නාඩගම් නොකර පාරේ යමුකො මෙයා ජෝඩු දමා

නොවැම්බර් 29, 2018

මහා දානපති චාල්ස් ද සොයිසා විසින් බ්‍රිතාන්‍ය රාජකීයන් වූ ඇල්ෆ්‍රඩ් කුමරු හමුවේ ඇහැලේපොල නාඩගම රඟදැක්වීම සඳහා රචනා කරවන ලද්දේ පිලිප්පු සිඥෝ ලවාය.පිලිප්පු සිංඤෝ මෙරට නාඩගම් කලාවේ පියා ලෙස හැඳීන්වේ. මෙරට මුද්‍රණ ද්වාරයෙන් එළි දුටු මුල්ම නාඩගම් පිටපත වනුයේ ද ඇහැලේපොල නාඩගමයි. ඒ 1870 වසරේ දීය. එපමණ වියදම් කළ ද චාල්ස් සොයිසා ට හෝ ඔහුගේ බාප්පාට නයිට් පදවියක් ලැබුණේ නැත. නයිට් පදවියට පෙරාතුව චාල්ස් ද සොයිසා මිය ගියේය.එම මරණය බල්ලෙකු විසින් සපාකන ලද්දකින් සිදුවූවකි.(ඒ පිළිබද අතුරු කතාවක් ද වෙයි).චාල්ස් ද සොයිසා ගේ මරණයෙන් පසු ඔහුගේ භාර්යාව කැතරින් ද සොයිසා ගේ අනුදැනුම මත සී.දොන් බැස්ටියන් විසින් සොයිසා චරිතය ලියන ලදී. බැස්ටියන් යනු නාඩගම් යුගය නිමා කොට ගොඩ නැගූ නූර්ති යුගයේ නිර්මාතෘ වරයා විය. චාල්ස් ද සොයිසා ගේ පරිත්‍යාගයෙන් ගොඩ නැගුණ දෑ බොහොමයකි.කොළඹ මහා රෝහල, ලේඩි රිජ්වේ රෝහල, මොරටුවේ වේල්ස් කුමාර විදුහල, ආදි බොහොමයක් චාල්ස් ද සොයිසා ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩ නැගුණ දේ අතර වෙයි. මිය යන විට ඔහු මෙරට ජීවත් වූ ඉහලම ධනවතාය.

 

එමෙන්ම සී.දොන් බැස්ටියන් ද සමකාලින සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්වූවෙකි. නාඩගම් යුගය නිමා වන විට ඒ පිළිබද ගොඩනැගුණ සමාජ මතවාද යහපත් තත්වයක නොවිය. නාඩගම් නැරඹීම සඳහා කාන්තාවන්ට කිසිවිටෙකත් අනුබලය නොලැබිණ. එමෙන්ම නාඩගම් පොළ වටා ඇතිවුණ වෙනත් අවකල් ක්‍රියා බොහෝදෙනාගේ අපවාදයට ලක් විය. නාඩගම් යනු දුරාචාරවලට රුකුලක් ලෙස සැලකීමට තරම් මතවාද සමකාලින සමාජයේ පැතිරණ. ලක් රිවි කිරණ පුවත්පතේ නාඩගම් පිළිබඳ ඇති මත ගැටුමක් වසර හතරකට වැඩි කාලයක් පැවතිණ. එය ආරම්භ වනුයේ කොළඹ මල්වත්ත පාරේ නාඩගම් රඟ දැක්වීමට අවසර දීමත් සමගය. පිටකොටුවේ මල්වත්තේ නාඩගමක් රඟදැක්වීමට යෝජනා කිරිම මෙරට ඉතිහාසයේ වැදගත් වූ ද සංකේතාත්ම සිද්ධියක් ලෙස සිංහල නාට්‍ය ඉතිහාසය ලියන හපුආරච්චි මහතා පෙන්වා දෙයි.ඒ මහතා එලෙස පෙන්වා දෙන්නේ එමගින් ග්‍රාම්‍ය නාට්‍ය ලෙස නාගරිකයන් විසින් හෙළා දක්නා ලද නාට්‍ය වර්ගයකට අග නගරයේ ප්‍රමුඛස්ථානයක් දීම පමණක් නොවේ.එය වෘත්තිය මට්ටමේ නැතහොත් ව්‍යාපාරික මට්ටමෙන් ගොඩ නැගෙන්නට එමගින් ලැබුණ ඉඩකඩ ද සළකා බැලීමෙනි. නාඩගම් වාදය හමාර කරමින් 1877 මාර්තු 17 වැනි දින ලක් රිවි කිරණ පුවත්පතේ කතුවරයා පළ කරන අදහස මෙරට නට්‍ය කලාවේ අනාගතය සවරූපය පිළිබද අනාවැකියක් ලෙස හපු ආරච්චි මහතා පෙන්වා දෙයි. ලක් රිවි කිරණ කතුවරයා උදක්ම පෙන්වා දෙන්නේ නාඩගම් සවස වේලාසනින් පටන්ගෙන රාත්‍රි එකොළහට අවසන් කළ යුතු බවය. නාඩගම් බලන්නට එන අයට ඉදුම් හිටුම් දී මුදල් අය කළ යුතුය. මුදල් අය කළ ව්ට “පාදඩ ජනයා“ නොපැමිණෙන බැවින් කල කෝලහාල ඇති නොවන බවත් එමගින් නාඩගම් පවත්වන්නන්හට ආදායමක් ද ලබා ගත හැකි බවත් කතුවරයා පෙන්වා දෙයි. එමෙන්ම මෙරට වැසියන්ට පිළිගත හැකි නාට්‍ය වර්ගයක් බිහි කිරිම ද මේ කාලයේ අවශ්‍යතාවක් විය. ඒ වන විට බොහෝ විදෙස් නාට්‍ය හා සංදර්ශන කණ්ඩායම් නිරන්තරයෙන් කොළඹට පැමිණ විවිධ සංදර්ශන පවත්වා මුදල් රැගෙන යෑම ද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් විය. සී.දොන් බස්තියන් ජයවීර ගේ සිංහල නෘත්‍ය සමාගම පිළිබද ලියන බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමිපානන් සිංහලෙන් නූර්ති රඟ දැක්වීම යහපත් කොට සලකන්නේ ‘අනෙක් පරදෙස් වැසියන් පැමිණ දන පැහැරගෙන කරන ලද අයස“ හේතු කොට දක්වමිනි.

