ශෝකෝත්පාදකය සහ සුඛෝත්පාදකය පිළිබඳ පසුවදනක්

අප්‍රේල් 8, 2021
තාරාවෝ ඉගිළෙති

පසුව විස්තර කරන ප්‍රහසනය හා අති නාටකය තේරුම් ගැනීමට වැදගත් වේ. මන්දයත් එ දෙවර්ගයට ශෝකෝත්පාදකයේ හා සුඛෝත්පාදකයේ බාල සොහොයුරන් වන්නා සේම ඒවා ඒ තරම් ගැඹුරු නොවන සැහැල්ලු සරල ප්‍රකාශනයන් වන බැවිනි. නමුත් ශෝකෝත්පාදකය සහ සුඛෝත්පාදකය මෙන්ම ප්‍රහසනයත් අතිනාටකයත් නාට්‍ය රසවිදීම ආරම්භයේ දී ප්‍රේක්ෂකයාට ආකර්ෂණිය වැදගත්කමක් සපයන බැවිනි. පසු කලකදී අප නිධානය, ගම්පෙරළිය වැනි චිත්‍රපටයක්, මනමේ වැනි නාටකයක්, විරාගය වැනි නවකතාවක් රස විදීමේ අත්දැකීම ලබන්නට රසවිදීමේ මූලාරම්භයක් ලබා ඇත්තේ ඩීමන් ආනන්ද වැනි සාහිත්‍යකරුවෙක්ගෙන් ජී. එච් පෙරේරා වැනි කවියෙක්ගෙන් ආභාසය ලැබුවාක් වන්න බොහෝ විට නාට්‍ය කලාව පිළිබඳ උත්තේජනයක් බහුතර ප්‍රේක්ෂාගාරය මුලින්ම අත්පත්කරගනුයේ ප්‍රහසනය හා අතිනාටක විසින් බැවිනි.

ශෝකෝත්පාදකය හා සුඛෝත්පාදකය රංග කලාවේ ඓතිහාසිකමය ගැඹුරු ප්‍රකාශනයන් වෙති. ඒවා කාලය ඉක්මවා නව්‍ය වූ අත්දැකීමක් වෙත අප සේන්දු කරවයි. ඊඩිපස් හෝ හැම්ලට් හෝ චෙරි උයන, ඩෝල්ස් හවුස් වැනි නාටකයක් ඒවා බිහි වූ කාලය ඉක්මවා සිටින රචනාවෝ වෙති. ප්‍රහසනය හෝ අති නාටකය අත්පත් කර ගනුයේ එය උත්පාදනය වූ කාලයේ කාලීන වටිනාකමකි. ඉන් පසුව එය නැවත නිෂ්පාදනය වුවද ඊට ලැබෙනුයේ ඓතිහාසික වටිනා කමක් පමණි. බොහෝ විට තවත් එවැනිම නාටකයක් විසින් එම නාට්‍යයට තිබුණු තැන අත්පත්කරගනී. එවන් නාටක සමහරවිට කල් ඉකුත්වන්නේ එකී ප්‍රහසනය හෝ අතිනාටකයට ආකර්ෂණයක් ගෙනා නළු කාර්ය අහිමිවීමත් සමගිනි. එවන් නාටකයක් තවත් නළුවෙක්හට ජීවය දිය නොහැකිවෙයි. කාලයක් අප අතර ඉතා ජනප්‍රිය ප්‍රහසනයකි. සාජන් නල්ලතම්බි ඊට ජීවය දුන් නළු කාර්යය (නිහාල් සිල්වා) අහිමි වීමත් සමග එකී ජනප්‍රිය නාට්‍ය නැතිවී ගිය අතර වෙනත් නළුවෙක් හෝ අධ්‍යක්ෂකවරයෙක් හට එකී පිටපතට ජීවය දිය නොහැකි විය. මෑත කාලීන එවන් නිදසුනකි බල්ලොත් එක්ක බෑ නාට්‍ය. විජය නන්දසිරි නම් විශිෂ්ට නළුවාගේ එකී ප්‍රහසන රංගනය මත අතිශය ජනප්‍රිය වූ එම නාට්‍ය ඔහුගේ අහිමිවීමෙන් පසු පෙරලද සුවිශාල ජනප්‍රිය බව අත්පත්කරගන්නට අසමත් විය.

