අහිමි හැඳුනුම්පත සොයා යෑමේ තිලකරත්න කුරුවිට බණ්ඩාර වෑයම

මාර්තු 18, 2021

“ශික්ෂිත- සංවේදී-යුක්තිගරුක- කාරුණික මිනිසුන්ගෙන් යුත් සාධු සමාජයක් බිහි වන්නේ ප්‍රබල සංස්කෘතික මිනිසුන් සිටියොත් පමණි.“ මෙසේ සඳහන් වන්නේ කීර්තිශේෂ නමින් සරසවි ප්‍රකාශකයෝ පසුගිය වසරේ මුද්‍රණයෙන් එළි දැක් වූ ග්‍රන්ථයේ පසුවදනේය. එහි කතුවරයා ඔබ අප කවුරුත් හොඳීන් හඳුනන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා විචාරකයකු, ලේඛකයකු මෙන්ම කිවිවරයකු වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතායි. ඔහු සරසවියට වඩාත් සමීප වන්නේ 1994 සිට වසර හයක කාලයක් ප්‍රධාන කර්තෘධුරය දැරූ නිසා පමණක් නොව සරසවිය සම්මාන උලෙළවල විනිශ්චය මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇති බැවිනි. ඔහු ලේක්හවුස් ආයතනයේ දිගුකලක් සේවය කළ අතර සිළුමිණ පුවත්පතේ කර්තෘධුරය කිහිපවරක් හෙබවීය. නිල්ල දකින්නයි, ජීවිතය බෙහෙවින් ඛේදජනකය, අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා, දෙවියෝ තැතිගෙන මහපොළොවට එති, ඉකුත් වත, එක්සමයෙක්හි වැනි කාව්‍ය සංග්‍රහ මෙන්ම විචාරකයෝ වැනි කෙටි කතා, රස දෝත වැනි වින්දනාත්මක කෘති ආදි නිර්මාණ රැසක් සිය සහෘද පාඨක ජනතාව වෙත දායාද කළ ඔහු මෙවර කීර්තිශේෂ මඟින් උත්සාහ කරන්නේ රටට මහත් මෙහෙයක් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාගත පරපුරට රැස්කර තැබීමටයි. ඒ වෙනුවෙන් ඔහු සාධු සමාජයක් මෙබිමෙහි බිහි කිරීම සඳහා දායක වූ ප්‍රබල සංස්කෘතික මිනිසුන් ලෙස පතළ පනස් දෙදෙනකු පිළිබඳ රසවත්, හරවත් තොරතුරු මෙහි රැස් කරයි. ඒවා ඔහු විවිධ පුවත්පත්වලට ලියූ ලිපි, විවිධ අවස්ථාවල කළ දේශන ඇසුරින් යළිත් මේ පොත වෙනුවෙන්ම සකසා ඇත.

 

කීර්තිශේෂ සංග්‍රහ කිරීමට හේතූ වූ නිමිත්ත කුරුවිටබණ්ඩාරයන් පැහැදිලි කරන්නේ මෙලෙසිනි. “රටක සංස්කෘතියට පිටුපාලා මුකුත්ම කරන්න බැහැ. තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නැතිව රටකට විතරක් නෙවෙයි පුද්ගලයකුටවත් පැවැත්මක් නැහැ. ඒ නිසා තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව සොයාගන්න සිදුවෙනවා විශේෂයෙන්ම අධිරාජ්‍ය පාලනයට යටත්ව තිබුණු රටකට. අපේ රටෙත් සියවස් තුනකට අධික කාලයක් අධිරාජ්‍ය පාලනය තිබුණා ඒ නිසා අපට සිදුවෙනවා අවලංගු වී තිබුණු අපේ හැඳුනුම්පත යළි සොයාගන්න.“

ලේක්හවුසියට සම්බන්ධ වූවකු ලෙස කුරුවිට බණ්ඩාරයන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඒ හැඳුනුම්පත සොයා ගිය පතාක යෝධයකු හමුවන්නේ මෙසේය.

