පවුල් ගසේ තෙවැනි අත්ත

ලෝකයේ විශාලතම කලා පවුල් ගස ලංකාවේ... සාමාජිකයන් ගණන සියයට අධිකයි
අප්‍රේල් 1, 2021

ලෝකයේ ලොකුම කලා පවුල් ගස තිබෙන්නේ ශ්‍රී ලංකාවේය. එය අපට ආඩම්බරයට කරුණකි. ඉකුත් සති දෙක තුළදී අපි එම පවුල් ගසේ සමාරම්භය සහ එහි අතු රිකිලි බෙදී ගිය අන්දම පිළිබඳ තතු විත්තිි ගෙන ආවෙමු. මේ එම පවුල් ගසේ කතාවේ තෙවැනි දිග හැරුමයි...

ඉකුත් සතියේ මේ ලිපිය අවසන් කළේ ඉන්දියාවටද අපේ පවුල් පරම්පරාව නෑකම් වන බවට ඉඟියක් ලබාදෙමිනි. පළමු ලිපියේදී ඒ පිළිබඳ කෙටි හැඳීන්වීමක් තිබිණ. ඒ ගායක ටී ෂෙල්ටන් පෙරේරාගේ බිරිය, ඉන්දියානු ජාතික ශෂී පෙරේරා ගැන සඳහන් කරමිනි. මේ ශෂීට බාල සොයුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු වන්නේ නැසීගිය චංකි ඉපලවත්තයි. ඔහු මෙරට සිනමාවේ සිටි ජනප්‍රිය රංගන ශිල්පියෙකි. චංකි විවාහවූයේ සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසද නමක් දිනාසිටි බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ දියණිය වූ ශමිලා ප්‍රනාන්දු සමඟිනි. එලෙස බලන කල බැප්ටිස්ට්ද මේ පවුල් ගසට එකතුවේ. චංකී, ශමිලාගේ දියණි කවීතා අංජලීය. ඇයද රංගන ශිල්පිනියක් ලෙස සිය ගමන ආරම්භ කොට තිබේ. ඒ ලාල් ප්‍රියදේවගේ අපට සැදුණු අපේ ලෝකය සිනමාපටයනි. එම සිනමාපටයේ බැප්ටිස්ට්ගේ තවත් මුනුපුරෙකුද රංගනයේ යෙදෙයි. ඔහු ක්‍රිස් විජේවර්ධනයි. මේ අනුව බැප්ට්ස්ට්ගේ තෙවැනි පරම්පරාවද රංගනයට පැමිණ තිබේ. අපට සැදුණු අපේ ලෝකයේ සිනමාපටය තැනූ මේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව ඉහත සඳහන් කළ ශෂීගෙ අනික් බාල සොයුරාය. ලාල්ගේ පුතණුවන් වන චමත් ඉපලවත්ත සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරයි. ලාල්ගේ අනෙක් පුතණුවන් චන්දෙව් ඉපලවත්ත රංගන ශිල්පියෙකු ලෙස අපට සැදුණු අපේ ලෝකය සිනමාපටයට දායකත්වය දක්වා ඇත. ලාල්, චංකි, සහ ශෂීගේ පියා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ අයි. පී. සේනයි. ශෂීගෙ වැඩිමල් සොයුරු ශ්‍යාම් කුමාර් ඉපලවත්ත වේ. ඉන්දියාවේ වාසය කරන ඔහුගේ පුතා ශෛමේන්ද්‍ර ඉපලවත්තයි. ඔහු මේ වන විට හින්දි සිනමාවට සම්බන්ධවී සිටියි. ඒ අංග රචනා ශිල්පියෙකු ලෙසිනි. ශෛමේන්ද්‍රගේ බිරිය ඉන්දියානු ජාතික ෆ්ලේවියා ඉපලවත්තයි. ඇයද හින්දි සිනමාවට සම්බන්ධවී සිටින්නේ ඒ කොණ්ඩා සැකසුම් ශිල්පිණියක ලෙසිනි. මෙලෙස මේ පවුල් ගහ ඉන්දියාවේද දිග හැරෙන්නේ ඉන්දියානු සිනමාවටද සම්බන්ධ වෙමිනි. අපි දැන් නැවත ශ්‍රී ලංකාවට සබැඳී පවුල් ගසේ පිරිස ගැන කතා කරමු. මේ පවුල් ගසේ මුල් පුරුකක් වන විමලාකාන්තාගේ දියණිය සුජාතා අත්තනායකයි. ඇගේ පුතණුවන් වන සමීන් අත්තනායක විවාහ වූයේ අප සිනමාවේ සම්මානනීය රංගන ශිල්පිනියක වන අනෝජා වීරසිංහගේ දියණියවූ දිල්කි වීරසිංහ සමඟිනි. සුජාතා සහ අනෝජා ළඟම නෑයන් බවට පත් වන්නේ මේ විවාහයෙන් අනතුරුවය. අනෝජාගේ අක්කා වන මායා දමයන්ති ජනප්‍රිය ගායිකාවකි. ඇගේ ස්වාමි පුරුෂයා වික්ටර් විජයන්ත පෙරේරාද හඳුනාගන්නේ සිනමා ගායකයෙකු ලෙසිනි. ඔහු මෙරට එකම ශෙනායි වාදකයාය. වික්ටර්ගේ අයියා හෙන්රි පෙරේරාද සරල ගී ගායකයෙකි. මං පොඩිකාලේ දැක්කට පස්සේ නැමැති ජනප්‍රිය ගීය ඇතුළු ගී රැසක් ඔහු ගැයුවේය. මේ අතර වික්ටර්, හෙන්රි සිනමා සංගීතවේදී මුත්තුසාමි මාස්ටර්ටද නෑකම් කියති. එලෙස වන්නේ වික්ටර් හා හෙන්‍රිගේ නංගිවූ නීලියා පෙරේරා විවාහ වූයේ මුත්තුසාමි මාස්ටර් සමගින්ය. ඔවුන් දෙපොළගේ පුතණුවන් මොහාන් රාජ් මුත්තුසාමි වාදකයකු මෙන්ම ගායකයෙකු ලෙසින්ද ජනප්‍රිය චරිතයකි. මායා සහ වික්ටර් විජයන්තගේ දියණි කුෂාණි සඳරේඛා දක්ෂ ගායිකාවකි. ඇය විවාහ වී සිටින්නේ තවත් කලා පවුලකින් පැවත එන තාරුණ්‍යයේ ගායන ශිල්පියෙකු වන කසුන් කල්හාර සමගිනි. කසුන්ගේ පැත්තෙන් ගත් කල නැසීගිය ගායන ශිල්පී මාලනී බුලත්සිංහල සහ සංගීතවේදී එච් .එම්. ජයවර්ධනද මේ පවුල් ගහට එකතු වන්නේ එතැනිනි. මාලනීගේ නැගණිය සන්ධ්‍යා බුලත්සිංහලද ගායිකාවක ලෙසින් ප්‍රකටය. මාලිනි සමඟ සෙනෙහස පුදා ගීය ගැයුවේ ඇයයි. සන්ධ්‍යාගේ ස්වාමි පුරුෂයා දක්ෂ නිවේදකයකු වූ ලාල් ආනන්ද අබේධීරයි. මේ පවුල් ගස් ඒ කතාව තවත් අවසන් නැත. ලබන සතියේ හෙළිදරව් කරන්නේ මේ පවුල් ගසේ තවත් ශාඛාවක් ගැනය.