ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම්

මහින්ද දිසානායක
අගෝස්තු 29, 2019

 නුවර කලාවිය ජන්ම ලාභය කරගනිමින් එහි රුව ගුණ තේජස මනාව හඳුනා ගනිමින් මෙරට කලා කෙත අස්වද්දන්නට පැමිණි ඔහු පුරා දශක කිහිපයක් තිස්සේ නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. හරවත් ගීත නිර්මාණ කලාවක් වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ ඔහු අතින් රචනා වූ ගේය කාව්‍ය මෙරට ගීත ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරාම යොමු කරවන්නට හේතු වූයේය. දීර්ඝ කාලයක් තිස්සේ එවන් මෙහෙවරක නිරත වූ ඔහු පසුගියදා කලාශූරී ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය.ඔහු ප්‍රවීන ගේය පද රචක මහින්ද දිසානායකය.පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සම්මාන උළෙලේදී “ කලාව ,සංස්කෘතිය ,නාට්‍යාදියෙහි වර්ධනය සඳහා කරන ලද විශේෂ සේවය සඳහා‘ මෙකී සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී.සම්මානය පිළිබඳත් , කලා කටයුතු පිළිබඳත් වන කතා බහකට පසුගිය දිනක අපි හමුවුනෙමු.

“ අපි කවදාවත් සම්මාන බලාගෙන නිර්මානකරණයෙහි නියුතු වූ නිර්මාණකරුවෝ නෙමෙයි. නමුත් එවැනි ඇගයීමක් රාජ්‍ය මට්ටමින් සිදුවෙන එක කලාකරුවෙකුට ලොකු ධෛර්යයක්. සම්මාන බලාගෙන නිර්මාණ කළොත් හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි.කාලයක් ගත කරලා තමන් තෘප්තිමත් දෙයක් තමයි රසික ජනතාවට දායාද කරන්න ඕන.මගේ නිර්මාණ ජීවිතේ දිහා බලන කොට මම ඉස්සරලම ගීත සංග්‍රහයක් නිකුත් කලේ 1994 අවුරුද්දෙයි.ඒ “ඇසට හසුවන මායිමේ“ ගීත සංග්‍රහය. ඊට පස්සෙ 2002 දී ‘ වී පැදුරෙන්‘ ගීත සංග්‍රහය කළා. ඊට පස්සේ 2010 දී හා 2019 දී ගීත සංග්‍රහ දෙකක් කළා. මේ ගීත සංග්‍රහයක් අතර පරතරය අවුරුදු 08 ක් පමණ වෙනවා. නිර්මාණයක් එළි දක්වන්න කාල පරාසයක් ඕන. හොඳ ගීත ටිකක් එකතු වෙන්න එච්චර කාලයක් යනවා.‘‘

නිර්මාණයක අපූර්වත්වය රැඳී තියෙන්න නිර්මාණකරුවාගේ විවේක බුද්ධිය . අත්දැකීම් ,පරිණතභාවය , ව්‍යුත්පත්තිය, අධ්‍යාපන පසුබිම ආදී මෙකී නොකී බොහෝ සංසිද්ධීන් බලපාන්නේය. මේ සියල්ල එකට එකතු වී නිර්මාණයක් බිහිවීම එක රැයින් සිදුවිය හැකි දෙයක් නොවේ. මහින්ද දිසානායක ගේ නිර්මාණයන්ද එවන් පරිශ්‍රමයක මහඟු ප්‍රතිපලයන්ය.

“නිර්මාණකරුවෙක් වෙන්න සහජ වාසනා ගුණයකුත් තියෙන්න ඕන. දැන් අපේ ජන කවියා ගත්තොත් එහෙම ඔවුන් විධිමත් අධ්‍යාපනයක් ලබපු කෙ‍නෙක් නොවෙයිනේ.නමුත් ඔවුන් ජීවත්වීම තුළින් ලබපු අධ්‍යාපනයක් තියෙනවා.මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ධර්මසේන හාමුදුරුවන් ගැන කියන්නේ ජීවන තක්සලාවෙන් උපාධි ලත් කෙනෙක් කියලනේ.අපිට හොඳ යමක් කරන්න නම් හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන.විධිමත්ව. අවධිමත්ව හෝ නොවිධිමත්ව ලබපු.එතකොට ඒකට එකතු වෙන් ඕන ප්‍රතිභාව. ඊළඟට සතතාභ්‍යාසය.මේවා එකතු වුණාම තමයි හොඳ නිර්මාණයක් අපිට රසිකයාට දෙන්න පුළුවන් වෙන්නේ.“

අත්දැකීම් යන්න පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් ලබා ගත හැකිය . විවිධ සමාජයන් තුළ කාලාන්තරයක් තිස්සේ ජීවත් වීමෙන් ලබා ගන්නා ජීවන අත්දැකීම් ද බොහෝ පුද්ගලයින්ට සොඳුරු සැමරුම් වෙති. ඒ ඇසුරින් නිර්මානකරණයේ යෙදෙන්නන් ද බොහෝ වෙති.මහින්ද දිසානායකයන් එවැනි අත්දැකීම් රුසකින් පරිපූර්ණ වූවෙකි.

“ අත්දැකීම් පොත පතින් ලබන්න පුළුවන් පොත පත කියවන විට අපිට යම්කිසි අදහසක් එනවා මේ තුළින් යම් කිසි නිර්මාණයක් කරන්න පුළුවන් කියලා.මේකට හොඳ උදාහරණයක් මට කියන්න පුළුවන්. මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 65- 69 වර්ෂවල සිංහල විශේෂවේදී උපාධිය හදෑරුවේ. අපට නූතන සාහිත්‍යය උගන්වන්න ආවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා.එතුමා කිසි දවසක සටහනක් ගේන්නේ නෑ පංතියට. ඔහු කතා කරනවා . අපි අහගෙන ඉන්නවා.ප්‍රශ්න අහනවා. හැබැයි අද වගේ කිව්ව දේවල් මතකයි.සාකච්ඡාව අවසානයේදී විමර්ශනය සඳහා එතුමා පොත් ලැයිස්තුවක් දෙනවා.අපි ඉතින් ඉක්මනට ඒක ලියා ගන්න හදනවා.එතකොට එතුමා කියනවා.හා හා කලබල වෙන්න එපා.මම ඕවා කියන්නේ දැන් කියවන්න නෙමෙයි.ඉගෙන ගන්න කාලෙට කියවන්න කියලා.ඔහු බොහොම හාස්‍ය ‍යෙන් යුතුව කියනවා. අපිත් ඉතින් හිනා වෙනවා. නමුත් දැන් තමයි අපිට ඒ හාස්‍ය යේ ගැඹුර කොයි තරම්ද කියලා තේරෙන්නේ.අපි විශ්ව විද්‍යාලයේදී පොත් කියෙව්වේ විභාගෙ ලියන්න.නමුත් මේ වියපත් අපි අද පොත් කියවන්නේ විභාගෙ ලියන්න නෙවෙයිනේ . හැබෑවටම ඉගෙන ගන්න.‘

ඇසට අසුවන මායිමේ

බඹර සැණකෙළි මල්විලේ

ළසෝ ලැවිගිනි ඇවිලුණා සිත

ඔබ මගෙන් වෙන් වූ දිනේ

මහින්ද දිසානායකයන් වරක් කරුණාරත්න දිවුල්ගනේට එහෙම ලිව්වේය.බොහෝ දෙනෙක් මෙය හුදු විරහ ගීතයක් ලෙසින්ම අර්ථ ගත්තා වුවද මෙහි පදනම ඉන් එහා ගිය එකකි.

‘‘අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලේ අපිට නියම වෙලා තිබුණු ගද්‍ය සාහිත්‍ය අතර ‘‘ සුළු කළිඳු දා වත ත් තිබුණා.ධර්ම ප්‍රදීපිකාවේ එන සුළු කළිඟු දාවත හරිම ලස්සනයි.ඒ කාලේ අපිට උගන්වපු හැටියට පාඩම් කරලා අපි උත්තර ලියලා උපාධියත් සමත් වුණා. නමුත් මම ගීත රචකයෙකු වශයෙන් මතු වෙන්න ගන්න කොට අපට උපදෙස් දුන්න ස්වර්ණ ශ්‍රීශශ්‍රී බණ්ඩාරයන් හැම තිස්සේම කිවුවේ නිතරම හොඳ බස් වහරක් පාවිච්චි කරන්න කියලයි . එතකොට මට ආයෙත් මතක් වුණා අපි විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත්ත සුළු කළිඟු දාවත. මම නැවත වතාවත් සුළු තළිඟු දාවත කියවන්න පටන් ගත්තා .ඒ වෙනකොට මම ගුරු පත්වීමත් ලැබිලා උසස් පෙළ දරුවන්ට සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන ගුරුවරයෙක්.ඒ කියවීමෙන් ඇතිවුණ හැඟීම තමයි මම “‘ ඇසට අසුවන මායිමේ ‘‘ ගීතය ලිවුවේ.මේ පොතේ තිබුණෙ චුල්ලකාලික කුමාරයා හා මහාකාලික කුමාරයා අතර ඇතිවන විරසකයක්.මේ නිසා චුල්ලකාලික කුමාරයා ජීවිතේ බේර ගන්න හිමාලයට පැනලා යනවා.ඒ වෙනකොට හිමාලයේ වැහි කාලය.විල් පිරිලා. විල්වල මල් පිපිලා.ගස්වැල් හොඳට හැදිලා . ගස්වල මල් පිපිලා.මල්වල රොන් ගන්න බඹරු ආවා.හැබැයි මේ කිසිවක සුන්දරත්වයක් චුල්ලකාලික කුමාරයාට දැනුණෙ නෑ.ඔහුට වසන්ත කාලයත් දැනුණෙ ගිම්හානයක් වගේ.එතැන හරි මනෝවිද්‍යාත්මක සත්‍යයක් තියෙනවා.මොකද ? කෙනෙකු ගේ ජීවිතේ දුකක් ඇති වුණාම සුන්දර පරිසරයක හිටියත් ඒ සුන්දරත්වය දැනෙන්නේ නෑ.අන්න ඒ හැඟිම ඇති කරන්න තමයි මම ඔය ගීතය ලිව්වේ.

ඔය විදියටම ‘‘ ඔබේ සෙවන මට නිවනක්‘ කියන ගීතය මම ලිව්වේ ජාතක පොතේ තියෙන පදමානවක ජාතකය පදනම් කරගෙනයි.

‘‘මුදු මුහුණේ සුව දැනුනේ පිය ළඳුනේ මට විතරද‘‘ ගීතය ලිව්වේ අන්ධභූත ජාතකය පදනම් කරගෙන.ඔය විදියට අපට ඉගෙන ගත් පත පොත ඇසුරු කරගෙනත් නිර්මානකරණයේ යෙදෙන්න පුවවන්. ඒ ඇරුණම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ඒ හා බද්ධ කරන්නත් පුළුවන්. මගේ පළමු පත්වීම ලැබෙන්නේ මොණරාගල ඔක්කම්පිටියට. 1970 දී මම පත්වීම බාර අරන් ඔක්කම්පිටියට ගියාම ,මාසෙන් මාව මැලේරියා රෝගයට ගොදුරු වෙනවා.ඒ කාලේ මම ගීත ලියන්නේ නෑ නමුත්.ඒ දවස්වල වින්ද අත්දැකීම මම පසු කාලෙක ගීතයක් බවට පත් කළා. මම බුත්තල රෝහලේ දින 14 ක් නැවතිලා හිටියා එහෙම ඉන්නකොට කොයි තරම් හුදකලා වුණාද කියලා මම අත් වින්දා.දැනටත් මම ලෙඩෙක් බලන්න රෝහලකට ගියාම දකින දෙයක් තමයි සමහර රෝගීන් ලඟ සෙනඟ හරියට පිරිලා ඉන්නවා. නමුත් සමහරුන් ලඟ කවුරුවත් නෑ. එහෙම අයගේ ඇස්වල තිබෙන අසරණභාවය මට දැනිලා තියෙනවා.ඒ අත්දැකීම් මුල් කරගෙන තමයි මම ‘‘රෝගී දෑසේ ඇස රඳවන්නට ඇයිද පමා වන්නේ “‘ කියන ගීතය ලියුවේ.

