ගප්පි ගන්න කියා මා බලන්න ඇවිත්

විශේෂඥ වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ
ජනවාරි 17, 2019

කාලය වේගයෙන් ගත වුවද වාහන වේගයෙන් ඇදෙන්නේ නැත. වෙලාව 10.27යි. මම දුරකථනය ගෙන අමතමි. “මිසිස් නිහාල්සිංහ අපි ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා ඉන්නේ අපට තව විනාඩි දහයක් විතර පහු වෙයි එන්න.”

“ආ ඕගොල්ලො තව මිනිත්තු දහයකින් විතරද එන්නේ? හොඳයි.”

අපි ලොන්ඩන් පෙදෙසට අවතීර්ණ වෙමු. තිහෙන් විසි දෙක නිවෙස දෙසට වාහනය හරවන විට ඇත්තෙන්ම මිනිත්තු නවයක් පසු වී තිබේ. ස්වයංක්‍රීයව ගේට්ටු පළු දෙක දෙපසට වෙයි. ග්‍රිල් ගේට්ටුව එසවෙයි. ඇය ඉදිරියට එයි.

“හරියටම වෙලාවට ඇවිත්” ඉංග්‍රීසි බසින් කියන ඇය මුහුණේ සතුටු හැඟුමකින් සාලයට අප කැඳවන්නීය. වම් පස නිල්ල දිලෙන තණකොළ තීරුවද දකුණු පස විසිරෙන වතුර මලින් හැඩ වූ පොකුණද මැද පිහිටි සාලයේ දැවමුවා බුදු පිළිම වහන්සේ වැඩ සිටිති. නටරාජ පිළිරුව පොකුණ අසලට වී මසුන්ගේ රඟ බලා සිටියි. ඒ අතර පිහිටි කැබිනෙට්ටුව මත පවුලේ සාමාජිකයන් වන පුතා ලේළිය සහ මුනුපුරු මිනිබිරියන්ගේ සේයා රූ රැසකි. ඉන් අපට කැපී පෙනෙන්නේ, ඒ යුග පුරුෂයාගේ, ආචාර්ය ඩී.බී නිහාල්සිංහයන්ගේ රුවය. ඔහු අසලම අසුනක ඇය හිඳුවන්නට නිශ්ශංක යුහුසුලු වෙයි. මම ඇයට මුහුණලා සිටිමි. නිර්වින්දනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ මැතිනිය කතාවට මුල පුරන්නී මගෙන් ප්‍රශ්න විමසන්නීය.

“මිස්ට නිහාල්සිංහව අඳුරන්නේ ෆිල්ම් කෝපරේෂන් එකේ වැඩ කළාද?”

“ම්... මම චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමාව කරද්දි සර් අපට උගන්නලා තියෙනවා. අපිත් ටිකක් හරි වාසනාවන්ත වුණා සර් වගේ කෙනෙක් ඇසුරු කරන්න.” මගේ පිළිතුරයි.

“දැන් අර එයා පටන්ගත්ත කැලණිය කැම්පස් එකෙත් ඩිග්‍රි කෝස් එකෙත් ළමයි පනහක් විතර ඉන්නවානේ. බට් හී කුඩ් ඩූ ඔන්ලි ටූ ලෙක්චර්ස්. (ඒත් ඔහුට දේශන දෙකක් විතරයි කරන්න පුළුවන් වුණේ).” ඇය කනගාටුවෙනි. ඇයගේ හැඟීම් රිසි ලෙස මුදා හරින්නේ සිංහලෙන් නොවන බව අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත. එයට හේතුව වැඩි කලක් විදෙස්ගතව සිටීම සහ ඇයගේ වෘත්තියයි. ඒ හුරු භාෂාවට ඉඩ දී මම පුරුද්දට මෙන් කියමි. “මොනවා කරන්නද දෛවය තමයි”

ඇය යළි කියාගෙනයයි. “ඒ අයගේ සම්මාන ප්‍රදානෝත්සවයට මට කතා කළා. උලෙළක ආරාධනා පත්‍ර යවන එකේ ඉඳන් සියලු සංවිධාන කටයුතු කරන්නේ කොහොමද කියලා ඒ ශිෂ්‍යයන්ට කියලා දෙනවා. හරි හොඳයි ඒක. වැඩෙත් ලස්සනට තිබුණා.” එවර මුහුණේ සිනාවකි. මම මාතෘකාවට එලැඹෙමි.

