක්ෂකයකු වර්තමානයේදී හමු නොවන තරම්ය.

වර්තමාන ලාංකේය සිනමාවට විවිධත්වයක්ද, අපූර්වත්වයක් ද ගෙන එන උද්වේගතර සිනමාපටයක් සේ ‘ටවුමෙ ඉස්කොලෙ’ හඳුනා ගත නොහැකිවීමට එකරුණු සෘජුවම හේතු වේ.

‘ටවුමෙ ඉස්කෝලෙ’ නරඹන කල මෑතදී ප්‍රදර්ශිත සිනමාපට කිහිපයක්ම සිහියට නැඟේ. ඒ ‘හෝ ගානා පොකුණ’, ‘5 සමත්’, ‘සරිගම’, ‘ගෝල්’ බඳු සිනමාපටය. විශේෂයෙන්ම ගීිතමය ජවනිකා විෂයෙහි සුනිල් එම සිනමාපට සිහිපත් නොකිරීමේ තැතක නිරත නොවීම ප්‍රේක්ෂකයන්ගේ අභාග්‍යයකි.

කෙසේ වෙතත් සිනමාපටයේ එක දැරියකගේ අතුරුදන් වීම වඩා ඉක්මනින් විසඳාලීමේ හැකියාවක් තිබූ බව ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ එම සියලු තත්ත්වයන් මධ්‍යයේය. ඊට අවැසිවන්නේ ජංගම හෝ ස්ථාවර දුරකතන සම්බන්ධතා පමණි. හැම වැඩිහිටියකු අතම ජංගම දුරකථනයකි. එහෙත් දැරිය පිළිබඳ රහස දැනගත් දුර බැහැරක සිටින අනෙක් දැරියගේ පියා පොලීසිය හෝ බිරිඳ හෝ අමතන්නට උත්සාහ නොකරයි. වර්තමාන පුවත් විෂය කර ගැනීමේදී අදාළ විශ්වසනීයත්වය සහතික කරලීමට දුරකතන සබඳතා අත්‍යන්තයෙන්ම වැදගත් වන බව ඉන් කියැවේ.

විවිධත්වයක් හා අපූර්වත්වයක් සහිත වෙනස් මාදිලියේ සිනමාපටයක් සේ ‘ටවුමෙ ඉස්කෝලෙ’ සාක්ෂාත් නොවනු සඳහා දිගින් දිගටම පෙනී සිටින්නේ සුනිල්ගේ පිරිවරයි. ඔවුන් පිළිබඳ වගකීම් පැවරෙන්නේ සුනිල්ටය. සුනිල් දැඩි පිළිවෙත් අනුගමනය නොකරන්නකු යැයි ද සිතේ. එහෙත් ඉදිරියේදී එම පිළිවෙත බැහැර කිරීම ඔහුට වාසිදායකය. එවැනි විටෙකදී ‘ටවුමෙ ඉස්කෝලෙ’ යම් පමණක හෝ අත් වැරැදීමක් කියා ද ඔහුට සිතෙනු ඇත.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.