රඟපාමින් කතා ලියූ ඉලංගරත්න

ජූලි 11, 2019

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් කවි හැදීම, කෙටිකතා ලිවීමට අමතරව නාට්‍ය රචනයට, රඟපෑමට කැමැත්ත දැක්වීය. ෂේක්ස්පියර් නාට්‍ය සංගමයට බැඳුණු ඔහු ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයට නියමිතව තිබූ ‘දොළස්වන රාත්‍රිය’ නාට්‍යයේ චරිතයක් රඟපෑවේය. ඉන්පසු ඔහු කොළඹ විමෝද රංග මණ්ඩපයට එක් වී ‘අන්ධ නන්දා’ - සකුන්තලා යන නාට්‍යය ලියා දුන්නේය. නාට්‍ය ලිවීමේ ආසාව ඔහු තුළ ඇති වූයේ ගලගෙදර පාසැලේ මුලින්ම ඉගෙන ගන්නා කාලයේදීය. ඒ කාලයේ ‘මිනීමරුවාගේ සිහිනය නොහොත් සමාජ සේවකයා’ හි රචකයා වූ මේ කුඩා නාට්‍යකාරයා වරෙක පාසල් වේදිකාවේ ‘ගුත්තිල මූසිල’ නාට්‍යයේ දෙවඟනක් සේ රඟපෑවේය. ශාන්ත අන්තනිස් විද්‍යාලයේ දී ඔහු ‘අකීකරු පුත්‍රයා’ කෙටි නාට්‍යයේ රචකයා විය.

කවුද මේ වේදිකා නළුවා?

රටම දන්නේ කෘතහස්ත දේශපාලඥයකු, ඇමැතිවරයකු වූ ටී. බී. ඉලංගරත්න නමිනි. සාහිත්‍ය පාඨකයා ඔහු හඳුනන්නේ ඔහු ‘අඹ යහළුවෝ’, ‘තිලක’, ‘තිලක හා තිලකා’, ‘විලම්බීත’ ආදී නවකතා ලියූ ලේඛකයා හැටියටය. සිනමා ප්‍රේක්ෂකයා හඳුනන්නේ ‘තිලක හා තිලකා, ළසඳා, සසර, මංගලා, නිවෙන ගින්න, නයනා, කැලෑමල්’ ආදී චිත්‍රපටයට නැඟූ නවකතාකාරයා හැටියටය. ගුවන් විදුලි ශ්‍රාවකයන් හඳුනන්නේ ‘කැලෑමල්’ ගුවන් විදුලි නාට්‍යයේ රචකයා හැටියටය. රූපවාහිනී ටෙලි නාට්‍ය රසිකයන් හඳුනන්නේ ඔහුගේ ‘අඹ යහළුවෝ’ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයේ රචකයා හැටියටය.

එකදහස් නවසිය දහතුන් වෙනි වසරේ පෙබරවාරි විසිහත් වනදා වැලිගඩපොළ උපන් ටිකිරි බණ්ඩා ඉලංගරත්නගේ පිය පාර්ශවයේ පෙළපත් නාමය වූයේ ‘නවරත්න රාජකරුණා වාසල ටිකිරි මුදියන්සේලාගේ’ යන්නය. මව් පාර්ශවයේ වාසගම වූයේ ‘ඉලංගන්දවුණ්ඩ මුදියන්සේලාගේ’ යන්න අනුසාරයෙන් ඔවුන් ‘ඉලංගරත්න’ යන්නත්, පිය පාර්ශවයේ සම්පූර්ණ පෙළපත් නාමයත් භාවිත කර ඇත. අප්පච්චි පාරම්පරික ඇස් වෙදකම ගැන ප්‍රසිද්ධියක් දැරූ සර්වාංග වෛද්‍යවරයෙකි.

