බහුශ්‍රැතභාවය යනු

ජූලි 18, 2019

ඇසූ පිරූ තැන් ඇති බව පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් හෝ කිසියම් පුද්ගලයකු ලබන්නා වූ විධිමත් අධ්‍යාපනයකින් පමණක් සපුරා ගත නොහැක්කකි. එකල පාසල හෝ විශ්වවිද්‍යාලය වෙත පිවිසෙන විද්‍යාර්ථීන්ගේ අධ්‍යාශය වූයේ ඉන් ගුණ නුවණ ලබා ශාස්ත්‍රවන්තයන් වීමය. එහිදී ලබන සුදුසුකම් අනුව නිශ්චිත රැකියාවක් ලබා වෘත්තීමය ස්ථාවරයක් ලබා ගැනීම ද්විතික කාර්යයක් විය. පශ්චාත් කාලීන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික විපර්යාස හේතු කොට එකී ආකල්පය වෙනස් වූ බව පැවසීම සහේතුකය. පාසලේ හෝ උපකාරක පන්තියේ ගුරුවරයා විසින් ලබා දෙනු ලබන සටහන ගිරවුන් සේ කටපාඩම් කොට වමාරා ඉක්බිතිව විභාගය සමත් වී උසස් රැකියාවක් ලබා ගැනීම අද්‍යතනයෙහි බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒකායන අභිලාෂය වී තිබේ.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙහි තතු ද මීට පරස්පර නොවේ. දැනුමෙන් සන්නද්ධ නොවූ, යාවත්කාලීන නොවූ ඊනියා සරසවි උගතුන් සතර දිග් භාගයේ අද සුලබ වී සිටිනුයේ එහෙයිනි. විධිමත් පාසල් හෝ සරසවි අධ්‍යාපනය නොලැබූ එහෙත් අසීමිත ලෙස පොත පත කියවා සමාජය නමැති විශ්වවිද්‍යාලයෙන් උගත් ස්වාධ්‍යායෙන් මඩනා ලද බහුශ්‍රැතයෝ, කලාකරුවෝ බොහෝ අවස්ථාවලදී අර කී ඊනියා උගතුන් අතික්‍රමණය කළහ. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, කේ. ජයතිලක, ලෙස්ටර් ජේම්ස් පීරිස්, අමරදේව, චිත්‍රසේන, තිස්ස අබේසේකර, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ප්‍රේමසිරි කේමදාස වැනි සුවිශිෂ්ට නාම මෙහිදී මා හට සිහිපත් වේ.

ඊට සමගාමීව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය සිරි ගුනසිංහ වැනි විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙහි විධිමත් අධ්‍යාපනයෙන් පහළ වූ සුවිශිෂ්ට ශාස්ත්‍රවන්තයෝ ද එකල සිටියහ. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් ලත් විධිමත් ශික්ෂණයෙන් නොනැවතී අප්‍රතිහත දිරියෙන් විසල් ශාස්ත්‍ර සාගරය පයුරුපාසනය කිරීමට වෙර දැරූ පඬිවරුන් සේ සැලකීම සහේතුකය. මෙකල විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ හෝ පොතපත කියවීමෙන් හෝ ජීවන තක්සලාවෙන් ඉගෙනීමෙන් හෝ බහුශ්‍රැත වූවෝ දුර්ලභ වෙති. සිටිනුයේ ඉතා අල්ප වශයෙනි. ඔවුන් අතේ ඇඟිලි ගණනින් ගෙන හැර දැක්විය හැකිය.

ඇසූ පිරූ තැන් ඇති බව හෙවත් බහුශ්‍රැත බව ලැබීමට අප්‍රමාණ පරිශ්‍රමයක් දැරිය යුතුය. ඥාන උල්පත් පාදා ගත හැකි වනුයේ අසීමිත ආයාසයෙනි.

ඇසූ පිරූ තැන් ඇති බව යනු බහුශ්‍රැතභාවය වේ. එහි අරුත සන්නිවේදනය කරනු පිණිස ඉංග්‍රීසියෙහි ”එඥතත ඍඥපඵඥඤ’ යන වදන ඖචිත්‍යපූර්වක යැයි මට හැඟේ. ‘බාහු සුතෝ යස්සසෝ බහුස්සුතෝ’ යනුවෙන් පාලි අටුවා සාහිත්‍යයෙහි මේ අරභයා දැක්වේ. එනම් බොහෝ ඇසූ පිරූ තැන් ඇති යමෙක් වේද ඔහු බහුශ්‍රැතයකු වේ යන්නය.

වචනයේ පරිසමාප්ත අරුතෙහිම කලාකරුවකු නිසැකවම බහුශ්‍රැතයෙකි. එනම් බහුශ්‍රැතයකු නොවී ශ්‍රේෂ්ඨ කලාකරුවකු විය නොහැකිය. එසේ නම් එබඳු කලාකරුවෝ කොපමණ ප්‍රමාණයක් මෙරට සිටිත් ද? පාලියෙහි ‘බහුස්සුත’ යන වදන සකුවෙහි ‘බහුශ්‍රැත’ ලෙස ව්‍යවහාර කෙරේ. සවන්දීම ප්‍රමුඛ වීමෙන් පුද්ගල චිත්ත අභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන විඥානය බෞද්ධ දර්ශනයෙහි දැක්වෙනුයේ ‘සෝත විඥානය’ ලෙසිනි. කලාන්තරයක් පුරා මුඛ පරම්පරාගතව පැවතෙන අසන දේ ඔස්සේ ගොඩනැඟෙන ඥාන සම්භාරය ජනශ්‍රැතිය ලෙස නිර්වචනය කෙරෙන බැව් සහෘදයෝ දනිති.