විකෘති

එසේ නැතහොත් ප්‍රහසනයක් ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් දුරස්ව සැගවී යන්නේ ප්‍රහසනය විසින් ප්‍රතිචාර දැක්වූ සමාජ, ආරිථික සහ දේශපාලන ජීවිතයේ විපර්යාසයන් විසිනි. මන්දයත් ප්‍රහසනයේ ප්‍රේක්ෂක සිනහව හා වින්දනය ගොඩනැගෙන්නේ සමකාලීන සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය වෙත දක්වන උපහාසාත්මක ප්‍රතිචාරය විසින් බැවිනි. විවෘත ආර්ථිකයේ විපරීත ස්වභාවයට ප්‍රතිචාර දක්වමින් බිහිවූ තාරාවෝ ඉගිළෙති, විකෘති වැනි නාට්‍යයක ජනප්‍රියබව නික්මයන්නේ මේ තත්ත්වය හේතුවෙනි. අතීතයේ බිහි වූ “දුන්න දුනු ගමුවේ“ නාට්‍ය ප්‍රතිචාර දක්වන්නේ 60 දශකයේ කම්කරු පන්තියේ ස්වභාවයටය. නමුත් 90 දශකයේ හෝ 21 ශතවර්ශයේ කම්කරු පන්ති අරගලය හා එහි යථාව නැවත ප්‍රතිනිර්මාණය කරන්නටට එම නාට්‍ය කොතෙක් දුරට සමත්වේද? ප්‍රහසනය පමණක් නොව අතිනාටකය ද එසේමය. රූපවාහිනි සෝප් ඔපෙරා හා මෙගා නාටකවල ඇත්තේ ප්‍රහසනය හා අතිනාටක ලක්ෂණයන් ය. ප්‍රෙක්ෂ මතකයෙන් ඒවා ඉවත් වී යන්නේ තවත් එවැනිම මාලා නාටකයක් විසින් එහි ස්ථානය අත්පත්කර ගැනීම හේතුවෙනි. නමුත් ඊඩිපස්, හැම්ලට්, මැක්බත්, ඇන්ටිගනී, ජුලියස් සීසර්, ඩෝල්ස් හවුස්. මුහුදු ලිහිණියා සහ චෙරි උයන වැනි ශෝකෝත්පාදකයක් එසේ නොවන්නේ ඒවායේ ඇති සුවිශේෂි ගුණයන් විසින් ඕනෑම යුගයක, කාලයක මනුෂ්‍ය ජීවිතය අර්ථ කථනය කළ හැකි වටිනාකමක් එම නිර්මාණ අත්පත් කරගන්නා බැවිනි. එසේ පමණක් නොව එම නාටකයෝ වසර දහස් ගණනක් තිස්සේ ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් ට ඔවුන්ගේ කෘතීන් සදහා බලපෑම් කරන බැවිනි. එසේ පමණක් නොව එවන් ශෝකෝත්පාදක හා සුඛෝත්පාදක ආගම, දර්ශනය, විද්‍යාව සහ දේශපාලනය ආදී විවිධ විෂය ක්ෂේත්‍රයන් හී න්‍යායාත්මක හා ප්‍රායෝගික පදනම් කෙරෙහි ද බලපාන බැවිනි. ඊට හොඳම නිදසුන මනෝවිශ්ලේෂණ මනෝ විද්‍යාව විග්‍රහයේ දී හමුවන ඊඩිපස් සංකීර්ණය හා ඉලෙක්ට්‍රා සංකීර්ණයයි. මෙම දර්ශනවාදී විග්‍රහයන් දෙකටම උත්තේජනය සපයනුයේ ඊඩිපස් නාටකය හා ඉලෙක්ට්‍රා නාටකයයි. එපමණක් නොව සමහර නාට්‍යකරුවන්ගේ කෘතීන් වලට උක්ත නාටක වල ආනුභාවය පරම්පරා ගණනක් තිස්සේ බලපා ඇති බැවිනි. ඒවායේ සංවාද ඛණ්ඩ පමණක් නොව චරිත, සිද්ධි මානව සම්බන්ධතා කාව්‍යමය ප්‍රකාශ පවා පසුකාලීන නාට්‍යයන්ට ආනුභාවයක් සැපයිය. ඊඩිපස් නාට්‍ය පසුකාලීනව හැම්ලට් නාට්‍යයටද මුහුදු ලිහිණියා නාට්‍යයටද, ට්ඩධඵබ නාට්‍යයට ද ටෙනිසි විලියම්ස් ගේ පුංචි පළිඟු රෑන නාට්‍යයට ද බලපෑවේය. එසේම සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ එන ගල් ලෙන බිඳලා ගීතය හා පහත දැක්වෙන ඊඩිපස් නාට්‍යකයේ දෙබස් ඛණ්ඩය හා සැසඳීමේ දී සිංහබාහු නාටකය හා ඊඩිපස් නාටකය අතර සබඳතාවය කෙබඳු දැයි හඳුනා ගත හැක.