“බටහිර පන්නයට ඉදි වූ ගොඩනැඟිලිවලින් සමන්විත කොළඹ නගර මධ්‍යයේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදීම රන් ඔටුන්නක් මෙන් කැපී පෙනෙන දේශීය මල්ලියකමින් සමලංකෘත එකම එක මන්දිරයක් ඉදිවිය. එදා මෙදාතුර කොළඹ එවන් දේශීය ඌරුවේ මන්දිරයක් තවමත් ඉදි වී නැත. ඒ දේශමාමක ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සැබෑවක් කරගත් මනෝ මන්දීරයයි.

හිරු නොබසින අධිරාජ්‍යයේ දී නීති ශාස්ත්‍රය උගනිද්දී හමු වූ සර් පොන්නම්බලම් අරුණාචලම්- සර් ජේම්ස් පීරිස්- ගෝපාල් කෘෂ්ණ ගෝකලේ- එෆ්.එච්.එම්. කෝබට්- සර් ජෝන් ජාඩින්- මැකලම් ස්කොට් වැනි දේශප්‍රේමී ප්‍රභූන්ගේ සත්ජන ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ උත්තේජනයක් ඇති කරගත් තරුණ ඩී. ආර්. අද්විතීය සංස්කෘතික විඥානයක් තිබූ පුද්ගලයෙක් විය.

කොරවක්ගල්- සඳකඩපහණ්- නෙළුම් මල් මෝස්තර- නාරිලතා- පලාපෙති මෝස්තර- සූර්යයා- අරිම්බුව ඇතුළු සාම්ප්‍රදායික බිතු සිතුවමින් සමලංකෘත කොට ලේක් හවුස් නම් වූ මේ අභිරමණීය මන්දිරය මූර්තිමත් කොට දක්වන්නේ ඩී. ආර්. විජයවර්ධන සංස්කෘතික චින්තනයයි.“ පත්තර ලෝකයේ සංස්කෘතික සිටුවරයා ලෙස ඔහු විජේවර්ධනයන් නම් කරන්නේ මේ මතවාදය සංස්ක්ෂිප්ත කොට දක්වමිනි.

අප රට පමණක් නොව ඉන්දියාව, පකිස්තානය, බෙංගාලය වැනි රටවලටත් අයත් වූ එම ඉරණමට ආක්‍රමණිකයන් පමණක් නොව තමන්ගේ පැවැත්ම සහ වාසිය වෙනුවෙන් ආක්‍රමණිකයන්ගේ බැළමෙහෙවර කරන, තමන්ගේ රටේ සංස්කෘතියට පරිභව කරන ස්වදේශිකයන්ද හේතු වන බව කුරුවිට බණ්ඩාරයන් පවසයි. තාගෝර්තුමන්ගේ ලංකාගමනයේදී උඩරට නැටුමට වශී වූ තාගෝර් තුමන් කවියක් ලියූ අතර එහිදී උදයශංකර්ගේ රංගනයට වශී වූ අපේ දේශප්‍රේමී ජනතාවට ඒ ඔස්සේ අපේ කම, අපේ රටේ මුල් සොයා ගත යුතු බවට හැඟීමක් ඇති වූ බවට ඔහු සිය කෘතියේ සාක්ෂි ද සපයයි. “ඔවුහු තාගෝර්තුමාගෙන් ස්වකීය ජාතිකත්වය රැගගෙන නූතනත්වය සොයන මඟ පිරිසිඳ දැනගත්හ. පණීභාරත, චිත්‍රසේන, ප්‍රේමකුමාර, අමරදේව, මකුලොලුව, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඔවුණ‘තරින් කැපී පෙනිණ.“ කෘතියේ එසේ සඳහන් කරන අතර “ඉන්දියානු සංස්කෘතිය හදාරලා අපේකම සොයාගත් අය ගැන තමයි ඒ කියා තිබෙන්නේ. හැබැයි එහෙම සොයන්න ගිහින් ඉන්දියානු වුණ අයත් ඉන්නවා“ යැයි කුරුවිට බණ්ඩාර මහතා පවසන්නේ යම් උපහාසාත්මක සිනහවක් මුසු ස්වරයකිනි.