හත් දෙනෙකුගෙන් යුත් දරු පවුලක හතරවැන්නා ටිකිරි බණ්ඩාය. හතරලියද්දේ පිරිමි පාසල, ගලගෙදර ද්වි භාෂා පාසැලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු මහනුවර ශාන්ත ඇන්තනීස් විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කර ඇත. රජයේ ලිපිකරුවකු වශයෙන් ජීවිතය අරඹා ප්‍රගතිශීලී ලේඛකයකු ලෙස ප්‍රකටව චිත්‍රපට ලෝකයටත් පිවිස ඇත. ඉලංගරත්න මහතා මුලින් මුද්‍රණයෙන් නිකුත්කර ඇත්තේ ‘හැරමිටිය’ නම් නාට්‍ය කෘතියයි. ඉන්පසු ‘මන්ත්‍රී හාමුදුරුවෝ, නාටක අට, මොකද මුදලාලි, නිකං ආවා’ නාටක මුද්‍රණයෙන් නිකුත් කර ඇත.

‘මම ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ ‘රදළ පිළිරුව’ නවකතාව ඇසුරෙන් නාට්‍යයක් නිෂ්පාදනය කළා. පසුව ඒ නවකතාව සිනමාවට නැඟීමේදී තිර නාටකය ලියන්න වුණෙත් මට. මගේ පාසල් නාට්‍ය ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවා. ‘ගුත්තිලය’ කියන නාට්‍යය ගලගෙදර විද්‍යාලයේ වාරාවසානයෙක වේදිකා ගත වුණා. මේ නාට්‍යයේ ශක්‍රයා දෙන ගුලි ගුත්තිල පඬි රාජ සභාවේදී උඩ වීසි කරන විට නැටුමට එන දිව්‍යාංගනාවක් හැටියට මම ඇඳගෙන හිටියේ. තිරයෙන් මෙහාට එබී තිබුණ ගෙඩියක් වගේ දෙයක් මට පෑගුණා. මේ මොකක්දැයි දැනගන්නට මම දෙපාරක් පයින් ගැසුවා. හෙල්ලෙන්නේවත් නෑ. ඉදිරි තිරේ වැහුවට පස්සේ ‘කවුද මගේ ඔළුවට පයින් ගැහැව්වේ’ අඬාගෙන කෙනෙක් දුවගෙන ආවා. එතකොටයි මම පයින් ඇන්නේ බිම වැටී සිටි (ගුත්තිලයට පසු වේදිකා ගත වන) ‘ජුලියස් සීසර්’ හි සීසර් ලෙස රඟපාන නළුවාට බව දැනගත්තේ. ඒ නාට්‍යයෙත් මම රඟපානවා. මැරෙනු මිනිහට හෙල්ලෙන්න බැරි නිසා ඒ නළුවා පහර කාගෙන අමාරුවෙන් හිටියා. එදා ඒ සීසර් හැටියට රඟපෑවේ ජේ. වික්‍රමසිංහ (ජෝතියසේන) මහත්තයා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසත් පසුව චිත්‍රපට කොමිෂන් සභාවේ සභාපති වූයේත් ඔහුයි. ඒ කාලේ එතුමා ගලගෙදර පාසලේ උප ගුරුවරයෙක්. කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ ලීල් ගුණසේකර මහතා විවාහ වූයේ එතුමාගේ දියණියක් සමඟ.’ ඉලංගරත්න මහතා මේ තොරතුරු මට කීිවේ 1973. 3. 30 සරසවිය පත්‍රය සඳහා මා විසින් ලියූ ‘තිරයට නැඟෙන මගේ නවකතා’ මැයෙන් කළ විශේෂාංගයකටය.

1947 මහා මැතිවරණයෙන් මහනුවර ආසනයට ස්වාධීනව තරඟ කළ ඉලංගරත්න මහතා පරාජය වී 1948 පැවැත් වූ අතුරු මැතිවරණයෙන් ජය ලැබූවත් මැතිවරණ පෙත්සමක් නිසා ආසනය අහිමි කර ගත්තේය. එය ඒ මහතාගේ සංක්‍රාන්ති සමය විය. තම බිරිඳ තමරා ඉලංගරත්න මහනුවර අතුරු මැතිවරණයෙන් ජය ලැබූවත් 1952 මැතිවරණයේදී ඇයත් පරාජයට පත් වූවාය. මේ අභාග්‍ය සම්පන්න කාලයේදී ඉලංගරත්න මහතා නවකතා රචනා කළේය. ඔහුගේ ප්‍රථම නවකතාව වූ ‘විලම්බීත’ පවුලේ මිත්‍රයෙකු වූ නීතිඥ ඇස්. නඩේසන් මහතාගේ ආර්ථික ආධාරයෙන්, තවත් කල්‍යාණ මිත්‍රයෙක් වූ ගුණරත්න මුද්‍රණාලයේ අධිපති ගුණරත්න මහතාගේ පරිත්‍යාගයෙන් මුද්‍රණය විය. වේදිකා නාට්‍ය කලාවට ඉලංගරත්නයන්ගේ හැකියාව දැනගත් එස්. නඩේසන් නීතිඥ මහතා චිත්‍රපට නිෂ්පාදක කේ. ගුණරත්නම්ට ඔහු හඳුන්වා දුන්නේය.

