රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමාව සැරසූ හත්දෙනෙක්

පෙබරවාරි 4, 2021

හර්බට් එම්.සෙනෙවිරත්න - ඔහු බී.ඒ.ඩබ්. ජයමාන්නයන් හමුවීමට ගියේ උමතු විශ්වාසය (52) චිත්‍රපටයේ ගීත ලිවීමටය. පිටව ආවේ එහි ප්‍රධාන නළු චරිතය වූ ‘පියසේන’ ගේ චරිතය රුක්මණී දේවිය සමඟ රඟපෑමට වරම් ලබාගෙනය. ඔහු ඇයගේ හොඳම පෙම්වතා ලෙස සිනමා රසිකයන් හැඳින්වුයේ දොස්තර (56) (රංජීත්), සිරියලතා (57) (සිරිමාන රිටිගල) වැනි චිත්‍රපටිවල දෙදෙනාගේ රංගනයන් ආදරයෙන් වැලඳ ගනිමිනි. ‘හඳපාන’ (65), ‘හිතට හිත’ (65) චිත්‍රපටිවල ඔහුගේ පෙම්වතිය වූ විජිත මල්ලිකා සමඟ රඟ පෑ ‘ඈත අහසේ නැඟේ දිනිඳු පායා’, හඳපානේ මල් පිපුනා’ වැනි ගීතමය ජවනිකා පේ‍්‍රක්ෂකයන්ට තවමත් මතකය.

‘සෙනෙහස’ (69) ඔහු අධ්‍යක්ෂණය කළේ නිළි සොහොයුරියන් දෙදෙනකු වූ ජීවරාණී සහ ජානකීව තම පෙම්වතිය හා දියණිය බවට පත්කර ගනිමිනි. එහි රග පෑ චරිතය 7 වැනි සරසවි සම්මාන උලෙළේ දී ඔහුව හොඳම නලුවා බවට පත් කළේය. රන් එතනා ‘(81) සිටු දියණිය (82)අධ්‍යක්ෂණය කළා අනෙක් චිත්‍රපටයයි.

ඩඩ්ලි වානගුරු - අධ්‍යක්ෂක ශාන්ති කුමාර්ට ඩඩ්ලි වානගුරුව මුන ගැසෙන්නේ අහම්බයෙනි. එවේලේම ඔහුගේ ඊළඟ අධ්‍යක්ෂණය වූ‘එදා රෑ (53) චිත්‍රපටයේ රඟපෑම සඳහා ආරධනා කළේ ප්‍රධාන නිළියගේ සොහොයුරා ලෙස රඟපෑමටය. ඉන්පසු දෛව විපාකය (56), හදිසි විවාහය (59) ප්‍රධාන චරිත සඳහා අවස්ථාව ලැබෙද්දී ‘නළඟන’ (60) හී පොලිස් පරීක්ෂකයකු විය.

‘සැඟවුණු මැණික (67) ඔහුගේ එකම අධ්‍යක්ෂණය විය. ඔහුගේම චිත්‍රපටය වුවද එහි දුෂ්ඨ චරිතයට ඔහු කැමැත්තක් දැක්වීය. තම දියණය වූ මානෙල් වානගුරුට වෛද්‍යවරියකගේ චරිතය ලබා දෙමින් ඇයට සිංහල සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලබා දුන්නේය.

ස්ටැන්ලි පෙරේරා - සිනමාවට නැගුණු පළමු නවකතාව ලෙස ඩබ්.ඒ.සිල්වා ශූරීන්ගේ ‘කැලෑහඳ’ නවකතාව බී.ඒ.ඩබ්. ජයමාන්න චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කිරීමට සුදානම් වන අවස්ථාවේදී එහි ‘මාලනිය’ ලෙස රඟ පෑ රුක්මණී දේවියගේ පෙම්වතා වූ ‘ජොන් ජයපාල’ ලෙස රඟපෑවේ ස්ටැන්ලි පෙරේරාය. ඒ 1953 දීය. පළමු චිත්‍රපටයෙන්ම ජනපි‍්‍රයත්වයට පත්වන්නට ඔහුගේ රඟපෑම ඉවහල් විය. 91 දක්වා චිත්‍රපට 48ක පමණ රඟපෑවේ දුප්පතාගේ දුක (56) සුහද සොහොයුරෝ (63) චණ්ඩාලි (64) සුදුදුව (66) අක්කා නගෝ (68) වැනි රංගන කඩඉම් ද පසුකරමිනි.

රෝයි ද සිල්වා සමඟ ‘ටොමි පචයා’ (77) සම අධ්‍යක්ෂණය කළ අතර ‘සඳා’ (82) ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය විය. මෙහි ඔහු සඳාගේ පියා ලෙසත් ඔහුගේ බිරිඳ ගර්ලි ගුණවර්ධන සඳාගේ මව ලෙසත් දියණිය සබිතා පෙරේරා ‘සඳා’ ලෙසත් රඟපෑම විශේෂිතය.

ඩොමි ජයවර්ධන - සිනමාස් සමාගම නිපද වූ ‘සුජාතා’ ගේ නැගනියාව අමාරුවේ දමන්නේ වීකීය. අලුතින් සිනමාවට පිවිසි මෙම දුෂ්ඨයා පෙර සිටි දුෂ්ඨයන්ට වඩා බෙහෙවින් වෙනස් වූයෙන් රසිකයන්ගේ මෙන්ම විවාරකයන්ගේ ද අවධානය එකසේ ලබාගැනීමට සමත් විය. ඒ ඩොමී ජයවර්ධනයන්ගේ ප්‍රථම රංගනයෙන්මය. ඔහු තුළ තිබූ තමන්ටම ආවේණික රංග ශෛලියක් දැක්වීමේ මහඟු ප්‍රතිභාව නිසා සිංහල සිනමාවේ මෙතෙක් බිහි වූ හොඳම දුෂ්ඨ නලුවා ඔහු යැයි පැවසීම වරදක් නොවේ. ‘ටක් ටික් ටුක් ‘ (80) දක්වා චිත්‍රපට 55ක පමණ දුෂ්ඨයකු වුවද ජනපි‍්‍රය නළුවකු විය. පි‍්‍රයතම සහාය නළුවා 66 සරසවිය සම්මානය, විශේෂ සරසවිය තිලිණය (69) - (පුංචි බබා) සම්මාන ඊට සාක්ෂි සපයයි.

ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ අනුලා කරුණාතිලක සමඟ ප්‍රධාන චරිතය රඟපාමින් දරු දුක (67) චිත්‍රපටයෙනි. නොමඟ ගිය සැමියකු වැරදි හැර දමා නැවත බිරිඳත් දරුවාත් සොයා ගෙන එන චරිතය රඟපෑවේ රසිකයා තුළ තැන්පත්ව තිබූ දුෂ්ඨයා අමතක කර දමමිනි. දෙවන අධ්‍යක්ෂණය සිංග්පුපුර් චාලි (72) ය.

රෝහිණී ජයකොඩි - ‘අහංකාර ස්ත්‍රී’ (54) චිත්‍රපටයේ අහංකාර ස්ත්‍රියගේ චරිතය රඟපාමින් හිරයට පිවිසි රෝහීණී ජයකොඩි එහි රඟපෑවේ කෲර චරිතයක් වුවද එය රැයෙන් ජනපි‍්‍රයත්වයට පත්වූයේ ඇයගේ සාර්ථක රංගනය නිසාය. ඉන්පසු ඇය දඟකාරියක ලෙස ‘සූරයා’ (57) සූරසේන (57) , ‘වන මෝහිනී (58) වැනි චිත්‍රපටිවල තමන්ම ‘සිහිනය’ (59), සුරචෙරයා (67) වැනි චිත්‍රපට සමඟ ‘සුදු මාමා’ (85) දක්වා චිත්‍රපට 22ක රඟ පා ඇත.

‘හැංගි හොරා’ (68) අධ්‍යක්ෂණය කළේ ‘නිරූපා සහ වීණා නම් වූ තම දියණියන් දෙදෙනාගේ රංගනයන් ද එයට ඇතුළත් කරමිනි. දෙවන චිත්‍රපටය ලෙස ‘චණ්ඩි සිරියා ‘ (83 අධ්‍යක්ෂණය කළේ ඇයම ප්‍රධාන චරිතය රඟපාමිනි.

රූබි ද මැල්

මුලින්ම රඟ පෑ ‘මතභේදය’ (55) චිත්‍රපටයේ දී ඇයව හැඳින්වුයේ ‘විනෝදා රසාංජලී’ ලෙසය. ඇයගේ එම මුල් රඟපෑමම විචාරක ජයවිලාල් විලේගොඩගේ පැසසුමට ලක්විය. මුළු චිත්‍රපටයේ දීම ස්වාභාවික රඟපෑමක් දැක් වූ බව ඔහු පවසා තිබුණි. ‘සිරියලතා’ (57) හී විජේගුණවර්ධන මැතිණිය ද එසේමය. වැදගත් ප්‍රභූ පංතිියේ කාන්තාවගේ චරිතයන්, දිලිඳු මවකගේ චරිතයන්, දුෂ්ඨ මවකගේ චරිතයත්, වැල්ලේ ජීවත් වන ධීවර කාන්තාවකගේ චරිතයන් එක හා සමානව ඉතා දක්ෂ ලෙස රඟපෑවාය. ධීවරයෝ (64) බඹරු ඇවිත් (78) ඊට සාක්ෂි සපයයි.

ඇය අනාථ දරු නිවාසයක් පාලනය කළ බැවින් දෝ අධ්‍යක්ෂණය කළ ‘පිපෙන කුමුදු’ (67) චිත්‍රපටයේ කතා පුවතත් ඒ හා සමාන වුවත් විය. එහි රුක්මණී දේවිය ප්‍රධාන චරිතය රඟපෑවාය.

ශාන්ති අබේසේකර - ‘සැඩසුළංඟ (55) චිත්‍රපටයේ නැටුම් ගුරුවරයාගේ චරිතය රඟපෑමට පෙර පුදුම ලේලි (53) චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙස සුළු චරිතයක් රඟපා තිබුණි. ‘සිරකරුවා’ (57) හි ‘සිරි’ ලෙස උප ප්‍රධාන චරිතයක් ‘දස්කම් හි (858) ‘සේපාල’ ලෙස ප්‍රධාන චරිත ද රඟ පෑ ඔහුව පේ‍්‍රක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තේ ‘කොළඹ හාදයෝ’ (66) චිත්‍රපටයට ‘ජීවිතේ පී‍්‍රති සංචාරයෙකි ලොවේ.’ ගීතය ගයමින් කළ රංගනයටය.

ඔහුම ප්‍රධාන චරිතය නිරූපනය කරමින් ‘වහල් දූපත’ (68) සහ ‘සිදාදියෙන් හයක්’ (70) අධ්‍යක්ෂණය කළේය. ‘වහල් දුපතේ’ නිළි චන්ද්‍රතලා සමඟ ඉදිරිපත් කළ ‘මඳ සීන නල රැල්ල දඟලිල්ල පා’ ගීතමය ජවනිකාව තවමත් පේ‍්‍රක්ෂකයන්ට අමතක නැත.

රඟ පෑ අවසන් චිත්‍රපටය ‘ගිජුලිහිිණියෝ’ (75) ය.

මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු