සිනමාවේ රස සාගරය

යසපාලිත නානායක්කාර
ජුනි 13, 2019

‘මගේ ගම ගාල්ලට සැතපුම් 6 කට එහා උඩලමත්ත. තාත්තා ප්‍රැන්සිස් නානායක්කාර. අම්මගේ නම අයිරින් එලිසබෙත් විජේසේකර දිසානායක. ගමේ සුන්දරත්වය මට මේ මොහොතේ සිතින් ස්පර්ශ කර මහත් වින්දනයක් ලැබිය හැකියි.’ චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර අපට කීවේ 1992 නොවැම්බර් 20 වෙනිදාය.

අපි කීවේ එකල ‘සරසවිය’ පත්‍රයේ සහකාර කතුවරයකු වූ අනුර බණ්ඩාර රාජගුරු (පසු කලෙක ඔහු සරසවිය කර්තෘ ද විය), ඔබ්සර්වර් පත්‍රයේ ආර්. එස්. කරුණාරත්නත්, අපේ කැමරා ශිල්පී උපාලි ෆොන්සේකාත්, සරසවිය පත්‍රයේ අපට වඩා ජ්‍යෙෂ්ඨ විශේෂාංග ලේඛක සිරි කහවලත් එවකට සරසවිය කර්තෘව සිටි මාත්ය. එවක යසපාලිත අධ්‍යක්ෂණය කළ 22 වැනි චිත්‍රපටය ‘සුරනිමල’ සාර්ථකව තිරගත වෙමින් තිබුණි. ‘සුරනිමල’ චිත්‍රපටයේ දෙබස් හා තිර නාටක රචකයා ද සම නිෂ්පාදකවරයා වූයේ ද සිරි කහවලය.

අප සියලු දෙනාම යසපාලිතගේ නිවසට ගියේ නා කපන වර්ෂාව සහිත දිනයකය. මේ ගමන අලළා රාජගුරු හරබර විශේෂාංගයක් සරසවිය පත්‍රයට ලිවීය. එහි මාතෘකාව වූයේ ‘මිහිරිපැන්න විදුහලේ පත්තර වෙළෙන්දාගේ රස සාගරය’ ය.

‘යසපාලිත කියන නම තිබ්බේ කවුද?’ රාජගුරු අපූරු ප්‍රශ්නයකින් කතාව ඇරැඹුවේය.

’අපේ තාත්තා. එයා පාලි සංස්කෘත දැන උගත් කෙනෙක්. ග්‍රහ පිහිටීම් අනුව මට නමට අක්ෂරය වී තියෙන්නේ ‘ය’. ඉතින් මට දැම්මා යතින්ද්‍රනාත් කියලා. නමුත් මේ බර නමට පොඩි අකැමැත්තක් ඇවිත් කොහොම හරි නියමිත අර ‘ය’ මුලට යොදපු යසපාලිත නම දාලා තියෙනවා.’

1940 ජූනි 19 වෙනිදා උපත ලැබූ දෙල්ගහවත්තේ යසපාලිත වික්‍රමතිලක නානායක්කාර මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ මිහිරිපැන්නේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේය. ඔහු හාපුරා කියා වේදිකා නාට්‍යයක පත්තර වෙළෙන්දෙකු මෙන් රඟපා ඇත්තේ දෙවැනි පන්තියේ ඉගෙනීම ලබන කාලයේදීය. වේදිකාවේ මේ පැත්තේ සිට එහා පැත්තට ‘සිළුමිණ, දිනමිණ, ඩේලිනිව්ස්’ කියමින් පත්තර විකුණන දර්ශනයකි එය. ඊළඟ යසපාලිතගේ වේදිකා රංගනය වූයේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඉගෙනීමට ගිය පසුය. නාට්‍යයේ නම ‘හිම කුමාරි සහ අඟුරු මිට්ටන් හත් දෙනා’ය. මේ නාට්‍යය පුහුණු කර තිබුණේ කමලා, ලීලා සහ ගුණසෝම නානායක්කාර යන එක පවුලේ ගුරුතුමියන් සහ ගුරුතුමාය. එදා ඒ නාට්‍යයේ තුන්වැනි අඟුටු මිට්ටා ලෙස රඟපෑවේ යසපාලිතය. හිම කුමාරිව බලන්න එන කුමාරයාට රඟපෑවේ යසපාලිතගේ වැඩිමහල් අයියා වාසුදේව නානායක්කාරය. වාසුදේව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. හිටපු ඇමතිවරයෙකි.

