මම අහම්බයක්ද දන්නේ නෑ

රූපා සේනානායක
මාර්තු 28, 2019

අදට වසර එකහමාරකට දෙකකට පමණ පෙර දූදරුවෝ, යශෝරාවය වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ කතා රැසක හිමිකරුවන සෝමවීර සේනානායක මහතා ලේක්හවුසිය පුරා ඇවිද ගිය ආකාරය මට මැවී පෙනේ. ඒ සියලුම පුවත්පත් පිළිබඳ රූපගත කරමින් වාර්තා වැඩසටහනක් නිපදවීමටය. එවිට සිළුමිණේ සිටි මා දුටු ඔහු බොහෝ නිහතමානී ලෙස ළඟට පැමිණ මේ අපේ පරණ යාළුවෝ නේ යැයි පැවසීම කර්තෘ මාණ්ඩලිකයන්ට සිනාවක්ද විස්මයක්ද ගෙනදෙයි. සිනාව මා ඔහුගේ සමකාලීන මිතුරකු තරම් වයසදැයි ඔවුන්ට පැරැණි යන වචනයෙන් පැනයක් මතු වීම නිසාය. විස්මය ඔහු මා හඳුනන්නේ සැබැවින්ම කෙසේද යන්නය. ඒ දෙකටම ඇත්තේ එකම පිළිතුරකි. මා ටීවීටී (ද වීඩියෝ ටීම්) ආයතනයේ සේවයට ගිය කාලයේ මෙන්ම පසුව පරිසර අමාත්‍යාංශයේ සේවයේ නියුතු යුගයේ තිර පිටපත් සඳහා බහුලව කියැවෙන නාමය සෝමවීර සේනානායකය. ඒ මතකය 1997 තරම් ඈතට දිවෙන නිසා ඔහු පැරණි මිතුරු යෙදුම මට විස්මයක් නොගෙනේ. පසු කලෙක ඔහු පිළිබඳ ලිපියක් දෙකක් ලීවෙමි. සරසවියේ ලිපි පෙළ දෛවෝපගත වන්නේ ඔවුන්ගේ වියෝව පිළිබඳ යළි යළිත් සිහිවන විටය. අතීත මතකයන් බොරලැස්ගමුව ඇඹිල්ලවත්තට පැමිණි බව පවා මගෙන් සඟවාලන්නට සමත්වෙයි. මා දුටුවේ කෙල්ලක මෙන් දිව විත් ගේට්ටුව අරින ඇයයි. ලා නිල් සුදු මිශ්‍ර සායකින් සහ නිල්පාට බ්ලවුසයකින් සැරසී සිටි ඇය මහත් උනන්දුවෙන් අප පිළිගනී. රූපා සේනානායක මහත්මිය ඊට කලින් දිනය දක්වා සිටියේ නවසීලන්තයේය. අප ඇය හමුවන්නේ මෙරටට පැමිණ පැය කීපයකිනි.

මතකද මුලින්ම සෝමවීර මහත්තයා හමුවුණු විදිහ? මම සෝපාවේ පහසුවෙන් සැකසෙමින් අසමි.

