සිංහල සිනමාවේ සාර්වත්‍රික සලකුණ

ගාමිණි ෆොන්සේකාගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
මාර්තු 18, 2021

අභාවප්‍රාප්ත වී දහසය වසරක් ගෙවී ගිය ද අදටත් හෙළ සිනමාවේ නරනිඳු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගාමිණී ෆොන්සේකා මා දැන හැදින ගත්තේ වසර එක් දහස් නවසිය හැට පහේය. ඒ මා සරසවිය කතු මඬුලු සාමාජිකයකු වූ වකවානුවේ සිටය. එහෙත් ඔහුගේ විශ්වාසය දිනාගැනීමට මෙන්ම අන්‍යෝන්‍යය අවබෝධයක් ගොඩ නඟා ගැනීමට තවත් වසරක් පමණ ගතවිය. එතැන් පටන් අප දෙදෙනා අතර මනා සුහදත්වයක් ලියලමින් පූර්ණත්වයට පත්වූයේ අප දෙදෙනා ඉටු කළ රාජකාරි ද්වය වෘත්තීමය වශයෙන් සෘජුව ඉටු කිරීම දෙපක්ෂයම විසින් ජීවන හරයක් ලෙස ප්‍රගුණ කළ බැවිනි. එතුමන් මා වෙතින් කිසිම අසාධාරණ ප්‍රචාරයක් අපේක්ෂා නොකළ අතර ඒ වන විට සිය දහස් සංඛ්‍යාත රසික රසිකාවන් ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ ඔහුගෙන් මම කිසිම උදව්වක් අපේක්ෂා නොකළෙමි. ඔහුට මා ලකී විය. මට ඔහු ගාමිණී විය.

එකල හෙළ සිනමාවේ එවැනි රංගන ශිල්පින් රැසක් විද්‍යාමාන වූ බව ද කිවයුත්තේ එම නළු නියන්ටද ගෞරවයක් වශයෙනි. එහෙත් ගාමිණී ෆොන්සේකා එදා මෙදා තුර හෙළ සිනමා කේෂත්‍රයේ නරනිඳු වන්නේ ඔහු අදටත් හෙළ සිනමාවේ සාර්වත්‍රික සලකුණ හෙවත් ලාංඡනය වන නිසාය. ඒ ගැන විවාදයක් නොමැත.

සරසවිය පුවත්පතේ නූතන පාඨකයන් අතර ඇතැම් දෙනෙකු ගාමිණී ෆොන්සේකා ගැන ගැඹුරින් නොදන්නා විය හැක. එබැවින් ආරම්භයක් වශයෙන් ගාමිණී ගැන කෙටි විසිතරයක් ඉදිරිපත්කිරිම උචිතය. මා ගාමිණී ගැන මුලින්ම ලත් අත්දැකීමෙන් මෙම විග්‍රහය අරඹමි.

සරසවිය පුවත්පතට එකල චිත්‍රපට ප්‍රවෘත්ති හා නළු නිළි කෙරුම් ගැන ලිහිල් ලිපි සැපයුවේ ප්‍රවීණ චිත්‍රපට වාර්තාකරුවෙකු වූ කුමාරදාස වාකිෂ්ට මහතාය. ඔහු ලියූ පිටු අතිශය ජනප්‍රිය විය.

