“නන්දන උයනේ සිරී” සල්ගල ආරණ්‍යය ගැන ගීත කෝකිලා

“රෙජිනා පෙරේරා” ගැයූ ගීතය
ජුනි 11, 2020

මෙරට 1906-40 වකවානුවේ බිහි වූ ඇතැම් ග්‍රැමොෆෝන් ගීත අතුරින් ඓතිහාසික සිද්ධස්ථාන වර්ණනා කෙරෙන ගායනා බොහොමයක් හමු වෙයි. එ අතුරින් ඉපැරණි ගීත කීපයක් නිදසුන් ලෙස දැක්වුවහොත්, අටමස්ථාන ගැන වර්ණනා කෙරෙන “සිරිඝන මුණි වර තෛ‍්‍රතල තිලක වූ” නම් ගීතය කවි ආනන්ද රාජකරුණා විසින් 1928 දී පමණ පබඳන ලදුව, ඇනී බොතේජු ශිල්පිනිය විසින් ගායනා කරන ලද “අටමස්ථාන” ගැන කෙරෙන වර්ණනාවකි. වර්ෂ 1933 දී, ටි. එඩ්වින් පෙරේරා විසින් ගයන ලද, “මිරිසවැටි චෛත්‍යය” සහ “ථූපාරාම චෛත්‍යය” යන ගීත යුග්මය ද, පසු කාලීනව එනම්, 1940 දශකයේ මුල් වකවානුවේ, ග්‍රේටා ජෙනට් ද සිල්වා විසින් ගැයූ ශ්‍රී පාද වන්දනාව නොහොත් “මුනි නන්දන සිරිපාද වඳීම් සමනළ කන්දේ” ගීතයත්, ඇම්. කේ වින්සන්ට් ගැයූ “ගෞතම සිරිපාද වඳීම් සමනළ කන්දේ” ගීතයත් , ලක්ෂ්මි බායි විසින් ගැයූ “වඳීමි පිරිසිඳු අටමස්ථානේ” ගීතයත්, අසෝකා දේවී ප්‍රධාන පිරිස ගැයූ “ධර්ම ද්‍වීපෙ රම්‍ය මේ” ගීතයත්, නිර්මලා සහ ඇම්.කේ වින්සන්ට් ගැයූ “ වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ” ගීතයත්, අසෝකා දේවී සහ එඩි ජුනියර් ගැයූ “මහමෙවුනා” යන ගීතයත්, මෙරට පැරැණි බෞද්ධ සිධස්ඨාන වර්ණනා කෙරුණු ගීත සඳහා තවත් නිදසුන් ය.

අද මා ඔබ වෙත ඉදිරිපත් කරන “නන්දන උයනේ සිරි” නම් වූ මෙම ගීතය ඔබ බොහෝ දෙනෙක් හට නුපුරුදු නමුත්, ඓතිහාසික වටිනාකමක් ඇති ගීතයකි. මෙම ගීතයෙන් කියැවෙන්නේ මෙරට ඉතා දිගු ඉතිහාසයක් ඇති ඔබ කවුරුත් දන්නා “සල්ගල ආරණ්‍ය සේනාසනය” පිළිබඳ වර්ණනාවකි.