කෙසේ වෙතත් කොග්ගල ඉසිවරයා ලෙස මාර්ටින් වික්‍රමසිංහයන් අපේ අනන්‍යතාව සෙවීමට ගැඹුරින් අධ්‍යයනයක යෙදුණු විද්වතා යන්න ඔහුගේ මතයයි. ඔහු රුක්මණී දේවිය නම් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියේ අසහාය කාන්තා ප්‍රතිරූපය මෙන්ම ගායන මාධුර්යයේ රාජිනිය ලෙසයි. සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ගාමිණී ෆොන්සේකා නාමයට ඔහු බොහෝ අලංකරණ දී ඇත්තේ සිංහල සිනමා රාජ්‍යයේ සිංහාසනාරූඪ වී සිනමා සක්විතිව, සිය සිනමා වැසියන්ගේ අයිතිවාසිකම් රැකදෙන වෘත්තීය නායකයකු වී - සිය වෘත්තීය අභිමානය රැක දෙන සිනමා සිටුවරයකු වී - ඔවුන්ගේ දුක් සැප කුමන්දැයි වමසන වැඩිහිටියකු වී - ඔවුන් නිසි මඟ යැවීමට දැනමුත්තකු වී සිය වැසියන් එක්සේසත් කර සංවිධානගත කර සෙන්පතියකු වී සිටි ප්‍රවීණ සිනමාවේදියකු වශයෙනි.

මහ පොත් ලියූ මහ වියතා ලෙස රැපියෙල් තෙන්නකෝන්, සංස්කෘතික පුනර්ජීවනයක පුරෝගාමියා ලෙස ඇම්. ජේ. පෙරේරා, නාඩගම් කලාවේ දිසාපාමොක් ලෙස චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ, විශිෂ්ට සාහිත්‍යයක තානාපති ලෙස කේ. ජී. කරුණාතිලක, භාෂා පරමේශ්වර ලෙස සුචරිත ගම්ලත්, ජාතියේ සංගීත ප්‍රාඥයා ලෙස අමරදේව, දේශීය සංගීතයේ විප්ලවකාරයා ලෙස ප්‍රේමසිරි කේමදාස, අපේ සිනමාවේ ශිල්ප ධර්ම භාණ්ඩාගාරික ලෙස තිස්ස අබේසේකර, නූතන සංස්කෘතියේ දැවැන්ත සෙවණැල්ල ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර, කවිලොව බසි‘සුරු ලෙස අරීසෙන් අහුබුදු, සුනිල් සාන්තගේ අනුප්‍රාප්තිකයා ලෙස සී. ටී. ප්‍රනාන්දු, ජාතික සිනමාවේ ප්‍රාඥයා ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්, අභීත පත්‍රකලාවේදියා ලෙස ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, සිංහල කාටූනයේ ආරම්භකයා ලෙස ජී. ඇස්. ප්‍රනාන්දු, තීරු ලිපි කලාවේ අසිපත ලෙස දයාසේන ගුණසිංහ, ද්විභාෂීය පත්තර සිංහයා ලෙස ධර්මපාල වෙත්තසිංහ, භාෂා ශූද්ධෝත්තමවාදියා ලෙස ඩී. එෆ්. කාරියකරවන, යෞවනයන්ගේ ඉහේ පිපුණු මල ලෙස ධර්මසිරි ගමගේ, අසමසම භාෂා ප්‍රේමියා ලෙස වෙ. වි. අභයගුණවර්ධන, හෙළ බස් හිතැත්තා ලෙස අනඳපිය කුඩාතිහි, සිංහලේ නර්තන ප්‍රාඥයා ලෙස චිත්‍රසේන මෙන්ම මාධ්‍ය සගයන්ගේ සොයුරිය ලෙස සෝමාදේවී පරණයාපා හඳුන්වන්නට කීර්තිශේෂ ඔස්සේ බස හසුරුවන කුරුවිට බණ්ඩාරයන් තවත් මෙරට සංස්කෘතියේ අග්මුල් සොයා යෑමට දායක වූ පිරිස පිළිබඳ ඔහගේම නිර්වචන රැසක් ඉදිරිපත් කරයි. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීම අපේ සංස්කෘතික ප්‍රබෝධයේ කූටප්‍රාප්තිය යැයි ඔහු පවසයි. ඒ යුගය තුළ බිහි වූ පරපුරේ යශෝරාවය කීර්තිශේෂ ඔස්සේ ගෙන ඒමට තමන් උත්සාහ කළ බව ද තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් පවසයි.

