කොතෙක් ගැළපුණිද නළු නිළි අභිනයට ඒ හඬ

අගෝස්තු 1, 2019
ආදරේ හිතෙනවා දැක්කම

ගීතය ජීවිතය කොට ගත් ජනතාවක් වාසය කරනුයේ අපරදිගට වඩා පෙරදිග යැයි මම සිතමි. පෙරදිග රටවලින් ප්‍රමුඛස්ථානයෙහිලා වැජඹෙන අසිරිමත් ඉන්දියාවෙන් සංගීතාස්වාදයේ, ගීතාස්වාදයේ රමණීයත්වය ලංකාව ඇතුළු අවසෙස් ප්‍රාචීන ජනතාව අතරට ද කාන්දු කළ බැව් පැවසීම සහේතුකය. ඉන් මා අදහස් කළේ අනෙක් රටවලට තමාට ආවේණික වූ විවිධ සංගීත සම්ප්‍රදායන් නොපැවති බව නොවේ. දීර්ඝකාලීන ඉතිහාසයක් ඇති විද්‍යානුකූල පදනමකින් සුසැදි මහා භාරතීය සංගීත සම්ප්‍රදායක් ඉන්දියානුවන්ට උරුම වී ඇති බවය. මෙරට මහා සභ්‍යත්වය ගොඩනැඟූ සිංහල භාෂාවත්, බෞද්ධ දර්ශනයත් භාරතීය දායාද ලෙස සම්ප්‍රදානය වූ සේම උත්තර හෝ දක්ෂණ භාරතීය සංගීත පයුරුපාසනයෙන් දේශීය චූල ජන සංගීතයෙහි නිම්වළලු විස්තාරණය කෙරිණ.

නාට්‍ය කලාවේදී පෙරදිග සංස්කෘත නාට්‍ය වඩාත් නාට්‍යධර්මී (Poetic Theatre) ධාරාවට නැඹුරු වෙද්දී අපරදිග නාට්‍ය ලෝක ධර්මී ධාරාව (Theatre of Illusion) සේවනය කිරීමට බලපෑ සාධක අතර ගීතයට නර්තනයට පවත්නා රුචිකත්වය ද හේතු වූවාට සැක නැත.

මේ ගති ලක්ෂණය ඉක්බිතිව වේදිකාවෙන් සිනමාවට පිවිසිණ. විවිධ ප්‍රභේදවලට (GENRES) (මේ සඳහා ඇතැමුන් භාවිත කරන “ශානරය” යන වචනය ඉංග්‍රීසි වදනෙන් තනා ගත් විකෘති සිංහල වචනයක් ලෙස මම දකිමි) අයත් චිත්‍රපට අපරදිග නිර්මාණය වන බැවින් ඒ අතර සංගීතමය (MUSICALS) චිත්‍රපට මැයෙන් වෙසෙසා දැක්විය හැකි ප්‍රභේදයක් දක්නට ලැබේ. ප්‍රස්තුතයේ ඖචිත්‍යභාවය අනුව හැරුණු විට පසුබිම් ගී හඬට නළු නිළියන් මුඛාභිනයේ, (MIME) යෙදෙමින් රඟන දර්ශන අපරදිග සිනමාවේ නම් සංගීතමය චිත්‍රපටවලට පමණක් සීමා වන අයුරු බොහෝ විට දැක්ක හැකිය. ඒ හැරුණු විට අපරදිග සිනමාවේ දක්නට ලැබෙන්නේ අදාළ චිත්‍රපටයෙහි තේමාව හකුළා දක්වන තේමා ගීතයක් (THEME SONG) පමණි. එයත් ඉන්දියානු හෝ ලාංකික චිත්‍රපටවල බොහෝ විට භාවිත කෙරෙන පසුබිම් ගීත මෙන් නොව චිත්‍රපටයේ අවසානයේ නාමාවලිය සමඟ ඇසීමට ලැබෙන්නකි.