සරසවිය කතු මඩුල්ලේ දෙවන වසර ගෙවීමට මත්තෙන් ප්‍රධාන කර්තෘ විමලසිරි පෙ‌රේරා ශූරීන් මට නිල වශයෙන් පත්වීමක් නොලැබුව ද නියෝජ්‍ය කතුවරයෙකුගෙන් සිදුවිය යුතු වැඩ සමුදාය ඉටුකිරිම බාර කළේය. එම නිසා මට කාර්යාලයෙන් බැහැර ගොස් නිතර රංගන ශිල්පින් නිෂ්පාදක අධ්‍යක්ෂවරුන් හමුවීමට කාලවේලාවක් නොවිණ. එහෙත් චිත්‍රපට ක්ෂෙත්‍රයේ ප්‍රවණතා ගැන අවබෝධයක් ලබා ගැනීමටත් ශිල්පි ශිල්පිනින් හා සම්බන්ධතාවයන් තහවුරු කිරිමටත් වැදගත් යෑයි සලකනු ලබන විෂයන් පිළිබඳ ගැඹුරු ලිපි ලිවීමටත් වරින්වර රංගන ශිල්පි ශිල්පිනියන් හා නිෂ්පාදකයන් අධ්‍යක්ෂවරුන් ට ගේය පද රචකයන් සංගීතඥයන් හමුවීමි. ඒ අතර ගාමිණි ද විය. ඒ අනුව ගාමිණීගේ රත්මලාන නිවෙස මට නුහුරු තැනක් නොවීය. මා එහි ගියේ සැහැල්ලු සිතකිනි. එහෙත් එක් දෙයක් වැදගත් විය. එනම් පොරොන්දු වූ වෙලාවට නිවෙසට පැමිණීමයි. මුල් වතාවෙහි හෝ දෙකෙහි ඔහු නිල වශයෙන් දිගු කලිසමකින් හා කමිසයකින් සැරසී සිටිය ද පසුව සුව පහසු ලෙස සරමකින් හා කමිසයකින් බොහෝ විට සැරසී සිටියේය. මුලින් සතුටු සාමිචියේ යෙදී මද වේලාවක් ගත කිරිම අප පුරුද්දක් කොට ගෙන තිබිණ. මේ මුල් විනාඩි කිහිපයේ දී කුඩා දුව තනුජා ද පුත් දම්මිත් ද දර්ශනයට ඇතුළත් වූහ. මට මතක හැටියට වරක් දෙවරක් දම්මිත් මගේ ඔඩොක්කුවේ ද හිද ගෙන ඇත. බොහෝ විට එම මුල් වේලාව තුළ ටීනා (මට මතක හැටියට ඇයට සුමිත්‍රා කියාද අමතනු ලැබිණ) බිස්කට් හා තේ කෝප්ප දෙකකින් අපට සංග්‍රහ කළාය. ඉන් පසුවය ගාමිණි මා සමඟ විෂයානුබද්ධ සාකච්ඡාවට යොමුවුණේ. ඔහු තුළ චිත්‍රපට ක්‌ෂේත්‍රයට සම්බන්ධව පමණක් නොව රටේ ලොක්යේ සිදුවන දේ ගැනද ගැඹුරු විශ්ලේෂණාත්මක අදහස් තිබිණ. සිංහල චිත්‍රපට දකුණු ඉන්දියානු රංගන ශෛලියෙන් ඈත් කළ යුතු බව ගාමිණි විශ්වාස කළේය. ඔහුගේ රංගන ශෛලිය මඟින් මෙහෙය ඉටු කළේය. එහෙත් සිංහල චිත්‍රපටය කර්මාන්තයක් වශයෙන් දියුණු කිරිම සදහා සිංහල දෙමළ මැලේ මුස්ලිම් බර්ගර් යන සෑම ප්‍රවීණයෙකුගේම සහභාගිත්වය අත්‍යවශ්‍ය මඟ බැව් ගාමිණී තරයේ විශ්වාස කළේය. 

මේ සාකච්ඡා අතරතුරු කුඩා කතාබහට ද මඟ පෑදේ. මම විනෝදාංශයක් වශයෙන් එකල ජ්‍යෙතිෂය හදාරමින් සිටියෙමි. මගේ ලොකු අම්මාගෙන් හා මගේ වැඩිමහල් නැගණියගේ මාමණඩියගෙන් (ඔහු විශ්‍රාමික මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයෙක් විය) මම එකල ජ්‍යෙතිෂ්‍ය ඉගෙන ගිනිමින් සිටියෙමි. (පසුව වසර දහයක් පමණ ඉන්දියාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රඥයෙකු වූ මහාචාර්ය බී.ඒ.රාමන් සූරීන්ගේ ග්‍රන්ථ රාශියක් මඟින් ජ්‍යෙතිෂය තව දුරටත් හැදෑරුවෙමි)

විෂයය පිළිබඳ මගේ උනන්දුව ඉවෙන් මෙන් දැන ගත් ගාමිණී මේ හා සමාන වචන කිහිපයක් කීවේය.' අපේ අම්මාටත් කේන්දර ගැන යම් දැනීමක් තියෙනවා. මං අම්මාට ලකීව මුණ ගස්සවන්නම්. එතකොට දෙන්නාට ඒ ගැන සාකච්ඡා කළ හැකියිනේ.