අපි බැන්දේ 1972. එයා අවිස්සාවේල්ලේ මම මෙහෙ. ඉස්සර ඉතින් ෆෙස්බුක් අනම් මනම් නෑනේ. පත්තරවලින් තමයි හැමදේම. ආයෙ ඉතින් කපුමහත්තුරු තමයි. අපේ අක්ක ගැන කපු මහත්තයෙක්ට කියලා තිබුණේ. මට නම් අවුරුදු 18 පැන්නා විතරයි. ඉස්කෝලෙත් යනව. එදා දවල් කාලා රෙද්දකුත් ඉනේ ඔතාගෙන අපේ වී පැදුරක් අකුලමින් හිටියේ. ඒ අතර මයිනර් ටැක්සියකින් ඇවිත් කට්ටියක් බැස්සා. මම මුලින් ගණන් ගත්තෙත් නෑ. කපු මහත්තයා දැක්කම තමයි තරු පෙනිලා ගෙට දිව්වේ. අපි හිතුවේ අක්ක බලන්න කියලා. කපු මහත්තයා අම්මට කුටු කුටු ගෑවා. අම්මා මට කීවා ඔය ඔළුව ටිකක් පීරගෙන ඔයා යන්නකෝ මේ බීම එක අරගෙන කියලා. මම බෑම කිව්වා. මට පිස්සුවක් ඇතැයි ඔහොම යන්න කියලා. ඒ පාර අම්මා කියනවා මේ, මේ මනුස්සයා උඹව දැක්කගමන් අද අරගෙන යන්නනේ නෑ. අදට අපේ පටි රෝල් වෙනවට පොඩ්ඩක් පලයංකො ඉස්සරහට කියලා. මල්ලිව යවලා හදිසියට ගෙන්න ගත්තු ඔරේනජ් බාර්ලි එක අරන් මම යද්දි වීදුරු සට සට ගාලා හෙළවෙන තරමට මාව වෙව්ලනවා. මම දන්නෙත් නෑ කවුද මනමාලයා කියලා. ගිහින් මුලින්ම බීම ඇල්ලුවේ ආපු යාළුවට. එයා බයේ කීවා මම නෙවෙයි මෙයා - මෙයා කියලා. කපු මහත්තයත් අපට කීවේ නෑ අද එනවා කියල. මෙයා තමයි කපුමහත්තයාට කියලා තියෙන්නේ කිය කිය ඉන්න ඕන නෑ අපි ගිහින් බලමු, හොඳ නම් ආපහු යන්න බැරියැයි කියලා. අපිත් කිසිම සූදානමක් නෑ. වී ගෝණි එහෙම දාලා ගේත් අවුල්. මම හිතුවේ නෑ ආයෙ එයි කියලා මේ මනුස්සයා. ඒ වුණාට කොහොමහරි දවස් දෙකතුනකට පස්සේ ආයෙත් තනිවම ආවා. එතකොට එයා මවගේ ගීතය පොත ලියලා. ඒක මට ගෙනත් දුන්නා. පොත අතට ගත්තා විතරයි මම කෙළින්ම කාමරේ ඒක කියවන්න ගියා. හරි ලස්සනයි. ඉතින් මේක මගේ අක්කට ආපු යෝජනාව. ඒත් පවුල් දෙකේ වැඩිමල් දරුවො බඳීන්න හොඳ නෑ කියනවානේ. ඒකයි අම්මලා මාව ඉස්සරහට දාලා තියෙන්නේ. එතකොට මේ මගේ පළමුවෙනි සහ එකම යෝජනාව.

ඇය කියන්නේ සිනාවකින් මුව සරසාගෙනය.

ඉතින් අක්කා තරහ වුණේ නැද්ද?

ආපෝ නෑ. එයාට ඒ වෙද්දිත් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් හිටියා. අපි ඉතින් ලොකු ආශ්‍රයක් කළෙත් නෑ. එයා අපේ ගෙදර ආවා ගියා මාස හයහතක් යද්දි බැන්දා. බොහොම නිවිලා තැන්පත් සැරවැරත් නෑ වගේ හින්දා මම කැමති වුණා. එතකොට එයා ලේක්හවුස්. අපි ගෙදරමයි විවාහය ගත්තේ. වටේ පිටේ අය එනවා. මඩු ගහනවා. අත් උදව්වට එනවා. හරියට කට්ටිය ඉන්නනවානේ. අපේ කාලේ හරියට පේපර්ස් පිටවෙලා විභාග නැවැතුණානේ. අපේ වයසත් නිකම්ම ගියා. විභාග දෙතුන් සැරේ කරන්නත් වුණා. මම ඉතින් කීවා බඳීන්න ටිකක් කල් ගමු මට ඒ ලෙවල් කරන්න ඕනා කියලා. එයා මට වඩි අවුරුදු 9ක් වැඩිමල්. එයා කීවා නෑ නෑ ඕනෙ නෑ. ආයේ ඔයා ඉගන ගත්තා කියලා මම රස්සාවකට යවන්නේ නෑනේ. මට පුළුවන් ඔයාව බලාගන්න. අපි බදිමු කියලා. මම රස්සාවකට යන්න හරිම කැමැත්තෙන් හිටියේ. මම නුගේගොඩ අනුලා විදුහල. ඉස්කොලෙදි මම ක්‍රීඩාවලට හරි දක්ෂයි, නෙට්බෝල්, බැඩිමින්ටන්, වොලිබෝල් ටීම්වලත් හිටියා. ඒ කාලේ මුල් යුගයේ නිසා බැංකුවලට එහෙමත් ක්‍රීඩකයන් ගන්නවානේ. මම හිතුවෙම පීටී ටීචර් කෙනෙක් වෙන්න. ඇය කල්පනාවක නිමග්නය. යළි කියයි.

