උපාධිධාරිනියෝ රඟබිමට පිවිසෙති

ජුනි 11, 2020

රුක්මණී දේවිය පමණටම ජනතා ආකර්ෂණය දිනා ගනු නොලැබුවත් ඒ සමකාලීන යුගයේ වේදිකාවේ ඉස්මතු වූ සීතා ජයවර්ධන නම් වූ සුවිශේෂ රංග ශිල්පිනිය අපට අමතක කළ නොහැකිය. මෙරට වේදිකා නාට්‍ය රංගනයට මතු නොව සිනමා රංගනයට ද පිවිසුණුු පළමු උපාධිධාරී නිළිය ලෙස ඇය ඉතිහාස ගත වී ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ සීතා, ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ හඳුන්වාදීමෙන් සිනමාවට පිවිසිණ. සැබැවින්ම මෙරට දෙවැනි කථානාද වෘත්තාන්ත චිත්‍රපටය වූ “අශෝකමාලා” හී අශෝකමාලාගේ ප්‍රධාන චරිතයට මුලින්ම තෝරා ගැනුණේ සීතා ජයවර්ධනය. එහෙත් ඇය ඒ සඳහා ඉන්දියාවට යෑම අතහැර වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියාය.

නිළිකමට වඩා වැඩිදුර ඉගෙනීමට ඇයගේ සිත යොමු විය. පසුව ශාන්ති ඉවෝන් සූට්ස් මේ සඳහා තෝරා ගත් නමුදු බර්ගර් ජාතික ඇයගේ සිංහල උච්චාරණය ගැන සෑහීමට පත් විය නොහැකි වූ හෙයින් සැඩොල් තරුණියකගේ සුළු චරිතයක් ඇයට ලබා දුන් බැව් පෙනේ. ඉවෝන් එවක ඉතා සුප්‍රකට සූට්ස් නීතිවේදියාණන්ගේ දියණියකි. එමලින් දිඹුලාන හට අශෝකමාලාගේ චරිතය ලැබුණේ ඉන් පසුවය.

සීතා ජයවර්ධන පසුව ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “එදා රෑ” (1953) චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ඔහු සමඟ රඟපාමින් සිනමාවට පිවිසුණාය. “එදා රෑ” වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපටයකි. අනෙක් අතට වේදිකාවේ හෝ සිනමාවේ නිළියක ලෙස දිගු ගමනක් යෑමට සීතාට අපේක්ෂාවක් නොතිබුණි. ඇය “ජීවිත සටන” (1957) චිත්‍රපටයේ අයේෂා වීරකෝන්ගේ දියණිය ලෙස රඟපෑවාය. පසුව “සංසාරේ” (1962) චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සිනමාවෙන් සමුගත්තාය. සීතා රඟපෑ චිත්‍රපට ත්‍රිත්වයෙහිම අධ්‍යක්ෂවරයා වූයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. විවාහයෙන් ඉක්බිතිව ඇය 1978 වසරේදී මිය යන තෙක්ම වේදිකාවේ හෝ සිනමාවේ රංගනයෙන් දුරස් වූ බැව් පෙනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ආචාර්ය අර්ජුන පරාක්‍රම ඇයගේ පුත්‍රයෙකි. සීතා ජයවර්ධන ලාංකේය වේදිකාවේ අමරණීය නිළියක් බවට පත් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “පබාවතී” (1952) නාට්‍යයෙහි පබාවතීගේ භූමිකාවෙනි. ඒ වන විට ඇය විශ්වවිද්‍යාල ඉංග්‍රීසි නාට්‍යවල කැපී පෙනෙන නිළියක බවට පත්ව සිටියාය.

1921 දී කොළඹ විශ්ව විද්‍යාලයීය කොලීජිය (උදඪමඥපඵඪබර ඛ්ධතතඥඨඥ) ඇරැඹීමත් සමඟ ලාංකේය වේදිකාවේ අභිනව පෙරළියක් දිස් විය. ඒ වකවානුව වන විට කොළඹ නගරය කේන්ද්‍රගතව ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ විනෝද මාධ්‍යයක් ලෙස ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය කිරීම බහුලව දක්නට ලැබිණ. එකල වඩාත් නිෂ්පාදනය කෙරුණේ විලියම් ෂේක්ස්්පියර්ගේ නාට්‍ය බැව් පෙනේ. මේ නාට්‍යවල ආභාසය ලැබීම හේතු කොට කොළඹ විශ්වවිද්‍යාල කොලිජියෙහි ඉංග්‍රීසි නාට්‍ය සංගමය ඇරැඹිණ. එහි ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයකු වූ ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ උපදේශකත්වයෙන් මේ නාට්‍ය සංගමය මඟින් 1933 සිට ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනය කිරීම ඇරැඹිණ.

යථෝක්ත ඉංග්‍රීසි නාට්‍ය සංගමය වෙනුවෙන් මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික් විසින් 1933 දී ස්පාඤ්ඤ ජාතික ක්වින්ටරෝ සහෝදරයන්ගේ “Where Women Rule”   නමැති ඉංග්‍රිසි නාට්‍යය නිෂ්පාදනය කොට එය කොළඹ රාජකීය විද්‍යලයීය ශාලාවේදී රඟ දක්වනු ලැබීමෙන් “විශ්වවිද්‍යාල නාට්‍ය වංශය” ඇරැඹිණ.

එතෙක් ලාංකේය නාට්‍ය කලාව සුපෝෂණය වූයේ දකුණු ඉන්දියානු “තෙරික්කුත්තුª” ගැමි වීථි නාට්‍යයෙන් හෝ සංස්කෘත නාට්‍යයෙහි ආභාසයෙනි. ෂේක්ස්පියර් නාට්‍ය ඔස්සේ ජෝන් ද සිල්වා වැනි නූර්ති නාට්‍යවේදීන් නාට්‍ය තැනු නමුදු අපරදිග නාට්‍ය කලාවේ ආභාසය සැබවින්ම උකහා ගැනීම ඇරඹුණේ විශ්වවිද්‍යාල ඉංග්‍රීසි නාට්‍ය යුගයේ සිට යැයි මම සිතමි.

මහාචාර්ය ලුඩොවයික්ගේ ඉගැන්වීම් ඔස්සේ බටහිර විචාර කලාව මතු නොව කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කිගේ තත්විධ රූපණ න්‍යාය (Theory of Method Acting)  අරභයා ද ලාංකේය නාට්‍ය ශිල්පීන්ට පෘථුල අවබෝධයක් ලැබුණු බැව් අප අමතක නොකළ යුතුය. ඊ. එෆ්. සී. ලුඩොවයික් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දී ශාස්ත්‍ර හැදෑරූ සමයේ භාවිත විචාර (Practical Criticism) ) ක්‍රමවේදය ලොවට දායාද කළ අයි. ඒ. රිචර්ඩ්ස් ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙකි. මේ ආභාසයෙන් මහාචාර්ය ලුඩොවයික් ලාංකේය විශ්වවිද්‍යාලයට භාවිත විචාර ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. කලා කෘතියක් විචාරයට ලක් කිරීමේදී නිර්මාණකරුවාගේ පසුබිම හා සමාජ පසුබිම බැහැර කොට කෘතියෙහි ව්‍යංග්‍යාර්ථ ගැඹුරින් විමසීම ඔස්සේ එය කියැවීම භාවිත විචාරයෙහි පදනම විය. මහාචාර්ය ඒ. එම්. ජී. සිරිමාන්න සෘජුවම මේ ක්‍රමවේදය අනුදත් විචාරකයෙකි. රෙජී සිරිවර්ධන හා මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන මේ විචාර ක්‍රමවේදයෙහි ආභාසය ලැබූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර භාවිත විචාර ක්‍රමවේදයට මුළුමනින්ම වහල් නොවූ අතර එහි සරු තැන් පමණක් උකහා ගත් බව ඔහු විසින් විරචිත “සාහිත්‍ය විද්‍යාව“ යන විචාර ග්‍රන්ථයෙන් පැහැදිලි වේ.