ඉන්දියාවේ හෝ ලාංකික සිනමාවේ තතු මීට වෙනස්ය. බොහෝ විට වෙසෙස් ප්‍රභේද අනුව තැනු චිත්‍රපට වෙනුවට නව නළු රසයමැ කුළුගැන්වෙන චිත්‍රපට නිර්මාණය වීම ඊට ආවේණික ගති ලක්ෂණයකි. මේ නිසා ඉන්දියානු හා ලාංකික සිනමාවට ගීත නැතිවම බැරිය. කලාත්මක ධාරාවෙහි චිත්‍රපටවල පවා ගීතයකින් විනිර්මුක්ත චිත්‍රපටයක් දක්නට ලැබීම දුර්ලභය. ලාංකේය සිනමා ඉතිහාසය පුරාම ‘ගම්පෙරළිය’ (1963) චිත්‍රපටයෙන් ආරම්භ කළ විට ගීත නොමැති චිත්‍රපට බිහි වූයේ ඉතා අල්පයකි. (නිදර්ශන - ගොළු හදවත, දඩයම). ඉන්දියානු සිනමාවේද “ව්ඒඋබ්ඒඑඒව්” (1937) චිත්‍රපටයේ සිට (ඉන්දියානු කථානාද සිනමාවේ ගීත නොමැති ප්‍රථම චිත්‍රපටය මෙය වේ) ගීත නොමැති චිත්‍රපට ANDHA NAAL (1954), KANOON (1960), ITTEFAQ (1969) දිස් වූයේ විරල වශයෙනි.

ඉන්දියානු හෝ ලාංකික සිනමාවේ නළු නිළියන්ගේ මුඛාභිනය උදෙසා පසුබිම් ගායන ශිල්පි ශිල්පිනීන් භාවිත කිරීමේදී (පසුබිමෙන් ඇසෙන්නට නොව) ඊට උචිත තිර කටහඬක් (SCREEN VOICE) ඔවුන් සතුව පැවතීම අත්‍යවශ්‍යය. එපමණකුදු නොව ඒවා එක් එක් නළු නිළියන්ගේම මුවින් ගැයෙන ගීත සේ ප්‍රේක්ෂකයාට දැනෙන්නට තරම් ඖචිත්‍යපූර්වක විය යුතුමය. මෙහිදී ගායන ශිල්පි ශිල්පිනීන්ගේ හඬවල් අදාළ නළු නිළියන්ට නොගැළපේ යැයි ප්‍රේක්ෂකයාට හැඟුණොත් චිත්‍රපටයෙන් ඔවුන් විඳින රසාස්වාදය භංග වේ.

හරවත්, සුභාවිත ගී ප්‍රචාරය කරන ගුවන් විදුලි නාළිකාවකින් පසුගියදා මට “ජනක සහ මංජු” (1978) චිත්‍රපටයට ඇතුළත් වූ ටී. එම්. ජයරත්නයන් ගැයූ “කෝ මා පැතූ ඔබෙ ආදරේ” ගීතය අසන්නට ලැබුණි. ඒ සමඟ මට සිහිපත් වූයේ මෙරට සිනමාවේ එක නළුවකු හෝ නිළියක උදෙසා එකම චිත්‍රපටයක් ඇතුළත පසුබිම් ගී හඬවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් භාවිත කිරීමට අත්හදාබැලූ අවස්ථාවන්ය. එසේම එක පසුබිම් ගායකයකුගේ හෝ ගායිකාවකගේ හඬක් එක චිත්‍රපටයක් ඇතුළත නළුවන් හෝ නිළියන් කිහිප දෙනෙකුට භාවිත කළ අවස්ථාවන්ය. මෙසේ සිතූ කල්හි ලාංකේය සිනමා වංශයෙන් එබඳු චිත්‍රපට ගණනාවක් මා සිහියට නැඟිණ. ඒවා මතකයට එන පරිදි මම සටහන් කළෙමි. මේ ලිපිය ඒ ඇසුරෙන් ලියැවෙන්නකි. මේ වූ කලී ලාංකේය සිනමා ඉතිහාසයේ ආරම්භයේ සිට අද්‍යතනය දක්වා අනුපිළිවෙළින් සියලු චිත්‍රපට විමසා බලා කෙරුණු විධිමත් අධ්‍යයනයක් නොවේ. මගේ ස්මෘතියට එකවර නැඟුණු චිත්‍රපට ඇසුරෙන් තැබූ සටහන් සමුදායකි. මෙහිදී මට අවැසි වූයේ එබඳු අවස්ථාවලදී එක් එක් පසුබිම් ගායකයන්ගේ හෝ ගායිකාවන්ගේ ගී හඬ අදාළ නළු නිළියන්ට කොතෙක් දුරට ගැළපේද නොගැළපේ ද යන්න දැක්වීමට නොව ඒ විනිශ්චයෙහි දොරටුව සහෘද බුද්ධීන්ද්‍රියට හා භාවේන්ද්‍රියට විවර කිරීමටය.

