කඩවුණු පොරොන්දුව මොහොතින් ගිලිහුණු ලැටීෂියා පීරිස්

(1931 - 2013)
දෙසැම්බර් 31, 2020

කඩමළු සාළුවක් පොරවා ගත් පිස්සියකගේ විලාසයේ ස්ත්‍රියක් සෙනඟ අතරින් ඉදිරියට පනිනවා කිසිවෙක් දුටුවේ නැත. ඇසිල්ලකින් ඕ තොමෝ පඩි පෙළේ බසින මනාල දෙපළ ඉදිරියට දිව යමින් පිස්තෝලයකින් යුත් ඇගේ දකුණු හස්තය ඔවුන් දෙසට දිගු කළාය. එකෙනෙහි වෙඩි ශබ්දයක් ඇති විය. මනාල ගුණසේකර වේදනා සහිත හදිස්සි කෑ ගැසීමකින් යුතුව පස්සට ඇවිදීගෙන යනවා පෙනුණි. නැවත මොහොතකින් දෙවෙනි වෙඩිල්ලක් ද ඇති විය. අසරණ මනාලිය සිහිසන් නැතිව වැටුණි.

ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන් විසින් ලියන ලද ‘සිරියලතා හෙවත් අනාථ තරුණි’ නවකතාවේ එන මේ අවස්ථාව 1957 වසරේ තිරගත වූ ‘සිරියලතා’ චිත්‍රපටයේ උද්වේගකර දර්ශනයකි. මෙසේ වෙඩි තබන ලද්දේ වික්ටර් ගුණසේකරගේ (මාක් සමරනායක) පළමු පෙම්වතිය වූ කැරොලිනා විසිනි. කැරොලිනා දුෂ්ට චරිතයකි. ඇය තම පියාට පවා වස දී මරණයට පත් කරන්නේ විවාහ ගිවිස සිටින වික්ටර්ට ඇති ආදරය නිසාය. කොටින්ම ඇය දුෂ්ට මිනීමරන තත්ත්වයට පත් කරන්නේ වික්ටර් විසිනි. මේ කැරොලිනාගේ චරිතය චිත්‍රපටයේ රඟපාන්නී ලැටීෂියා පීරිස්ය. ඇය කොතරම් දක්ෂ ලෙස මේ චරිතය රඟපෑවාද යත්, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ රුක්මණී දේවියත් අබිබවා සිටි බව මා කීවොත් එය රුක්මණියට කරන මදි පුංචි කමක් නොවේ. ඒ සමඟ ඇගේ රංගනය වඩාත් ඔප මට්ටම් වූයේ චිත්‍රපටයේ සෙසු නළුවන් අබිබවා දක්ෂ රංගනයක යෙදුණු මාක් සමරනායක නිසාය. ලැටීෂියා වරෙක පෙම්වතියක ලෙස ද වරෙක සහාසික ලෙස ද, දුෂ්ට ලෙස ද තවත් වරක මිනීමරන උමතු ගැහැනියක ලෙසද කැරොලිනාගේ චරිතය රඟපෑවේ සිනමා රසික ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ පිළිකුලට ලක් වෙමිනි. ලැටීෂියා පීරිස් නාට්‍ය කලාවට හා එතැනින් සිනමාවට පිවිසුණේ හතළිහ දසකයේය. මීගමුවේ උපත ලැබූ ඇය මීගමුවේ දළුපොත විද්‍යාලයේ මූලික ඉගෙනීම ලැබ කලාවට එක් වන්නේ මීගමුවේ හරිශ්චන්ද්‍ර විද්‍යාලයට ගිය කාලයේ පාසල් නාට්‍යවල රඟපෑමෙනි.

ලැටීෂියා මීගමුවේ ඩබ්ලිව්. එම්. පෙරේරාගේ ‘ගැහැනු හිත’ වේදිකා නාට්‍යයේ කුඩා දරුවකු ලෙස රඟපාන ආකාරය දුටු මීගමුවේ මිනර්වා නාට්‍ය නිෂ්පාදක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මවිතයට පත් වූයේය. ගෙදර ගිය හැටියේම ඔහු තම බිරිය ග්‍රේස්ට ලැටීෂියාගේ දස්කම් පුන පුනා අගය කළේය.

‘ග්‍රේස් දන්නවද වැඩක්. මම අද පෙරේරාගේ නාට්‍යයක් බලන්න ගියා. ඔයාගේ නංගි ලැටීෂියා අපූරුවට රඟපෑවනේ’

‘මේ අපේ ලැටීෂියා’

‘ඔව්, ඔව් මගේ නෑනා පොඩ්ඩ්’

‘එයා පොඩි කෙල්ලනේ’

‘හැබැයි රඟපෑම පොඩි නෑ. මම හිතන් ඉන්නේ අපේ ‘කඩවුණු පොරොන්දුව ‘ ඩ්‍රාමා එකේ පුංචි හිල්ඩාට තෝර ගන්න’

දින දෙකකින් පමණ වයස අවුරුදු අටක් පමණ වයසැති කුඩා ලැටීෂියා බී. ඒ. ඩබ්ලිව්. ගේ නිවසට ගියාය.

‘ලැටීෂියා නුඹ අපූරුවට පෙරේරාගේ නාට්‍යයේ රඟපෑවා නොවැ. මීට පස්සේ නුඹ රඟපාන්නේ මිනර්වා ටියටර්වල පමණයි. අක්කගෙන් ‘කඩවුණු පොරොන්දුව ‘ පිටපත ඉල්ලගෙන හිල්ඩාගේ පාට් එක පුරුදු වෙයන්’ බී. ඒ. ඩබ්ලිව්. පොතේ භාෂාවෙන්ම කීවේය.

‘ඒක බලන්න වුවමනා නෑ ඇලෝ අයියා. රිහසල් බලන් ඉඳලම මට ඩයලොග් කට පාඩම්. මම කියන්නද . . .’

‘නෑ දැන් ඕනෑ නෑ. ඉරිදා අපේ රිහසල් එකට නුඹ අනිවාර්යෙන්ම එන්න ඕනෑ’

‘මගේ සුදු ඇලෝ අයියා’ කී ලැටීෂියා ඔහු සිප ගත්තාය.

1934 ඔක්තෝබර් 13 වැනිදා උපන් මීමනගේ මේරි මැගිලින් ලැටීෂියා පීරිස් කලා ලොවට එක් වන්නේ ‘කඩවුණු පොරොන්දුව‘ වේදිකා නාට්‍යයෙනි.

‘මම මේ නාට්‍යයේ රඟපෑ හිල්ඩාගේ චරිතයට නරඹන්නෝ කඳුළු සැලුවා. මොකද හිල්ඩා රෝගාතුරව මිය යන නිසා. ‘කඩවුණු පොරොන්දුව‘ සිනමාවට ගන්නවා කිව්වාම මම හරිම සතුටින් හිටියේ. මොකද? ලංකාවේ හදපු මුල්ම චිත්‍රපටයනේ ඒක. මිනර්වා කණ්ඩායම ඉන්දියාවට යන්න ඔන්න මෙන්න තිබියදී මම බලවත් ලෙස අසනීප වුණ. මට හොඳම අවස්ථාව මඟ ඇරැණා’ ලැටීෂියා අපට කීවේ වරක් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘කතුරු මුවත්’ චිත්‍රපටයේ රූගත කරන කාලයේ නුගේගොඩ දී ලැබුණු විවේකයකදීය.

එහෙත් ලැටීෂියා සිංහල සිනමාව් වර්තාවක් තැබූ රංගාවේදිනියක් වූයේ මුල් යුගයේ සිටය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න විසින් 1950 තිරගත වූ ‘හදිසි විනිශ්චය’ චිත්‍රපටයේ පද්මිණීගේ චරිතයෙන් සිනමාවට හඳුන්වා දෙන අතර සිංහල චිත්‍රපටයක එන දෙවන විරුදු පන්තිය එඩී ජයමාන්න සමඟ ගැයූ ගායිකාවද වන්නේ ලැටීෂියාය. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය බී. එස්. පෙරේරාය. ගීත රචකයා මර්සලීනු ඇල්බට් බවත් 50 දශකයෙහි පුවත්පත් ලිපිවලින් ගීත හිමිකම් තහවුරු කර ඇති බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 -1956) කෘතියේ සඳහන් කරති. මේ ඒ යුග ගීතයයි. සහාය ගායකයා එඩී ජයමාන්නය.

තම හිමියා වැඩ ඇරිලා

ගෙට ආවම වෙහෙස වෙලා

ඕපදූප රස කරලා නොකියනු කරදර කරලා

ඒක සැබයි සැබයි සැබැයි

 

කාසි පනම් හරම් කරල දුන්නම

හිමි බාරි අතට

අමතර වියදම් කරලා ඉවර උණොත්

වැටෙයි දුකට

අන්න ඒක හිතට ගනින්

 

ආලෙ පාල කාර බැන්ද

ස්වාමි ඇතත් නැතත් ගෙදර

පාල මුකුළු කොමල සිනා

විහිළු තහළු කැතයි නිතර

නුඹත් එහෙම නේද බොලං

 

රේස් සූදුවල ගොහිල්ල පැරදී

හිමි ගෙට ආ විට

රේස් පිස්සා කියලා හිමිට එපා

රවල බැණ වදින්ට

මගෙ ගෑනිත් එහෙම තමයි

 

තමන්ගේ සොහොයුරාට මිස

වෙනින් කිසිම පිරිමියෙකුට

ලැගුම් දෙන්න එපා ඇඳේ තම හිමියා නැතුව රෑට

එහෙම කළොත් බොහොම කැතයි

 

ගෙදර අඳින කිමෝන එක ඇඳල යන්ට එපා

එහෙම ඇඳල ගිහින් පාරෙ විලි ලැජජා වෙන්ට එපා

වෙන ඇඳුමක් ඇඳල වරෙන්

 

යාළු මිතුරු මිතුරියො

තම හිමියා ගැන කියන දෝස

ඒව අහල හිමියා ගැන

ගන්ට එපා අවිස්වාස

මුල පෑදෙයි දික්කසාදෙ

 

කබරයාට තලගොයා කීවත්

හිමි සමහර විට

දබර නොකර පිළිගත්තොත්

සමගිය වේ මුළු පවුලට

ඒක තමයි කීකරුකම

 

මත්පැන් සිගරැට් සුරුට්ටු

ගෑනු අතර පාවිච්චිය

බොහොම කැතයි සමහර විට

අංගොඩටත් යන්ට වේය

සුරා යකත් ඔළුවෙ නගී

‘හදිසි විනිශ්චය’ චිත්‍රපටයේ එඩී ජයමාන්න කෝකිල ලෙස ද, ලැටීෂියා - පද්මිණී ලෙස විකට චරිත රඟපාමින් පසුබිම් ගී ගැයූහ. එඩී ඊට කලින් ජෙමිණිි කාන්තා සමඟ විකට ජෝඩුව ලෙස එඩී සමඟ රඟපාමින් පසුබිම් ගී ගැයූ අතර ජෙමිණි කාන්තා විවාහ වී සිනමාවෙන් සමුගත් පසු ඒ හිඩැස පිර වූයේ ලැටීෂියාය. ලැටීෂියා මේ චිත්‍රපටයේ එඩී සමඟ යුග ගීත දෙකක්ම ගැයුවාය. ඉන් එක ගීතයක කොටසකි වේ. මේ ගීතය දිග ගීතයකි.

කෝකිල - මගෙ පද්මිණිගෙ රූපෙ නිසා

ආමි සොයා මන්

නුඹටා ආලේ පාලා කුමරි ආලේ පාලා?

ශ්‍රියාවි මනමාලී වෙන්කො ආදරේ

පද්මිණී - මේ මොකද

මේ මිනිහා කියන කතා

ඔය විගඩම මට හරි නෑ

කෝකිල - මගෙ පද්මිණිගේ රූපෙ නිසා

ආමි සොයා මන්

පද්මිණී - කසාදේ බැඳලා

පවුල් වෙලා දුක් ගන්නේ ඇයිද

අනේ ඕනෑම නෑ මට ඕනෑම නෑ

දැන් කලෙ ඔය තාලේ වේ බොරු ආලේ

කෝකිල - මගෙ පද්මිණිගෙ රූපෙ නිසා

ආමි සොයා මන්

පද්මිණී - මේ මොකද මේ උලමා කියන කතා

කට වහපන් කට වහපන්

අනික් යුග ගීතයයි මේ. සහය ගායකයා හා නළුවා එඩීය.

පද්මිණී - ආදර ස්වාමි කෑම කන්ඩකෝ

කෝකලි - හා හා හා හා හා

පද්මිණී - ආදර ස්වාමි කෑම කන්ඩකෝ

කෝකිල - හා හා හා හා හා හා

මේ හැටි කෑවොත් උගුර බඩට යයි

දත් බඩට යයි

පද්මිණී - නැහැ - නැහැ - නැහැ - නැහැ - නැහැ - නෑ

1951 තිරගත වූ ‘සැඟවුණු පිළිතුර’ චිත්‍රපටයෙන් බී. ඒ. ඩබ්ලිව්. සුපුරුදු විකට ජෝඩුව වෙනස් කළේය. ඒ වෙනුවට එඩී සමඟ මේබල් බ්ලයිත් යොදා ගත්හ. එඩී ජෝකීනුුුු වූ අතර මේබල් නැන්සි වූහ. එහෙත් ලැටීෂියාට බීටාගේ චරිය රඟපෑම ලැබුණු අතර මේබල් බ්ලයිත් වෙනුවෙන් එඩී සමඟ පසුබිම් විකට ගීත ගැයීමේ අවස්ථාව ලැබුණාය. මේ ගීතවල ඛණ්ඩ කීපයකි.

ජෝකිනු - නෑ නෑ දැන් කකුල මගේ වේදනා

නැන්සි - ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා වේදනා

ජෝකීනු - නෑ නෑ මට ඒක නිකං කියවුණා

නැන්සි - ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා

මේ තව ගීතයකි.

නැන්සි - පරාණේ වාගේ ආලේ

මයි සුගර් මයි ජගරි ලව් ලව්

ජෝකිනු - අනේ මේ ඇයි ආලේ

මයි ඩලෝ මයි ඩාලිං මයි හනී මයි ලව්

නැන්සි - හීල් බත් පොල් සම්බල් වාගේ

හිල් බත් පොල් සම්බල් සේ

මාගේ ආලේ මයි ඩියර් මයි ලව්

මොහොමඩ් ගවුස් සංගීතවත් කළ මේ චිත්‍රපටයේ ගී තනු සියල්ල ස්වතන්ත්‍ර නිර්මාණ බව මහාචාර්ය ආරියරත්න පවසා ඇත. ගීත රචනය සී. වීරසේකරගෙනි. මේ එහි ලැටීෂියා හා එඩී ගැයූ ගීතයක කොටසකි.

ජෝකීනු - මගේ වාසනා කාලේ ළං වුණා

නැන්සි - කාසි ගන්ට අනේ පව් නැද්ද මෝඩ කරලා

ජෝකීනු - ඇයි බන් නැන්සි මේවයි සල්ලි දෙයියන්නේ මල්ලී

1952 උමතු විශ්වාසයෙන් පසු ලැටීෂියා රඟපෑවේ 1957 වසරේ එඩී ජයමාන්න හා රුක්මණී දේවි නිෂ්පාදනය කළ ඉන්දීය ජාතික එස්. එස්. රාජන් අධ්‍යක්ෂණය කළ සිරියලතා චිත්‍රපටයේ කැරොලිනාගේ දුෂ්ට චරිතයයි. ‘සිරියලතා’ මා රඟපෑ මා කැමති හොඳම චරිතය සහිත චිත්‍රපටයයි. එතෙක් විකට ජෝඩුව ලෙස පෙනී සිට හෙම්බත්ව සිටි මා මේ චිත්‍රපටයේදී හිතේ හැටියට රඟපෑවා. මේ චිත්‍රපටයේ මා අපහසුතාවට පත් වූ දර්ශනයක් තිබුණා. මගේ පියා ලෙස රඟපෑ හියුගෝ ප්‍රනාන්දු මනමාල විසේ තියෙන, කාන්තාවන්ට කෑදර චරිතයක්. ඔහුගේ බිරිය හෙවත් මගේ මව මිය ගිහින්. මේ අතර අනාථ තරුණියක් අපේ ගෙදර මෙහෙකාරියක් ලෙස එනවා. ඇග්නස් හෙවත් ගුස්තිනා නම් ඇය රූමත් වරක් දුටු සැණින් කාගේත් ආකර්ෂණයට පත්වන තරුණියක්. ඇගේ චරිතය රඟපෑවේ රුක්මණි දේවි. මගේ පියා ඇය තම බිරිඳ කර ගැනීමට මාන බලනවා. පියා ඇයට සෙනෙහෙවන්ත බව පෙන්වන අවස්ථාවක් මා දකිනවා. ඇය මෙයට කැමති නෑ. මා හිතා හිටියේ ඇය තාත්තාට අනුබල දෙනවා කියා. මට දර්ශනයේ තිබුණේ රුක්මණීට වේගවත් කම්මුල් පහරක් දෙන්න. ඒත් . . . මම හුඟාක් කල්පනා කළා. මොන හිතකින් ඩේසි අක්කාට (රුක්මණී) ගහන්නද?