මහාචාර්ය ලුඩොවයික් හා නිව්මන් ජුබාල් වැනි නාට්‍යවේදීන් නිර්මාණය කළ ඉංග්‍රීසි නාට්‍යවල රුපණ ශෛලියෙහි යම්බඳු වෙනස්කම් දක්නට ලැබිණ. එවක මෙරට බිහි වූ සියලු නාට්‍යවල දිස් වූ නාට්‍යාතිශය (Melodramatical)  රූපණ ශෛලිය එලෙසින්ම දක්නට ලැබීම වෙනුවට තාත්වික රංග ශෛලියක බීජ අවස්ථා ද ඊට මුසු වී ඇති ආකාරය මෙකී ඉංග්‍රීසි නාට්‍යවලින් දැක ගත හැකි විය. මෙරට නාට්‍ය කලාව දියුණු කිරීමට යුරෝපයෙන් පැමිණි නිව්මන් ජුබාල්, නාට්‍ය යනු අධ්‍යක්ෂවරයාගේ කලාවක් (Director’s Art)  ලෙස ඇදැහු නාට්‍යවේදියෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සේම දයානන්ද ගුණවර්ධනයන්ද නාට්‍ය අධ්‍යක්ෂණය අරභයා සැබෑ ප්‍රායෝගික පුහුණුවක් ලැබුවේ ඔහු සමඟ “වෙද හටන” නාට්‍යයට දායක වීමෙනි . සීතා ජයවර්ධන මුල්වරට කැපී පෙනුණේ මෙකී පසුබිමෙන් බිහි වූ ඉංග්‍රීසි නාට්‍ය ඔස්සේය. 1950 දී මහාචාර්ය සරච්චන්ද්‍ර “බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්” නාට්‍යයත් සමඟ ස්වකීය අත්හදා බැලීම් ආරම්භ කළේය. මෙහි දක්නට ලැබුණේ බටහිර නාට්‍ය 

සම්ප්‍රදාය හා සිංහල - ඉංග්‍රීසි මිශ්‍ර ශෛලියේ ව්‍යවහාරෝචිත භාෂාවකි.

ඉක්බිතිව ඔහු “පබාවතී” (1952) නාට්‍යය නිර්මාණය කළේය. එහිදී සරච්චන්ද්‍රයෝ සිංහල නාඩගමෙන් සකු නාට්‍යයෙන් ආභාසය ලැබූහ. ජාතක කතාවක් ඇසුරු කොට නාට්‍යයක් නිර්මාණය කිරීමේදී ඊට වඩාත් උචිත වනුයේ කාව්‍යාත්මක හෙවත් ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය බවට ප්‍රචලිත මතය බැහැර කිරීමේ අදහසින් මහාචාර්ය සරච්චන්ද්‍ර “පබාවතී” නාට්‍යය නිර්මාණය කළේ තාත්වික සම්ප්‍රදායෙනි. එතෙක් අතීත සමාජය ඇසුරු කොට රචනා කළ නාට්‍යවල සංවාද ගොඩ නැඟුණේ ග්‍රන්ථවල ඇති බස් වහරෙනි. එහෙත් “පබාවතී” නාට්‍යයෙහි දක්නා ලැබුණේ අද්‍යතන කථා ව්‍යවහාරය වු බැවින් ප්‍රේක්ෂකයාට මින් නවමු සහානුභූතියක් ලැබිණ. සරච්චන්ද්‍රයන්ගේ මේ පුරෝගාමී නාට්‍ය අත්හදා බැලීමේ ප්‍රබල නිළි ප්‍රතිරූපය වූයේ සීතා ජයවර්ධනය. එවක විශ්වවිද්‍යාල ඉංගී‍්‍රසි නාට්‍යවලින් සීතා හැරුණු විට ඉස්මතු වූ ප්‍රබල නිළි ප්‍රතිරූප ලෙස අයිරාංගණී සේරසිංහ හා රංජිනී ඔබේසේකර යන රංග ශිල්පිනියෝ කැපී පෙනුණාහ. එවක විශ්වවිද්‍යාලයීය සිංහල සමිතියේ නාට්‍යවලින් ප්‍රේමා පෙරේරා, ස්වර්ණා ද සිල්වා, පුණ්‍යා සේනානායක, සීතා ද අල්විස්, තිලෝකසුන්දරී කාරියවසම්, අයිලින් සරච්චන්ද්‍ර, සිරිමා වික්‍රමසිංහ යනාදී රංගන ශිල්පිනියෝ පෙරට ආහ.

 

ඉතිරි කොටස ලබන සතියේ