ඔබ අසා සිටී නම්

මම මෙසේ කියන්නම්

මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්

මෑත භාගයේදී අතිශයින්ම ජනප්‍රිය වූ නෙලූ අධිකාරී ගායනා කරන මේ ගීතයද මහින්ද දිසානායකයන් ගේ තවත් අපූරු අත්දැකීමකි.

මම සති අග පත්තර කියවනවා වගේම කාන්තා පත්තරත් කියවනවා. දවසත් මම දැක්කා කාන්තා පුවත්පතකට අර්නස්ට් වඩුගේ කියන මාධ්‍යවේදියා ලිපියක් ලියලා තියෙනවා.ඒකෙ තිබුණා පුරුෂයෙකුට ආදරය වැදගත් වෙන්නේ ඒක ලබාගන්න තෙක් පමණයි. නමුත් කාන්තාවකට ආදරය කියන එක ඇගේ ජීවිතය තරම්ම වැදගත් කියලා.ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තත් ඊට සමානයි. මගේ බිරිඳ වුණත් පෙම් කරන කාලේ කරපු ආදරය හැමදාමත් බලාපොරොත්තු වෙනවා නේද කියලා මට දැනුණා. ඒ ඇසුරින් තමයි මම “‘ ඔබ අසා සිටී නම් ‘‘ ගීතය ලිව්වේ. සමහරු ඉතින් මට දොස් කිව්වා මහින්ද ඇයි ඇසට අසුවන මායිමේ වගේ ගීතයක් ලියලා ඇයි මේවගේ බොළඳ ගීතයක් ලිව්වේ කියලා.ඔය කවුරු කොහොම කුමන ආකාරයකින් කිවුවත් ආදරය කියන තැනදී කවුරුත් බොළඳයි තමයි.හිට්ලර් මහා අධිපතිවාදියෙක් වුණත් ඊවා ළඟදි පූස් පැටියෙක් වගේනේ. ඒ නිසා ආදරය කොහොමත් බොළදයි තමයි.

මහින්ද දිසානායක නම් ගීපද රචකයා අපට තිලිණ වෙන්නේ රජරට සේවය හරහාය. එබැවින් ඔහුත් රජරට සේවයත් අතර පවතින්නේ ගසට පොත්ත මෙන් වූ අවියෝජනීය බැඳීමකි.