‘බොහෝ කාලයක් මුළුල්්ලේ මා ප්‍රාර්ථනය කළ සිනමා ලෝකයට දොර විවෘත වීම ගැන මම සතුටු වුණා. ඒ කාලයේ චිත්‍රපට නිෂ්පාදනය කළේ මදුරාසියේදියි. සිනමාස් සමාගමෙන් මට කැඳවීමක් ලැබුණත් මාත් මගේ බිරිඳ තමරාත් එයට කැමති වූයේ නෑ. තමරා සිටියේ දරු ප්‍රසූතියකට සූදානම්ව. මා මදුරාසියට නොගියොත් ඔවුන් වෙන කෙනකු ඒ සඳහා යොදා ගනු ඇති. එවිට මා ආසා කළ සිනමාවෙන් ඉවත් වෙනු ඇති. මට ආදායම් මාර්ගයක් ද නැති වෙයි. මදුරාසි චිත්‍රාගාරයට එන ලෙස ලැබූ විදුලි පණිවුඩයත්, තමරා මාතෘ නිවාසයට ඇතුළුවීමට නියමිත දිනය එකම දවසට යෙදුණා. තමාරාගේ ආශිර්වාදය මැද මම මදුරාසිය බලා පිටත් වුණා. ඒ 1953 වසරේ.

නිෂ්පාදන කළමනාකාර ප්‍රේමනාත් මොරායස් හා මම මදුරාසියේ ග්‍රීන්ලන්ඩ්ස් හෝටලයේ සැප පහසු කාමර කට්ටලයක ළැගුම් ගත්තා. අධ්‍යක්ෂවරයා සිනමා කෘතියට තේමාවක් තෝරා ගෙන තිබුණේ හින්දි චිත්‍රපටයකින්. මගේ වගකීම වුණේ ඉංග්‍රීසි පරිවර්තනය හා වරින් වර තිරගත කරන ලද ‘හල්චල්’ චිත්‍රපටයේ ආධාරයෙන් සිංහල චිත්‍රපටයක් සකස් කිරීමට හා දෙබස් ලිවීමටය. අපි දුම්රියෙන් සේලම් හි මොඩර්න් චිත්‍රාගාරයට ගියා. මගේ කාර්යභාරය වෙහෙස වුවත් රසවත් එකක්. අධ්‍යක්ෂතුමා සිංහල නොදත් නිසා දෙබස් විලාසය හා වේගය මට කියා දුන්නේ රඟපෑමෙන් හා හස්ත මුද්‍රාවෙන්. දෙබස් පුහුණුව ද මට භාර වුණා. නළු නිළියන්ට පහසුවෙන් උච්චාරණය සඳහා අලුත් වචන යොදන්නට මට සිදු වුණා’ චිත්‍රපටය් නම ‘වරද කාගේද?’ ය.

එක්තරා චරිතයක් රඟපෑම සඳහා තෝරා ගෙන සිටි ආධුනිකයෙක් එයට සුදුසු නොමැති බව අධක්ෂවරයා මට කිව්වා. නිෂ්පාදක කේ. ගුණරත්නම් හා අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම් යන මහත්වරු කළ සාකච්ඡාවකට පසු මේ චරිතයට මා සුදුසු යයි යෝජනා කළා. මට ඒ ආරාධනය ඉවත දැමිය නොහැකි වුණා. එය වයෝවෘධ චරිතයක් වූ ගුණතිලක නොතාරිස් රාළහාමිගේ චරිතයයි. ‘වරද කාගේද’ චිත්‍රපටයේ ලැඩී රණසිංහ, ප්‍රේම් ජයන්ත්, රීටා රත්නායක, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, බර්ට්‍රම් ප්‍රනාන්දු, ක්‍රිස්ටි ලෙනාඩ් රඟපෑවා.’ ඉලංගරත්නයන් පවසා තිබුණි.