“අපි යුග පුරුෂයන් කීපදෙනකුගේ නෝනලා එක්ක කතා කළා. ඒ අය කියන විදිහට සමහර මහත්තුරු නිර්මාණ කටයුතුම විතරයි. ඒත් සමහර අය ගෙදර වැඩ ගැනත් හොඳ අවබෝධයකින් ඉඳලා තියෙනවා. “මම විශ්වසනීය ස්වරයෙන් කියමි. ඇය සිනාසී මෙසේ පවසයි.

“මම ෆුල් ටයිම් ස්පෙෂලිස්ට් කෙනෙක් නිර්වින්දන අංශයේ. මම එංගන්තයට ගිහින් විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇවිත් කොළඹ වගේම කළුතරත් සේවය කළා. බස් එකේ අපි කොළඹ ආපු කාලයක් තිබුණා. ඒ දවස්වල පුතා පොඩි නිසා අහනවා බස් ස්ටෑන්ඩ් එක තාත්තගේ ඔෆිස් එකද කියලා. (සිනාවකි) හැබැයි ගෙදර වැඩ හුඟක් හරිය මගේ අතින් තමයි කෙරුණේ. වැඩ ප්ලෑන් කරන එක, කළමනාකරණය, පොඩි එක්කෙනාගේ වැඩ ඔක්කොම වගේ. උදව්වට අය හිටියත් මට තමයි ඒවා සොයා බලන්න වුණේ. නළු නිළියෝ, ගෝලයෝ එක්ක සමහර මාසවල ඩිනර් අට නවය දුන්නා. ඒත් එයා දන්නේ නැහැ මේසෙට එනකල් මොනවද හදලා තියෙන්නේ කියලා. පස්සේ අපේ මේසේ ඉන්න පුළුවන් අට දෙනාට නිසා එක වරකට ඒ ගාණට සීමා කරමු කියලා කතා වුණා. හැබැයි එයා තමයි බිල් ටික නම් ගෙව්වෙ. එයාගේ පරමාර්ථය වුණේ, පොඩි කාලේ ඉඳන්ම, චිත්‍රපට කිරීම. මම එයාව අඳුන ගත්තේ එයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයටයි මම කොළඹ වෛද්‍ය විද්‍යාලයටයි යන්න කලින්. මම විශාඛාවේ. එයා ආනන්දෙ. අපි උසස් පෙළ කරලා ඉද්දි යාළුවෝ හැටියට අඳුනනවා. ඒත් මගේ මූලිකම අරමුණ තිබුණේ දොස්තරවරියක් වෙන එක. අපි ගැනු ළමයි පස්දෙනෙක් හිටියා. පහේ පන්තියේ විතර ඉඳන්ම අපි පස්දෙනා කතා වෙලා හිටියේ කොහොම හරි දොස්තරලා වෙමු කියලා. ඒ වගේම වුණා. පවුලේ කවුරුත් ඉඳලත් නෙවේ කියලාත් නෙවේ. අපේ ක්ෂේත්‍ර වෙනස් ඒත් මේ ළඟදිත් මට ඒ යාළුවෙක් මුණ ගැහුණු වෙලේ ඒ ගැන මතක් කළා.” ඇය අතීතයට ගොස් යළි පැමිණෙයි. ඉන් පසු කතාව යළිත්.

“එයා පේරාදෙණියේ නේවාසිකව හිටිය නිසා අපට මුණ ගැහෙන්න ලැබුණේ කොළඹ එන සති අන්තවලදි තමයි. අපේ අම්මා හරියට ඔය කුලමල, රස්සාව අනම් මනම් බලනවා. ඒ නිසා අපේ සම්බන්ධෙ කාලයක් ගෙදරින් හංගගෙන ඉන්නත් සිද්ධ වුණා. මොකද මම කැමති වුණේ නැහැ අම්මගෙ ඔළුවට ඒ බරත් දෙන්න. පුංචි කාලෙම තාත්තා නැති වුණ නිසා අම්මා තනියෙන් අපිව හදාගත්තේ. මට නම් රස්සාව අතඋඩ තිබුණා. වෛද්‍ය වෘත්තිය කියන්නේ විභාග ඉවරවෙද්දිම පුහුණුව එක්ක රස්සාව ලැබෙන දෙයක්නේ. ඒත් එයා උපාධියට කළේ ආර්ථික විද්‍යාව. ඒ විෂය ධාරාවේ කැම්පස් අවුට් වෙද්දිම අපට වගේ මූණ ඉස්සරහ රස්සාවල් නැහැනේ. හොයා ගන්න ඕනා. මගේ සහෝදරියෝ නම් මේ ගැන දැනගෙන හිටියා. අපි දෙන්නම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ තමයි අම්මලාට කීවේ. හැබැයි අපේ අම්මට හරි කුතුහලයක් තිබුණා මේ වගේ චරිතයක් මට එකපාරට හම්බුණේ කොහොමද කියලත්.” එවක මතකයට නැඟුණු දඟකාර සිනාවකි.