මා එය එතරම් ගණන් නොගත්තේ ගාමිණීට තම කාර්ය බහුල දිවි පෙවෙත නිසා එය අමතකවීයැයි සිතූ බැවිනි. එහෙත් මගේ මතකය නිවැරදි නම් මාසයක් ගතවීමටත් ප්‍රථම ගාමිණී මට ඔහුගේ දෙහිවල ගෙදරට ආරාධනා කර තම මවට හදුන්වා දුන්නේ ලක්ෂ්මන් කේන්දර බලන්න ඉගෙන ගන්නාවලු, කියමිනි. මට තේ කෝප්පයකින් සංග්‍රහ කළ ගාමිණිගේ මව්තුමිය කේන්දර ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තාය. මගේ මතකය නිවැරැදි නම් තවත් දින දෙකක් ගාමිණිගේ මහගෙදරට ගොස් කේන්දර ගැන ඇය සමඟ කතා කළෙමි. දෙවන දින මගේ කේන්දරය බලා එතුමිය මෙවැන්නක් කීවා මතකය. දිගු කාලයක් පිටරට ඉන්න ලැබෙනවා

ගාමිණිගේ මුහුණ දකින කෙනෙකුට නැවත. නැවතත් ඔහුගේ මූහුණ දෙස බැලීමට සිතදේ. එවැනි චිත්තාකර්ෂණීය පෞරුෂයක් ඔහු සතුවිය. සිය දහස් ගණන් සහෘදයන්ගේ අවධානය - සිනමා භාෂාව ඇනුව නම් ආදරය දිනා ගැනීමට සමත් නොමඳ වාසනා ගුණයක් ඔහු තුළින් ප්‍රදර්ශනය විය.

මුල් දර්ශන කිහිපයකදී මේ සිතුවිල්ල ඔහුගේ රූපය නිසා ජනිත වන්නක් ලෙස සිතුන ද කලක් ආශ්‍රය කිරිමේදී මෙම චිත්තාකර්ෂණ‌ීය ගුණය ගාමිණිගේ සිතුම් පැතුම්, ජීවන දර්ශනය, අවංකත්වය හා ඔහුගේ රංගන කුසලතාවය, චිත්‍රපට කේෂත්‍රය පිළිබඳ ඇති හසළ දැනුම නිසා වර්ධනය වන්නක් බවට ඒ්ත්තු යයි.

ගාමිණී මෙලොව එළිය දුටුවේ 1936 මාර්තු මස 21 වැනි දාය. පියා විලියම් ෆොන්සේකා විය. මව ඩේසි ෆොන්සේකා වූවාය. ඔහුගේ සම්පූර්ණ නම සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙහිය. පාසල් අවධියේ පවා රංගන හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති ගාමිණී සිංහල මෙන්ම දෙමළ හා ඉංග්‍රිසි භාෂාවන් ද මනාව හසුරුවන්නකු විය.

ගාමිණී ෆොන්සේකා චිත්‍රපට කේෂත්‍රයට ප්‍රවේශ වූයේ චිත්‍රපට නළුවෙකු ලෙස නොවේ. දෙවැනි සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසිනි. සුප්‍රසිද්ධ ඉංග්‍රිසි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ඩේවිඩ් ලීන්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයෙහි දෙවන සහාය අධ්‍යක්ෂවරයෙකු වූ ගාමිණී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ඉතිහාස ගත වූ රේඛාව චිත්‍රපටයේ ද දෙවැනි සහාය අධ්‍යක්ෂවරයෙකු විය. සිංහල සිනමාවේ ඒකාලෝක කළ ප්‍රවීණයක් දෙදෙනෙකුගේ එක්වීම රේඛාව තුළින් සිදුවුව ද ගාමිණී එහි පෙනී සිටියේ එකම දර්ශනයක පමණී. එය සෙනඟක දර්ශනයක් විය. එහෙත් මෙම සුසංයෝගයෙන් ගාමිණී සිනමා තාක්ෂණය පිළිබද යම් කිසි දැනුමක් ලබන්නට ඇත.

රංගන ශිල්පියෙකු ලෙස සහාය චරිතයක් හෝ රඟපෑමට ගාමිණීට අවස්ථාව ලැබුණේ 1959 දී තිර ගත වූ දෛවයෝගය චිත්‍රපටයෙනි. රඟපෑම අතින් මෙය ඔහුගේ ප්‍රථම චිත්‍රපටය විය. ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ 1998 දී තිර ගත වූ අන්තිම රැය චිත්‍රපටයයි. ගාමිණී අන්තිම රැය අධ්‍යක්ෂණය කරමින් එහි රංගනයේ ද යෙදිණ.

