සිනේත්‍රා හැදෙන හැටි බලන්න රූපවාහිනියට ගියෙමු

මැයි 30, 2019

කාර්යබහුල ජාතික රූපවාහිනි සංස්ථාවේ මැදිරි අංක 3 හි වෙනදාටත් වඩා වැඩ අධික සැටියකි. හෝරා කිහිපයක පටන් එය දශක පහකට වඩා පැරැණි ඉතිහාසයකට ගෙන යන්නට වැර දරන්නෝ රැසකි. එක් පසෙකින් ලහි ලහියේ කටයුතුවල නිරත කාර්යය මණ්ඩලයයි. එදා ගොළු හදවත දිවුණු පුළුල් තිරය පුංචි තිරයට හසු කර ගැනීමට තෙවැනි ඇස භාර කැමරා ශිල්පීන් දරන වෙහෙස සුළුපටු නොවේ. ගී වැලක් අමුණා නොතිබුණ ද ගොළු හදවතෙහි තේමා වාදනය ඒ අඩුව මැකූ සැටියකි. එහෙයිනි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මැවූ ඒ නිමැවුම පිළිබඳ විමසුම් කරන්නට සිනේත්‍රාවට ආචාර්ය කේමදාස ඇසුර ලැබූ සමන්ත පෙරේරාට ද ඇරයුම් කොට තිබුණේ. ශබ්ද පටිගත කරන්මෝ ද ඊට නොදෙවැනි උත්සාහයක.

රූපවාහිනී මැදිරියේ එක් අන්තයක සමන්ත වාදක මණ්ඩලය සමඟ එහි පෙර පුහුණුවීම්වලය. මේ අතර වාරයේ ධම්මි සමඟ වරක් (විජේරත්න වරකාගොඩ ) ගොළු හදවතෙහි රසමුසු වතගොත හාරවුස්සමින් සිටියි. අල්ල පනල්ලේ රූපවාහිනියේ වේශ නිරූපණ අංශයටත් අධික වැඩය.

එදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ගොළු හදවත රිදී තිරයට අමුණන්නට දිරි දුන් තවත් අයෙකි උපාලි පෙරේරා. එහි සහාය අධ්‍යක්ෂවරයා ඔහුය. ඒ ඒ චරිත දර්ශන තලයේ මවද්දී විඳි අත්දැකීම් පිළිබඳ අදටත් උපාලි ඔහුගේ මතක පොත පෙරළන්නේ සිනහ මුසු මුහුණිනි.

සිනේත්‍රාවේ සුවිශේෂය එයම නොවේ. දුරාතීතයේ ජනාදරයට පත් මෙවන් සිනමා කෘති පිළිබඳ නූතනවාදී විචාරකයන් ද එක් කිරීමට ද උත්සාහ දැරීමය. ඒ වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේ විචාරක විදර්ශන කන්නන්ගරය. පුංචි තිරයේ ඒ කතාබහට කලින් මේ පිරිස කැමරා ඇස යොමු වන්නට පෙර ඔවුනොවුන් අතර බෙදා හදා ගත් හරබර අදහස් එමටය.

ඔයින් මෙයින් කල් ගෙවෙද්දි ගොළු හදවත සිනේත්‍රාවට ගෙනෙන්නට වැර දැරූ මාවෝ ලක්ෂිත සහ නිලාර් එන්. කාසිම් දෙදෙනාටම මුහුණදීමට සිදු වුණේ අනපේක්ෂිත සිදුවීමකටය. ඒ ගොළු හදවතේ සංස්කාරණ ශිල්පිනිය මෙන්ම එහි අදියුරු ආචාර්ය ලෙස්ටර්ගේ ජීවන සහායිකාව වූ සුමිත්‍රා පීරිස්ගෙන් ඇමතුමක් ලැබීමත් සමඟය. ඉන් කියැවුණේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇයට මේ වැඩසටහනට එක් වන්නට ඉඩ නොලැබෙන බවයි.