රිච්මන්ඩ් විද්‍යාලයේ රසබර තොරතුරු ඇති . . .’ රාජගුරු එදා යසපාලිතගෙන් ඇසුවේ ඔහු රස කතා කීමේ රුසියෙක් නිසාය.

‘මොකද නැත්තේ? රිච්මන්ඩ් – මහින්ද මහා ක්‍රිකට් තරඟයක් යන අතරතුර වාදනය කරන්න ගීත කිහිපයක් පටිගත කරන්න ලෑස්ති කළා අපේ ඉහළ පන්තියක හිටිය ගාමිණී අබේසිංහ. මාවත් ගායන කණ්ඩායමට ඇතුළත් කළා. මට ශ්‍රැතියට ගීතය ගයන්න බැරිව ගියා කියලා ගාමිණීගෙන් බැණුම් ඇහැව්වා. ඒ කාලේ ගාමිණී ‘දස්කම’ චිත්‍රපටයේ රඟපෑ නිසා ඔහු අපිට වීරයෙක් වුණා. ඔහු කොළඹ ගිහින් රඟපෑ හැටි, කැමරාවට මුහුණ දුන් ආකාරය උජාරුවට විස්තර කරනවා. අපි අහගෙන හිටියේ කුතුහලයෙන්.’

ගාමිණී අබේසිංහ ඉඳුනිල, මේ දෑස් කුමටද?, සුහද පැතුම, සිනාවයි ඉනාවයි. හදවතක වසන්තය, සංගීතා, සුදු පරෙවියෝ චිත්‍රපටවල රඟපෑ අතර දැනට එංගලන්තයේ පදිංචි වී සිටී.

යසපාලිත සිනමාටව ආදරය කළේ ගාමිණී අබේසිංහගේ කතා ඇසීමෙනි. නිව් ඔලිම්පියා, ක්වීන්ස් සිනමාහල්වල තිරගත වූ චිත්‍රපටවල රඟපෑ රුක්මණී, ප්‍රේම් ජයන්ත්, ආනන්ද වීරකෝන්, ෆ්ලොරිඩා මෙන්ම ආර්. මුත්තුසාමිට ප්‍රිය කිරීම නිසා සිනමාව ගැන වැඩිදුර ඉගෙනීමට ඉන්දියාවේ පූනා චිත්‍රපට ආයතනයට යාමට ගෙදරින් අවසර පැතුවද එය ඉටු නොවීය. දෙමාපියන් සිතුවේ ඔහු ගණකාධිකාරිවරයකු කිරීමටය. ව්‍යාපාරිකයකු වූ පියාගේ මුදල් ටිකක් අම්මාගෙන් ඉල්ලා හිතුවක්කාරව කොළඹට ආවේය.

යසපාලිත තමා සතු රුපියල් ලක්ෂ දෙක හමාර යොදා විජය අභයදේව අධ්‍යක්ෂණය කළ ‘තිසාහාමි’ චිත්‍රපටයට සහාය නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ විය. චිත්‍රපටය නතර වුව ද එහි සහාය අධ්‍යක්ෂවරයා වූ ආනන්ද වික්‍රමසිංහ යසපාලිතගේ හොඳම මිත්‍රයා විය. ආනන්ද ‘චණ්ඩියා’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩ කොට කාර්මික දැනුමක් ලබා තිබුණි. ඔහුගේ පියා සන්දේශය, ගැටවරයෝ චිත්‍රපටවල රඟපෑ නළුවෙකි.

