අවස්ථාවාදීන්ට

කනේ පහර දුන්
සැප්තැම්බර් 5, 2019
ගාමිණි ෆොන්සේකා හා  ජෝ අබේවික්‍රම
 
 
 
යළි මිතුරුවීම්
 

 

ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ මහා රූපණවේදීන් දෙපළ වූ ගාමිණි ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම මුල් යුගයේ සිටම ඉතා සමීප මිතුරෝ වූහ. එහෙත් මේ දෙදෙනා ස්වකීය රංගන ජීවිතයේ උච්ච ස්ථානයට (ඒබ බඩඥ ර්‍ථඥචඬ ධට ඛ්පඥචබඪමඪබර) නැඟී සිටි සමයේ නොයෙක් හේතු මත දුරස්ථ වී සිටි බව ද ප්‍රකට රහසකි. ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් “වැලිකතර” සිනමා කෘතිය නිර්මාණය කළ සමයේ මේ මහා රූපණවේදීන් දෙපළ එහි වික්‍රම රන්දෙණිය (ගාමිණි) හා ගෝරිං මුදලාලි (ජෝ) ලෙස මුහුණට මුහුණලා (ඛ්ධදටපධදබචබඪධද) එකිනෙකා පරයා ඉස්මතු වෙමින් කරට කර රඟපෑහ. එකී රූපණ ශූරත්වය වඩාත් හොඳින් කුළුගැන්වීමෙහිලා හේතු භූත වූයේ ඔවුන් සතු වූ මහා ප්‍රතිභානය හා ධී ශක්තිය පමණක් නොවේ. පෞද්ගලික ජීවිතයේ එවක ඔවුන් සතු වූ අමනාපය මෙහිදී මහා තරඟකාරීත්වයකට පෙරළිණ. එහෙත් පසු කලෙක (80 දශකයේ මැද) මේ මහා රූපණවේදීන් දෙදෙනා යළිත් ඉතා සුහද මිතුරෝ බවට පත් වූහ. එය ඔවුන් මිය යන තුරුම නොසිඳී පැවතිණ. එහි පින සරසවිය පුවත්පතට හිමි වේ. ප්‍රවීණ මාධ්‍යවේදී, ගේය කාව්‍ය නිබන්ධක ධර්මසිරි ගමගේ මහතා සහ එවක සරසවිය නියෝජ්‍ය කර්තෘ වූ මා පියාණන් (ඒ. ඩී. රන්ජිත් කුමාර) ඒ කපුකමට මුල් වූහ. අමනාපකම් පැවැති සමයේත් අවැසි තැන්හිදී ඔවුන් එකිනෙකා අගය කොට ගැනීමට මේ මහා කලාකරුවෝ පසුබට නොවූහ. එදා ගාමිණි ජෝ අරභයා මෙසේ කීවේය. “චරිතාංග නිරූපණයෙහි විශිෂ්ටත්වයට පත් මා ප්‍රිය කරන මගේ ප්‍රියතම චරිතාංග නිරූපණ ශිල්පියා ඔහුය. ඔහු සිය මුහුණෙහි ඇසුරු සැණක් තුළ ඉරියව් කෝටියක් මවයි. ඔහු ජීවිතයේ පැතිකඩ කොතරම් සූක්ෂම ලෙස සිය ආත්ම ග්‍රහණයට හසු කරගෙන තිබේද?”

වරක් “ලංකාවේ හොඳම හාස්‍යෝත්පාදක රංග ශිල්පියා කවුරුන්දැයි” මාධ්‍යවේදියෙක් ගාමිණි සූරීන්ගෙන් විමසුවේය.

“කිසිම සැකයක් නැහැ ඒ ජෝ අබේවික්‍රම”

ජෝ මහත්තයා ගාමිණි වරක් දුටුවේ මෙලෙසිනි.

“සිනමා කලාකරුවා ආත්ම ගෞරවය ඇත්තෙකැයි තහවුරු කිරීමට ඔහු තරම් කැප වු අවශේෂ රංගවේදියකු අපට නැහැ. එහෙයින් කලාකරුවා සතු විය යුතු ආත්ම අභිමානය නළු නිළි සැමට ලබා දුන්නේ ගාමිණි බව එකහෙළා පැවසීමට අප මැළි වන්නේ කුමටද?”