සැබැවින්ම එවැනි සිද්ධියකදී කල් තබා සැලසුම් කළ රූපවාහිනී පටිගත කිරීමක් යළි අලුතින් හැඩ ගැස්විය යුත්තේය. ඒ වගකීමෙන් බැඳුණු මාවෝ - නිලාර් දෙදෙනා ඉන් කලින්ටත් වඩා කඩිසර කරනු ලැබිණ. එහෙත් ඒ අවහිර බාධා පන්නරයක් කර ගත් සිනේත්‍රා පිරිවර අපූරුවට එකම මැදිරියකට ඒ සියලු රස ගැළපුහ. ඉනික්බිතිව එය ආලින්දයේ සිට නරඹා එම වැඩ සටහනකින් විවිධ රස විඳිය හැකි නිර්මාණයක් බවට ද පත් කළහ.

ගොළු හදවත වෙනුවෙන් එහි සහාය අධ්‍යක්ෂවරයා වූ උපාලි පෙරේරා එකල තාක්ෂණයෙන් ඔබ්බට ගොස් දර්ශන තලයේ රසමුසු තැන් ද පුංචි තිරයට ගෙන ආවේය. වරක්ට (විජේරත්න වරකාගොඩ) ගොළු හදවතේ දර්ශන තලය අදටත් මැවී පෙනෙන්නකි. ඔහු ඒ රූප එතරම්ම සජීවීව වචනයෙන් විස්තර කරයි.

විදර්ශන කන්නන්ගර නූතවාදී විචාර ඇස අඩ සියවසකට වඩා පැරණි ගොළු හදවත චිත්‍රපටය දෙසට හැරවීය. එය සෙසු නළු නිළියන්ගේ කතාබහ සිනේත්‍රාවට එක් කළ රසයට වඩා තරමක් වෙනස් කියවීමකි. මේ කතාබහ මැදින් සංගීත රාව රස ගැන්වුණේ සමන්ත පෙරේරාගේ මෙහෙයවීමෙනි. එහෙත් බොහෝ විට තිරයෙන් පසුපස සිට තම වැඩ කොටස ඉටු කරන සමන්ත පෙරේරා මැදිරියේ අසුන් ගන්වා ඔහුගේ හඬ අවදි කරවීමට ද සිනේත්‍රාව අමතක නොකළේය.

මේ සියල්ල අතරේ ගොළු හදවතේ ධම්මි ඒ පැරැණි සිනමාවේ තතු අද කෙසේ දකිනු ඇතිදැයි ප්‍රේක්ෂකයන් සිතනු ඇත. එහෙත් ඒ වග දැනකියා ගැනීමට අපට තව වැඩි කාලයක් මඟ බලා සිටින්නට සිදු වන්නේ නැත. ඒ අනිද්දා (1) පෙරවරු දහයට ජාතික රූපවාහිනිය ඔස්සේ මේ වැඩසටහන නැරඹිය හැකි නිසාය. එහෙත් එතෙක් තව තවත් අපේක්ෂා දල්වන්නටද අපේ කතා නායිකාව අමතක නොකළාය. ඒ පසුගියදා ජාතික රූපවාහිනියේදී සිදු කළ මේ වැඩ සටහන පිළිබඳ එක්තරා උදානයක් පවසමිනි. ඈ එහිදී තෙපලුවේ එතෙක් මෙතෙක් ගොළු හදවත පිළිබඳ ඇයගේ මතක ගබඩාවේ දශක පහක් පුරා මෙවන් මතක සිතුවමක් නොවූ බවය. එතරම්ම චමත්කාරයක් මැවූ ගොළු හදවත පිළිබඳ සිනේත්‍රා රූපවාහිනී රසබර අලුත්ම අලුත් කතිකාව මඟ නොහැර නරඹන ලෙස එහි නිර්මාණ පිරිවර ප්‍රේක්ෂක ඔබට ආරාධනා කර සිටින්නේ එහෙයිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.