‘පාලිත මම චිත්‍රපටයක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ’

‘මචං මම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නම්’ යසපාලිත එක පයින්ම කීවේය.

ආනන්ද වික්‍රමසිංහ හාපුරා අධ්‍යක්ෂණය කළ ‘වසන්ති’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ යසපාලිත එහි දඟකාර තරුණයකු ලෙස චරිතයක් රඟපෑවේය. ‘වසන්ති’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කෙරුණේ කළුබෝවිල රෝහල ඉදිරිපිට ඇති පාරේ පිහිටි දැකුම්කලු නිවසේදීය. ආනන්දගේ හා යසපාලිතගේ හිත වැඩියෙන්ම ඇදී ගියේ ගෙහිමියාගේ රූමත් දියණියන් සිව් දෙනාගෙන් ශ්‍යාමලී හා මනෝ ශ්‍රී වෙතය. පසු කලෙක ශ්‍යාමලී ආනන්දගේ ද මනෝ ශ්‍රී යසපාලිතගේ භාර්යාවෝ වූහ. ශ්‍යාමලී හා මමෝ ශී‍්‍ර ගේ තවත් නැඟණියක් වූ රමණී විවාහ වූයේ චිත්‍රපට වේදිකා හා ටෙලි නාට්‍ය නළුවකු වූ සෝමසිරි අලකොළංග සමඟය. සෝමසිරි අද පැවිදි දිවියට පත්ව ඇත. ශ්‍යාමලී හා මනෝ ශ්‍රි ඇතුළු සොහොයුරියන්ගේ පියා වූයේ දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීව සිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකව සිටි ඇල්ප්‍රඩ් පෙරේරා මහතාය. මව වූයේ නර්ථන විශාරද චිත්‍රසේනයන්ගේ නැඟණියකි.

කලාවට ඇලුම් කළ යසපාලිත 1970 දී පමණ කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයට බැඳී ටයිටස් නෝනිස් නම් සංගීත ගුරුවරයාගෙන් සිතාර් වාදනය ඉගෙන ගත් බව එහි හින්දි භාෂා ගුරුවරයකුව සිටි කහවලයෝ පවසති. යසපාලිත හා සිරි කහවල අතර එදා ඇරැඹුණු සම්බන්ධතාව උපරිම තලයකට පත් වූයේ නුවරඑළියේ ‘සහායට ඩැනී’ රූගත කරන විටය. කහවල නුවරඑළියේ පොහොර සංස්ථාව් සේවය කරන කාලයේදීය ඒ. මේ මිතුරෝ දෙදෙනා බීර බොමින් සිටියහ. අවසන සිරි එදින නවාතැනට පැමිණියේ කෙසේදැයි ඔහු තවමත් නොදනී. එදින පටන් කහවල ඉඳහිට ගත් බීර වීදුරුවට ද තිත තබා ඇත. යසපාලිත විජය කුමාරතුංග හා කහවල ගජ මිතුරන් වූයේ ඔහු කොළඹ පැමිණි පසුය. මේ තිදෙනා චිත්‍රපටවලට හා දේශපාලනයට එක ලෙස ක්‍රියාකාරීව සම්බන්ධ වූහ.

යසපාලිතගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘තුෂාරා’ 1973 තිරගත වූ අතර එම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වී ඇත. එහි තිර නාටකය ද ඔහු විසින්ම රචනා කළේය. විජය, මාලිනී, ජෝ, සෝනියා රඟපෑ මේ චිත්‍රපටයේ පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතය මෙන්ම ජෝතිපාල හා ඇන්ජලින්ගේ ගීත අතිශයින්ම ජනප්‍රිය විය. එහි ජනප්‍රිය දෙබසක් වූ ජෝ අබේවික්‍රම කියන ‘හොයි හොයි’ සිනමා ප්‍රේක්ෂකයන් අතර තුඩ තුඩ රැව් දුන්නේය.

යසපාලිත නානායක්කාර ‘තුෂාරා’ තුළින් එක රැයකින් ජනප්‍රිය විය.