වරද කාගේද චිත්‍රපටයේ සාර්ථකත්වයට එහි එන දේශපාලනය, උපහාසාත්මක ලිහිල් දෙබස් ද ඉලංගරත්නයන්ගේ නවමු රඟපැම හේතු බව විචාරකයන් පෙන්වා දී ඇත. ඉලංගරත්නයන් පවසා ඇත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා සේලාම් හි මොඩර්න් චිත්‍රාගාරයේ අධිපති ටී. ආර්. සුන්දරම් බටහිර විශ්වවිද්‍යාලයක උපාධිධරයකු බවත්, ප්‍රසන්න පෞරුෂත්වයක් ඇති ඔහු විනය අතින් ඒකාධිපතියකු බවය. ධනවතෙකු මෙන්ම වංශවත් පවුලකින් එන ඔහු සිනමා කලාව එංගලන්තයේදී හැදෑරූ අයකු බවය. ඒ වන තෙක් සිංහල චිත්‍රපට දෙබස් භාවිත කළේ ‘පොතේ භාෂාවක්’. වරද කාගේද චිත්‍රපටයේ දෙබස් එලෙස නොවී සාමාන්‍ය ව්‍යවහාරික දෙබස් විය. සිංහල චිත්‍රපටයක ව්‍යවහාරික දෙබස් රචනයේ පුරෝගාමියා වූටේ ඉලංගරත්නය. එහි එක දෙබසක් මෙපරිද්දෙනි. ‘රෝහිත මහත්තයා ඔළුව හැරුණ අතේ ගිහින්. බලනවා ඒ යකා පාර්ලිමේන්තුවේද පිස්සන් කොටුවෙද කියලා’.

‘වරද කාගේද’ චිත්‍රපටය ජනප්‍රියවීමෙන් පසු සිනමාස් සමාගම ඊළඟ නිෂ්පාදනය සඳහා සුදුසු නවකතාවක් තෝරා ගන්නැයි ඉලංගරත්නයන්ට භාර කොට ඇත. එය ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ නවකතාවක් විය යුතු බවය. ඔහු එක පයින්ම යෝජනා කර ඇත්තේ ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ ‘රදළ පිළිරුව’ නවකතාවය. ඔහු විසින් මහනුවර රංග මණ්ඩලය ලවා රඟ දැක්වීමෙන් අත්දැකීම් ලබා තිබුණි. ඊටත් වඩා අසීරුම අත්දැකීමක් ගැන ඉලංගරත්නයන් අපට මෙසේ විස්තර කර තිබුණි.

‘නිෂ්පාදකවරයා හා කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කරගත්තාට පස්සේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා සමඟ මම සේලම් බලා ගියා. ‘රදළ පිළිරුව’ නවකතාව තිර නාටකයක් ලෙස සකස් කර ගැනීමේ අවශ්‍යතාවන් කතුතුමා එකඟ කරවා ගැනීම අධ්‍යක්ෂවරයාටත් ඔහුගේ සහකාරයාටත්, මටත් අමාරු කාරියක් වුණා. සිල්වා මහතාගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව පොතේ භාෂාවෙන් සකස් කිරීමටයි. එය ස්වාභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ අපි කියා හිටියා. අන්තිමේදී මගේ කාරුණික බලවත් ඉල්ලීමට ඔහු එකඟ වුණා. එහෙත් ඇතැම් ජවනිකා සකස් කිරීමත් කැමරා ගත කිරීමත් ඔහුට රහසින් කිරීමට සිදු වුණා. කතුවරයාට කළ ‘අකටයුත්ත’ වැන්නක් මටද එල්ල වුණා. පරණ කාලේ මහලු සිංහල ගැමි කාන්තාවක් වූ හෙලේනා ලවා මට හොරෙන් බයිලා නැටවීමය. නවකතාවේ මුළු තේමාවම එයින් විනාශ වූ හෙයින් මම බොහෝ සේ දුක් වුණා. එය මා දුටුවේ චිත්‍රපටය ප්‍රසිද්ධ ශාලාවල ප්‍රදර්ශනය කරන විටය.