“කවද්ද මුලින්ම දැක්කේ?” එයට මගේ බාධාවයි.

“මම මොරටුවෙනේ. එයත් මොරටුවේ හිටියා මොරටු විද්‍යාලයට යන කාලේ. අපේ මාමා කෙනෙක්ට සුරතල් මසුන් විකුණන තැනක් තිබුණා. මෙයා අවුරුදු 12-15 වයසෙදි ඒකෙන් මාළු ගන්න එනවලු. මට නම් මතකයක් නැහැ. එයා හැමදාම ගප්පි ගන්නවලු. ඒත් මාමා අහනවලු මොකටද ඔය තරම් ගප්පි කියලා. එයා කියන හැටියට නම් හැමදාම ඒ මාළු ගෙනියලා ඇලටලු දැම්මේ. ආවේ මාළු ගන්නම නෙමේලු. පස්සේ කාලෙක කීවේ. හැබැයි ඉතින් ඔය වගේ කතා හදල කියන්නත් එයා හරි දක්ෂයි. ඉතින් මම ඇත්ත දන්නේ නැ.” කෙළිලොල් සිනාවක් ඇගේ මුව සරසයි.

“අපි දෙන්නගේ අදහස් වෙනස්. ඒත් මට පුළුවන් වුණා එයාව තේරුම් ගන්න. 1955 ආනන්ද විද්‍යාලයේ මුල්ම කැඩෙට් ටීම් එකේ මෙයාත් ඉන්නවා. එයාට මුලින්ම ඕන වුණේ ආමි එකට යන්න. ඒත් එයාලාගේ අම්මා කියලා තියෙනවා මොනවා කරන්නත් උපාධියක් අරන් එන්න කියලා. ඒ වගේම මගේ ආශ්‍රය නිසාත් එයා හිතුවා විශ්වවිද්‍යාලයට යන්න ඕනා කියලා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ යුගයේ පේරාදෙණියේ ඉගෙන ගන්න අතර තමයි එයා ‘නියඳ රටා’ වාර්තා වැඩසටහන කළේ. ආමි කතාව එහෙමම අමතක වෙලා ගියා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් ආයතනයක ටික කාලයක් වැඩ කළා. සිනමාව වගේම රූපවාහිනිය ගැන විවිධ පැති හොයාගෙන එයා ගියා. අපි බැන්දට පස්සෙත් එයාට තියෙන අරමුණ මොකක්ද කියලා මම අවබෝධ කරගත්තා. ඒ වගේම එයාට එයා කැමති දේ කරන්නත් මට මම කැමති දේ කරන්නත් නිදහස තිබුණා. ඒක තමයි අපි දෙන්නාගේම ජීවිතවල සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුණේ.”

“අපේ සර්ටත් ඒ අවබෝධය ඔය මට්ටමින්ම තිබුණද?”

“ඔව්. ඒ විතරක් නෙවෙයි අපි දෙන්නාටම දෙවිධියකින් විවිධ පුද්ගලයන් එක්ක කටයුතු කරන්න වෙනවා. මොකද දෙන්නම කරන්නේ ටීම්වර්ක්. චිත්‍රපට හදන්නෙත් පිරිසක් එක්ක. මගේ වැඩෙත් තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවේ. අනෙක අපි දෙන්නම කරන්නේ මිනිසුන් සුවපත් කරන එක. මම විවිධ රෝගාබාධවලින් පෙළෙන අය ඒවායින් මුදවාගැනීමට කටයුතු කරනවා. එයා මිනිසුන්ගේ මානසික සුවය වර්ධනය සඳහා නිර්මාණාත්මක කටයුතු කරනවා. ඉතින් අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක වුණත් මේ සමානතාව පිළිබඳ අවබෝධයකින් හිටියා. ඉතාම වැදගත් දේ තමයි, ඒ විදිහට අන්‍යෝන්‍යාවබෝධය තිබීම. මොකද අපි දෙන්නා බොහෝ වෙලාවට දෙතැනක හිටියේ. අවුරුදු දෙකකට එංගලන්තෙ ගියා. ඊට පස්සේ අසූ ගණන්වල යුද්දේ කාලෙ හොංකොං ගියා අවුරුදු 10කට. පුතාත් ඇමෙරිකාවේ හිටියේ. ඔය කාලේ බෝම්බ පිපිරීම් වුණාම එහෙම මේ රටින් යන එකමයි හොඳ කියලයි එයා කීවේ. ඒ වෙද්දි එයා චිත්‍රපට සංස්ථාවෙන් ඉවත්වෙලා ටෙලිසිනේ පටන්ගත්තා. මොකද ඒ කාලේ ටෙලිවිෂනය ලංකාවට ආවට නාට්‍ය එහෙම තිබුණේ නැහැ. දිමුතුමුතු කළේ ඒ අඩුව පුරවන්න. ඒ වෙද්දි මමත් ලංකාවේ. වැලිකතර කරද්දිත් මම ලංකාවේ හිටියා.”