‘මා කළ ලොකුම හපන්කම ‘තුෂාරා’ හැදීම’ යයි යසපාලිතත ‘විසිතුර’ පත්‍රයේ නවරත්නට මෙසේ කියා තිබුණි.

‘මෑත කාලයේ සිංහල චිත්‍රපටයක් නොලැබූ ආදායමක් ‘තුෂාරා’ චිත්‍රපටය ලැබුවා. දින සියයක් එක දිගට (1973) සිනමා ශාලා හයක පෙන්නුවා. සිනමා ශාලා දහනවයක දින පනහ බැගින් පෙන්වා විශාල ආදායමක් ලබමින් මෙපමණ දින ගණනක් සිනමා ශාලා තුළ රැඳී සිටීමට ‘තුෂාරා’ට හැකිවීමේ රහසක් තිබෙනවා. නරඹන්නාට උපරිම ආස්වාදයක් ‘තුෂාරා’ මඟින් ලබාදීමට හැකි වීම එහි රහසයි.’

යසපාලිත 1973 සිට 1999 දක්වා චිත්‍රපට 26 ක් අධ්‍යක්ෂණය කර ඇත. තුෂාරා (1973), සහයට ඩැනී (1974), ප්‍රදිපේ මා වේවා (1976), ඇගේ ආදර කතාව (1977), අනුරාගම් (1978), ගැහැනියක් (1979), මොනරතැන්න (1979), ටක් ටික් ටුක් (1980), මුවන්පැළැස්ස (1980), නාඩු පෝට්ර වාල්ගා (1981), ඉවලුම් ඔරු පෙන් (1981), ගීතිකා (1981), අංජනා (1981), නැවත හමුවෙමු (1982), ජය සිකුරුයි (1984), රෝසි (1985), යුක්තියද? ශක්තියද? (1987), රස රහසක් (1988), දේදුන්නෙන් සමනළියක් (1990), සිහින අහසේ වසන්තේ (1991), සුරනිමල (1992), කදිරා (1992), ප්‍රතිඥා (1993), චායා මායා (1993), රතු අලුයම (1999).

ඔහුගේ බාල සොහොයුරා වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේම කුමාර නානායක්කාර මහතා තම ‘හිච්චි අයියා’ ගැන මෙසේ ජාතික පුවත්පතකට ලියා තිබුණි. ඔහු කියා ඇත්තේ සමනළ වර්ණ යසපාලිත නානායක්කාර හෙවත් තම හිච්චි අයියාගේ චිත්‍රපට පිස්සුව ගැනය. තමාට මතක ඇති කාලේ (එනම් තමා කුඩා ළමයකුව සිටි) එක් දිනක අම්මා හිච්චි අයියාට මහ හයියෙන් බැන වදිමින් අයියා සතුව තිබූ වටිනාම වස්තුව වූ ‘චලන චිත්‍ර’ සිනමා පත්‍ර තොගය ගිනිබත් කළ බවය. ඒ වගේම තම හිච්චි අයියා ‘රන් රස’ නම් අතින් ලියන ලද සඟරාවක් සංස්කරණය කළ බවයි. කොළඹ පැමිණි තම හිච්චි අයියා ගණකාධිකරණ පන්තිවලට වියදමට දුන් සල්ලි රැගෙන චිත්‍රපටකරණය ගැන ඉගෙන ගත්තේ බලාගෙන සිටි බවය. මානව දයාවෙන් යුතු චරිතයක් බව හේමකුමාර නානායක්කාර පවසා තිබුණි.

‘සරසවිය’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ විශේෂාංග ලේඛකයකු මෙන්ම අදත් සමීප හිතවතෙකු වන සිරි කහවල යසපාලිතගේ සමීප මිතුරෙකු බව මම මුලින්ම පැවසුවෙමි. මේ ලිපියත් මා ලියන බව කී විට ඔහු පාලිතගේ තවත් පැත්තක් හෙළි කළේය.