ඒත් බැන්දට පස්සේ බෑනෙ. කොහොමහරි එයා නම් ඒ වෙද්දි බී.ඒ එකත් කරලා. බැන්දට පස්සේ තමයි එම් ඒ එක කළේ විද්‍යොදයේ. යශෝරාවය පොතනේ එම් ඒ එකේ නිබන්ධය. එයාම කියනවා මාව බැන්දට පස්සේ එයාට හොඳයි කියලා. මොකද මවකගේ ගීතය පොතට සම්මානත් හම්බුණා. ඊට පස්සෙත් යශෝරාවයට, මැණික් නදියට එහෙමත් සම්මාන ලැබුණා. ඊටපස්සේ ටෙලි නාට්‍යවලට තිරරචනා ලියන්න ලැබුණා. ඒ කාලේ වගේ නෙවෙයිනේ දැන්. මිනිස්සු අටේ ඉඳන් ගෙදරකට ඇවිත් ටීවී බලනවා මිසක පාරේ වාහන මුකුත්ම දකින්නත් නෑ හත අට වෙනකොට. දැන් වගේ දැන්වීම් කොටන්නෙත් නෑනෙ. අද දැන්වීම් අස්සෙ ටෙලි නාට්‍ය බලනවා වගේනේ. ඒ දවස්වල දැන්වීම් උපරිම තුනයි.

සෝමවීර මහත්තයා බින්න බහින්න කැමැති වුණාද ඉතිං.? මගෙන් හරස් ප්‍රශ්නයකි.

මේක මට අපේ තාත්තා දුන්නෙ. අපි බැඳලා මෙතනට ආවා. මෙච්චර ලොකුවට තිබුණේ නෑ එදා. අපි හිමින් හිමින් හදාගත්තා. ඒ අය අවිස්සාවේල්ලෙනෙ. තාත්තා වෙද මහත්තයෙක්. මල්ලිට තමයි වෙදකම පිහිටියේ. අම්මානම් වැඩට ගියේ නෑ. ඔය අතර තමයි මෙයා ෆිල්ම්ස්වලට එහෙම සම්බන්ධ වුණේ. ඒ වෙද්දිි නවයුගය කර්තෘ වෙලා හිටියේ. ඔෆිස් එකෙන් කියලා තිබුණා පිට වැඩ කරන්න බෑ කියලා. ඔය ප්‍රශ්න නිසා හවසට ගෙදර එන්නේ යකාවෙලා, අර උදේ ශාන්තදාන්තව යන මනුස්සයා. මම කොච්චර අනිත් අයට උදව් කරනවාද ඒ මිනිස්සුම මට මෙහෙම කරනවා අරහෙම කරනවා ගගා හරි අමාරුයි අපටත් අහන්-බලන් ඉන්න. සමහර අය මෙයාගෙන් තිර රචනය ලියවගෙන තමන්ගෙ නම සම රචනය හැටියට දාලා හරියට කලකිරිලා හිටියා. සමහරු මෙයාගේ පොත්වලින් කතාව අරගෙන සල්ලි දුන්නේ නෑ. මොනවා කරන්නද ඒවා අදටත් ලැබිලම නෑ. අපට ඉතින් කන්න බොන්න හාල් පොල් එළවලු ටික තියෙනවානේ මසක් මාළුවක් තමයි පිටින් ගැනෙන්නේ. ඒ නිසා මමත් කීවා එතන අමාරු නම් අයින්වෙලා පුළුවන් විදිහකට වැඩ කරමු කියලා. මොකද එයාගේ අහිංසක ස්වභාවය වෙනස් වෙනවාට මම කැමති නෑ. එයත් කීවා රස්සාවක් නැතත් වෙන වැඩ කරලා හම්බකරන්න පුළුවන් කියලා. ධම්ම ජාගොඩ එහෙම රූපවාහිනියෙදි හමුවුණානේ. මිහිකතගේ දරුවෝ, යශෝ රාවය, දූ දරුවෝ, මැණික් නදිය, පළිඟු මැණිකේ, රන්කහවනු, අසල්වැසියෝ වගේ ටෙලි නාට්‍ය මිනිස්සු වැඩ නවත්තලා ටීවී බලන ගානටම ජනප්‍රිය වුණානේ.