ගාමිණි - ජෝ මහා නළුවන් දෙදෙනා යළිත් මිතුරු වූ බව ප්‍රසිද්ධියේ පෙන්වා සිටියේ 1986 ජූලි 19 වැනිදා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සරසවිය සම්මාන උලෙළේදීය. මේ අසිරිමත් මොහොත එදා දෑසින් දැක ගැනීමේ භාග්‍යය මට ලැබිණ. ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ දිගුකාලීන කලා මෙහෙවර අගයනු පිණිස ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන “රණතිසර සම්මානය” සරසවිය උලෙළට හඳුන්වා දුන්නේ මේ සම්මාන උලෙළේදීය. රණතිසර සම්මානය එදා මුලින්ම පිරිනැමුණේ ගාමිණි - ජෝ දෙපළටය. උලෙළේ පූරක වූයේ ප්‍රවීණ රූපණවේදී උපාලි අත්තනායකයන්ය. එහෙත් මේ නම් දෙක නිවේදනය කළේ එවක සරසවිය ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතාය. ගාමිණි - ජෝ සම්මාන ලබා ගැනීමට ගිගුම් දෙන අත්පොළසන් හඬ මැද වේදිකාවට නැඟුණේ අත් අල්ලාගෙනය. සම්මාන ගෙන වේදිකාවෙන් බැස අසුන් වෙත ගමන් කළේ ද එලෙසිනි.

එකම වසරක (1942), එකම මසක (පෙබරවාරි) උපත ලැබූ එකම යුගයක කලා ලොවට ප්‍රවිෂ්ට වී සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කළ මහා කලාකරුවන් දෙපළක් වන මහාචාර්ය සනත් නන්දසිරි හා ආචාර්ය වික්ටර් රත්නායක අරභයා ද මීට සාම්‍යය අතීත පුරාවෘත්තයක් තිබිණ. මේ දෙදෙනාම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය යටතේ “හන්තානේ කතාව” චිත්‍රපටයේ ගීත ගැයූහ. කේමදාසයන්ගේ සංගීත මංජරියේ පුහුණු වී “කටු කොහොලින් පිරුණු ලොවින්” ගීතය (ගී පද – මහාචාර්ය සුනිල් ආරියරත්න) මුල්වරට එක්ව ගැයූහ. එසේම සරත් දසනායකයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් “විස්මය” චිත්‍රපටය උදෙසා “එරුණු කිරෙන් බර ළමැදේ” (සෝමපාල ලීලානන්ද ලියූ) යන ගීතය ද එක්ව ගැයූ බැව් අපට අමතක නොවේ. එහෙත් කලකදී අනේකවිධ හේතූන් මත ඔවුහු දුරස්ථ වී සිටියහ. 80 දශකයේ අග භාගයේ ඔවුන්ගේ මිත්‍රත්වයේ සවිය ස්ථාපිත කළ සවිය බවට “සරසවිය” පුවත්පත පත් විය. එවක සරසවිය ප්‍රධාන කර්තෘවරයා වූ මා පියාණන් (ඒ. ඩී. රන්ජිත් කුමාර) ඊට මූලික වූ අතර හිටපු සරසවිය කර්තෘවරයකු වූ අනුර බණ්ඩාර රාජගුරු මහතා 1989 ජූනි 8 වැනිදා මේ මිත්‍රත්වයේ ඓතිහාසික ලිපිය සරසවිය පුවත්පතට ලීවේය. එහිදී ආචාර්ය වික්ටර් පළ කළ කියුමකි මේ.

“අප වෙන්ව සිටි කාලයේ මට විශාල තනිකමක් දැනුණා. සමකාලීන වශයෙන් අප දෙදෙනා සංගීත ක්ෂේත්‍රයේ මේතාක් දුර ගමනක් පැමිණ සිටිනවා. අප දෙදෙනාගේ ජනප්‍රියතාව අඛණ්ඩව රැඳී තිබීමේ සතුට සනත් අයියාත් මමත් නිහතමානීව බෙදා ගන්නවා.”

මහාචාර්ය සනත් ඊට පැවසූ දේ මේය.

“වික්ටර් අබිබවා ගොස් මට සොයා ගැනීමට ස්ථානයක් නැතුවා සේම මා අබිබවා ගොස් වික්ටර්ට සොයා ගැනීමට තැනකුත් නැති බව අප දෙදෙනා විසින්ම දැන සිටීම අපේ මිත්‍රත්වයේ පදනමයි. එදා අප වෙන් කළ බලවේග අද දූවිලි බවට පත් වෙලා”.

සැබැවින්ම ගාමිණි - ජෝ අතරත් සනත් – වික්ටර් අතරත් යළි ගොඩනැඟුණු මෙකී මිත්‍ර සන්ථවය දෙපැත්තට කේලාම් කියා, එකිනෙකා අමනාප කොට, ඔවුන් එදා වෙන් කළ ඇතැම් අවස්ථාවාදීන්ට කනේ පහරක් මැ විය.