‘ලැටීෂියා, ඔයා හොඳටම බය වෙලා’ ඩේසි අක්කා මගෙන් ඇහැව්වා.

‘මට බැහැ ඩෙසි අක්කට කම්මුලට ගහන්න’

‘ළමයෝ මේ චිත්‍රපටයේ තීරණාත්මක අවස්ථාවක්. ඔයා අත දිග හැරලා ගහන්න’ ඇය මට ධෛර්යය දෙමින් කීවා.

කිව්ව වගේම අත දිග හැර මම ඇයට කම්මුලට වේගවත් පහරක් දුන්නා. ඒ පාරට ඇය කැරකිලා ගියා.

‘අනේ ඩේසි අක්කේ මට හරිම දුකයි. චිත්‍රපටය ආවාම මට නරඹන්නෝ සාප කරාවි ඔයාට ගැහැව්වට‘

‘ඔයා කළේ රගපෑමක්. මතක කියා ගන්න ඔයා මටත් වඩා හොඳට රඟපනාවා කියලා කියාවි. එඩීත් මමත් ඔයාගේ රඟපෑම් හොඳ පරීක්ෂාවෙන් හිටියේ. ඔයා තමයි අපේ චිත්‍රපටයේ කැපී පෙනෙන නිළිය’.

‘ඩේසි අක්කාට ඉහළින් මට රඟපාන්න බැහැ’

ලැටීෂියා නිහතමානි නිළියකි. ඇය පිදිය යුත්තන් පිදූ කලාකාරිනියකි.

හැත්තෑව දශකයේ ලෙටීෂියා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ බයිසිකල් හොරා, සීයේ නෝට්ටුව, වතුර කරත්තය, රේල් පාර, ලොකුම හිනාව, අපරාධය හා දඬුවම, ඉහත ආත්මය, දුලීකා ආදී චිත්‍රපටවලින් විවිධ චරිත රැසක් රඟපෑමට අවස්ථාව ලැබුණාය. ඒ චිත්‍රපටවල ඩී. ආර්. නානායක්කාර සමඟ කරට කර ලෙස රඟපාමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවාය.

ලෙටීෂියා රඟපෑ සෙසු චිත්‍රපට වූයේ කලියුග කාලේ, සධානා, හාරත හතර, නීලා, ජීවන කඳුළු, වසන්තේ දවසක්, අක්කෙ මට අවසරයි, සත්වෙනි දවස, ජීවන්ති, සඳකඩ පහණ, මල් හතයි, පුනරුත්පත්තිය, අයදිමි සමා, ඔන්න බබෝ චිත්‍රපටය. ටෙලි නාට්‍ය නිළියක ලෙස ප්‍රමාද වැඩියි, අසල්වැසියෝ, හිඟන කොල්ලා ටෙලි නාට්‍යවල දස්කම් පෑ ඇය සරසවිය, ඕ. සී. අයි. සී. හා කලා භූෂණ සම්මානවලින් පිදුම් ලැබුවාය.

1957 දී කේ. මයිකල් සිල්වා සමඟ යුග දිවියට එළඹුණ ඇය චාන්දනී සිල්වා හා රේණුකා සිල්වා යන දියණියන් දෙදෙනාගේ මෑණියන්ය. ඇයගේ ජීවිතයේ අවසාන කාලයේ හොඳටම ඔත්පළව සිටි තම සැමියා සමඟ අසරණ ජීවිතයක් රද්දොළුව 4/8-16/එල් නිවසේ ගත කළාය. ඇය 2013 ඔක්තෝබර් 27වෙනිදා දෙව් මව් තුරුලට ගියාය.

මෙහි එන සියලුම චිත්‍රපට ගීතවල නිවැරැදි රචනා ‘සිංහල චිත්‍රපට ගීතාවලි 47-56’ කෘතියෙන් උපුටා ගතිමි. උපන් දින හා මියගිය දින නිර්ලෝභීව කවදත් ලබා දෙන සිරි කහවලයන්ට අපේ ස්තූතිය.