‘පාලිත විටෙක නාහෙට නාහන ඉතා ආවේගකාරී පුද්ගලයෙක්. බොහෝ විට ඔහු කිව යුතු දෙය ඕනෑම කෙනෙකුගේ තරාතිරම, කඳ බඩ නොබලා මුහුණටම කිව්වා. මේ නිසා ඔහු හා අමනාප වූ බොහෝ බලවත් අය සිනමාවේ මෙන්ම දේශපාලනයෙහි ද හිඟ නෑ. තමා කරා පිහිටක් පතා පැමිණි බොහෝ දෙනකුට ඔහු පිහිට වූයේ කිසිදු ප්‍රචාරයක් නොබලාය. 1982 වසරේදී මා එතෙක් වසර 10 කට වඩා කලක් අතේ බැඳි ඔර්ලෝසුව හදිසියේම නැති වුණා. ඔර්ලෝසුව කොහිදැයි ඇසූ පාලිත තම අතෙහි පැලඳි අගනා ඔර්ලෝසුව මට නිර්ලෝභීව තෑගි කළා. මා අතේ ඒ ඔර්ලෝසුව බැඳ තිබෙනු දුටු පාලිතගේ බාල පුත් හර්ෂණ එය හොඳට බලා,

‘සිරි මාමා ඔය ජාතියේම ඔර්ලෝසුවක් අපේ අප්පච්චිටත් තියෙනවා’ යි කීවා.

සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැනියක් සිටිතැයි කියනවා. පාලිත පිටුපස සැපේ මෙන්ම දුකේදී ද එකට සිටි දැවැන්ත හෙවණැල්ල වූයේ ඔහුගේ බිරිඳ මමෝ ශ්‍රී යි. විජය සමඟ ගෙවූ එක් හුදෙකලා අවස්ථාවක දී විජය ඇය ගැන කීවේ ‘මනෝ කියන්නේ ගැහැනියක් නොවේ, දේවතාවියක්’ කියාය.

සිරි කහවලයන් කියන පරිදිම පාලිත ගැන මට ද විවිධ අත්දැකීම් ඇත. 70 දශකයේ මුල විජය කුමාරතුංගයන් විසින් මට හඳුන්වා දුන් පාලිත සිටින තැන පාළුවක් තිබුණේම නැත.

‘මචං මම උඹව ආශ්‍රය කරන්නේ සරසවිය පත්‍රයෙන් පබ්ලිසිටි ගන්න නම් නෙවෙයි’ වරක් මීවිතක් ගනිමින් සිටියදී මට කීය.

බොහෝ දෙනෙකු නොදන්නා පරිදි ඔහු කිසි විට ජීවිතය ගැන දුක් වූයේ නැත. කිසිවකින් අධෛර්ය වූයේ ද නැත. තම හිතවතුන් අමාරුවේ සිටි අවස්ථාවල ඔහු ගියේ විශාල බඩු මල්ලක් ද රැගෙනය. දුක සැප බලා මුදලක් ඔවුන් අත තබන්නේ අන් අයට නොපෙන්නටය. තම චිත්‍රපටවලට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස සහාය වූ ජේ. ජේ. යෝගරාජාට 83 කළු ජූලියේදී වූ අතවරවලින් ඔහු බේරා ගත් අතර අසීරු අවස්ථාවලදී ටී. එම්. සංඝදාස සමඟ මාත් ඔවුන් සමඟ ගිය අයුරු මතකයට නැඟේ.

පාලිතගේ වැඩිමහල් පුතු රජීව්ය. කතා රචකයකු සහාය අධ්‍යක්ෂවරයකු වූ ඔහු සහයට ඩැනී, ඇගේ ආදර කතාව, සුරනිමල, ප්‍රතිඥා, චායා මායා, සුදු පිරුවට, මන මෝහිනි, ඒජඩචපරචද, චිත්‍රපටවල රඟපෑවේය. පාලිතගේ කනිටු පුතු හර්ෂණ කතා රචකයකු හා සහාය අධ්‍යක්ෂවරයකු ලෙස තම පියාට සහාය වූ අතර ඇගේ ආදර කතාව, ගීතිකා, ජය ශ්‍රී වේ කුමරියේ, යසස, චෙරියෝ කැප්ටන්, දිනුම කාගේද චිත්‍රපටවල රඟපෑවේය. අද හර්ෂණ මෙරට ඉහළ පෙළේ නීතිඥයෙකි.