පෙර කී “ජනක සහ මංජු” චිත්‍රපටයෙහිදී අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස එහි ප්‍රධාන නළු ජයන්තදාස් පෙරේරා උදෙසා එච්. ආර්. ජෝතිපාල (සීත මෝසම්), ක්ලැරන්ස් විජේවර්ධන (සුවඳක් දැනේවි) හා ටී. එම්. ජයරත්න (කෝ මා පැතූ) යන ගායන ශිල්පීන් යොදා ගත්හ. “මාතලන්” (1955) චිත්‍රපටයේ ක්ලැරිස් ද සිල්වා උදෙසා ලතා වල්පොලගේ (ඉවසනු හදේ) හඬත් කේ. රාණිගේ හඬත් (හඳ රාහු මුඛයෙහි) භාවිත කළ අතර රත්නා කුමාරි ද සිල්වා සඳහා ද ලතාගේ මැ හඬ (සඳ කොමළි තරු පිරිවරලා) යොදා ගැනීමට අධ්‍යක්ෂ ඒ. එස්. නාගරාජන් හා සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි උත්සුක වූහ. එස්. කේ. ඕජාගේ “දෛවයෝගය” (1959) චිත්‍රපටයේ මොහිදීන් බෙග් මාස්ටර් සේනාධීර කුරුප්පු (ආදරියේ රුචිරාණනියේ) සඳහා ද එඩී ජයමාන්න උදෙසා ද (උඹෙ නාඹර තැඹිලි පාට) ගීත ගැයුවේ සජාද් හුසේන්ගේ සංගීතයටය. සංගීතවේදී ආර්. මුත්තුසාමි මාස්ටර් එල්. එස්. රාමචන්ද්‍රන්ගේ “නළඟන” චිත්‍රපටයේ (1960) රවීන්ද්‍ර රූපසේන සඳහා මොහිදින් බෙග්ගේ හඬ වරෙක (පරම රමණී) යොදා ගත් නමුත් “ගිලුණා සෝක ගඟේ” ඔහුමැ ගැයුවේය.

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ “ළසඳා” චිත්‍රපටයේදී ආචාර්ය කේමදාසයන්ගේ සංගීතයට එච්. ආර්. ජෝතිපාල වාර්තාවක් පිහිට වූයේය. එහි තිස්ස විජේසුරේන්ද්‍රටත් (මා ප්‍රාර්ථනා ආශාවෝ) ඩොමී ජයවර්ධනටත් (ගෙදර හිටිය රෝස කැකුළ) ගී ගයා ෆ්‍රෙඩී සිල්වා වෙනුවෙනුත් (ජරමර අස්සේ මං) තම හඬ දීමෙන් නොනැවතී “රෝසා” ගීතයේ ඩී. ආර්. නානායක්කාර වෙනුවෙන් “අයියෝ අම්මේ” යැයි කීවේය. එසේම ජෝතිපාලයන් ජෝ දේව් ආනන්ද්ගේ “සූකිරි කෙල්ල” (1975) චිත්‍රපටයේ තමාම රඟපාමින් “මනමෝහන සුව සාදන” ගීතය ගැයූ අතර එහිම රෝයි ද සිල්වාට “සූකිරි කෙල්ලේ” ගීතය ගැයුවේ එම්. එම්. ඒ. හක් හා ටී. එෆ්. ලතීෆ්ගේ සුසංයෝගී සංගීතයටය.