“සර් ටෙලිසිනෙත් අතහැරියානේ” මගෙන් බාධාවකි.

“ඔව් මම මැලේෂියාවට ගියේ දෙදහස් ගණන්වල. ඒ වෙද්දිත් එයා ටෙලිසිනෙන් ඉවත්වෙලා මැලේෂියාවට ගිහින් ‘ඇස්ට්‍රො’ (ඕල් ඒෂියා සැටලයිට් ට්‍රාන්ස්මිෂන්) කියන ආයතනය පටන්ගෙන ශිෂ්‍යයන් පුරුදු කරනවා. ඒ රටේ තාක්ෂණය ඉතාම ඉහළයි. අනෙක ජීවත් වීමත් හරිම පහසුයි. මම එහෙ ටික කාලයක් නිකං හිටියේ. ඒත් වෙනත් දොස්තර කෙනෙක් මොනවත් නොකර නිකං ඉන්නේ? විශ්වවිද්‍යාලයට බැඳෙන්නකෝ. මෙහෙ විශේෂඥවරුන්ගේ අඩුවක් තියෙනවා කියලා කීවා. ඉතින් පහුවෙනිදා ඉඳන් අවුරුදු හතරක් නිර්වින්දනය පිළිබඳ කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කළා. ඒ කාලෙත් හරිම සුන්දරයි.”

“මැලේෂියාවේ?”

“හ්ම්... හැමෝම කතා කරන්නේ ඉංග්‍රීසි. ඉතින් භාෂා ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොංකොංවල එහෙම නැ. එහෙ ඉංග්‍රීසි දැනගත්තත් ඒ අය එකතු වුණාම කතාකරන්නේ තමන්ගේ මව්භාෂාව කැන්ටන්වලින්. අවශ්‍ය වුණොත් විතරක් ඉංග්‍රීසියෙන් කියනවා.”

“ඉතින් ඒ භාෂාවත් ඉගෙන ගන්න හිතුවේ නැද්ද?”

“අම්මෝ චීන භාෂාව හරි අමාරුයි. පොඩි පොඩි හඬ වෙනස් කිරීම් තියෙන්නේ. වැරදුණොත් අපේ අතින් මහා භයානක දේවල් කියවෙන්න පුළුවන්.” ඇයගේ සිනාවේ ඇත්තේ භයානක යනු අසැබි දේවල් යන්නට සමාන පදයක් වැනිය යන අදහසකි. ඉන්පසු තරමක් දිග චීන භාෂා පාඩමකි. යළිත් මැලේෂියාවට.