සබරගමු පළාතේ, කෑගල්ල දිසාවේ බෙලිගල කෝරළයට අයත් අක්කර හත්සියයක් පමණ වන “කැටහිල්ල මූකලාන” නම් වූ වන ලැහැබක පිහිටි සුන්දර “සල්ගල ආරණ්‍යය ” ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින රමණීය ආරණ්‍ය සේනාසනයකි. මෙම සේනාසනය වසර දෙදහසකට ආසන්න ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමියකි. ඓතිහාසික පුරාවෘත්තයන් හි සඳහන් වන පරිදි බු.ව.440 දී පමණ මෙරට රාජ්‍යත්වයට පත් වළගම්බා රජතුමා සතුරන් ගෙන් සැඟව නැවතී සිටි ලෙන් කීපයක් ද අයත් වන පුද බිමකි. එනමුත් වළගම්බා රජු මෙම භූමියට පැමිණීමට පෙර සිට ම මෙම පුද බිම ආරණ්‍ය සේනාසනයක්‌ ව පැවැති බවත් එහි, භික්ෂූන් සහ රහතුන් වාසය කළ බවත් සඳහන් වේ. මේ පිළිබඳව මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති කටාරම් සහිත “ගිජ්ජකූටය” නමින් හඳුන් වන එක්තරා ලෙනක ක්‍රි. පූ 3 වැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර වලින් ලියු ශිලා ලේඛනයක “ධර්මගුප්ත” නම් රහතන්වහන්සේ නමක් එම ලෙනෙහි වැඩ සිටි බව සඳහන් කර ඇත.එසේම මෙම සේනාසනය පිළිබඳව “විශුද්ධි මාර්ගයේ” ද සඳහන් වේ. සල්ගල සෙනසුන තුළ ඉසිගිලි, පිප්ඵලී , වේහාර , වේපුල්ල, අතුබැඳී ලෙන සහ ගිජ්ජකූට යනුවෙන් කටාරම් කෙටූ ගල්ලෙන් හයක්ද බැලුම්ගල කුටිය, හේමාලෝක කුටිය, අරනායක කුටිය, අතාවුද කුටිය, මහවකුටිය සහ හෙයියන්තුඩුව කුටිය යනුවෙන් භාවනා කුටි විශාල ප්‍රමාණයක්ද පිහිටා ඇත.

අවට නිසංසල පරිසරයේ භාවනානුයෝගී භික්ෂූන්වහන්සේලාට යෝග්‍ය වන පරිදි සකස් කර ඇති නිසා අතීතයේ සිට වර්තමානය දක්වා ම මෙම ස්ථානය ආරණ්‍ය සේනාසනයක් ලෙස භාවිත කර ඇත. කාලයාගේ ඇවෑමෙන් වල් බිහිවූ මෙම පුණ්‍යභූමිය, රාජ නීතිඥ එච්.ශ්‍රී නිශ්ශංක මැතිතුමාගේ කැපවීම සහ මූලිකත්වයෙන් නැවත එළි පෙහෙළි කොට, වර්ෂ 1928-31 වකවානුවේදී දී පමණ යෝගාවචර භික්‍ෂූන් වහන්සේගේ පරිහරණයට සුදුසු පරිදි සකස් කරන ලද්දේ ය. අනතුරුව එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභික සහ පසුව මෙරට පළමු අග්‍රාමාත්‍ය ධූරන්ධර හෙබවූ මහාමාන්‍ය ඩී .එස් සේනානායක මැතිතුමන් විසින් වර්ෂ 1940 දී මෙම ආරණ්‍ය සේනාසනයට විශාල ගල් උළුවස්සක් සාදා නිම කර දුන් අතර, එතුමාගේ අභාවය තෙක් ම මෙම සේනාසනයේ භාරකාරීත්ව මණ්ඩලයෙහි අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේ ය.

වර්ෂ 1940 දී ඩී. එස්. සේනානායක මැතිතුමන් විසින් ඉඳීකළ මෙම සල්ගල සේනාසනයේ ප්‍රතිස්ථාපන කටයුතු පිළිබඳව එකල පුවත්පත්වල බොහෝ සෙයින් දැනුම්වත් කෙරුණි. එබැවින්, එකල පැවැති ප්‍රධානතම ශ්‍රව්‍ය මාධ්‍ය මෙවලම වූ ග්‍රැමොෆෝනය මගින් ශබ්දවාහිනී තැටියක් ලෙස මෙම සුන්දර ආරණ්‍ය සේනාසනය පිළිබඳ විස්තර රමණීය ගීතයක් ලෙස ජනතාව අතර ප්‍රචලිත වූයේ පහත අයුරිනි.

 

නන්දන උයනේ සිරි භාර ධාරී වේ සල්ගල ආරණ්‍යෙ //

අති රම්‍ය මදාරා කුසුමන්- කිණිහිරි -පුවඟු වෘක්ෂ සේනා //

 

හිතට ප්‍රීතී සැනසී සෝකා.. ......

දින දිනේ දර්ශන ගෙන දේ .....විනෝදේ.........

 

රහතුන් විසු ඒ පෙර කාලෙ එහී වේ - සුගත ශීල පුරා//

භාවන යෝගී අද සාන්ත දාන්ත වෙද- ශ්‍රී මහ සංඝ රත්නේ //

 

ආනන්ද බෝධී ශාඛා සුදිලේ ......මනහාරා ........

වඳීමු බැතිනී .........සිරස නමා.......

 

හිත පැහැදී පිරිසිදු සීල රැකීමෙන්

දිය මත පාන යසේ ........//

 

නන්දන උයනේ සිරි භාර ධාරී වේ සල්ගල ආරණ්‍යෙ //

අති රම්‍ය මදාරා කුසුමන්- කිණිහිරි- පුවඟු වෘක්ෂ සේනා //

 

“ශක්‍ර දේවේන්ද්‍රයා නන්දන උයනේ ශ්‍රීය හා සමාන වූ සුන්දරත්වයක් පවතින, මදාරා- කිණිහිරී - පුවඟු ආදී වූ වෘක්ෂ සමූහයාගෙන් සුසැදි , අතීතයේ මහරහතුන් වැඩ සිටි, දඹදිව ආනන්ද බෝධියේ ශාඛාවක් රෝපණය කර ඇත්තා වූ, අධ්‍යාත්මික සුවය වඩමින්, භාවනනනු යෝගී භික්ෂූන් වැඩ සිටිනා මෙම මනරම් සෙනසුන ගෞරවයෙන් සිරස නමා වන්දනාමාන කරමු” යන අදහස ඇතිව විරචිත මෙම ගීතය ගායනා කළේ එවකට ඩ්ර්ඍ ගීත තැටි සමාගමේ ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය ගායිකාවක වූ රෙජිනා පෙරේරා මහත්මී විසිනි. මෙම ගීතය ප්‍රබන්ධ කළේ ශ්‍රී යෝග්‍ය විශාරද වෛද්‍යාචාර්ය බෙලිඅත්තේ එම්. ඩබ්ලිව්. එන් .එස් විජේසිරි නම් සුප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙකි. ඩ්ර්ඍ තැටි සමාගම වෙනුවෙන් එතුමා ගීත රාශියක් 1939-42 වකවානුවෙහි ප්‍රබන්ධ කළේ ය. සංගීතඥ එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් ගේ සංගීත අදියුරුවමින් නිපැයුණු මෙම ගීතය ඩ්ර්ඍ ගීත තැටි අංක ව් 13038 අංකය යටතේ වෙළෙඳපොළට නිකුත් වූයේ වර්ෂ 1940 දී ය.

මෙම ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ පිලූ රාගය ඇසුරින් නිර්මිත වූවකි. ත්‍රිතාලයෙන් නිමවා ඇති මෙම ගීතය මධ්‍යයේ ගායනයේ දී ආලප් ශෛලීය ද භාවිත කර ඇත. තබ්ලා, පියෑනෝ, බටනලා, වයලින් සහ හර්මොනියම් යනාදී වාද්‍ය භාණ්ඩ මෙන්ම ගෙජ්ජි ද භාවිත කර ඇති බවක් පෙනේ. මෙම ගීතය සඳහා තබ්ලාව වාදනයෙන් ජේ. එඩ්වින් පෙරේරා (පොඩිඅප්පුහාමි) මාස්ටර් සහ එඩී මාස්ටර් ද, හර්මොනියම් වාදනයෙන් රූපසිංහ මාස්ටර් ද, සහභාගී වූ බවක් සඳහන් වේ.

ගීතය ගායනා කළ “රෙජිනා පෙරේරා” නම් වූ ඒ අති විශිෂ්ට ගායිකාව ගැන සටහනක් තැබිය යුතුමය. පසුගිය ශතවර්ෂයේ මුල් කාර්තුවෙහි මෙරට බිහිවූ සුප්‍රසිද්ධම ගීත කෝකිලාව වන්නේ රෙජිනා පෙරේරා ය. වර්ෂ 1900 දී පමණ උපත ලදැයි සැලකෙන “කුප්පියාවත්තේ ප්‍රින්සි නෝනා” නොහොත් කේ. ඩී. රෙජිනා පෙරේරා කලාශිල්පිනිය ක්‍රි.ව. 1900 හි ද්විතියක දශකය තුළ මෙරට නුර්ති නිළියක සහ ගායිකාවක ලෙස අතිමහත් කීර්තියක්, ප්‍රශංසාවක් සහ ජනාකර්ෂණයක් දිනා සිටියා ය.