මුලදී ‘රදල පිළිරුව’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගෙන සිටි නළුවාට (ලැඩී රණසිංහ) වඩා එම චරිතයට ඉලංගරත්න ගැළපේය යන කසු කුසුවක් පැතිර ඇත. ‘වරද කගේද’ චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම් දුටු කාර්මිකයන් ඒ. ඒත් ඉලංගරත්නයන් වෘත්තීය නළුවෙකු අතරමං කිරීමට අකැමැති වී ඇත. ඒ අනුව චිත්‍රපටයේ එන ඔලිවර් නම් ලන්දේසි දොස්තරගේ කුඩා චරිතය පමණක් ඔහු රඟපෑමට භාරගෙන ඇත. කෙසේ වුව සිනමා නළු ජීවිතයේ තමා හා සම්බන්ධ වූවන් අතර ලැඩී රණසිංහ, හර්බි සෙනෙවිරත්න, ඩොමී ජයවර්ධන, රීටා රත්නායක, මිලී කහඳවල, ශාන්ති ලේඛා, උදුලා දාබරේ, බන්දු ගුණසේකර, කරුණාරත්න අබේසේකර, ධර්මදාස වල්පොල හා ලතා සමඟ ගෙවූ අති ප්‍රසන්න යුගය තමාට අමතක නොවන බව ඉලංගරත්නයන් පවසා ඇත.

මා සරසවිය පත්‍රය වෙනුවෙන් 1973 වසරේ ඉලංගරත්න මහතා හමු වූයේ කාර්යබහුල අමාත්‍යාංශයක් භාරව සිටින කලබලකාරී පරිසරයකය. මේ කාලයේ ටයිටස් තොටවත්ත එතුමාගේ ‘මංගලා’ චිත්‍රපට කතාව සිනමාවට නගමින් තිබුණි. ‘මංගලා’ චිත්‍රපටය ලිවීම අත්දැකීම ලැබු හැටි එතුමා මට මෙසේ විස්තර කළේය.

‘මංගලා ලියන්න වස්තු බීජය මට ලැබුණේ අවුරුදු ගණනකට ඉහත වූ එක් සිද්ධියක් නිසා. ඒ දවස්වල මම ඉගෙන ගත්තේ මහනුවර ශාන්ත ඇන්තනීස් විද්‍යාලයේ. මගේ බිරිඳ තමරා ඉගෙන ගත්තේ කන්‍යාරාමයක. ඒ කන්‍යාරාමයේ ඉගෙන ගන්නා විදේශීය ළමුන් අතරින් මට විශේෂයෙන් මතකයට එන සුදු ළමයෙක් හිටියා. ඇගේ පියා සුදු ජාතිකයෙක්. මව සිංහල ජාතියට අයත් කෙනෙක්. මේ සුදු ළමයාගේ ගති පැවතුම් සිංහල යුවතියන්ගේ ගති පැවතුම් හා නොගැළපීම නිසා ඇය ළමුන් අතරින් කොන්වෙනු මා දුටුවා. ඇය පිළිබඳ රසවත් කතාවක් ලිවිය හැකියි මා තුළ ආශාවක් ඇති වුණා. ඒ කතාවේ කළල රූපය මගේ සිතේ ඇඳී තිබූ නිසා වසර කීපයකට පසු එය විකාශනය වී නවකතාවක් නිර්මාණය වුණා. ‘මංගලා’ කතාව මට ලියැවුණේ තිර නාටකයක් වගේ. එය ‘දිනමිණ’ පත්‍රයේ චිත්‍ර කතාවක් ලෙස පළ වුණේ බන්ධුල හරිශ්චන්ද්‍රගේ චිත්‍ර ඇසුරෙන්. චිත්‍රපටයේ මංගලා ලෙස නීටා ප්‍රනාන්දුත්, සුදු ජාතිකයා ලෙස පීටර් ෆැබ් රඟපෑවා.