ඇගේ සිතේ ඔහු වෙනුවෙන් සියුම් අභිමානයක් ගොඩ නැඟී ඇතැයි මට සිතේ. ඒ නිර්මාණ කරද්දි විවේචන එහෙම කරන්න ගියේ නැද්ද? මගේ පැනයයි.

එයා මට බලන්න දෙන්නේ පොතක් නම් ප්‍රින්ට් වෙලා ආවට පස්සේ. බයයි මම මොනවා හරි කියලා එයාගේ අදහස් වෙනස් කරයි කියලා. මම කියවලා ඉවරවෙලා කියනවා මෙහෙම වුණානම් තවත් හොඳයි කියලා. ඒත් එච්චර ගණන්ගන්නේ නෑ. එයාට ඕන දේම තමයි කරන්නේ. විවේචන කළාට කේන්ති යන්නෙත් නෑ. පිළිගන්න අවස්ථාත් තියෙනවා. එහෙම ලොකු විවේචනත් නෑ ඉතින්. පස්සේ පස්සේ නිර්මාණවලට නම් මම කිව්වා ඉස්සර වගේ නෑ කියලා. ඒවා ඇත්තෙන්ම එච්චර ජනප්‍රිය වුණෙත් නෑ. පංච වරුණ එහෙම එච්චර පාඨකයන් අතරට ගියේ නෑ. හැබැයි ළමා පොත් ටික නම් ගොඩක් ජනප්‍රිය වුණා. සතුන් අතර බෝසත්වරු, ගඟ අද්දර කැලේ, අපූරු ගමේ පොඩි ඇත්තෝ, සුද්දා පරාදයි, අපි හරිම හොඳ ළමයි වගේ පොත්, ඒ අතරින් ගඟ අද්දර කැලේ ඉස්කෝලෙ පහේ පොතටත් නිර්දේශිතයි. පහුරෙන් ගිය ගමනක් කියන කෙටි කතාව අරගෙන ඒකේ විදිහට පොළොස් මාළුවයි හාල්මැස්සෝ තෙල් දාලා ළමයින්ට බත් අරන් එන්න කියලා ලොකූ වැඩක් කරනව ඉස්කෝලවල.

ඒවද සෝමවීර මහත්තයා කන්න කැමති? මගේ ප්‍රශ්නයට පිළිතුරු වැලකි.