නීල් රූපසිංහගේ “ආදරේ හිතෙනවා දැක්කම” (1972) මගේ ප්‍රස්තුතයට විචිත්‍ර දෘෂ්ටාන්තයකි. සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාලයන්ගෙනි. මෙහි ගාමිණි ෆොන්සේකා උදෙසා ජෝතිපාලයන්ගේ හඬත් (අඬන්නෙපා සුදු) මිල්ටන් මල්ලවාරච්චිගේ හඬ මුල්වරටත් (මගේ ජීවිතයම වටහා ගන්නට) යොදා ගැනිණ. එපමණක් ද විජය කුමාරතුංගයන් වෙනුවෙන් භාවිත පසුබිම් ගී හඬ ත්‍රිත්වයකි. එනම් එච්. ආර්. ජෝතිපාල(රෑ දවල් මල් රැඟුම්), එම්. එස්. ප්‍රනාන්දු (සයිමන් අයියයි) හා මොරිස් දහනායක (මුතු මිටක් පිරී) ඈ ත්‍රිත්වය වෙති. එම්. එස්. ප්‍රනාන්දු මෙහිදී ඇන්තනි සී. පෙරේරා වෙනුවෙන් ද (ගම්මානෙට පෙර) ගයා තමාම රඟමින් “ඔබට තිබෙන ආදරේ” ගැයු අයුරු අමතක නොවේ. ජෝ මයිකල්ගේ “සිරිල් මල්ලි” චිත්‍රපටයේ (1975) ගාමිණි ෆොන්සේකා වෙනුවෙන් මිල්ටන් මල්ලවආරච්චි “ඒක් ඛලී” නම් වූ ලාංකේය හින්දි ගීතය ගැයූ අතර ඒ තනුවටමැ එච්. ආර්. ජෝතිපාලයන් “මල් කැකුළි” ගීතය ගැයීම සුවිශේෂතාවකි. එම්. කේ. රොක්සාමි මෙහි සංගීත අධ්‍යක්ෂවරයාය. ලෙනින් මොරායස්ගේ “හිතුවොත් හිතුවාමයි” (1977) චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් වෙනුවෙන් ගායකයන් දෙපළක් සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකයෝ භාවිත කළහ; එනම් එච්. ආර්. ජෝතිපාල (ගුම්නද ගුම්නද) හා ආචාර්ය වික්ටර් රත්නායක (චුක්කි චුක්කි) ය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ “මාතර ආච්චි” (1973) චිත්‍රපටයේ ඔහුගේ පසුබිම් ගී හඬට ගායකයන් දෙදෙනෙකු අත්හදා බැලුවේය. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය වික්ටර් රත්නායක ඉන් එක් අයෙකි. (සඳුන් සිහින) සුනිල් එදිරිසිංහ මින් දොරට වැඩි (සඳකඩ පහණක) නව්‍ය ගායකයාය. රවීන්ද්‍ර රන්දෙණිය උදෙසා මහාචාර්ය සනත් නන්දසිරිගේ හඬත් (සඳ පෙම් යහනින්) ටී. එම්. ජයරත්නගේ හඬත් (මාල ගිරා ගෙල), ටී. අර්ජුනගේ “වසන්තේ දවසක්” චිත්‍රපටයේ (1979) භාවිත කෙරිණ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මෙහි ස්වර සංරචකයාය. විජය ධර්ම ශ්‍රීගේ “ආරාධනා” චිත්‍රපටයේදී (1981) රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනී ෆොන්සේකා දෙපළ සඳහා සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ, මිල්ටන් මල්ලවආරච්චි සහ මාලිනී බුලත්සිංහල යොදා ගනිද්දී (සීත අරණේ) සංගීතඥ එච්. එම්. ජයවර්ධන එහිම විජය කුමාරතුංග හා දමයන්ති ජයසූරිය (සිනාවකින් පුතුගෙ මුවේ) අත්හදා බැලුවේය. එකම චිත්‍රපටයක් ඇතුළත මාලිනී ෆොන්සේකා වෙනුවෙන් ලතා වල්පොල හා ඇන්ජලින් ගුණතිලක දෙපළගේ හඬ යොදා ගත් චිත්‍රපට රාශියකි. ලෙනින් මොරායස්ගේ “ආවා සොයා ආදරේ” (1975) ඉන් එකක් පමණි. ලතා “රොන් සොයා”, ඇන්ජි “රන් මසුරන්” මෙහි ගැයුවේ සරත් දසනායකගේ සංගීතයටය.