මෙසේ කතා කිරීමට හේතුව තමන්ගේ ජාතික අනන්‍යතාව අමතක කරන ජනතාව නිරන්තර අයාලේ යන ජනතාවක් බවට පත්වන බැවිනි. යුනෙස්කෝවේ අර්ථදැක්වීමට අනුව රටක කවර සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළද එය රටේ සංස්කෘතියෙන් වියෝ වී සිදු නොකළ යුතුය. අපේ රටේද ඒ සංස්කෘතික විඥානය අහිමි කර නොගත යුතුය. අන් අයගේ සංස්කෘතීන්ට, භාෂාවන්ට, පුද්ගල ඇවතුම් පැවතුම්වලට ගරු කරන ඇනකොටාගැනීම්, ගැරහීම්වලින් තොර හැසිරීමක් බලාපොරොත්තු විය හැක්කේ සංස්කෘතියෙන් පොහොසත් ශික්ෂාකාමී වන්නේ ජනතාවකගෙනි. ඒ සංස්කෘතික චින්තනය ඇති කළ පුරෝගාමීන් පිළිබඳ හඳුනා ගැනීම, ඔවුන්ගේ මතවාද, ගමන්මඟ දැනගැනීමට නව පරපුරට මහත් රුකුලක් වේ. අද පවතින සංකර මාධ්‍ය භාවිතය නිසා අග්මුල් සිඳීගිය නව පරපුරක් බිහි වෙමින් පවතී. අප අන්තර්ජාතික තලයට යෑමට උත්සාහ කරන්නේ අපේ අනන්‍යතාව වනසා ගනිමිනි.

ඒ අදහස ඔහු සිය කෘතියේ උපසේන ගුණවර්ධන- නූතන සිතුවම් කලාවේ අවසන් පුරුක නම් පරිච්ඡේදයේ ගුණවර්ධනයන් නූතනත්වය සොයා යමින් චිත්‍ර කලාවේ ජාතිකත්වය ආරක්ෂා කරගත් ආකාරය පවසන්නට පූර්විකාවක් සපයමින් සටහන් කරන්නේ මෙසේය. ‘ගෝලීයකරණය ‘අභියෝගයක්‘ සේ සලකන පෙරදිග බොහෝ කලාකරුවෝ ඒ වෙනුවෙන් ස්වකීය අනන්‍යතාව නසා ගනිති. ගෝලීයකරණය යනු බටහිර සංස්කෘතික ආක්‍රමණිකයන් පෙරදිගුවන් මුලා කරනු පිණිස භාවිතයට ගත් “නම්බුකාර පදයක්“ පමණි. මේ මුලාව නිසා පෙරදිග ඇතැම් ප්‍රතිභාන්විත කලාකරුවෝ “දෙලොවට නැති අය“ බවට පත්ව සිටිති. එසේ දෙලොවට නැති අය බිහිවීමට ප්‍රධාන හේතුව වන්නේ සැබෑ සංස්කෘතික සවිඥානකත්වයක් නොතිබීමයි.“ එයටම සම්බන්ධව ජෝර්ජ් කීට් - චිත්‍ර කලාවේ සම්ප්‍රදාය සහ නූතනත්වය හමුවීම යන පරිච්ඡේදයේ ඔහු “ගෝලීයකරණය හමුවේ වල්මත් වන බොහෝ කලාකරුවන්ගේ අවිචාරවත් නිගමනය වනුයේ ජගත් මට්ටමට යා හැක්කේ බටහිරකරණයෙන් පමණක් බවයි. තම අනන්‍යතාව දූපත් මානසිකත්වයක් යන අවමානාත්මක පදයෙන් හඳුන්වන ඔවුහු තම සාම්ප්‍රදායික කලාව ගර්හාවට ලක් කරති. නින්දාවට භාජනය කරති“ යනුවෙන්ද සඳහන් කරයි.