එයාට මොකක් හරි ලියන්න ඕනා වුණාම ඒ තැන් හොයාගෙන ගිහින් ඒ මිනිස්සුත් එක්ක ඉඳලා තමයි ලියන්නේ. ඔය සත්වෙනි දවස ලියද්දි ඒ ඩී රංජිත් කුමාර එක්ක අහිකුණ්ඨික මිනිස්සු ඉන්න තැන් හොයාගෙන අනුරාධපුර, පුත්තලම දිහාස්වල ගිහින් ඒ අය තාත්තට කියන්නේ අබ්බඩා, බලු පැටියට කියන්නේ නායි කුට්ටි වගේ වචන අල්ලගෙන තමයි කතාව ලිව්වේ. අපිත් යනවා සමහර ට්‍රිප්වල. එයාත් හරි කැමතියි ගමන් යන්න අවසාන දවස්වල විතරයි යන්න බැරි වුණේ. පිටරටවල් ගණනාවකත් ගියා. දරුවන්ට බොහොම ආදරෙයි. ඒත් එයා එද්දි අපේ දරුවො නිදි. ඒ නිසා අන්තිම කාලේ මුණුපුරන් එක්කයි සතුටෙන් හිටියේ. ගමේ ගොඩේ කෑම බීමවලට තමයි ආස. ලා පාටවල්වලට හරි කැමතියි. චයිනිස් කොලර් දාපු උඩ ඇඳුමයි කලිසමයි අඳීන්නෙ. එයා හරියට කේන්දර බලනවා. ‍දෙවියන් විශ්වාස කරනවා. අලුතින් ස්ක්‍රිප්ට් එකක් එහෙම ලියනවා නම් කොහොමත් කතරගම දෙවියන්ට බාර වෙලා ඒ මුදල් ලැබුණාම කතරගම ගිහින් බාර ඔප්පු කරනවා. මම නම් ඕවා එච්චරම ගන්නේ නෑ. එයා සිංහල වෙදකමට තමයි වඩාත් කැමති. ඒත් ෂුගර් ආවාට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් ගන්නම වුණා. මෙයා ලියන්න ගියාම කොළ බන්ඩ්ල් පහක් හයක් වත් අහක දානවා.

මොහොතක් කල්පනා කොට යළිත් කියයි.

මමත් ලියන්න ආසයි. නවසීලන්තේ ගිහින් ඉන්නකල් මට කරන්න වැඩක් තිබුණේ නැති නිසා කතාවක් ලිව්වා. දුවලා හිතනවා තාත්තා නැති නිසා මම පාළුවෙන් ඇති කියලා. ඒ නිසා මාව එහෙ ගෙනිච්චා. මම ජීවිතවල ස්වභාවය දන්නවානේ මම එයාගේ වැඩ ටික කරලා දුන්නානේ ඔක්කොම. ඒ ඇති. මට එහෙ ගියාම ඊට වැඩිය පාළුයි. මනුස්සයෙක් එක්ක තතා කරන්නවත් නෑනේ. දුවනම් පොත බලලා කීවා අම්මටත් තාත්තාගේ දේවල් ටික ටික ඇවිල්ලානේ කියලා. පුතාටත් දීලා බලන්න ඕනා මොකද කියන්නේ කියලා. කවි එහෙම නම් පත්තරවල ඵල වෙලා තියෙනවා. ඔය එක එක සිද්ධි තියෙන්නේ බල්ලන්ව ඇඳට අරන් තාත්තලාව බලු කූඩුවට දාපු කතාව, සේයාගේ කතාව කවියෙන් මෑතකදි ලීවා. තරුණ කාලේ නම් කවි ලියන්න වුණේ නෑ, හොරෙන් යාළු වුණු එකක් නෙවෙයිනේ. එයා නම් ලස්සන වස්තුව කියලා පොතක් දුව ඉපදුණු වෙලාවේ ලීවා.