“මැලේෂියාවේ සියයට පනහක් මැලේෂියානුවන්, විසිපහක් චීන, ඉතිරි ටික මිශ්‍රව ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන් පොදුවේ ඉන්නවා හැබැයි ඒ අයගේ රාජ්‍ය භාෂාව මැලේ. ඒ භාෂාව ලියන්නේ ඉංග්‍රීසියෙන් නිසා කියවගන්න පුළුවන්. ඉරිදට ස’ර් වාහනෙත් අරන් හැම තැනම යනවා. ඉතින් දවසක් අපි දෙන්නා වාහනේ යද්දි දිගටම තියෙනවා ‘ජලං සෙහාලා’ කියලා. ජලං කියන්නේ පාර. ඒත් මේ වචන දෙකේ තේරුම මොකක්ද හැම තැනම තියෙන. කියලා ලේකම්ගෙන් ඇහුවාමයි කීවේ ඒ ‘වන්වේ’ කියලා. ඒ අයත් නාඩිවලට කියන්නේ නාඩි. සංස්කෘත භාෂාවෙන් බිඳීලා ආපු වචන හරියට තියෙනවා. එහේ මැලේ අයට තමයි සියලුම රජයේ රැකියා දෙන්නේ. චීන අය ව්‍යාපාරික අංශයේ ඉන්නේ. චීන අය හිත ධෛර්ය ජාතියක්. කවදාවත් ඉස්පිරිතාලෙකදි ඇහුවට රිදෙනවාද කියලා කියන්නේ නැනේ. හොංකොංවලත් වැඩි ජනගහනයක් චීන අයනේ. ඒගොල්ලො බ්‍රිතාන්‍යයට මැතක් වෙනකල්ම යටත් වෙලා හිටියත් තමන්ගේ සංස්කෘතිය වෙනස් කළෙත් නැහැ. අපේ වගේ නෙවෙයි හරිම අධිෂ්ඨානශීලී.” ඒ පිළිබඳ බොහෝ දේ අපි සංසන්දනාත්මකව කතා කරමු. ඉන්පසු පුතා ගැනය.

“89 ජෙවීපී කලබල කාලේ තමයි පුතා ඕලෙවල් කළේ. ඒත් ඉස්කෝල වහපු නිසා එයා රට යවන්න වුණා. සිංහලෙන් සාමාන්‍ය පෙළ කරලා ඉංග්‍රීසියෙන් උසස් පෙළ කරන්න බැරි නිසා තමයි ඇමෙරිකන් ස්කූල් එකකට යවන්න වුණේ. එයා රාජකීය විද්‍යාලයේ. එයාගෙ සිංහල කොහොමත් හොඳ මදි. එයා කියවන්න කැමති වුණෙත් බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගෙනා ඉංග්‍රීසි පොත්. ඉතින් අපි තුන්දෙනා තුන්පොළක. පුතා ඇමෙරිකාවේ, තාත්තා මැලේෂියාවේ, මම හොංකොං. ඔයවගේ පරස්පර තත්ත්ව යටතේ තමයි අපේ ජීවිත ගෙවුණේ. 2005 වෙද්දි තාත්තා කීවා ලංකාවට එන්න ඕන කියලා. ඒ ආපු දවසේ ඉඳන් ගෙදර සෙනඟ පිරිලා. චිත්‍රපටයක් කරන්න, ටෙලි නාට්‍යයක් කරන්න කිය කිය එක එක යෝජනා. අපිට රඟපාන්න දෙන්න කියලා තව කට්ටියක්. ඒත් එයා කිසිම දෙයක් නොකර එහෙමම හිටියා. මොකද එයා කීවේ සිංහල සිනමාව කොහෙද යන්නේ කියලා බලා ඉමු කියලා. අනෙක කීවා වැලිකතර තමයි මගේ අන්තිම නිර්මාණය. මම තව නිර්මාණයක් කරනවා නම් ඒක මම කලින් කරපුවාට වඩා හොඳ වෙන්න ඕනා, ඒත් මට එහෙම කරන්න පුළුවන් වෙයිද දන්නේ නැ කියලා. ඒක නිර්මාණකරුවකුගේ පැත්තෙන් හරි. ඒත් මගේ වෘත්තියේ හැටියට නම් තව තව අත්දැකීම් එකතු වෙනවා දිගටම කටයුතු කිරීමෙන්. ඒ වුණාට එයාගේ පැත්තෙන් ගත්තාම එයා විතරක් නෙවෙයිනේ මේ වැඩේට සහභාගී වෙන්නේ. පිටපත් රචකයෝ, සංස්කරණ ශිල්පීන්, අධ්‍යක්ෂවරු එකතුවෙනවානේ. හැබැයි වැලි කතරේ එයා ඒ ඔක්කොම තනියම කළා.”

“ඒ වැඩවලදි සහයෝගය දෙන්න ලැබුණද අවස්ථාවක්?”

“පිටපත කියවන්න එහෙම නම් මට වෙලාවක් තිබුණේ නැ. ඒත් යන එන ගමන් ඒ අය කතා වෙන දේවල් මට ඇහුණා. චිත්‍රපටයත් බැලුවා. ඒත් අපි මැලේෂියාවේ ගිහින් එද්දි ෆිල්ම් රීල්ස් ටික ඔක්කොම සවුත්තු වෙලා. මම කියුවා මොනවා හරි කරන්න කියලා. එහෙම බලද්දි නෙගටිව් ඔක්කොම විනාශ වෙලා. පස්සේ පොසිටිව්වලින් කරන්න පුළුවන් මොනවද කියලා බලලා චෙන්නායිවල තැනකින් ඩිජිටල් ක්‍රමේට ගන්න පුළුවන් කියලා යන්තම් හදා ගත්තා. ආයෙ බලද්දි හඬපටය සවුත්තු වෙලා. ඒකත් හැදුවා.”