ඩ්ර්ඍ , ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ , ඕඅර්‍ණඒච්ඛ්ඒඉඊ සහ ර්‍ථඒඅඹ්ර්‍ණර්‍ථඩ්ර්‍ණව් වැනි ශබ්දවාහිනී ගීත තැටි ලේබල රැසක් යටතේ 1925-45 ද්වාදශකය තුළ ගීත සිය ගණනක් පටිගත කළ ඕ තොමෝ පැරැණ්නන් හැඳීන් වූයේ මෙරට ශාස්ත්‍රීය ගීත ගැයීමේ “කෝකිලාවිය" ලෙස ය. 1925-35 වකවානුවේ මෙරට සිංහල, ද්‍රවිඩ, ගුජරාති, බෙංගාලි ,මරාති වැනි නානා විධ භාෂා ශෛලීන් හි ගීත එකී මුල් භාෂා වලින්ම රසික ජනයා වෙත බෙදා දීමට හැකියාව තුබූ එකම ගායිකාව වූයේ ද, රෙජිනා පෙරේරා ය. කවාලි, ගසල්, ථුම්රි ආදී විවධ ශෛලීන්හි ගීත ඇය ටවර්හෝල් නාටක ජවනිකා අතරතුර ප්‍රේක්ෂකයා වෙනුවෙන් ගායනා කළා ය. භාෂා කීපයකින් පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කළ ගායිකාව ලෙස නම් දරන්නේ ද කේ. ඩී රෙජිනා පෙරේරා මහත්මිය යි.

එසේම ටවර් හෝල් හි එවකට ජනප්‍රිය වූ නුර්ති රැසකම මෙතුමිය චරිත නිරූපණය කළා ය. පද්මාවතී (1921 ජුනි 06 දින ප්‍රදර්ශිත), ස්වර්ණතිලකා, විධුර, සිරිසඟබෝ, ආදී ජනප්‍රිය නුර්ති රැසක චරිත නිරූපණය කළ අතර, වර්ෂ 1931 අප්‍රියෙල් මාසයේ දී, පී. පී. කුමාරපතිරණ මහතාගේ කළමනාකාරීත්වයෙන් පිහිටුවන ලද, “කොළඹ ටවර් නාට්‍ය සභාව” යන නව නාට්‍ය සභාවෙහි ප්‍රධාන නිළියන් ලෙස රෙජිනා පෙරේරා, ලක්ෂ්මි බායි සහ ලිලී ගුණවර්ධන සම්බන්ධ වූ බව සඳහන් වේ. එම වසරේ ම, එම නාට්‍ය සභාව විසින් අප්‍රියෙල් 29 දින වේදිකාගත කළ “අසෝකමාලා” නම් නුර්තියෙහි රෙජිනා පෙරේරා විසින් නව ගීත තුනක් ගායනා කරමින් රැගුම් ඉදිරිපත් කළා ය. එම ගීත ඩ්ර්ඍ ලේබලයෙන් ගීත තැටි ලෙස වෙළෙඳපොළට ද නිකුත් විය.