“‘ රජරට සේවය නැත්නම් මහින්ද දිසානායක කියලා ගී පද රචකයෙක් නෑ.රජරට සේවය ආරම්භ වුනේ 1979 දීයි. ආරම්භ වී අවුරුද්දක් විතර ගතවෙනකම් මම ඒ පැත්තට වත් ගියේ නෑ එහෙම උනන්දුවක් තිබුණෙත් නෑ.ඒ නිසා තමයි ප්‍රේමකීර්තිද අල්විස් වැනි කෙනෙක් රජරරට සේවයේ හිටියට මට කවදාවත් කතා කරන්නවත් ලැබිලා නැත්තේ.රජරට සේවය ආරම්භ වෙන කාලේ මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සිංහල උගන්වන ගුරුවරයෙක්.දවසක් විදුහල්පති තුමා මට එන්න කියලා ඉස්කෝලෙට ආපු අමුත්තෙක් අඳුන්වලා දුන්නා .ඔහු තමයි ස්වර්ණ ශ්‍රීශශ්‍රී බණ්ඩාර. එතුමා ඇවිත් හිටියේ තුමාරතුංග මුනිදාස පඩිතුමා පිළිබඳ රජරට සේවයේ වැඩසටහනක් කරන්න කතා කර ගන්න.මේ වැඩ සටහනට සම්බන්ධ වුණාට පස්සේ තමයි ස්වර්ණ ශ්‍රීශශ්‍රී බන්ඩාරයන් සමඟ එකතු වෙලා වැඩ කරන්න පටන් ගත්තේ.

ඔය කාලෙ තමයි රජරට සේවය ‘නවපදමාලා ‘වැඩසටහන පටන් ගත්තේ මටත් ආරාධනා කලා ගීත රචනා කරන්න .හොඳම ගීත පහ තෝරගෙන පණ්ඩිත් අමරදේවයන් ලවා ගායනා කරවනවා කියලත් කීවා . මම මේ සඳහා ගීතයක් ඉදිරිපත් කළා.මම මාතෘකා කර ගත්තේ නියඟය ගැන. මගේ ගීතයත් ඒ අතරට තේරිලා තිබුණා . කොහොම නමුත් ඒ වැඩසටහනට පණ්ඩිත් අමරදේවයන්ට සහභාගි වෙන්න බැරුව ගියා. නමුත් අන්තිමේ ස්වර්ණ ශ්‍රීශශ්‍රී බණ්ඩාරයන් කිවුවා තමන් කැමති සංගීතඥයෙක් යොදවලා ඒ ගීතය කරවන්න කියලා . ඒ සඳහා පහසුකම් ඒ දිනවල ගුවන්විදුලියේ තිබුණා.මම තෝරගත්තේ සිරිල් පෙරේරා සංගීතඥයාව. ගායකයා හැටියට තෝර ගත්තේ කරුණාරත්න දිවුල්ගනේව.ඒ වෙනකොට කරුණාරත්න දිවුල්ගනේ ස්වාධීන ගීතයක් ගායනා කරලා තිබුණේ නෑ.මගේ පළවැනි ගී පද රචනාව වගේම දිවුල්ගනේ ගේ පළවැනි ස්වතන්ත්‍ර නිර්මාණය වුණේ ඒ ගීතයයි.නදින් බඹර ගී කියන ඒ ගීතය පසු කළෙක අපොස සාපෙල විභාගය සඳහා පද්‍ය පන්තියක් දී ප්‍රශ්න ඇසීම සඳහාත් යොදා ගෙන තිබුණා.

ඒකෙන් පස්සේ ස්වර්ණ ශ්‍රීශශ්‍රී බණ්ඩාරයන් නවපදමාලා හරහා දක්ෂතා දක්වපු අයට ගීත පහකින් යුත් ‘ මියුරු සර ‘‘ නමින් පැය භාගයක වැඩසටහනක් දුන්නා. ඒකට තමයි ‘ඇසට අසුවන මායිමේ. පින්සර ඔබ හැර‘ වැනි ගීත ඇතුළත් වුණේ.මේ වෙන කොට ගුණදාස කපුගේ මහත්තයා රජරට ගුවන් විදුලියට ඇවිත්.

රුවක් ඇදෙනවා- කවුදෝ එනවා

මීව්ත ඇඳීරිය දෑස වසනවා

හද පොදි බැඳී දුක දියකර පාකර

ඔබේ ලොවට මා මොහොතින් එනවා....

මහින්ද දිසානායකත් ගුණදාස කපුගේ සුසංයෝගයෙන් බිහිවීමේ ආරම්භය සනිටුහන් වනුයේ එතැන් පටන්ය.