මෙරට සිනමාවේ මහා නළු පරම්පරාවට අයත් අද අපට සිටින ජ්‍යේෂ්ඨතමයා වන ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය වේදිකාවෙන් සිනමාවට පිවිසුණු රූපණවේදියෙකි. ඉක්බිති ඔහු කෙටි කලකින් වේදිකාවෙන් සමු ගත්තේය. ඉඳහිට විරලව ටෝනි රණසිංහගේ “ජූලියස් සීසර්” නාට්‍යයේදී පමණක් දැක ගත හැකි විය. රවීන්ද්‍ර 70 දශකයේ මුල ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ ලියාපදිංචිච වූයේ ද රූපණයට නොව නාට්‍ය නිෂ්පාදනය, රචනය හා වේදිකා පාලනය යන අංශ හැදෑරීමටය. නැසීගිය මහාචාර්ය තිස්ස කාරියවසම් වරක් ප්‍රසිද්ධියේ පැවසුවේ “සිනමාවට ප්‍රවිෂ්ට වීම නිසා රවීන්ද්‍ර රන්දෙණිය නමැති විශිෂ්ට නළුවා වේදිකා නාට්‍යයට අහිමි වූ බවය”.

වේදිකා නාට්‍ය අරභයා අවධානය යොමු කරද්දී අතීතයේ පිලිප්පු සිඤ්ඤෝලාගේ සිට අද්‍යතන රංග ශිල්පීන් දක්වා දීර්ඝ කාලය තුළ මෙරට වේදිකා නාට්‍ය කලාවට අති උත්කෘෂ්ට යුග මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ විශිෂ්ටත්වය වරක් ඉතා සංක්ෂේපයෙන් ජැක්සන් ඇන්තති ප්‍රවීණ රූපණවේදියාණන් මෙලෙස ගෙනහැර පෑවේය.

“එකයි . . . ඒ මමෝ”

මේ කෙටි වැකියෙහි කැටිවන අරුත දිගු පුළුලින් හා ගැඹුරින් යුක්තය. ඉන් මහා ශාස්ත්‍රීය නිබන්ධයක් ලිවිය හැකි යැයි මට සිතේ.

යථෝක්ත කියුම පළ කළ ජැක්සන්, පසුගියදා අන්තර්ජාතික සම්මානයකට පාත්‍ර වූයේය. එහෙත් ඔහු පළමුවෙන්ම වචනයෙන් අන්තර්ජාතික ඇගැයුමකට පාත්‍ර වූයේ සරසවිය චිත්‍රපට සතියකදී යැයි මම සිතමි. පසුගිය සරසවිය සම්මාන උලෙළට සමගාමීව කොළඹ රීගල් සිනමාහලේදී පැවැති සරසවිය චිත්‍රපට සතියේදී “ධර්ම යුද්ධය” චිත්‍රපටය ද තිරගත කෙරිණ. ඊට සහභාගි වීම සඳහා පැමිණි, අදාළ මුල් නිෂ්පාදනයකට (ර්‍ථචනචදචඵචථ) සම්බන්ධ, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක සුරේෂ් බාලාජි මහතා කෙටි අදහස් දැක්වීමේදී සෘජුවම පැවසුවේ “ධර්ම යුද්ධය” චිත්‍රපටය සඳහා පාදක වූ ඉන්දියානු චිත්‍රපට (මෝහන්ලාල් රඟපෑ “ච්පඪඵඩරචථ” වෙන්කටේෂ් රඟපෑ “ච්පභඵඩරචථ” කමල් හසන් රඟපෑ “ර්‍ථචනචදචඵචථ” අජේ දේව්ගන් රඟපෑ “ච්පඪඵඩරචථ”) සියල්ල හා සැසඳූ කල වඩාත් ඉස්මතු වනුයේ ජැක්සන් ඇන්තනිගේ රංගනය බවය. මේ කියුම ඉතා වටිනුයේ කරුණු ද්වයක් නිසාවෙනි. බාලාජි ඉන්දියානු ජාතිකයකු වුවත් ඉන්දියානු නළුවන් සමඟ සසඳා අධානග්‍රාහී නොවී අදහස් පළ කිරීම ඉන් එකකි. දෙවැන්න ඒ නළුවන් අතර කමල් හසන් වැනි දකුණු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ රූපණවේදියකු මෙන්ම මෝහන් ලාල් වැනි ප්‍රතිභාපූර්ණ නළුවකු ද සිටි නිසාය. එහෙයිනි මේ කියුම අන්තර්ජාතික සම්මානයක් සදිසි වනුයේ.

ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ “වැලිකතර” යළිත් නිර්මාණය කළහොත් එහි ගෝරිං මුදලාලිගේ චරිතයට සාධාරණය ඉටු කළ හැකි නළුවා කවුරුන්දැයි මාධ්‍යවේදියෙක් ජෝ මහත්තයාගෙන් විමසා සිටියේය. ජෝ ඊට දුන් පිළිතුර මෙසේ විය.

“කිසිම සැකයක් නැහැ. එය කළ හැක්කේ ජැක්සන් ඇන්තනිට පමණයි”.

 

ඉතිරි කොටස

ලබන සතියේ...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.