සිලෝන් තියටර්ස් සමාගම ඉලංගරත්නයන්ගේ ‘අඹ යහළුවෝ’ නවකතාව සිනමාවට නැගීමට මුලින් තීරණය කර තිබුණි. එය වර්ණයෙන් නිපදවීමට තිබූ විෂයයක් නිසා ඒ ගැන ඉලංගරත්නයන් හමුවීමට සෙල්ලමුත්තු හා පේජ් යන මහතුන් ගියහ.

‘එහෙනං අපි තෝරා ගන්නේ කොයි කතාවද?’ ඉලංගරත්න මහතා ඇසුවේය.

‘ළසඳා කතාව හොඳ නැද්ද? ඒ නවකතාවට මම හරිම කැමතියි’ තමරා ඉලංගරත්න මහත්මිය යෝජනා කළාය.

‘ඒ කතාවට ඉලංගරත්න මැතිනිය කැමති නං අපි ඒකම තෝරා ගනිමු. කාන්තාවක් කිව්වොත් හොඳයි කියලා ඒක පොදු ජනතාවටත් අල්ලනවා’ ඉලංගරත්න මහතා තම බිරිඳගේ කතාව අනුමත කරමින් කීවේය.

ඉලංගරත්න මහතා එදා අපට කීවේ මේ කතාවට පසුබිම් වී ඇති ආසියාතික රටවලට සීමා වූ කාන්තාවන්ගේ පතිවත රැකීම, චරිත ශුද්ධිය, ආත්ම ගරුත්වය යන උසස් ගුණාංග ඇතුළත් කතා පුවතක් බවය.

‘අපි තිරයෙන් මෙතෙක් බොහොමයක් දුටුවේ එවැනි ආත්ම ගරුත්වයක් හා චරිත ශුද්ධියක් ඇති පිරිපුන් ගැහැනු නොවෙයි. ආදරය වෙනුවෙන් සටන් කළ සුරංගනාවියන් දුටු අපිට ළසඳා සහ ඇගේ මවගේ චරිතය ඉතා වැදගත්. තම දුවගේ චරිතය ආරක්ෂා කිරීමට මවක් ගන්නා උත්සාහය මෙතැනදී ඉතා වැදගත්. ළසඳා හරියට රාමා වෙනුවෙන් පතිවත රැක්ක සීතා වගේ ගැහැනියක්.

පසු කලෙක ඉලංගරත්නයන් තමා ලියූ නවකතා අතුරින් සිනමාවට නැඟුණු ‘නයනා’, ‘තිලක හා තිලකා’, ‘නිවෙන ගින්න’, ‘සසර’, ‘නෑදෑයෝ’ ‘කැලෑ මල්’ චිත්‍රපට ගැන ද කතා කළේය.

‘මම නවකතා ලිව්වේ ඒවා සිනමාවට ඔබින පරිදියි. සරල දෙබස් මේ සඳහා මා යොදා ගත්තා. මම මගේ හැම නවකතාවකටම එකලෙස ආදරය කරනවා’ ඉලංගරත්න මහතා කීය.

ඉලංගරත්න මහතා සරසවිය චිත්‍රපට සම්මාන උලෙළේ ජූරියේ සාමාජිකයකුව සිටියේය. මහාචාර්ය ගුණපාල මලලසේකර සභාපතිත්වය දැරූ එම විනිශ්චය මණ්ඩලයේ ඉලංගරත්න මහතා සමඟ ඩී. ජී. දයාරත්න, රිචඩ් තේනබදු, එස්. එෆ්. ද සිල්වා, ජෝන් රසල් හා වින්සන්ට් පෙරේරා කටයුතු කොට ඇත. මේ සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපටය ලෙස සත් සමුදුර චිත්‍රපටයද හොඳම තිර නාටක රචක ලෙස ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ තිර නාටකය ලියූ සෙනෙට් මන්ත්‍රී රෙජී පෙරේරා සම්මාන ලැබුහ.

සිංහල සිනමාවට අගනා චිත්‍රපට කතා රැසක් දායාද කළ ටී. බී. ඉලංගරත්න මහතා 1992 මැයි 21 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.