“ඒ අතරනේ සර්...” මම ඉතිරිය නවතා ගමි.

“ඔව් එතකොට රවීන්ද්‍ර ගුරුගේ කියන්නේ කවුද කියලාවත් මම හරියට දන්නේ නැහැ. එයා කිසිම ඇග්‍රීමනට් එකකින් නෙවෙයි චිත්‍රපටය බාර දීලා තියෙන්නෙ. හොඳවෙලාවට ගුරුගේ යහපත් කෙනෙක්. මම ඒ දෙන්නගේ ඊමේල් ඔක්කොම බැලුවා. වෙලාවට මම විශ්‍රාම අරන් හිටියේ. නැත්නම් මට වෙලාවත් නැති වෙනවා. පස්සේ නීතිඥයෙක් හොයලා ඇග්‍රීමන්ට් හදලා ඔක්කොම අලුතින් කරලා තමයි වැලිකතර ආයේ පෙන්වන්න කටයුතු කළේ. චිත්‍රපටය පෙන්නුවට ඒකත් පාඩුයි. මට උපදෙසුත් ලැබුණා වැඩිය පබ්ලිසිටි කරන්න යන්න එපා කියලා.” ඇයට කනගාටුව අබිබවා යන සිනාවක් මතු වෙයි. මම කුතුහලයෙන් බලමි. ඇය හේතුව කියයි.

“ඊයෙ මම ඉස්පිරිතාලෙකට ගියා පොඩි චෙකප් එකකට. ඒ අය මගේ නම දාලා තියෙන්නේ මිසිස් නිහාල් සිල්වා කියලා. මම කිව්වා මගෙ නම නිහාල්සිංහ, ඕගොල්ලො කවදාවත් අහලා නැද්ද එහෙම නමක්. ඒ අය කියනවා නැ අපි අහලා නැ ඒකද සර්නේම් එක කියලා. පස්සේ මම කීවා ලංකාවෙ හිටිය එකම නිහාල්සිංහ මගේ මහත්තයා මට විතරයි දැන් ඒ නම තියෙන්නේ කියලා. මොකද පුතාත් ඕස්ට්‍රේලියාවෙනෙ. මම දන්නවා නිහාල් සිල්වා කියලා නළුවෙක් හිටිය බව. ඒත් අද තරුණ පරපුර මේ දේවල් ගැන අහලාවත් නැහැ. එක අතකට චිත්‍රපටයට ලොකු වියදමක් කරලා පබ්ලිසිටි දෙන එකත් තේරුමක් නැහැ තමයි. මම දන්නේ නැහැ ඉතින් ඒක. හැබැයි මම චිත්‍රපට හදන මූලික දේවල්, අධ්‍යක්ෂණය, කැමරාව, පිටපත ලියන හැටි ඒවා ටිකක් දන්නවා. මොකද මට බලාගෙන ඉඳලා යමක් තේරුම් ගන්න පුළුවන් නිසා. අපි බැඳපු අලුතම තමයි එයා කළ වාර්තා වැඩසටහනක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේදි පළමුවෙනියා වුණේ. ඒකාලේ මමත් හිටියා ළඟම. ඉතින් ඒකට නමක් හොයද්දි තමයි භක්ති කියලා දැම්මේ. ඒත් බුද්ධ ධර්මයේ ඇත්තෙන්ම භක්ති කියලා වචනයක් නැහැ. ඒක හින්දු ආගමේ අන්ධ විශ්වාසයට කියන වචනයක්. ශ්‍රද්ධා තමයි නිවැරැදි වචනය. අනෙක තාත්තා (ඩී.බී. ධනපාල) දවස පත්තරේ එහෙම හිටිය මාධ්‍යවේදියෙක් නිසා එයාගේ වැඩවල ප්‍රසිද්ධියට ලොකු තල්ලුවක් ලැබුණා. මිලිමීටර් 16 කැමරාව පවා තාත්තා ගෙනත් දුන්නේ. හැබැයි ගැඹුරු දැනුමක් බුදු දහම ගැන එහෙම තිබුණේ නැහැ. මේ ගෙදරට ආවට පස්සේ දවසක් මාත් එක්ක හීල් දානයක් දෙන්න ගිහින් හාමුදුරුවෝ පොරොන්දුවක් ගත්තා වෙසක් එකට සිල් ගන්නවා කියලා. එදා එයා කීවා අද තමයි මම හරි බෞද්ධයෙක් වුණේ කියලා. ඊට පස්සේ පොසොන් එකටත් සිල් ගත්තා. “

“සම්බන්දෙ පටන්ගන්න කාලෙත් ෆිල්ම්ස් එහෙම බලන්න ගියාද?”