බුදුන් වහන්සේ අංගුත්තර නිකායෙහි කවි සූත්‍රයෙහි සිවු වැදෑරුම් කවීන් අරභයා දේශනා කොට වදාළහ. එනම් අත්ථ කවි, පටිභාන කවි, චින්තා කවි හා සුත කවි යනුවෙනි. ඒ අනුව අන්‍යයන්ගෙන් අසා දැන උගත් දේ ආභාසයෙන් නිර්මාණය වු කවිත්වය හා කවියන් සුත කවි මැයෙන් විග්‍රහ වේ. ලොව මුල්වරට කවීන් සුපැහැදිලි ලෙස වර්ගීකරණය වූයේ මෙකී කවි සුතුරෙනි. බහුස්සුත කවිත්වය මින් විදාරණය කෙරිණ. ශ්‍රැතමය ප්‍රඥා ධර්මයට සවන් දීමෙන් ලබා ගත යුත්තකි. සකු බසෙහි ‘ශ්‍රැ’ යන්නෙන් (ශ්‍රවති) යනවා, අසනවා, ඉගෙන ගන්නවා, කන් දෙනවා, අවනත වෙනවා යන අරුත් නංවන බව සංස්කෘත - සිංහල ශබ්ද කෝෂයෙහි (පිට 818) පුවසති අලගියවන්නයෝ පෙන්වා දෙති. වචනයේ පරිසමාප්ත කලා කෘතියකින් මෙතෙක් නොඇසූ දෙයක් ඇසීමට ඉඩ දිය යුතු බව (අස්සුතං සුනාති) ත්‍රිපිටකයෙහි දැක්වේ.

‘ඇසු පිරූ තැන්’ මැයෙන් මවිසින් රචනා කරනු ලබන තීරු ලිපි පෙළ අද සිට සරසවියෙහි පළ වේ. එමඟින් පාඨක සහෘද ඔබ වෙත සම්ප්‍රදානය කරනුයේ මතක ඇති කාලයේ පටන් මා ඇසූ පිරූ සකල කලාවන්ට හා කලාකරුවන්ට අදාළ සරුසාර බොහෝ දෑය. සිනමාව මෙහිදී ප්‍රමුඛ වූවත් එයටමැ සීමා නොවී වේදිකාව, ටෙලි නළුව, නවකතාව, කෙටි කතාව, කවිය, චිත්‍ර ශිල්පය, මූර්ති කලාව, සංගීතය, ගීතය, ජනශ්‍රැතිය, භාෂාව, සෞන්දර්යවාදය, දර්ශනය, විචාර කලාව, නර්තන කලාව, ජනමාධ්‍ය ඈ සකලවිධ කලා සාහිත්යික ක්ෂේත්‍ර හරහා නිදහසේ, පියාපත් සමබර පක්ෂියකු සේ සැරිසැරීමට මම අපේක්ෂා කරනෙමි.

එහිදී මා පොතපතෙන් උකහා ගත් දැනුම මතු නොව අනේකවිධ පඬිවරුන්ගෙන්, සාහිත්‍යවේදීන්ගෙන්, කලාකරුවන්ගෙන්, එදිනෙදා හමුවන අප්‍රකට මිනිසුන්ගෙන් අසා දැන ගත් සාරවත් දෑ ද මුසු කිරීම මගේ ඊප්සිතාර්ථය වේ. කලා නිර්මාණ ආස්වාදයෙන් ලත් සියත් සිතුම් ද එහි සුලබ වනු ඇති. අදාළ එක් එක් කලාකරුවන්, පඬිවරුන්, සාහිත්‍යවේදීන් තමා අරභයාම මා හට පවසා තිබෙන රසාවදානයන් ද මීට එක්වනු ඇත. බටහිර විචාරකයන් ‘ජ්පධථ ඩ්ධපඵඥ ර්ධභබඩ’ යන යෙදුම වහරනුයේ මෙවැනි මූලාශ්‍ර හඳුන්වනු පිණිසය.

මා නොදන්නා, පෙර නොඇසූවිරූ දැනුමක්, කතාවක්, කියුමක්, වචනයක්, සිදුවීමක් ඉහත කවර මූලාශ්‍රයකින් හෝ ලබා ගත් කල්හි කුඩා සටහන් පොතක ඒ අරභයා සුපැහැදිලිව ලියා තැබීම මගේ දිගුකාලීන පුරුද්දකි. එබඳු සටහන් පොත් විශාල සංඛ්‍යාවක් මා සතුව තිබේ. මේ තීරු ලිපි පෙළට එලෙස මා තැබූ සටහන් ද ඉවහල් වනු නියතය. කොටින්ම කිවහොත් දියට හඬන කෑදැත්තකු විලස ශාස්ත්‍ර පිපාසයෙන් ආවේශිතව එය සහෘදයන් හා බෙදා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත පරිඥානය සකල කලාවෙන් සුපුෂ්පිත කිරීමට ම විසින් දරනු ලබන ප්‍රයත්නයකි, මේ ‘ඇසු පිරූ තැන්’ නම් වනුයේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.