කරු අයියාට මල්ලි වූ කාගේත් ‘දයා අයියා’

අප්‍රේල් 11, 2019

තම ජීවිතයේ අවසාන කටයුතු මුල සිටම සැලසුම් කොට තිබූ ඔහු ඒ සඳහා ප්‍රචාරය දීමට පවා අකමැති විය. පැය 24 ක් තුළ පවුලේ අයට තම කටයුතු පවරා සිටි ඔහු කිසිවකුටවත් කරදර කිරීමට කැමති නොවීය. පසුගිය ඉරිදා ඔහු අවසන් ගමන් ගියේය.

ළමා නළුවකු ලෙස කලා ලොවට පිවිස, ගුවන් විදුලියේ සිරි අයියාගේ 'ළමා තීරයේ' පුංචි ගායකයකු වූ නාලන්දා විද්‍යාලයේ දක්ෂතම කථිකයා හා සිංහල විවාද කණ්ඩායමේ නායකයා වූ දයා අබේසේකර ඉංග්‍රීසි හා සිංහල දෙබසින් නිවේදනය කරමින් රූපවාහිනි වැඩසටහන් මෙහෙය වූ ජනාධිපති මාධ්‍ය උපදේශකවරයකු ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා අබේසේකර පසුගිය ඉරිදා බොරැල්ලේ කනත්ත සුසාන භූමියේ දී සිය 78 වැනි ජීවන ගමන නිමා කර අවසන් ගමන් ගියේය.

'දයා අයියා' නමින් කාගේත් ආදරය දිනා සිටි දයා අබේසේකර කරුණාරත්න අබේසේකරයන්ගේ සොහොයුරෙකි. තම වැඩිමහල් කරු අයියාටත්, පුංචි අයියා වූ ගුණරත්න අබේසේකර අයියාවත් අනුගමනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට එක් වූ දයා කුඩා කල සිටම ජනප්‍රිය වූයේ ළමා චිත්‍රපට නළුවකු ලෙසය.

ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ 'සැඩසුළං' චිත්‍රපටයේ කුඩා සුනිල්ගේ (ප්‍රේම් ජයන්ත්ගේ ළමා කාලය) චරිතයට දයාවත්, කූඩා සීතා ලෙස (ෆ්ලෝරිඩා ජයලත්ගේ ළමා කාලය) චරිතයට පද්මිණී දහනායකත් තෝරා ගැනිණ. එදා නාලන්දයේ දයාත්, මියුසියස්් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පද්මිණීත් වයස අවුරුදු 11 ක පමණ වියේ පසු වූහ. වරෙක ඔවුන් දෙදෙනා සැඩසුළං චිත්‍රපටයේ එන පාසල් විවිධ ප්‍රසංගයක ගීතයක් ගැයූහ.

කුඩා සුනිල් -

ජීවන මේ ගමන සංසාරේ

යාවි නම් අන්ධකාරේ

නොලැබ ආලෝකේ

යා හැකි දෝ සොයා මාර්ගේ

කුඩා සීතා -

ඔබ යයි නම් තනිව අන්ධකාරේ

ඔබට ආලෝකේ

දෙන්නමි තිර සාරේ

දිවි ඇති තෙක් මේ සංසාරේ'

දයා 'සැඩ සුළං' (1955) චිත්‍රපටයට ප්‍රථම 1954 තිරගත වූ 'වරද කාගේද?' චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑවේය.

1941 ජූලි 23 වෙනිදා උපත ලැබූ දයානන්ද අබේසේකර සිරි අයියාගේ (යූ. ඒ. ඇස්. පෙරේරා මහතා) 'ළමා තීරයේ' කුඩා ශ්‍රියානි කුමාරිහාමි වීරකෝන් (අමරසේන) සමඟ ගීත ගායනා කළේය. දයා 'ළමා තීරයේ' ප්‍රචාරය වූ ළමා නාට්‍යයක ට්‍රිලීෂියා අබේකෝන් (ගුණවර්ධන) සමඟ ගීත ගයමින් රඟපා ඇත.

අප ආදරයෙන් 'දයා අයියා' යයි අමතන ඔහු තම බාල සොහොයුරන් වූ සුසන්ත, ගාමිණී, කීර්ති රන්ජන්ට මෙන්ම සුජාතා, සීතා යන සොහොයුරියන්ට මෙන්ම සෙසු නංගිලාට මල්ලිලාට ද එක ලෙස ආදරය කළේය. නිතර දැකුම්කලු මුහුණකින් යුතු 'දයා අයියා' නිර්ව්‍යාජ රමණීය සිනාරැල්ල සෙනෙහසේ සංකේතයක් විය. බොහෝ ඇසු පිරූ තැන් ඇති බුද්ධිමතෙකු වූ 'දයා අයියා' හැම විටම හැකි හැම උපකාරයක්ම අපට මෙන්ම හැම කෙනෙකුටම අත හිත දුන්නේය.

නාලන්දය ගැන දයා අයියා ආඩම්බරයෙන් කතා කළේය.

මගේ පන්ති සගයෝ ගැන ආදරයෙන්, ආඩම්බරයෙන් කතා කළේය.

'මගේ පන්ති සගයන් වූයේ ජයවික්‍රම පෙරේරා (අමාත්‍ය), මේජර් ජනරාල් ආනන්ද වීරසේකර (පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි), උපාලි මහානාම (ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාමගේ පියා), පාලිත පෙරේරා (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)ය. මගේ සමකාලීන සිසුන් ගැනත් කියන්න ඕන. ආනන්ද වීරකෝන් (චිත්‍රපට නළු), ප්‍රේමසර ඈපාසිංහ, අපිට සෞඛ්‍ය විද්‍යාව ඉගැන්වූයේ ඒ. ටී ආරියරත්න මහත්තයා. පාලි භාෂාව ඉගැන්වූයේ සුගතමුණි ඤාණසිරි මහතා. මම නාලන්දේ දී අපට ඉංග්‍රීසි භාෂාව ඉගැන්නුවේ හිටපු ඇමති බැටී වීරකෝන් මහතාගේ බිරිඳ වීරකෝන් මහත්මිය. ඒ මහත්මිය නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නාට්‍යයක් වූ 'මඟුල් කපුවා' මම රඟපෑවා. වරක් දයා අයියා පැවසුවේය.

ගුවන් විදුලියේ 'පැන පොඩි' වැඩ සටහන නාලන්දේ නියෝජනය කළේ මම. මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළේ තිස්ස ලියනසූරිය (චිත්‍රපට අධ්‍යක්ෂ). ආනන්ද විද්‍යාලයෙන් බුද්ධදාස බෝධිනායක (පසුව වෛද්‍ය), විශාඛාවේ පුෂ්පමාලා ඊරියගොල්ලත් සහභාගි වුණා. මම නාලන්දේ විවාද කණ්ඩායමේ නායකයා. මට නායාකයාව හිටියේ නාමෙල් වීරමුණි' දයා අයියා අපට කියා ඇත.

1958 වසරේ තිරගත වූ 'සල්ලි මල්ලි සල්ලි' චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑ දයා 1962 වසරේ 'සුදු නංගී' (චෝටි බෙහෙන්) චිත්‍රපටයේ දොස්තර රමේෂ්ට දෙබස් කැව්වේය. 1962 දයා ලන්ඩන් බලා ගියේය. වයස අවුරුදු 21 පමණ වූ ඔහු එංගලන්තයේදී ඕඕඛ් 'සිංහල සන්දේශය' වැඩසටහනට සහභාගි විය. හේම රත්නායක, එච්. එම්. ගුණසේකර, භද්‍ර ගුණතිලක, සුනන්ද මහේන්ද්‍ර නිෂ්පාදනය කළ 'සන්දේශය' වැඩසටහන් නිෂ්පාදන කළ අතර දයා එයට ලන්ඩනයේ සිට දායක විය. එකල ඔහු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් බැංකුවේ සේවය කළේය. කලක් ලංකාවට පැමිණි පසු දයා මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මේලනයට ගිය විට ඉංග්‍රීසි හා සිංහල දෙබසින් සජීවීව විස්තර කථනය ගුවන් විදුලියට වාර්තා කළේ දයාය. රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග හා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරුන්ගේ මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කළ ඔහු ස්වාධීන රුපවාහිනී සේවයෙන් ඉදිරිපත් කළ අභනඥඥඵ චදඤ ඛ්ඥදබඵ ඉංග්‍රීසි වැඩ සටහන හා එහිම සිංහල වැඩසටහන වූ 'සුරත' යන වැඩ සටහන ද මෙහෙය විය.

තම ජීවිතයේ අවසාන කටයුතු මුල සිටම සැලසුම් කොට තිබූ ඔහු ඒ සඳහා ප්‍රචාරය දීමට පවා අකමැති විය. පැය 24 ක් තුළ පවුලේ අයට තම කටයුතු පවරා සිටි ඔහු කිසිවෙකුටවත් කරදර කිරීමට කැමති නොවීය. පසුගිය ඉරිදා ඔහු අවසන් ගමන් ගියේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.