“නෑ. කොහෙද අපට වෙලාවක්. දෙන්නම ඉගෙන ගන්නවනේ. ඒත් ලියුම් ලීවා. හැබැයි ලියුම්වලත් පොඩි භයානක පැත්තක් තියෙනවා. වචන හරියට යෙදුවේ නැත්නම් වැරදි අවබෝධයක් එන. ඒවා ඉතින් එහෙමම හරියනවා. එයාගෙ තද අධිෂ්ඨානයක් තිබුණා මම තමයි එයාගේ බිරිඳ වෙන්න ඕනා කියලා. ඕගොල්ලන්ගේ නුවන් නයනජිත් ලොකූ පොතක් ලීවා කාලයක් තිස්සේ නිහාල්සිංහ අපදානය ගැන. අන්න ඒකේ තියෙනවා ඕවා. අද වගේ මොබයිල් ෆෝන්ස්වත් නැනේ.” එසේ කියන ඇයට යළි තම වෘත්තිය සිහිපත් වෙයි. එනිසා උපදේශනයකි.

“දන්නවද මොබයිල් ෆෝන් පාවිච්චිය මත්ද්‍රව්‍ය හා සමානව මොළේ රසායනය වෙනස් කරනවා කියලා. ඒකට ඇබ්බැහි වෙන්නේ ඒ නිසයි” ඒ පිළිබඳ දිගු එහෙත් වටිනා දෙසුමකි. පසුව මම අසමි.

“සර්ගෙ නිර්මාණවලින් කැමතිම ඒවා තියෙනවාද?”

“රිදී නිම්නයේ තේමාවට මම කැමතියි. සත්සමුදුරත් හොඳයි. නිර්මාණ හැටියට වැලිකතර කෙළිමඬල හොඳ වුණාට මම එච්චර ආසා නැ. කෙළි මඬලනම් අපෝ දේශපාලකයන්ගේ දේවල් මම කැමතිම නැහැ. මට ඕනේ අවසානයේ නැඟී හිටින්න. ජීවත් වෙන්න.”

“ඔබතුමියගේ වෘත්තිය නිසාද?”

“හරියට හරි. අපි හැමතිස්සෙම බලන්නේ කෙනෙක් ජීවත් කරවන්න. සිහි නැතිවුණ කෙනා ඇස් අරිනකොටයි අපට සතුටු. මැරෙන ඒවාට මම කැමති නැහැ. මම හරි අධිෂ්ඨානශීලී කෙනෙක්. මොනවා වුණත් නැඟී සිටින්නයි මට ඕනා. මගේ ජීවිතේ මම සැලසුම් කරපු විදිහට තමයි ඉගෙන ගත්තේ, පුතා ලැබුණෙත් විභාග ටික ඉවර කළාට පස්සෙ. අපේ වෘත්තිය කලාව වගේ ප්‍රසිද්ධ නූනට අතිශයින්ම සියුම්, වගකීම් සහිතයි. මට හුඟක් දේවල් හරියටම වෙලාවටම කෙරෙන්න ඕනා. ඒක මට පාඩුවට ඉඳලත් තියෙනවා. ඒත් අපේ වෘත්තිය අනුව පොඩි වැරැද්දක්වත් වුණොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. එයාටත් ඒ ගතිය නම් තිබුණා. හැබැයි මම තරම්ම අකුරටම පර්ෆෙක්ෂන් බලන්නේ නැහැ. එයාගේ යාළු කලාකරුවන් ගොඩදෙනකුගේ අනතුරුවලදි, තුවාලවලදි උදව්වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. එයා මම ඉස්පිරිතාලේ වැඩ කරන හැටි දැකලා තියෙන්නේ දුර ඉඳන්. ඒක ඒ තරම් කලාත්මක දෙයක් නෙවේනේ. එයා මැලේෂියාවේ හිටිය පුරුද්ද නිසාද කොහෙද හොඳම වටිනම දේවල් තමයි ගන්නේ. බෙන්ස් කාර්. පෝෂෙ එකක් ගන්න ගිහින් නම් මම කීවා ඒකෙ පෙනුමට මම ආසා නැ කියලා. අනෙක පාර්ක් කරන්න ගියාමත් කරදර. මම ආසා සරල පොඩි වාහනවලට. “