1852 පෙබරවාරි 18 වැනි දින කොළඹ දී උපත ලබන කලුතන්ත්‍රිගේ දොන් බස්තියන් ජයවීර වස්කඩුවේ සුභූති හිමි,හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි හා වැලිගම ශ්‍රී සුමංගල නායක හිමිපානන් වැනි ප්‍රවීණ යතිවරුන් වෙතින් ප්‍රාචින භාෂා ශාස්ත්‍රය උගත්තෙකි. “සී.දොන් බස්තියන් අපදානය“ ලියන හෙන්රි වීරසිංහ දහනායක ඔහු රාජකීය විදුහලේ ඉගෙනුම ලැබුවෙකු බව පවසයි. ඔහුගේ පියා පාසල් ගුරුවරයෙකු ව සිට පසුව ව්‍යාපාරිකයකු වූ දොන් දාවිත් ජයවීර බණ්ඩාරය. රජයේ මුද්‍රණාලයේ රැකියාව කළ බස්තියන් පිටකොටුවේ තරුණයන්ගේ සදාචාරය හා භාෂා ව වැඩි දියුණු කිරිමේ අරමුනින් ඥානාභිවෘද්ධි සංගමය නම් සමිතියක් 1872 වසරේ දී පිහිටුවනු ලැබුවේය. අනතුරුව ඔහු පිටකොටුවේ සියලු ජාතින්ට අයත් තරුණයන්ට සිංහල භාෂාව නොමිළයේ ඉගැන්වීමෙහි යෙදිණ. 1872 වසරේ දී පුණ්‍ය සංවරී නමින් රාත්‍රි පාඨශාලාවක් ද බැස්ටියන් විසින් අරඹන ලදී. ඉරු දින දහම් පාසල් පිහිටුවීමේ කාර්යයෙහි ද කැපවුණ බැස්ටියන් වෙසක් උත්සවය නිමිති කොට ප්‍රීති ගායනා සමිති ආරම්භ කිරිමේ ද පුරෝගාමි වූයේය. දා සයුර නමින් භාෂා ග්‍රන්ථයක් ද අක්ෂර ශික්ෂාව, ඔවා මුත්හර (දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමන්ගේ දියනිය, අනගාරික ධර්මපාල තුමන්ගේ සොයුරිය දෝන එංගල්තිනාගේ විවාහයයේ දී තුටු පඬුරක් ලෙස පිළිගැන්විම සඳහා), දේවකථාලංකාරය, සභාරත්නය, ශ්‍රී දේවි, දාරක සංග්‍රහය, ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ අතරින් කිහිපයකි. ඔහුගේ අවසන් ග්‍රන්ථය වන ශොක විනෝදනය බෞද්ධ මළ ගෙවල දී කියැවීම සඳහා රචනා කරන ලද්දකි. එය මුල්වරට කියවන ලද්දේ 1921 පෙබරවාරි 7 වැනි දින එනම් බැස්ටියන් ජයවීර මිය ගිය අවස්ථාවේදීය. ද සොයිසා චරිතය පොත කෙරෙහි සොයිසා පවුල කෙතරම් පැහැදුණා ද යත් සොයිසා පඩුර නමින් සුවිසල් නිවහනක් ද බැස්ටියන් ජයවීරට තිළිණ ලෙස ලැබිණ. තරුණ වියේදීම බැස්ටියන් ජයවීර ලද කීර්තිමත් නාමය නිසාම පිටකොටුවේ සිටි සිංහල ව්‍යාපාරිකයන් මෙන්ම සමකාලින උගත් ප්‍රභූ පන්තියේ ද අනුග්‍රහය ඔහුට ලැබිණ.