‘ඇත්තටම කපුගේ මහත්තයා රජරට සේවයට ආවට මම ඔහුව හඳුනාගෙන හිටියේ නැහැ. ඔහුට කියා ගීතයක් කියවා ගන්න තියෙනවා නම් කියන සුවිශාල බලාපොරොත්තුව මටත් තිබුණා.ඒ කාලේ වාදක මණ්ඩලයේ සේවය කළා ධනසේන කඹුරුගමුව කියලා මගේ මිතුරෙක් .ඔහු ගුණදාස කපුගේ මහතාගේ හොඳ යාළුවෙක්.ඒ කාලේ එයාගේ ගෙදර තමයි කරුණාරත්න දිවුල්ගනේත් නැවතිලා හිටියේ.දවසක් ඔහුට මම කිවුවා මගේ ආසාව ගැන. ඔහු කිවිවා ඕක සුළු දෙයක්නේ අයියා සින්දුව ලියන්නකෝ කියලා . දවසක් ඔහු ඔහුගේ ගෙදර රාත්‍රී කෑමක් ලෑස්ති කළා. මටත් ආරාධනා කළා. මාත් එක්ක ජයතිලක බණ්ඩාරත් ගියා.රාත්‍රියේ ඉතින් මධු පානයෙන් එහෙම පස්සේ කපුගේ මහත්තයා සර්පිනාව ගහලා සින්දු කියන්න පනේ ගත්තා. මේ වෙලාවේ මගේ මිතුරා කිවුවා මේ මහින්ද අයියත් සින්දු ලියන කෙනෙක් . එයා සින්දුවක් ලියාගෙනත් ඇවිල්ලා තියෙනවා කියලා.ඒ පාර කෝ දෙන්න බලන්න කියපා කපුගේ මගෙන් සින්දුව ඉල්ලා ගත්තා.සින්දුව දිහා ටිකක් වෙලා බලා ඉඳලා මගේ මුහුණ දිහාත් බලලා. මහින්ද මොකකද්ද කියන්න හදන්නේ කියලා ඇහුවා. මම කිවුවා මැදි වියේ කෙනෙක් ආපන ශාලාවක සුරාව පානය කරමින් ඉන්නවා.ඒ වෙලාවේ එයාගේ මේසේ ලඟට තරුණයෙක් ඇවිත් ඉඳ ගන්නවා.එතකොට මැදි වියේ කෙනා තරුණයාගෙන් ප්‍රශ්න කරනවා. ඇයි මල්ලි මේවගේ තැනකට ආවේ කියලා.එයා කියනවා මම ප්‍රේමයෙන් පැරදුණා .හිතේ දුකට ආවා කියලා.එතකො අර මැදි වියේ කෙනා කියනවා මල්ලි බීලා ඕවා විසඳන්න බැහැ කරුණාකරල යන්න කියලා. ඔය අදහස මම ලියලා තිබුණෙ මෙහෙමයි.

මී විතෙන් ගිනි කණ වැටුනු ඇස

කාගේ රුවදෝ ඇදෙන්නේ

නිමේෂයකින් ඔබව සසඳන

හිතවතෙක් ඔහු දකින්නේ

කපුගේ මහත්තයා මේක දිහා බලලා තියනවා මේක මහින්ද ගීපද රචනයක් නෙමෙයි මේක කවියක්.කවිය නැවත නැවත කියවලා කෙනෙකුට අදහස වටහා ගන්න පුළුවන්.නමුත් ගීතයක් එහෙම නොවෙයි.දැන් අර ඉස්සරලා ආව කෙනා මත් වෙලානේ. එයාට පේන්නේ කවුදෝ එනවා වගේ. අන්න එහෙම පටන් ගත්තොත් හොඳ නැද්ද? ඊට පස්සේ මම පැත්තකට ගිහින් ආයෙත් ගීතය ලියනවා