“ ජීවත්වෙන එකට ආසා කෙනෙක් කොහොමද..?” මට කියා ගත හැක්කේ එපමණකි. ඇගේ දෙනෙත මා නොසිතූ ලෙස දිලිසී යයි. එය සඟවා ඇය පැනය මා වෙත යොමු කරයි.

“නැඟිටින්නේ නැති වෙනවා බලන් හිටියේ නේද? ඔයා හිතන්නේ මොකක්ද ඒ පිටුපස තිබුණු ශක්තිය?”

“බුඩිස්ම්” මම ස්ථාවර ස්වරයෙන් කියමි.

“යස්. නතිං එල්ස් බට් බුඩිස්ම්” ඇය දැඩි සේ එය ස්ථිර කරයි. එහෙත් හඬ පිට වන්නේ කඩින් කඩය.

“ඉපදුණොත් කෙනෙක් කවදාහරි කොහෙදි හරි කොහොම හරි නැති වෙන්නම ඕනා බව මම අවබෝධ කරගෙන හිටියේ. ඒ නිසා දරාගන්න පුළුවන් වුණා. මම ඒ වෙලාවේ සිල් අරන් හිටියේ. මම ආසයි හැම තිස්සේම බුද්ධිය වැඩෙන දෙයක් කරන්න. ගෙදර වැඩකරන කෙනෙක් කෝල් කළාට මම කට් කළා. ඒත් ගෙදර නම්බර් එකෙන් ආවාම මම කාර් එක අරන් ආවා. මම එද්දි ඔළුව පැත්තකට වැටිලා ඉඳගෙන ඉන්න පුටුවෙම. අපේ අසල්වැසියන් හරිම හොඳයි. ඒ අය උදවු වුණා. මේක හදිසි හෘදයාබාධයක්. මම ගෙදර හිටියා නම් තත්ත්වය වෙනස් වෙයිද මට කියන්න බැහැ. ඒත් ඒක දෛවයනේ. හාමුදුරුවෝ මතක වස්ත්‍ර පූජා කරද්දි බැනර්වල තිබුණ අරක මුලින් කළ මේක මුලින් කළ කෙනා කියන දේවල් දැකලා දේශනා කළේ හැම දෙයින්ම පළමුවෙනියා වෙච්ච නිහාල්සිංහ දෙවැනියා වුණේ මාරයාට විතරයි කියලා. මම ඒ වෙලාවට කළ යුතු දේ කරලා අවසාන කටයුතුත් කරලා ගෙදර තනි වුණාම තමයි ඒ පාළුව දැනෙන්න ගත්තේ. එයා, මම, අපි කරපු දේවල් මුකුත් නැ දැන් මම තනි වුණා. එදා නම් සෙනඟ හිටියා. අද බල්ලෙක්වත් කතා කරන්නේ නැ. ඒ ගැන මට කනගාටුවකුත් නැ. මොකද මම දෙයක් කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. පළමුවෙනි දානෙට සෙනඟෙන් බාගයයි, දෙවැනි එකට කාලයි. ඉතින් මේ සැරේ මම කාටවත් කියන්නෙත් නැ. මම ඉදිරියටත් එයා වෙනුවෙන් කළ යුතු දේ කරනවා. එයා බොහෝ දේ අලුතෙන් පටන් ගත් කෙනෙක්. චිත්‍රපට වගේම ටෙලිවිෂන් වුණත් කවුරුත් උගන්නලා නෙවෙයිනේ. තමන් විසින්ම කළ දේවල්. අලුත් දේ සොයාගත්, හඳුන්වා දුන් කෙනෙක්. එහෙම පෞරුෂයක්, හැකියාවක් තියෙන දෙන්නෙක් හදන්න බැහැ.”

අපේ මාතෘකාව සාධාරණීකරණය කරන්නට හොඳම වචන පෙළ ඇය අවසානයේ තෝරා ගන්නීය. සමු දී එන අතර මට සිතේ. සමහර යුග පුරුෂයන්ගේ සෙවණේ නිහඬව යුග ස්ත්‍රීහුද සිටිති.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.