“සැන්තපී...අපට දරුවන් කී දෙනෙක්ද ?”

ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව - 70 ලිපිය
සැප්තැම්බර් 23, 2021
ප්‍රියන්ත සිරිකුමාරගේ “බර්නාඩාගේ සිපිරිගෙය” හී අන්ගුස්තියස් ලෙස චාන්දනී

 

 

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ "සොක්‍රටීස්" (1991) ඔහු විසින් මෙතෙක් නිර්මාණය කරන ලද නාට්‍ය අතරින් ප්‍රශස්ත කෘතිය ලෙස බොහෝ විචාරකයෝ පිළිගනිති. මේ වූ කලී පර්යේෂණාත්මක නාට්‍යයකි. සුප්‍රකට ග්‍රීක ප්‍රහසන නාට්‍යවේදී ඇරිස්ටොෆානිස්ගේ "ඊඩඥ ඛ්තධභඤඵ" නම් වූ නාට්‍යයත් ප්ලේටෝගේ "ඊඩඥ තචඵබ ඤචරඵ ධට ඵධජපචබඥඵ" නමැති දාර්ශනික කෘතියෙහි එන සංවාද ඇසුරු කොටත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ මේ ස්වතන්ත්‍ර නාට්‍යය නිර්මාණය කළහ. ඔහු පෝලන්තයේ නාට්‍ය කලාව පිළිබඳ ප්‍රකට රාජකීය ආයතනයේ නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරූ සමයේ මේ නාට්‍යය නිර්මාණයට වස්තු බීජය පහළ විය. දස වාරයකටත් වඩා කපා කොටා සකස් කරමින් , වෙනස් කරමින් , නවාංග එක් කරමින් මහාචාර්ය සුනන්දයෝ "සොක්‍රටීස්" පෙළ ලියූහ.සොක්‍රටීස් නම් වූ විශිෂ්ට ග්‍රීක දාර්ශනිකයාගේ මතවාදත් ඒ හේතු කොට ඔහු ලත් දඬුවම් පිළිබඳවත් මේ සියලු දේට සමාජය දැක්වූ ප්‍රතිචාරයත් මේ නාට්‍යය ඔස්සේ යථාර්ථවාදීව විවරණය කෙරිණ. සොක්‍රටීස්ගේ මානව හිතවාදී චින්තනය මේ නාට්‍යයේ සමස්තාර්ථයෙන් කුළුගැන්වේ. විටෙක මෙහි රංග රීතියෙහි අධියථාර්ථවාදී ස්වරූපයක් දිස් වෙයි. 1991 රාජ්‍ය නාට්‍ය උලෙළේ වසරේ හොඳම නාට්‍යය ලෙස "සොක්‍රටීස්" සම්මානනීය විය.

සොක්‍රටීස් ලෙස ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ශූර රූපණය මෙහි පෙළෙහි අගය වඩාත් තීව්‍ර කළේය. චරිත නිරූපණයේදී නළුවාට හා නිළියට උපරිම නිදහස ලබා දිය යුතුය යන මතවාදය මේ නාට්‍යය නිර්මාණයේ දී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් කෙරෙහි බලපෑ බැව් පෙනේ. එනම් සුප්‍රකට පෝලන්ත නාට්‍යවේදී ජර්සි ග්‍රොටොව්ස්කිගේ න්‍යාය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙහිදී අනුගමනය කළ බැව් පැහැදිලි වේ.ඊට අනුව නාට්‍යවේදියාගේ මූලික විග්‍රහයෙන් පසුව නළුවා හා නිළිය තමන් නිරූපණය කළ යුතු චරිතය පිළිබඳ නිදහස් පර්කල්පනයෙන් ඊට නිවැරැදි අර්ථ නිරූපණය සොයා පාදා ගෙන රූපණයෙහි නියැළිය යුතුය. අධ්‍යක්ෂවරයා ඔවුන්ට රඟපා පෙන්වීම ග්‍රොටොව්ස්කි දැඩිව ප්‍රතික්ෂේප කළේය. මහාචාර්ය සුනන්ද "සොක්‍රටීස්" හී දී ආචාර්ය ජයලත් මනෝරත්න හා චාන්දනී සෙනෙවිරත්න මෙහෙය වූයේ ග්‍රොටොව්ස්කි න්‍යායට අනුකූලවය.