නීටා ප්‍රනාන්දු සඳහා පසුබිම් ගී හඬ ද්වයක් භාවිත වූ චිත්‍රපටයකි, විජය ධර්ම ශ්‍රීගේ “දුහුළු මලක්” (1976). එහිදී සුජාතා අත්තනායකගේ (බොඳ මීදුම්) හඬ පසුබිමෙන් ද නන්දා මාලිනීගේ (රන් කෙන්දෙන්) හඬ මුඛාභිනයෙන් ද සරත් දසනායකයන්ගේ සංගීතයට යොදා ගැනිණ. පතිරාජ එල්. එස්. දයානන්දගේ “ගංගා” චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් වරෙක ජෝතිපාලයන්ගේ (පොළොවෙහි වැලි මෙන්) හඬත් විටෙක මිල්ටන් මල්ලවාරච්චිගේ හඬත් (සිනහව අතරින්) යොදා ගැනීම අපූර්වත්වයකි. හෙක්ටර් සොයිසා එහි සංගීත අධ්‍යක්ෂවරයාය. විජය වෙනුවෙන් වික්ටර් රත්නායක “පෙම්බර මධූ” ගයද්දී ජෝති “මුහුද ගලා ඒනම්” ගැයූ නමුත් එකම චිත්‍රපටයේ ටෝනි රණසිංහයන්ටත් ඔහු ගැයුවේය. ඒ “දෙනුවන් බිඟුන්” නම් ගීතයයි. චිත්‍රපටය සුගතපාල සෙනරත් යාපාගේ “පෙම්බර මධූ” (1977) ය. සංගීතය පී. එල්. ඒ. සෝමපාලගෙනි. දයා විමලවීරගේ “දෙව්දුව“ (1986) චිත්‍රපටයට විජය වෙනුවෙන් සරත් දසනායක වෙනස් හඬවල් සොයා ගියේය. “මල් වරුසාවක්” වික්ටර් ගැයූ අතර “මසිතට ළං වී” ගැයුුවේ සුනිල් සිරිවර්ධනය. එච්. ආර්. ජෝතිපාල “ආදර මල් පවනේ”, මහාචාර්ය සනත් නන්දසිරි “සීත රෑ යාමේ” යන ගීත විජය වෙනුවෙන් ගැයුවේ “දුලීකා” (1974) චිත්‍රපටය වෙනුවෙනි. ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා “සිහින හතක්” (1966) චිත්‍රපටයේදී ටෝනි රණසිංහ වෙනුවෙන් මිල්ටන් පෙරේරා (සුපුන් සඳක්) හා නාරද දිසාසේකර (පුෂ්ප මකරන්දය) යොදා ගත්තේය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස “නෑදෑයෝ” චිත්‍රපටයේ අපූර්ව අත්හදාබැලීමක් කළේය. එනම් එහි “රාමා සීතා” ගීතයේදී ටී. එම්. ජයරත්නගේ හඬ උපාලි අත්තනායකට හා විජය නන්දසිරිට යොදා ගනිමිනි. එහිම තිස්ස විජේසුරේන්ද්‍ර හට ජෝතිගේ (පෙම් ගඟ රංගන) හඬත් එම්. එස්. ප්‍රනාන්දුගේ හඬත් (එරන් කඳ පෙම් කඳ) භාවිත කෙරිණ. “රන්දම් වැල්” චිත්‍රපටයේදී (1987) එකම ගීතය (“ළං වෙන්නවදෝ”) ප්‍රවාච (Version) දෙකකින් සනත් ගුණතිලක වෙනුවෙන් ඉදිරිපත් විය. එකක් ජෝතිපාලත් අනෙක වික්ටර් රත්නායකත් ගැයූහ. සංගීතවේදියා සරත් දසනායකය. සරත් ද අල්විස් සංගීතවේදියා ජීවන් කුමාරතුංග වෙනුවෙන් “හිත හොඳ චණ්ඩියා” හිදී විජයගේ (නීල අහසේ), ජෝතිපාලගේ (සහෝ මේ පාරත්) හඬවල් සහ “මමයි රජා” හිදී ග්‍රේෂන් ආනන්දගේ (නිල්ල මැදින්) හා වික්ටර් විජයන්තගේ “(සඳේ ආලෝක ධාරාව) හඬවල් භාවිත කළේය. “සුහද පැතුම” (1973) චිත්‍රපටයේදී තිස්ස විජේසුරේන්ද්‍ර වෙනුවෙන් ජෝතිගේ (ආලෝකේ බිහි වී) හඬ භාවිතයෙන් නොනැවතී සිසිර සේනාරත්නගේ හඬ පසුබිමෙන් පමණක් (කොහේදෝ කියා) යොදා ගැනීම සුවිශේෂතාවකි. “හරිම බඩු තුනක්” (1976) චිත්‍රපටයේ සේනාධීර රූපසිංහ වෙනුවෙන් ජෝති ගැයීමෙහි (නියං සායෙන්) අපූර්වත්වයක් නැත. එහෙත් එහි ටෝනි හසන් (මුවේ මීනුරා) සේනාධීර වෙනුවෙන් ගැයීම වෙනසකි. “අංජලිකා” චිත්‍රපටයේ චන්න පෙරේරාට ග්‍රේෂන් (ඔබ ඇවිදින්) හා රනිඳු ලංකාගේ (හෘදය කෙනිත්තුවේ) ගැයූහ. “ගිම්හානේ ගී නාදේ” හි විජයට ගී හඬවල් දෙකකි; ඒ ජෝති (ඔබ සොයා එන්නම්) හා ටී. එම්. ජයරත්න (ගංගාවේ ගීතේ)ය. “සත පනහ” චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාගේ ගී හඬ බවට ජෝතිපාලත් (චන්ද්‍රා මේ රෑ පායා) ආර්. මුත්තුසාමිත් (ඔබ පානා ඔය) එක්වීම විශේෂත්වයකි. මෙබඳු නිදර්ශන තව බොහෝ ගණනක් ඉදිරිපත් කළ හැකිය. මේ ලිපිය නිම කිිරීමට පෙර අතිශය සුවිශේෂ නිදර්ශන තුනක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. එනම් ප්‍රතිභාපූර්ණ ගායකයන් චිත්‍රපටවල විරලව නළුවන් බවට පත් වෙද්දී ඔවුන් සඳහා ස්වකීය හඬ යොදා නොගෙන වෙනත් ගායන ශිල්පියකුගේ හඩ යොදා ගැනීමය. “පරසතු මල්” හිදී ෂෙල්ටන් පෙරේරා වෙනුවෙන් “සඳකත් පිනිදිය” ත් “වසන්තේ දවසක්” හී ටී. එම්. ජයරත්න වෙනුවෙන් “හීන් සැරේ ඔබ” යන ගීත අමරදේවයෝ ගැයූහ. ඒ පිළිවෙළින් ලයනල් අල්ගමගේ හා ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයටය. එබඳු අවස්ථා මෙරට සිනමා ගීත සාහිත්‍යයේ විරල වේ. අනෙක තිරගත නොවූ “වෙස්වළාගත් තරුණිය” චිත්‍රපටයේ අනෝජා වීරසිංහ පිරිමි වෙස් ගනිද්දී ඇය වෙනුවෙන් ජෝතිපාල ගී ගැයීමය.

Comments

victor (තහවුරු වී නොමැත)
"මාතර ආච්චි" සඳහනේ පොඩි අඩු පාඩුවක් තියනවා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඔහුගේ පසුබිම් හඬට මිල්ටන් මල්ලවාරච්චිවත් යොදා ගත්තා, "රන් දේදුනු" (මොහොතින් මොහොතට) ගීතය වෙනුවෙන්,
සඳු, 08/05/2019 - 23:12

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.