 

ඊඩිපස් - ඔබට මම පවරමි මේ කියන වගකීම. මැදුර තුළ රඳනා ඇය සිරුර වෙනුවෙන් ඔබට රිසි අයුරින් අවසාන බුහුමන් ඔබේම සොයුරිය වෙනුවෙන් නොඅඩුව පිරිනමන්න.

මගේ දරුවන් ගැන යමක් මා ඔබට කිවයුතුයි. මාගේ පුතුන්ගේ බර ඔබට නොපවරමි. පිරිමින් වන ඔවුන්ට මෙලොව දිවි ගෙවීමට නැත කිසිත් අඩුපාඩුවක්.

නමුත්, මගේ දියණියන් දෙදෙනා මගේ සෙවණැල්ල මෙන් දුක සැප දෙකේ දී මා අත නොහැර මා සමග සිටි,

අහර වැලඳීමේදී මා දෙපස සිට මිස කුසට අහරක් නොගත් අසරණියන් දෙදෙනා තුරුලු කොට වැලඳගෙන මගේ මෙම දෑතට වරක් හෝ මගේ දියණියන්ගේ පහස ලැබීමට හැකිනම් මගේ නෙත් තිබු කළ නෙතින් දුටුවා සේ මට සතුටු විය හැකිය.

 

ඊඩිපස් - මාගේ පෙම්බර දරුවනි, එන්න මගේ දෑතට. සොහොයුරෙකුගේ දෑතට. ඔබගේ පියාගේ දෑස් අඳකළ දෑත් ඔබ ළඟට කැඳවයි.

මම වැලපෙමි, ඔබට උරුම වී ඇති අඳුරු ජීවිතය ගැන. නෑයින්ගේ මගුලකට ඔබ දෙදෙන ගියදාට සතුටු ගංගාවක කිමිදි තුටු වීමට ඔබ දෙදෙනා වරම් නොලබයි.

විවාවන වයසට පත්වූ කලෙක කවර නම් මිනිසෙක් මෙවන් අවමානයක් දැරුවෙකු හිසින් ගෙන ඉවසයි ද? “තොපේ පියා නැසුවා තමන්ගේම පියාණන්, ඔහු උපන් මවගේ කුස ඔබට මෙන්ම ඔහුටම කෙතක් විය.

ඔහුගේම මවගෙන් ඔහු තොප ඉපැද්දී” මෙවන් අවලාදයෙන් ඔබට ගරහනු ඇති.

 

සිංහයා - ලෙන තුළ නොවෙති

පෙරළා නො එති

මම දැන ගතිමි මම සැක කළෙමි

 

සුරතල් දියණිය

මොළකැටි වදනින්

මා සනසන්නිය

අහර පිසන්නිය

කවන්නිය, පොවන්නිය

මා ගැන බිය වන්නිය

වනයේ දුකක් වී ද

අසන්නිය සොයන්නිය

ඈත් ගොසින් ය

 

ඇයි සුදු දුවණිය

නුඹ වත් නොසිටියෙ

සොහොයුරා නම්

ඔළමොළ ගති ඇත

නුඹ මෙන් මුදු නැත

ඔහුගේ අණට ද

කීකරු වූයේ

පෙරළා එන්නෙ ද

ඔහුගෙන් ගැලවී

 

හෙණයක් සේ පතිත වූ අහසින්

හිස මතට දෙදරුම් දී

බමවා ම ඉදුරන් අදුරු කරමින්

පහරිනා රුදුරු

කිම් ද නොකියා යන්ට කාරණ

වී ද මන දොළ කිසිත් නොපිරුණ

වී ද මන දොළ කිසිත් නොපිරූ මා