බැස්ටියන් ජයවිර මෙරට මුල්ම නූර්ති නිර්මාණකරු වනුයේ රොලීනා නාටකය 1877 වසරේ දි වේදිකා ගත කිරිමත් සමගය. ඒ අතරවාරයේ ඔහු 1895 වසරේ දී දිනපතා ප්‍රවෘත්ති පුවත්පතේ මෙන්ම ඉර උදාව (1908) පුවත්පතේ කතුවරයා ලෙස ද කටයුතු කළේය. පුවත්පත මුද්‍රණය වූයේ ඔහු විසින්ම ආරම්භ කරන ලද ලක්දිව මුද්‍රණාලයේය. එය පිහිටියේ පිටකොටුවේය. ඔහුගේ නාට්‍යය අතර රොම්ලිනා, රෝමියෝ ජුලියට්, ෆ්‍රැන්ක්ලෝ සහ ඉංගර්ලි, සිංහබා, ස්වර්ණතිලකා, ෂූලා හෙවත් කපටි බෑණා ආදි නාට්‍ය කැපී පෙනෙයි. එහෙත් ඔහු සිය ජීවිතයේ අවසාන කාලයේ දී නාට්‍ය කලාව කෙරෙහි කලකිරිණ. ඔහුගේ සහායකයා වූ ඩී.බර්තොලමියුස් සමග ඇති වන මතගැටුම ඔහුගේ කලකිරීමට හේතු වූ වගක් පෙනෙයි. බර්තොලමියුස් බැස්ටියන්ගේ පුණ්‍ය සංචරී පාසලේ සිසුවෙකි. පසුව නාට්‍ය කණ්ඩායමේ මෙන්ම දිනපතා ප්‍රවෘත්ති පුවත්පතේ කළමනාකාරවරයා ද වන බර්තොලමියුස් එයින් ඉවත් කෙරිණ. දිනපතා ප්‍රවෘත්ති පුවත්පතේ උප කතුවරයෙක් ලෙස කටයුතු කළ බෙන්තොට ඇල්බට් සිල්වා ද පසුව එයින් අස්වූයේය . බැස්ටියන් ජයවීර ගේ අලිබබා සහ හොරු හතළිහ රචනා කරන ලද්දේ ඇල්බට් සිල්වා ගේ ද සහාය ඇතුවයැයි සැක කළ හැකිය. ඒ 1894 වසරේ දී සිංහලෙන් පළවුණ අරාබි නිසොල්ලසාය ග්‍රන්ථයේ සිංහල පරිවර්තකයා බෙන්තොට ඇල්බට් ද සිල්වා වන හෙයින්ය. ඇල්බට් සිල්වා අරාබි නිසොල්ලාසය ලියන්නේ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු වන එන්.එස්.ප්‍රනාන්දු ගේ ඉල්ලීම මතය.

එන්.එස්.ප්‍රනාන්දු විසින් අරාබි නිසොල්ලාසය මුලින් පරිවර්තනය කර ගැන්මට සැළසුම් කළේ තෝමස් පණ්ඩිතරත්න පණ්ඩිත මහතා ලවාය. කරුණාරත්න මහතා එම කටයුත්ත අතහැරි නිසා ඇල්බට් සිල්වාට එය පැවරූ බව 1894 සැප්තැම්බර් 13 වැනි දින නිකුත් වූ එම ග්‍රන්ථයට සංඥාපනයක් ලියමින් ප්‍රනාන්දු පවසයි.