"සොක්‍රටීස්" හී සංවාද බස ව්‍යක්තය. මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ නළු නිළි සුසංයෝග අරභයා විමසීමේදී ජයලත් මනෝරත්න - චාන්දනී සෙනෙවිරත්න සුසංයෝගයද වෙසෙසින් කැපී පෙනිණ. මෙකී සුසංයෝගය "පුත්‍ර සමාගම" හරහා "සොක්‍රටීස්" වෙත පැමිණ තිබිණි."සොක්‍රටීස්" හී සොක්‍රටීස්ගේ බිරිඳ "සැන්තපී" භූමිකාව චාන්දනීගේ වේදිකා නාට්‍ය දිවියෙහි ප්‍රබල මංසලකුණකි.

ඇය සොක්‍රටීස්ට වඩා අවුරුදු 40 කින් පමණ බාල කාන්තාවකි. එහෙයින් මේ දෙදෙනා අතර දිගු වයස් පරතරයක් තිබිණි. සොක්‍රටීස්ට දාව ඇයට ලැම්ප්‍රොක්ලස්, ෆ්‍රොනිස්කස් සහ මැනෙක්සිනස් නමින් පුතුන් තිදෙනෙකි. ලොව බොහෝ දාර්ශනිකයෝ, ශ්‍රේෂ්ඨ කලාකරුවෝ අසාමාන්‍ය ගති ස්වභා ඇත්තෝය. ඔවුන් වටහා ගැනීම සේම ඔවුන් සමඟ ජීවත් වීමද පහසු නැත. එසේ හෙයින් ඔවුන් සමඟ විවාහ වී ජීවත්වීමේ දී බිරින්දෑවරුන් සිදු කළ යුතු කැපකිරීම් සුළු පටු නැත. සොක්‍රටීස්ද එබඳු දාර්ශනිකයෙකි. ඔහු බොහෝවිට ප්‍රායෝගික ලෝකයේ නොව දාර්ශනික, කාල්පනික ලෝකයෙහි වාසය කරයි. මේ නිසා සැන්තපී හට පවුලේ සහ දරුවන්ගේ කටයුතුවලට හුදෙකලාව උර දීමට සිදුවේ. විටෙක ගැහැනුකම අමතක වී ඇය පිරිමියකු බවට පත් වනුයේද නෛසර්ගිකව එදිනෙදා ජීවිතයේ මුහුණ පෑමට සිදුවන දුක් කම්කටුලු හේතු කොට ගෙනය. සැන්තපීගෙන් පිළිබිඹු වූ සැඩ පරුෂ ගති මෙහි ඵලයකි.ඇගේ භූමිකාවේ සියුම් තැන් චාන්දනී ශූර ලෙස නිරූපණය කරන්නීය.

 

 

 

"සැන්තපී අපට දරුවන් කී දෙනෙක්ද ?"

 

තමාට සිටින දරුවන් ගණන පවා අමතක සොක්‍රටීස් වරෙක සැන්තපීගෙන් අසයි. "චාන්දනී ඉතා ඉක්මනින් ඕනෑම චරිතයක් ග්‍රහණය කොට ගැනීමේ හැකියාවක් ඇති ශූර නිළියක " බැව් වරක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ මා හට පැවසූහ. අනෙක් අතට ජයලත් මනෝරත්න වැනි ඕනෑම භූමිකාවක් වටහා ගැනීමේ හා ඊට අනුව කටහඬ වෙනස් කොට ගැනීමේ සහජ අන්තර් ඥානයකින් (ධ්දබභඪබඪධද) හෙබි පරිසමාප්ත රූපණවේදියකු (Consummate actor) තවමත් මා ලාංකේය වේදිකාවේ දැක නැත. මනෝ සතු වූ අනුභූතීන් ක්ෂණයෙන් ස්මෘතියට නංවා (Sense memory)) රඟපෑමේ හැකියාව රංග ශිල්පීන්ට පිහිටනුයේ ඉතා විරල වශයෙනි.එහෙයින් මනෝරත්නයන්ගේ වියෝවෙන් මෙරට කලා ලොව ඇති වූ දැවැන්ත රික්තය දීර්ඝ කාලයක් නොපිරවී පවතිනු නිරනුමානය. ඔහුගේ මහා රූපණ ප්‍රතිභාව වරක් කෘතහස්ත කලාකරු ජැක්සන් ඇන්තනී සංක්ෂේපයෙන් මෙලෙස හඳුන්වා දුන්නේ එබැවිනි.