එයා තනියෙන් ඉන්න අකැමැති නිසා මම එංගලන්තේ ඉන්න දුවගෙ බබාවත් අරගෙන ආවා මෙහෙ. වකුගඩු ප්‍රශ්නෙ තමයි බලපෑවේ. හාට් ඇටෑක් ආවාම ඒකට බෙහෙත් කරන්න බැරුව ගියා වකුගඩු ප්‍රශ්නෙ නිසා. මේ ගොල්ලො තරුණ කාලේ හිතන්නේ නෑනේ වයසට ගියාම විඳවන්න වෙයි කියලා. (ඇය කණගාටුවෙන් බලා හිඳීයි) යාළුවෝ සෙට්වුණාම මමත් පැරදුණා. කොච්චර බහින්බස් වුණාද කීවොත් මම බෝතල් ටික අරගෙන වීසි කළා මිදුලට, ආයෙ ගෙනාවොත් මම යනවා යන්න කියලා. ඩොක්ටර්ලා කියනවා එපා කියලා. මෙයා යාළුවො එක්ක බොනවාට මම බයිට් හදන්න ඕනා. එයා හිතනවා බිව්වාමයි හොඳ නිර්මාණ එන්නේ කියලා. ඒත් මට නම් පේන්නේ හොඳම වැඩ ටික කළේ බොන්නේ නැති කාලේ. අනෙත එයා අනෙක් අය බොනකොට නොබී හිටියම කොන් වෙනවා කියලා මෝඩ සිතිවිල්ලක හිටියා. කොහෙන් එන ආකල්පද මන්දා ඒවා. හැබැයි ළමයි දන්නෙවත් නෑ එයා බිව්වද කියලා. එදා මම කිව්වා ආයෙ බිව්වොත් එහෙම ඔයාගෙ ළමයි නෙව ඉන්නේ එයාලවත් ඔයාම කුද ගහගන්න මම යනවා යන්න, ඔයාව පරිස්සම් කරගන්නයි මට ඕනෙ කියලා. බැන්නත් මම එහාට යනවා. තනියෙන් බැනගන්න බෑනේ ඉතින්. පස්සේ එයාම අහනවා අනේ තරහ වුණාද මට එවෙලේ කේන්ති ගියා කියලා. කොහොමහරි ළමයි ලොකුවෙද්දි බීම නවත්තලා. අන්තිමට මොන පාටියට ගිහින් කවුරු බිව්වත් මෙයා නොබී ඉන්න තැනට ආවා. අමද්‍යප සංගම්වලත් හිටියා අන්තිමේ. මම ගෙදර හැම දේම කරන නිසා මෙයා කරන්නේ සල්ලි දෙන එක විතරයි. වත්තෙ පිටියේ වැඩක් කළොත් හැමදාම තුවාල. මම කියන්නේ ඔයා පෑනෙ වැඩක් කරගෙන ඉන්න කියලා. බැංකුවේ කාඩ් එකෙන් සල්ලිවත් ගන්නේ නෑ. මුල් කාලේ ළමයින්ට උගන්වන්න එහෙම මහන්සි වුණා පස්සෙ කාලෙක කාර් එකක් ඩ්‍රයිවර් කෙනෙක් එහෙම ගත්තා නාස්ති කළේ නෑ පහු වෙද්දි. (ජයග්‍රාහී ලීලාවෙන් කියාගෙන ආවද ඇගේ වේගය බාල වී යයි)

ඒත් ඒ දවස්වල කරපුවාට පස්සේ ඇස්පේන්නෙත් නෑ. කන්ඇහෙන්නෙත් නැ. ස්නායු ඔක්කොම විනාශ වෙලා ඉවරයි.

ඇය අතීතයට යයි. මම නිහඬව බලා සිටිමි.

රාවණ කතාව ලියන්න කියලා කට්ටියක් ආව දවසේ මම කවදාවත් නැතුව නයිටියයි හවුස්කෝට් එකයි පිටින් ගේට්ටුව අරින්න ගිහින් මිදුලේ වැටුණා. ඒ අය තමයි මාව උස්සලා ගත්තේ. දනිස්වල ලේ පිහිදලා කාමරේට ලේලි එක්කන් යන්න හදද්දි ආයෙමත් කලන්තේ දාලා ගේමැද්දේ වැටුණා. කතාව ලියන්න ලක්ෂයක් ඇඩ්වාන්ස් දීලා ඒ අය ගියා. ඒත් පහුවෙනිදා මෙයා ඉස්පිරිතාලේ ගෙනියන්න වුණා. හත්දවසෙ දානෙන් පස්සෙ මම ඒ අයට එන්න කියලා අර සල්ලි ආපහු ගෙව්වා. අපේ සීලිම කඩාගෙන වැටුණෙත් ඔය කාලෙමයි. වෙලාවකට හිතෙනවා ඒවා අසුබ ලකුණුද කියලත්.