මෙරට නෘත්‍ය කලාව ගොඩ නැංවීමේ දී කාන්තාවන් කරළියට පිවිසීමත් ශාලා ඉදිවීමත් ඊළග යුගයේ එළැඹෙන සිනමාවට මහත් රුකුලක් විය. බස්තියන් ජයවීරගේ නෘත්‍ය ව්‍යාපාරය පමණක් නොව මෙරට නෘත්‍ය ඉතිහාසයට මග පෙන්වා දෙන්නේ විදෙස් නාට්‍ය කණ්ඩායම් මෙරටට පැමිණීමත් සමගය. ඔවුන් සමග නාට්‍ය පමණක් නොව හින්දුස්තානි රාග ඇතුව සැදුණ සංගීතයද නාට්‍ය අලංකාර ගැන්ම සදහා ප්‍රාග් සිනමා උපකරණ ද මෙරටට පැමිණීම විශේෂයකි. මේ හින්දුස්තානි සංගීතයට වසඟ වූවන් අතර බැස්ටියන් ද විය. එයින් ප්‍රාණය ලබන බැස්ටියන් පසුකලක ගඳඹ සතර හල නමින් සංගීත පාසලක් ද පිහිටුවාලයි. ඔහු විසින් රචනා කරන ලද ස්වර්ණතිලකා රොම්ලිනා හා අලිබබා වැනි නාට්‍යයන්ගේ ගීත ග්‍රැමෆෝන් තැටියට ද නැගිණ. සී දොන් බැස්ටියන් සිය නාට්‍ය නිර්මාණය බිහි කරලනුයේ විදෙස් නාට්‍ය නැරඹීමෙන් ලද උත්තේජනයෙන් පමණක් නොව එයට එරෙහිව මෙරට කලාවන් ගොඩ නැංවිය යුතු නිසා බැව් ඔහුගේ චරිතාපදානය විමසන්නෙකුට පැහැදිලිව පෙනෙන කරුණකි. බැස්ටියන්ගේ ජීවිතය විමසන්නෙකුට ඔහු සද්භාවයෙන් ක්‍රියා කෙරූවෙකු බව පැහැදිලිය.අමද්‍යප සටන ඇතුළු ජාතික මෙහෙවරෙහි බැස්ටියන් ජයවීර ද කැපී පෙනෙන නායකයෙකු විය.ඔහුගේ මරණයත් සමග බිරිය ඇතුළු දරුවන් පස්දෙනෙකු අසරණ වූ බව ලක්මිණ පුවත්පතේ කතුවැකිය සදහන් කරයි.එබැවින් අනුකම්පාව ටොන් එකකට වඩා අවුන්සයක ආධාරය ජයවීර පවුලේ අයට වැදගත් බව කතුවරයා සඳහන් කර තිබිණ.එහෙත් ආධාර අවුන්සය හෝ නොලැබුණ බව බස්තියන් අපදානය ලියන දහනායක මහතා හෙළිදරව් කරයි. ඔහුගේ පුත් රෝලන්ඩ් ජයවීර බණ්ඩාර රාජකීය විදුහලේ ආදි සිසුවෙකු විය.ඔහුගේ සමකාලින සිසුන් අතර ජේ.ආර්.ජයවර්ධන,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා,බර්නාඩ් සොයිසා වැනි කීර්තිමත් දේශපාලනඥයන් විය. රාජකීය ශිෂ්‍ය නායකයකු ද වූ ඔහු භාෂාවන් පිළිබඳ විශාරද දැනුමෙන් යුක්ත වූ අතර බොක්සිං ක්‍රිඩකයකු ලෙස ද පතළ ව සිටියේය.පසුව එම විදුහලේම ගුරුවරයකු ලෙස සේවය කළ ඔහු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාගේ ඉල්ලීම පරිදි රජයේ සේවයට අවතීර්ණය ව දෙහිවල, තලාතුඔය, හොරණ , මරදාන මධ්‍ය මහා විදුහල් රැසක විදුහල්පති ධුරය හෙබ වූ වග බැස්තියන් අපදානයේ සඳහන්ය.

පිටකොටුව කොළඹ බැස්ටියන් මාවත එනමින් නම් කෙරුණේ සී.දොන් බැස්ටියන් සිහිවන්නට යැයි සිතමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.