 

"එකයි.....ඒ මනෝ "

 

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමඟ රඟපෑමේදී සෙසු නළු නිළියන්ටද ඒ ප්‍රභාව විහිදී තමන්ගේ භුමිකා, සමස්තාර්ථය (Ruling idea) හා අනුදත යුතු කාල ඤාණය (Time)

වටහා ගැනීමට හැකියාවක් ලැබෙන බව නොදන්නෝ කවරහුද ? මනෝ - චාන්දනී සුසංයෝගය වේදිකාවට අපූර්ව චමත්කාරයක් ගෙන ආවේ මෙකී විශිෂ්ට ප්‍රතිභාව මතු නොව භූමිකා ග්‍රහණය කොට ගැනීමේ ක්ෂණික අන්තර් ඥානයද හේතු කොට ගෙනය."Star perfomance" ලෙස බටහිර විචාරකයන් විග්‍රහ කරන ලකුණු මෙහිදී මා හට සිහිපත් වේ.

S - Space
T - Time
A - Action
R - Relax
 

මෙහිදී නිර්මාණකරුවා විධාන දිය යුතු වනුයේ මින් පළමුවැන්න (Space) පිළිබඳව පමණි. එනම් නළුවා හා නිළිය නිවැරැදිව ස්ථානගත වන ආකාරය පිළිබඳවය. අනෙක් කාරණා ත්‍රිත්වය රංග ශිල්පීන් ස්වකීය ප්‍රතිභාවෙන් , අන්තර් ඥානයෙන් හා පරිකල්පනයෙන් වටහා ගත යුතුය. චාන්දනී සෙනෙවිරත්න එබඳු කුසලතාපූර්ණ විරල ගණයේ රූපණවේදිනියකි.

ඇය පාසැල් සමයේ ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ දෙසුමකට සවන් දීමෙන් ඔහුගේ දැනුමට වශීකෘත වී සිටියාය.එහෙත් පසුකලෙක ඔහුගේ නාට්‍යයක ප්‍රමුඛ භූමිකාවක් රඟපෑමට ඇයට භාග්‍යය ලැබිණ.යෙව්ජිනි ෂොවාට්ස්ගේ "The Dragon" නාට්‍යය ප්‍රවීණ සාහිත්‍යවේදී සිරිල් සී. පෙරේරා සූරීන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදුව "මකරාක්ෂයා" (1985) නමින් ධර්මසිරි අධ්‍යක්ෂණය කළේය. මෙහි එලීසා නම් වූ ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කිරීම චාන්දනී හට ස්වකීය රංග ජීවිතයේ ලැබුණු මාහැඟි අවස්ථාවකි. විශිෂ්ට රංගවේදිනියක වූ ස්වර්ණා මල්ලවආරච්චි එලීසාගේ භූමිකාව මුල්වරට මෙහි නිරූපණය කළාය. කෙටි කලකින් ඇය ඉන් ඉවත් වීමත් සමඟ රමණී බර්තෝලමියුස් මඳ කලක් මෙය රඟපෑවද ඇයගේ අකල් මරණයෙන් පසු 90 දශකයේ මුල සිට චාන්දනී "එලීසා" ජීවමාන කළාය. මෙහි ලන්ස්ලොට් ලෙස ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ය. මේ වූ කලී යථාර්ථය (Reality) හා මනස්සෘෂ්ටිය (Fantasy)  අතර දෝලනය වූ නාට්‍යයකි. මෙහි රූපණයෙහිද අධියථාර්ථවාදී ලකුණු පළට කෙරිණ. ගැඹුරු දේශපාලනික යථාර්ථයක් ව්‍යංග්‍යාර්ථයෙන් කුළුගැන්වීමට මෙහිදී ලන්ස්ලොට් සහ එලීසා අතර ප්‍රාණවත් සංවාද ඉවහල් විය.

ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ "The House of Bernada Alba"  නම් වූ සුප්‍රකට නාට්‍යය මහාචාර්ය රංජිනි ඔබේසේකර විසින් සිංහලයට නඟන ලදි. මේ පිටපත ඇසුරු කොට "බර්නාඩාගේ සිපිරිගෙය" (2011) නාට්‍යය නිර්මාණය කරන ලද්දේ ප්‍රියන්ත සිරිකුමාර විසිනි. විවාහ දෙකකින් තමන්ට ලැබුණු දියණිවරුන් පස් දෙනෙකු දරදඬු ලෙස පාලනය කළ බර්නාඩා ඇල්බා නම් වූ මහලු මවගේ (කෞශල්‍යා ප්‍රනාන්දු රඟපෑ) වෘත්තාන්තය මේ නාට්‍යයට ඇතුළත් විය. පළමු සැමියාට දාව ඇයට ලැබුණු වැඩිමහල් දියණිය අන්ගුස්තියස්ගේ භූමිකාව මෙහි චාන්දනී නිරූපණය කළාය. ඇයට තම පියාගෙන් ප්‍රමාණවත් ධනයක් උරුම වේ. එහෙත් දෙවැනි සැමියාගෙන් ලැබුණු දියණියන් සිව් දෙනාට (මග්දලේනා - නිල්මිණි බුවනෙක, මාර්ටිරියෝ - චමිලා පීරිස් , එමිලා - සමාධි ලක්සිරි,ඇඩෙලා - නදී කම්මැල්ලවීර) ඔවුන්ගේ පියාගෙන් එබඳු ධනස්කන්ධයක් උරුම නොවේ. තම මවගේ දරදඬු ගෘහ පාලනයෙන් බැට කන අන්ගුස්තියස් , චාන්දනීගේ වේදිකා රැඟුම් අතර සුවිශේෂිතය.

මහාචාර්ය රංජනී ඔබේසේකර මේ නාට්‍යය සිංහලට පරිවර්තනය කරමින් "බර්නාඩාගේ සිපිරිගෙය" නමින් මුල්වරට 1971 දී නිර්මාණය කළාය. ඉන්පසු 1990 දී ඇය තෙවැනි වරට එය නිෂ්පාදනය කළ අවස්ථාවේ බර්නාඩා ඇල්බාගේ බාල දියණිය ඇඩෙලාගේ චරිතය චාන්දනී රඟපා තිබුණි. මේ වූ කලී ඇගේ රංගන ජීවිතයේ සදානුස්මරණීය නාට්‍යයකි. ඊට හේතු වූයේ මෙහිදී ඇය සමඟ තම මව බර්නාඩා ඇල්බා ලෙස රැඟුවේ සෝමලතා සුබසිංහයන් වීම නිසාය. එනම් චාන්දනී නම් විශිෂ්ට රූපණවේදිනිය සොයා ගෙන කලා ලොවට තිළිණ කරන ලද්දී සෝමලතා සුබසිංහ විසින් බැව් ඔබ සැවොම හොඳීන් දනිති. මෙහිදී තම ගුරුවරිය සමඟ එකම වේදිකා නාට්‍යයක ඇගේ දියණිය ලෙස රඟපෑමට චාන්දනී හට අවස්ථාව ලැබිණ.

 

 

ඉතිරි කොටස ලබන සතියේ...