එකල අරුණ ගුණරත්න හා රාජගුරු විසින් රජිව් හා හර්ෂණ දෙදෙනා හැඳින් වූයේ ‘රජිව් තාත්තාගේ නළුවා බවත්, හර්ෂණ ලොකු තාත්තාගේ (ආනන්ද වික්‍රමසිංහ) නළුවා’ කියාය. ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ආනන්ද හර්ෂණට මුල්වරට ප්‍රධාන චරිතයක් ප්‍රදානය කළ නිසා ‘සරසවිය’ කට්ටිය මෙලෙස රජිව් හා හර්ෂණ හැඳින් වූහ.

දෙවසරකට වැඩි කාලයක් රෝගාතුරව සිටි යසපාලිත ජීවිතයෙන් සමුගැනීමට දින දෙකකට පමණ පෙර පෞද්ගලික රෝහලක සිටියදී මම ඔහු බැලීමට ගියෙමි. ඔහු සිටි කාමරයේ එළිමහනේ මනෝ, රජිව් හා හර්ෂණ දුක්මුසුව සිටියහ.

‘අප්පච්චි තනියම කාමරේ ඉන්න කැමතියි කිව්වා. ඒකයි අපි එළියට වෙලා ඉන්නේ. අන්කල් ගිහින් බලලා එන්න’ රජිව් කීය.

පාලිත ඇඳෙහි වාඩි වී අඩ අඳුරේ නිසොල්මනේ සිටියේය.

‘පාලිත මචං මම රන්ජිත්’

ඔහු මගේ අත අල්ලා ගත්තේය. අපිට කතා කිරීමට කිසිවක් නොවීය. රජෙක් වගේ හිටිය කෙනෙක් නේදැයි මට සිතිණ. ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ කෙසේදැයි මම හිත හදා ගතිමි. මම පාලිතගේ හිස අත ගා කිසිත් නොදොඩා එළියට පැමිණියෙමි. එදා වසර 25 කට පෙර මා හඳුනා ගත් පාලිතගේ ‘තුෂාරා’ට අප සරසවියේ කට්ටිය උපරිම අයුරින් අනුග්‍රහ දැක්වීමු. ඇතැම් හවස් වරුවක පී. බී. ඉලංගසිංහගේ (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී) නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ පිහිටි චමරියේදී විජය, කේ. ඩී. කේ., සෝමසිරි, කොස්තා, පතී, තෙන්නේ සමඟ ගත කළ ඒ ජීවිතයේ සුන්දර මතකය පමණක් අද ඉතිරිව ඇත. වරක් අරුක්ගොඩ, සංඝදාස, උපාලි ෆොන්සේකාත් මාත්, පාලිත සමඟ උණුසුම් දේශපාලන සංවාදයක යෙදී සිටියෙමු. අපේ දේශපාලන මතයට එරෙහිව ඔහු තනිවම සටන් වැදුණේ සිය සහෝදර වාසුදේව මෙන් සිංහයෙකු ලෙස වේගවත්වය. කුමන දේශපාලන මතයක් තිබුණ ද ඔහු හා අප අතර තිබූ හිතවත්කම්වලට අබ මල් රේණුවක හානියක් නොවිණි. වාදය අවසන්ව ‘මචං අපි දැන් තව ඩ්‍රින්ක් එකක් ගමුයි’ සිනාමුසු මුහුණින් කී අයුරු ද මට මතක් වේ. පපුවේ කිළුටක් නැති නිහතමානී, අව්‍යාජ මිනිසෙක් ඔහු. 1996 ජූනි 23 වෙනිදා මේ සුන්දර මිත්‍රයා අප අතරින් සමුගත්තේය.

ඒ.ඩී.රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.