හෙළ සිනමාවේ දෛවය ධනාත්මක විපර්යාසයකට බදුන් කිරිමට ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් අසහාය අධ්‍යක්ෂවරයාට ගාමිණී යළි හවුල්වූයේ සංදේශය චිත්‍රපටය මඟිනි. එවකට දහ අට වියෙහි පසු වූ මා සන්දේශය නැරඹුවේ අපගේ ගම වූ වැල්ලදුරට නුදුරු කහවත්තේ සිනමා ශාලාවකය.

පෘතුගිසි හමුදාව හා සටන් කළ සිංහල හමුදාවේ උප නායකයකුගේ චරිතය නිරූපණය කිරිමිට ගාමිණී ෆොන්සේකාට අවස්ථව උදාවූයේය. එවකට අතිශය ජනප්‍රිය නළු ආනන්ද ජයරත්න සිංහල හමුදාවේ නායක චරිතය නිරූපණය කළේය. සිනමා විචාරකයන්ගේ මතය වූයේ නවක නළු ගාමිණී ෆොන්සේකා ආනන්ද ජයරත්න අබිබවා රංගනයක යෙදුණ බවයි.

රේඛාව සිංහල සිනමාව කලාත්මක බවින් උත්කෘෂ්ට මගකට යොමු කළ එහෙත් වාණිජමය වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් විය. සංදේශය හෙළ සිනමාව දකුණු ඉන්දියානු ආකෘතියෙන් මුදවා ගත් එහෙත් වාණිජමය වශයෙන් අති සාර්ථක වූ චිත්‍රපටයක් විය. සංදේශය තවත් වැදගත් පාඩමක් ලබා දුනි. ඉන්දියානු ආකෘතියෙන් මිදුණු සිංහල චිත්‍රපටයක් වුව ද සිත් ඇද ගන්නා ලෙස තාක්ෂණ මූල ධර්ම අනුව නිර්මාණය කළ හොත් ජනප්‍රිය වන බවයි. ඒ අනුව සංදේශය චිත්‍රපටය දකුනු ඉන්දියානු වට්ටෝරුවලින් විනිර්මුක්ත නියම ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයක් ගොඩනැඟිය හැකි බවට ඉඟි කරන පෙරනිමිත්තක් විය. එහෙත් එම ධනාත්මක අභියෝගයට මුහුණදීමට අප නිෂ්පාදකයෝ මැළි වූහ. මෙම අකර්මන්‍යතාව ය ශ්‍රී ලාංකික හෙළ සිනමා ලාභදායි කර්මාන්තයක් ලෙස ගොඩ නැංවීමට ලත් මහඟු අවස්ථාවක් පැහැර හැරීමක් ලෙස සැලකිය යුතුය.

එහෙත් ගාමිණී ෆොන්සේකා, ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් ගේ ආභාසය ද උකහා ගනිමින් සංදේශය තුළින් තමා එළිපෙහෙළි කරන ලද නව්‍ය මාර්ගය ඔස්සේ ගමන් කරන්නට විය. 1962 දී මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ රන්මුතුදූව චිත්‍රපටය ගාමිණී ෆොන්සේකා නම් තරුව රසික හදවත් තුළ මනාව තැන්පත් කිරීමට ඉවහල් විය. මෙය හෙළ සිනමාවේ ප්‍රථම වර්ණ වෘත්තාන්ත චිත්‍රපටය විය. එමෙන්ම ශ්‍රී ලංකා වෙරළාශ්‍රිත මුහුද යට දර්ශන රැගත් ප්‍රථම චිත්‍රපටය ද විය. ගාමිණී, ජීවරාණී කුරුකුලසූරිය සමග කළ රංගනය දකුණු ඉන්දියානු සිනමාවෙන් මිදුනු නව ශ්‍රී ලාංකික රංගන ශෛලියක් ඉදිරිපත් කිරීමට කළ මහඟු ප්‍රයත්න්‍රයක් විය.