1925-1943 වකවානුවේ, රෙජිනා පෙරේරා විසින් විවිධ ශබ්දවාහිනී තැටි ලේබල වෙත ගායනා කළ ගීත අතුරින්, “යහපත් වූ භාරි නිවාසේ” (ගුණගරුක භාර්යාවකගේ පැවතුම් පිළිබඳව) , “භිරම් පාපෙහි” (අකුසල් හි ආදීනව), “ බියකරු අනතුරු”(රථ වාහන අනතුරු පිළිබඳව) , “වරම් අරන්” (සිරිපා වන්දනාව පිළිබඳව) , “කර්මේ විපාකේ” (අකුසල් කිරීමේ ආදීනව), "හීන දීන මෘගයෝ " (ගව මස් කෑමෙහි ආදීනව), “යෞවනියෝ රැවටේ " (අනිසි ඇසුරින් මුළාවට පත් වන තරුණියන් ගැන), "පියාගේ මෝඩකම් හින්දා"(දෙමාපියන්ට නොසලකන දරුවන් ගැන), "සව්ලෝ ඉසුරු" (ලෞකික සැප සම්පත් ලැබීමට පින් කළ යුතු බව), "මහ ජන මන්ත්‍රී" (මෙරට එවක සිටි දේශපාලඥයන් ගැන), "වරද සොයති අනුන්ගේ" (තම වරද නොසොයා අනුන්ගේ වරද සොයන පුද්ගලයන් ගැන). "කෝමල ළදරු", “ කම්මැළියා දුප්පත් වේ පුතුනේ”, "දරු වේලාසනින් නැගිටි"(කුඩා දරුවන්ට අවවාද), "එන්න හිරු පායා" (ගම්බද තරුණියක් ගැන), "තුන් ලොවේ හි ගුරු ගේ "(රුවන්මැලි සෑයෙහි ධාතු නිධානෝත්සවය ගැන), "අඬන්නේ ඇයි මගේ පුතුනේ" (මවු ගුණ), "උප නෝ රුවෙන් සැදී" (රූපයෙන් උඩගු වීම ගැන), “ප්‍රේම සඳුන් ගා මවුපිය” (මවුපිය උපස්ථානය පිළිබඳව) ආදී අවවාදාත්මක -දේශාභිමාන- ආගමික- දේශපාලනික-සමාජයීය තේමා ඔස්සේ තැටිගත කළ ගීත රාශියක් පවතී.

 

 

ඕතොමෝ මෙරට ගීත ක්ෂේත්‍රයට කළ අනුපමේය සේවය අද සිටිනා බොහෝ දෙනෙකු දන්නේ ද නැත. 1921-27 කාලයේ, ටවර්හෝල් හි ප්‍රධාන සංගීතඥයින් වූ, කේ. මාෂල් පෙරේරා, ඇම්.ජී. පෙරේරා සහ සාදිරිස් සිල්වා (ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ පියා) මහත්වරුන් ගේ ගේ සංගීත කණඩායම් හි ප්‍රධාන ගායිකාව වූ මෙතුමිය, 1929-45 වකවානුවේ, එච්. ඩබ්ලිව් රූපසිංහ, බි.එඩි ද සිල්වා සහ මොහොමඩ් ගවුස් යන සංගීතඥයන් ගේ කණ්ඩායම් වල ද අග්‍රගණ්‍ය ම ගායිකාවක වූවා ය. අභාග්‍යකට මෙන් මෙතුමියගේ ගීතයක් අපට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් හෝ අසන්නට සැලසෙන්නේ ඉතා කලාතුරකිනි.

මෙම සටහන මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨතම ගායිකාවක වූ රෙජිනා පෙරේරා මහත්මියගේ නාමයට උපහාරයක් ම වේවා !

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් තැටි සංරක්ෂක දිමුතු පරුස්සල්ල සහ ජයරත්න ප්‍රනාන්දු මහත්මාවරු, සල්ගල ආරණ්‍යය පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා උදවු කළ සල්ගල ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය කේ. සුජාත ස්වාමීන් වහන්සේ, ප්‍රේමදාස තෙලිකෝරළ සහ ඥානරත්න වේරගල මහත්මාවරු, ගීතයේ රාග- තාල පිළිබඳව දැනුම්වත් කළ ලලිතකලාවේදිනි ,විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය.

ආශ්‍රේය ලිපි සහ ග්‍රන්ථ : එච්. ඒ .පී අබේවර්ධන , සබරගමුව ප්‍රවේණිය (2002); අජිත් ධර්මසිරි, සසුන් පිළිවෙතට දිරි දෙන සල්ගල වන සෙනසුන- බුදුසරණ පුවත්පත (2013 මාර්තු 19); තිස්ස කාරියවසම්, විසිවසරක සිංහල නාට්‍ය සහ රංග කලාව: 1912-31 (2012).