අන්තිම දවසේ මෙයා වෙනදා වගේ හත හතාමාර වෙද්දි කාලා නෑ. මම ඇහුවා කන්නැතුව නිවුස් බලන්නේ මොකද කියලා. ඉන්සියුලින් ගන්නත් බෑ කියල. පිට්ටු තබ්බලා තිබුණේ. ඒත් කිරි එකක් හදලා ඉල්ලුවා. ඒ කාලේ හැම දේම මම හැදුවේ එයාට ඕන විදිහට කෝවක්කා, පෙනෙල කැඳ හදලා දෙනවා. මුලින් රතු හාල් විතරක් දෙන්න කීවා. පස්සේ දොස්තරලා කීවා එකඑක හාල් දෙන්න කියලා. අන්තිමට කීවා බාස්මති විතරක් වැටකොළු පතෝල එක්ක දෙන්න කියලා. වෙන කෑම මුකුත් දෙන්නෙත් නෑනෙ. එදා රෑ ආයෙත් ගේ පුරාම ලයිට් දාගෙන. ඇඟට අමාරුයි ගැස්ට්‍රයිටිස් වගේ කිවා. පුතා අල්ලපු ගෙදරනේ මම කෝල්කරලා එන්න කීවා. පුතා බෙහෙත් දීලා කන්න දේවල් ඇහුවම බනිසක් කන්න පුළුවන් කීවා. බබාලා දහම්පාසල් යන්න ගෙනාපු බනිස් තිබිලා කෑවා. නිදාගෙන ආයෙ ඇහැරුණා. පස්සේ ආයෙ පුතාලාට එන්න කීවාම පුතා ඇහුවා අමරුවක් තියෙනවා නම් ඉස්පිරිතාලේ යමුද කියලා. මෙයා කැමති වුණා. ඩොක්ටර්ස්ලා කීවා හාට් ඇටැක් එකක් ඇවිත් තියෙන්නේ කියලා අයිසීයූ දැම්මා. කලින් බයිපාස් කරපු එක හොඳට තියෙද්දි තව නාල තුනක් හිරවෙලා. හයියෙන් ඔක්සිජන් දීලා එයින් දෙකක් සුද්ධ කරගත්තා අනෙක් එක කොහොම හරි කරමු කියලා. අපි දුවවත් ගෙන්නගත්තා. අපිට දැන් දැනෙනවා සති දෙකක් තිස්සේ මෙයාට ඉන්න බෑ කියලා. සිහිය තියෙන කෙනෙක් පැම්පස් අන්දලා තියන්නේ කොහොමද? මෙයා කියනවා ඇඳෙන් බස්සන්න. ටොයිලට් යන්න ඕනා කියලා. දොස්තරලා එපා කියනවා.