රුවක් ඇදෙනවා- කවුදෝ එනවා

මීවිත ඇඳීරිය දෑස වසනවා

හද පොද් බැඳී දුක- දියකර පාකර

ඔබේ ලොවට මා මොහොතින් එනවා

මේ වචන ටික පෙන්නුවාම ‘‘අන්න හරි කියලා කිවුවා. ඊට පස්සේ එතැන ඉඳන්ම මම ගීතය සම්පූර්ණ කළා. කපුගේ මහත්තයා එතැන ඉඳන්ම තනුව දැම්මා. දිවුල්ගනේත් එතැනම හිටි නිසා දෙන්න එක්ක ගායනා කළා. ඊට පස්සේ කොළඹ ආවම සරල ගී වලට මෙක රෙකෝඩ් කළා.ඒ ගීතය නිර්මාණය වුණේ එහෙමයි.

මහින්ද දිසානයකයන්ට අතීත ස්මරණයන් ගෙන දෙන්නේ විශාල සතුටක් තවත් ඔවැනිම වූ අතීත මතක ඔහුට බොහොමය. විශේෂයෙන්ම පණ්ඩිත් අමරදේවයන් සෙවනේ ලද අසිරිමත් අත්දැකීම් රැසත් ඔහු සතු වෙයි.මේ සියල්ල මැද ඔහු දිගු ගමනක නියුතු වීඇති බව පසක් වෙයි.ජීවිතේ ආපස්සට හැරෙත්දි ඔහුට දැනුනු දේ ඔහු කවියකින් මෙසේ සටහන් කර තිබුණි

ගෙවුනු කාලය දිගුය- ඉතිරි ඉදිරිය ටිකය

කාලයේ වැලිතලේ - මා සැඟව යා යුතුය

දිය කටු අකුල් මත-පිපුනු මල් සුවඳ ගෙන

කටු කොහොල් මඟ දිගේ -ගමන අසිරියක්මය

ගෙවී ගිය අතීතය - සිහිවේය තැනින් තැන

සැබවින්ම ජීවිතේ -සිහිනයත් වාගේය

අනුරාධපුරයේ කැලෑ ගමක රේඩියෝවක් වත් නැති ගෙදරක උපන් මට අද මම මේ ඉන්න තැන හීනයත්ම තමයි.

මහින්ද දිසානායකයන් කියනුයේ සැබෑ අව්‍යාජත්වයෙනි. නිර්මාණකරුවෙකු වශයෙන් පමණත් නොව සුවහසක් දූ දරුවන්ට ශිල්ප සුන් ආදරණීය ගුරු පියෙක් ලෙස තෘප්තිමත් ගුරු ජීවිතයක් ගෙවා හමාර කළ ඔහු අද විශ්‍රාම සුවයෙන් පසුවෙයි. ආදරණීය පියෙක් ලෙස තම දූ දරුවන්ට යුතුකම් ඉටුකොට ඔවුන්ගේ සාර්ථකත්වය බලා සකුටු වේ. ඔහු ගේ පුත් ගයාමන් දිසානායත හම්බන්තොට මහ රෝහලේ විශේශඥ වෛද්‍යවරයෙකි . ලේලියද මාතර රෝහලේ වෛද්‍යවරියකි.එසේම ඔහු ගේ පුත් ගයාමන් දක්ෂ ගීත රචකයෙකි. ක්‍රිෂාන්ත එරන්දක ගයන ‘ මන්දාරම් අඳුර මැදින් හා අව්වේ මුතු ඇට වපුරා‘ යන ගීත දෙකම රචනා කලේ ඔහු විසිනි. දියණිය කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර බෑණනුවන්ද කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරයි.මුනුබුරු මිනිබිරියන්ගේ ආදරය මැද දිවි ගෙවන ඔහු අද මේ මොහෙතෙත් නිර්මාණ කරණයේ නියැලෙයි.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.