1964 සරසවිය මංගල සිනමා උලෙළෙ දී ගාමිණී තම ප්‍රථම සම්මානය දිනා ගත්තේ ගම්පෙරළියෙහි ජිනදාසගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. ලෙස්ටර් ජේම්ස් පීරීස් ජාත්‍යන්තර චිත්‍රපට කේෂත්‍රයෙහි සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රසිද්ධවූයේ ද ගම්පෙරළියෙනි. පුණ්‍යා හීන්දෙණිය හොඳම නිළිය වූවාය. හොඳම නළුවාට හිමි සම්මානය සිකුරු තරුව චිත්‍රපටයෙහි රඟපෑ ඩී.ආර්.නානායක්කාර රංගන ශිල්පියා වෙත පිරිනමනු ලැබීය. 

ගාමිණී ඉදිරියටම ගියේ සිංහල සිනමා කේෂ්ත්‍රයෙහි ජනප්‍රියත්වය ද රංගන කලාවෙහි විශිෂ්ටත්වය ද විදහා පාමිනි. ගැටවරයෝ. චණ්ඩියා, සැනසුම කොතැනද වැනි චිත්‍රපට ඔහුව ජනප්‍රියත්වයෙහි හිණිපෙත්තටම නංවා තැබීය. ධීවරයෝ, පරසතු මල්, සොරුන්ගෙත් සොරු, කස්තුරි සුවඳ. උතුමාණෙනි, සරුංගලය, යුගාන්තය, වැනි චිත්‍රපට ඔහුගේ රංගන කුසලතාව මැනවින් විදහා දැක්විය. විචාරක මතය අනුව ගාමිණී ෆොන්සේකා රංගන කලාවේ හිමාල කදුවැටිය තරණය කළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් 1971 දී අධ්‍යක්ෂණය කරනු ලැබූ නිධානය චිත්‍රපටයෙනි. ගාමිණී විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙකකදීම, ඔහු විසින් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනා ගන්නා ලදී. ඒ 1967 දී පරසතු මල් හා 1981 දී උතුමාණෙනි චිත්‍රපට තුළින්ය. මගේ මතකය නිවැරැදි නම් ඔහු සරසවිය සම්මානය ද ඇතුළුව එක් වසරකදී පැවැත්වූ චිත්‍රපට උලෙළ තුනකදීම හොදම නළුවාට හිමි සම්මානය දිනා ගෙන ඇත. ඒ 1986 වසරේ දී යුගාන්තය චිත්‍රපටයේ සව්මන් කබලාන ගේ චරිතය ප්‍රාණවත් කරමිනි.

ගාමිණී ෆොන්සේකා හෙළ සිනමාවේ සාර්වත්‍රික සලකුණ හෙවත් නරනිඳු ලෙස හඳුන්වා දිය හැක්කේ එපමණකින් නොව ඔහු සිංහල සිනමාවේ උන්නතිය සදහා ඉටු කරන ලද පහත සදහන් අද්වීතිය සේවාවන් නිසාය.

චිත්‍රපටවල රඟපෑම හෙවත් රංගන ශිල්පය වෘත්තීයමය කාර්යයක් හා ක්‍රියාවලියක් බව රටට සමාජයට, ප්‍රේක්ෂකයාට හා සිනමා කර්මාන්තයෙහි නිෂ්පාදකයන් හා අන් ශිල්පින්ට ඒත්තු ගැන්වීම සඳහා ගාමිණි අමිල සේවයක් ඉටු කළේය. ගාමිණී තම රංගන ප්‍රතිභාව, පෞරුෂත්වය, සමාජ පිළිගැනීම, සන්නිවේදන කෞශල්‍යය මෙන්ම දැඩි අධිෂ්ඨාන ශක්තිය මෙම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා උපයෝගි කර ගත් බව රහසක් නොවේ.

චිත්‍රපටකරණයෙහි සෑම ප්‍රධාන අංශයකම වාගේ ගාමිණී තම ප්‍රතිභාව දැනුම, හා නිර්මාණශීලිත්වය මනාව ප්‍රදර්ශනය කර ඇත. ගාමිණී 1959 සිට 1998 දක්වා චිත්‍රපට එකසිය අටක රඟපා ඇත. එයින් අසූ හයක්ම ප්‍රධාන චරිත විය. චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කර ඇත. චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කර ඇත. චිත්‍රපට දෙකකම ගේය පද රචනා කර ඇත.