සති දෙකක් අයිසීයූ තියලා කිව්වා හෙට රූම් එකකට දෙන්නම් කියලා. ඒ වෙද්දි එයා හිතන්නේ අර මහපට ඇඟිල්ලට හයි කරලා තියෙන ක්ලිප් එක හෑන්ඩ් ෆෝන් කියලා. මම යද්දි නර්ස්ලා දෙන්නෙක්ට දේශන දෙනවා දැන් ඉන්න පාලකයෝ වගේ නෙවෙයිඉස්සර අය රටට ආදරෙයි කියලා. මෙයා මගේ මූණ බලාගෙන හිටියට මට දැනෙනවා මාව පේන්නේ නෑ කියලා. ඇස් පෙනීම නැතිම වෙලා. නර්ස්ලා ඇහුවා කවුද මේ කතාකරන්නේ කියලා. මගේ නෝනා කියලා කිව්වා කටහඬෙන්. ( ඇගේ හඬ ගිලිහී යයි. හදවතේ වේදනාව දෙනෙත් මතින් රූරා යන්නට ඉඩ නොදී ඇය පවසයි.) ඔවා කියන අතර මෙයාට නින්ද යනවා. මම කිව්වා දුවව එවනකල් නිදන්නැතුව ඉන්න කියලා. අඩි දහයක් ඇති දුව එද්දි ගොරෝ ගොරෝ නිදි. එදා රෑම ඉස්පිරිතාලෙන් කෝල් එකක් ආවා. අර ගලෝපුවා ඔක්කොම ආයෙ හයි කරලා. ඒත් මම කිව්වා පුතේ මේ තාත්තා නම් හුස්ම ගන්නවා නෙවෙයි. මෙෂින්වලින් කරන දෙයක් විතරයි කියලා. මොනිටර්ස්වල හාට් බීට් නෝමල් වුණා. දොස්තරලා කිව්වා ආ දැන් හරි කියලා. රෑ තුනට විතර ගෙදර ගිහින් ආයෙ අපි 7.45 වෙද්දි ඉස්පිරිතාලෙට ගියා. අටට ලෙඩ්ඩු පෙන්නන්නෙ. ඒ යද්දි අපට පේනවා ස්ක්‍රීන් එක යටින් දොස්තරලා නර්ස්ලා ගොඩකගේ කකුල්. ලයිට් එකත් චිරිස් චිරිචිරිස් ගානවා නිවෙනවා පත්තුවෙනවා. මම කිව්වා පුතේ අදනම් ලයිට් එක පත්තු වෙන්නේ හොඳ විදිහට නෙවෙයි කියලා. හරියට අටට පහක් තියෙද්දි රතු ලයිට් එක පත්තු වුණා.

ඒ වෙලාවේ අඬන්න ඕන වුණත් අඬන්න බෑ අනෙක් ලෙඩ්ඩුන්ට හොඳත් නෑනේ. ඒකත් චිත්‍රපටියක් වගේ. මේ ගෙදර අපි දෙන්නනේ හිටියේ දැන් මම තනිවෙන නිසා පුතාලා මෙහෙ ආවා. එකම දවසක් හීනෙන් දැක්කා හවසට කන්න පොරි බදිනවා. ඒ පොරි මල් වගේ පිපෙනවා. මෙයා ඇවිත් අහද්දි මම කිව්වා පොඩ්ඩක් ඉන්න උණුයි කියලා. කමක් නෑ දෙන්න කීවා. මම දුන්නා වෙනදා වගේ අතපිච්චෙනවා කීවෙත් නෑ හිනාවෙවි අරන් ගියා. මම මුකුත් නොහිතා ඉන්නයි උත්සාහ කරන්නේ. පන්සල්වලට ගියාම කියනවානේ ජීවිතේ අනියතයි මරණය නියතයි කියලා. නින්ද නොයන වෙලාවට මම ඒක හිතනවා. මේ සැරේ නවසීලන්තේ ගියාමවත් මම ලස්සන බෙඩ්ෂීට් ඒවා මේවා ගත්තේ නෑ. මට දැන් ඒවායින් වැඩක් නෑ. වෙනදාටනම් එයත් එක්ක යනකොට මට කියනවානේ හැමදාම එකම සාරිය අඳීන්න එපා සාරි ගන්න ලස්සනට කැන්ඩියන් එක ඇඳලා බෙල්ලට කොණ්ඩෙ බැඳල එන්න කියලා. මාත් ඉතින් මාල වළලු එල්ලගෙන යනවා. දැන් මට ඒවා මුකුත් ඕන නෑ. බැඳලා අවුරුදු හතළිස් පහක්. මම ගැනයි ළමයි ගැනයි හරියට බැලුවා. මට කවදාවත් සැර කරලාවත් නෑ. බීපු දාට වෙනදාට වඩා හොඳට ඉක්මනින් ගිහින් නිදා ගන්නවා. සංසාරේ දිගටම මේ දරුවො දෙන්නයි තාත්තයි නම් එකටම ඇවිත් තියෙනවාලු. මම අහම්බයක්ද දන්නේ නෑ ඉතින්. අනේ මන්දා. ඒත් ආයෙත් ඒ වගේ කෙනෙක් හම්බෙනවා නම් හොඳයි. ඒත් කවුද දන්නේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.