මේ සියලු පරිච්ඡේද අතර සරසවිය අප පුවත්පතට ඉතා සමීප කතා පුවතක්ද දැක්වීම වටී. ඒ විචිත්‍ර කාව්‍යක්කාරයා නමින් හඳුන්වා ඇති ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ජගන් මෝහිනී සරස්වතී ගීතය පිළිබඳ පුවතයි. “ලේක් හවුස් ආයතනය 1963 දී ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙන් ‘සරසවිය‘ නමින් කලා තොරතුරු සහිත පවුලේ පුවත්පතක් ආරම්භ කරයි. මෙහිදී මූලික වී කටයුතු කළවුන් අතර බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කවියාගේ පුත් විමලසිරි පෙරේරා ද කෙනෙකි. බොරලැස්ගමුවේම පදිංචිව සිටි මානවසිංහ පවුල සමඟ දැඩි සම්බන්ධතාවක් පැවැති හෙයින් සරසවිය මඟින් හා පුරා කියා සිනමා සම්මාන උලෙළක් පැවැත්වීමට තීරණය කළ අවස්ථාවේදී සරස්වතී අභිනන්දන ගීතය රචනා කිරීමට ආරාධනා ලබන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය.... භාරතීය සංස්කෘත ශ්ලෝකවල ආභාසය ද ලබමින් රචනා කෙරෙන චමත්කාරජනක සරස්වතී අභිනන්දන ගීතය අතික්‍රමණය කළ සරස්වතී ගීතයක් හෝ ස්තෝත්‍රයක් නිර්මාණය කිරීමට කිසිවකුට මානවසිංහයන් අවසර තබා නැති බව කිව යුතුය. එය අනභිභවනීය නිර්මාණයකි.

ජගන් මෝහිනී- මධුර භාෂීනී

චාරු දේහිනීච කමල වාසිනී

සරස්වතී දේවී වන්දේ

සරස්වතී දේවී

 

මෙලෙස කීර්තිශේෂ පිළිබඳ තොරතුරු පවසමින් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා අපට කීවේ මේ පොතට එක් වූ පුද්ගලයන්ට අමතරව අපේ සංස්කෘතික චින්තනය පරම්පරාගත කිරීමට පුරෝගාමී වූ තවත් පුද්ගලයන් පිළිබඳ මේ කෘතියේම දෙවැනි වෙළුමක හෝ සඳහන් කිරීමට ඔහු අපේක්ෂා කරන බවය. එසේම අඩසියවසකට වැඩි කාලයක් පුරා මාධ්‍ය හා කලා ක්ෂේත්‍රවල නියැළෙමින් ඔහු ලද අත්දැකීම් ඉදිරි පරපුරට දායාද කරන ලෙස බොහෝ දෙනා කළ ඉල්ලීම අනුව සිය වෘත්තීය අත්දැකීම් රැගත් කෘතියක් ඉදිරි කාලයේ සිය සහෘද කැලට පිරිනැමීමට මුල් පියවර තබා ඇති බව ද ඔහු පැවසුවේ නිහතමානි සතුටකිනි.