පවුල් ගසේ දෙවැනි අත්ත

ලෝකයේ විශාලතම කලා පවුල් ගස ලංකාවේ... සාමාජිකයන් ගණන සියයට අධිකයි
මාර්තු 25, 2021

අද මේ දිග හැරෙන්නේ පවුල් ගසේ කතාවේ දෙවැනි අදියරයි. තොටළඟ ජේන් නෝනාගෙන් ආරම්භවූ ඒ පවුල් ගසේ සාමාජිකයින් ක්‍රමක්‍රමයෙන් වැඩුණු අන්දම ඉකුත් සතියේ අපි කතා කරනු ලැබුවෙමු.

පළමුව මේ ගෙන එන්නේ එහි ඌණ පූර්ණයකි. ජේන් නෝනාගේ දියණිය විමලාකාන්තායි. ඇගේ ඥාති සොයුරිය සෝමාකාන්තා බව අපි පසුගියදා සැලකරනු ලැබුවෙමු. සූරියරාණිගේ දියණියක වන සූරියරාණි පෙරේරා දියණිය ජනප්‍රිය නිළි කුසුම් කුසුම් පෙරේරාගේ දියණියන් දෙදෙනාද ජනප්‍රිය නිළියෝය. ඒ අතරින් බාල දුව හර්ෂිකා මාධවී පෙරේරාය. ඇය ලලිත් රත්නායකගේ තෙත් සහ වියළි නාට්‍යයේ නිහාල් ප්‍රනාන්දුගේ දියණියගේ චරිතය රඟපෑවාය. ඒ වෙනුවෙන් ඇය සම්මානයට පවා පාත්‍ර වූවාය. ලොකු දියණි නිලක්ෂි පෙරේරා අවසඳ ඇතුළු නිර්මාණ කිහිපයකට රංගන දායකත්වය සැපයීය. ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයකි. කුසුම්ගේ ස්වාමි පුරුෂයා ලෙස්ලි පෙරේරාද ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. ඔහුද රංගන ශිල්පියෙකු වශයෙන් කටයුතු කොට තිබේ. මල් කෙල්ලෙක් මං ගීතය ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගැයූ ප්‍රවීණ ගායිකා චන්ද්‍රානි ගුණවර්ධනද මේ පරපුරේ නෑයෙකි. ඇය මේ පවුල් ගසේ මුල් පුරුකක් වන ටී. විල්බට් පෙරේරාගේ සහෝදරයෙකුගේ දියණියකි. මේ අය පිළිබඳ හඳුන්වා දෙන ගමන් ඊළඟට අපි කතා කරන්නේ ධර්මදාස වල්පොල නැමැති අතිශය ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියා ගැනය. ඔහු මෙම පවුල් ගසේ මුල් පුරුකක් ලෙස සැලකෙන සෝමාකාන්තාට මාමා කෙනෙකි. ඒ අනුව ගත් කල ධර්මදාසයන්ගේ බිරිය වන කලාශූරී ලතා වල්පොල වසන්තා සන්දනායක, සුජාතා අත්තනායක ඇතුළු පෙර සඳහන් කළ පරපුරටම නෑකම් කියයි. ලතා ධර්මදාසට දාව උපන් සුනෙත් වල්පොල, අමිත් වල්පොල, ධම්මිකා වල්පොල සහ චමින්ද වල්පොල මේ සියලු දෙනාගේ නෑදෑයෝය. මේ අතරින් ධම්මිකා වල්පොල විවාහ වූයේ වාදකයකු මෙන්ම සංගීතඥයකු ලෙස ද කටයුතු කරන මහින්ද බණ්ඩාර සමඟිනි. මහින්දගේ සොයුරා ජනප්‍රිය ගායක රාජු බණ්ඩාරයි. ඔවුන්ද මේ පවුල් ගසේ ශාඛාවෝ වෙති.

මහින්ද, රාජුගේ මව චන්ද්‍රා බණ්ඩාරයි. හද ගී පොතේ නැමැති ගීය ඇය විසින් ගැයුවකි. චන්ද්‍රාගේ බාල සහෝදරයා වාදකයකු ලෙස ජනාදරයට පාත්‍රවූ ප්‍රේමනාත් කොඩිතුවක්කු වේ. ඔවුනගේ පියා ඩී. සී. කොඩිතුවක්කුද දක්ෂ තබ්ලා වාදකයෙකි. ඔහු මියයන මොහොතේද පටිගත කිරීමක් සඳහා තබ්ලාව වයමින් සිටියේය.

මේ අතර වසන්තා සන්දනායකගේ පවුලට නෑකම් කියන ජනප්‍රිය ගායකයෙකු වේ. ඔහු චාමික සිරිමාන්න වේ. චාමිකගේ සීයා වසන්තාගේ සැමියාගේ ඥාති සොයුරෙකි. චාමිකගේ පියා දක්ෂ සැක්ෆෝන් වාදන ශිල්පී සුසිල් සිරිමාන්නයි. සුජාතා අත්තනායක සහ මෙරට සිනමාවේ ප්‍රථම සුපිරි තරුව ලෙස සැලකෙන ප්‍රේම්ජයන්ත්ද නෑයෝය. එය වන්නේ මෙසේය. ඕගන් රුද්‍රිගෝ නම් ප්‍රචලිත වාද්‍ය ශිල්පියකු සිටියේය. ඔහු සිනමාවට සම්බන්ධ වන්නේ පළමු වරට සිංහල දෙබස් කැවූ චිත්‍රපටය වන මන ප්‍රයත්නය චිත්‍රපටයේ සංගීතය මෙහෙයවමිනි. ඔහුගේ සොයුරු ඇලෝයි රොද්‍රිගෝ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. සුජාතාගේ දයාබර පියාණන් වූ ධර්මදාස පෙරේරාත් මේ ඕගන් රොද්‍රිගෝගේ බිරියත් ඇවැස්ස නෑනා මස්සිනාවරුන්ය. පෙර සඳහන් කර ප්‍රේම් ජයන්ත් ඇලෝයි රොද්‍රිගෝගේ පුතණුවන්ය. මේ පවුල් ගස මුල් පුරුකක් වන විමලාකාන්තාගේ මව ජේන් නෝනා පිළිබඳ ඉකුත් සරසවිය කලාපයෙන් අපි හෙළිදරව් කෙරුවෙමු. ජේන් නෝනා යනු සුජාතා අත්තනායකගේ ආච්චි අම්මාය. ඇයට විලියම් පෙරේරා නමින් ඥාති සොයුරෙකි. මේ විලියම්ගේ මුනුපුරා වන්නේ සංගීතඥයකු ලෙස ප්‍රකට විශාරද සුදත් සමරසිංහයි. වසන්තා සන්දනායක සුදත්ට නෑකමින් ආච්චි අම්මාය. දයා හේමන්තා ඔහුගේ නැන්දනියක වන අතර දයාගේ දියණියෝ වන සුප්‍රියා සහ සධානා නැගණිය වෙති. මේ පවුල් ගස ඉන්දීයාවටද නෑකම් කියති. එලෙස වන්නේ කෙසේද කියා ඉතිරිය ලබන සතියට අපි හෙළිදරව් කරන්නෙමු.