ගාමිණී රඟපෑ චරිත පුළුල් සමාජ පරාසයක් සංකේතවත් කරන්නක් විය. මෙවැනි පුළුල් පරාසයක විහිදී ඇති චරිත රඟපෑමට ප්‍රතිභාපූර්ණ බව මෙන්ම පුළුල් ජීවන අත්දැකීමක් ද තිබිය යුතුය. ඔහු රගපෑ චරිතයන්හි විවිධත්වය මොනවට පැහැදිලි වේ. ඔහු ගම්පෙරළියෙහි ජිනදාස විය. පරසතු මල් හි බොනී මහත්තයා විය. චන්ඩියා හි චුට්ටේ විය. ධීවරයෝ හි ෆ්‍රැන්සිස් විය. නිධානයෙහි විලි අබේනායක විය. සාගරයක් මැද හි දොස්තර මොලදණ්ඩ මෙන්ම ෆෙඩ්රික් රාමනායක විය. වැලිකතරෙහි පොලිස් අධිකාරි වික්‍රම රන්දෙණිය විය. දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයෙහි සෙබස්තියන් පියතුමෙකු විය. නොමියෙන මිනිස්සු චිත්‍රපටයෙහි හමුදා කර්නල් රණබාහු විය. යුගාන්තයේ සවිමන් කබලාන විය. මෙවැනි චරිත සමුදායක් දක්ෂ ලෙස නිරූපණය කිරිමට හැකිවිම සුලු පටු දස්කමක් නොවේ.

හෙළ සිනමා අම්බරයෙහි වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගත් සිනමා තරුව මෙන්ම සිනමාවේදියා ද ගාමිණී ෆොන්සේකා විය යුතුය. 1964 සිට 1998 දක්වා ඔහු දිනා ගත් සම්මාන සංඛයාව තිස් හතකි. ඔහු දිනා ගත් සම්මාන පුළුල් පරාසයක පැතිර පවතී. හොදම නළුවා, හොඳම සහාය නළුවා, ජනප්‍රියම නළුවා, හොදම අධ්‍යක්ෂ යන සම්මාන ගාමිණි ‌ෆොන්සේකා නමැති අසාහාය සිනමාවේදියා ජයග්‍රහණය කර ඇත්තේය. මෙයින් අති බහුතරය සරසවිය සම්මාන වීම සරසවිය පුවත්පතට ද අති මහත් ජයග්‍රහණයක් බව කිව යුතුය. මේ හැම තීරණයක්ම ගනු ලැබුවේ ස්වාධින විනිශ්චය මණ්ඩලයක් විසිනි.

හෙළ සිනමාවේ එදා මෙදාතුර මෙවැනි පුළුල් පරාසයක් තම ප්‍රතිභාපූර්ණ වාසනා ගුණයෙන් ඒකාලෝක කළ සිනමාවේදියා ගාමිණී ෆොන්සේකායැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔහු හෙළ සිනමාවේ සක්විති වන්නේ ඒ නිසාය.

විසි වසරකට පමණ පසු මා ගාමිණී හමුවූයේ 2003 අවසාන භාගයේදීය. ඒ ජා ඇල නිවසේදීය. ගාමිණී ගේ මෑණියන්ගේ අනාවැකිය ට අනුව දහ අට වසරක ට පමණ පසු මට ඒකසත් ජාතින්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් සේවා නිලධාරියකු ලෙස පත්වීමක් ලැබිණ. එයින් පසු වසර ගණනාවක්ම විදේශ රටවල් කිහිපයක රැකියාවන් කළෙමි. මා ගාමිණී හමුවූයේ සේවය කර පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි පසුවය. විසි වසරක් ඉක්ම ගිය ද අප දෙදෙනා අතර පැවැති සුහදත්වය වෙනසක් නොවූ බව පෙනිණ. අපි තෙපැයක් පමණ කතා කළෙමු. අතීත සුන්දරත්වය සැමරුවෙමු. වර්තමානය සහ අනාගතය ගැන ද කතා කළෙමු. එය අපේ අවසාන හමුව විය.

ලක්ෂ්මන් වික්‍රමසිංහ 
(සරසවිය පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ වික්‍රමසිංහ මහතා  පසුගිය සරසවිය සම්මාන උලෙළේදී  සිනමා ලේඛනය උදෙසා කළ  මෙහෙවර වෙනුවෙන්  රණපාල බෝධිනාගොඩ  අනුස්මරණ සම්මානයෙන්  පිදුම් ලද්දේය)