විදෙස් රටක මංගල දර්ශනය පැවැත්වූ ප්‍රථම සිංහල නාට්‍යය

අප්‍රේල් 8, 2021
“පියාඹන අශ්වයා” නාට්‍යයේ එච්.ඒ.පෙරේරා, ගීතා කාන්ති ජයකොඩි සහ වසන්ත විට්ටච්චි

 

ආර්.ආර්.සමරකෝන්ගේ "අහසින් වැටුණු මිනිස්සු" නාට්‍යය ගීතා කාන්තිගේ රංගන දිවියෙහි කඩයිමකි. මුඩුක්කුවක ජීවත් වන මවක්, දුවෙක් සහ පුතෙක්ගෙන් සමන්විත පවුලක් එදා වේල පිරිමසා ගැනීමට කරන ජීවන අරගලය මීට වස්තු විෂය විය. කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කරන අසරණ තරුණයෙක් මේ පවුලේ දියණිය සමඟ හාද වෙයි. මේ අතර මව සහ පුතා මේ අහිංසක තරුණ පෙම්වතා හරහා නිවසේ ආර්ථික අවශ්‍යතා පිරිමසා ගැනීමට උත්සුක වෙති. අවසානයේ තම පෙම්වතියගේ සහෝදරයාගේ බලවත් ඉල්ලීම හේතු කොට කාර්යාලයේ මුදල් වංචාවකට පැටලෙන ඔහුගේ රැකියාව අහිමි වෙයි. ඉන් පෙම්වතියද අහිමි වේ. පැල්පත් වාසීන්ගේ අක්මුල් සිඳුණු ජීවන රටාව, දරිද්‍රතාව හා ජීවන අරගලය යථාර්ථවාදී ලෙස නිරූපිත නාට්‍යයකි, "අහසින් වැටුණු මිනිස්සු". මේ නාට්‍යයේ දියණිය ජානකීගේ චරිතය ගීතා කාන්ති නිරූපණය කළ අතර ඇයගේ මව ලෙස රම්‍යා වනිගසේකර, සොහොයුරා ලෙස නීල් අලස් රංගනයෙන් දායක වූහ.

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ "අපායේ අවුරුදු" නාට්‍යයේ (1987) මන්ත්‍රී බිරිඳගේ භූමිකාව ගීතා කාන්ති ජයකොඩිගේ වේදිකා නාට්‍ය චරිත නිරූපණ අතරින් කැපී පෙනේ.ජේ.ඒ.ඩී. පෙරේරා විසින් රචනා කරන ලද මෙය අමරසේන වඩුගේ නිෂ්පාදනය කළේය. මේ වූ කලී දේශපාලන තේමාවක් රැගත් හාස්‍යෝත්පාදක නාට්‍යයකි.මැතිවරණයකින් පිරිසකට ලැබෙන ජයග්‍රහණයත් තවත් පිරිසකට ලැබෙන පරාජයත් ඉන් ජනතාවට ලැබෙන අවසන් ප්‍රතිඵලයත් මින් විවරණය කෙරිණ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ගීතා කාන්ති ජයකොඩි, ගාමිණි සමරකෝන්, ආනන්ද අතුකෝරල, ගාමිණි හෙට්ටිආරච්චි, අනුර බණ්ඩාර රාජගුරු, බුද්ධි වික්‍රම, අනුර වරාගොඩ,ජයතිලක ඇඹුල්දෙණිය, සුසිල් වික්‍රමසිංහ යනාදීන් චරිත නිරූපණය කළ අතර විනී හෙට්ටිගොඩගේ කලා අධ්‍යක්ෂණයත් අතුල සෝමසිරිගේ සංගීත අධ්‍යක්ෂණයත් නාට්‍යයට ආලෝකයක් විය.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් රචනා කොට අධ්‍යක්ෂණය කළ "මාල වළලු" (2015) විදෙස් රටක මංගල දර්ශනය පැවැත්වූ ප්‍රථම සිංහල නාට්‍යය ලෙස ඉතිහාස ගත වේ.

එහි මංගල දර්ශනය රඟදැක්වූයේ ඉතාලියෙහිය. යුද කලකෝලහලවලින් හෝ නියඟය, ගංවතුර වැනි ව්‍යසනවලින් හෝ විදෙස් රැකියා නිසා හෝ අසරණ බවට පත්වන ස්ත්‍රීන්ගේ ඛේදවාචකය "මාල වළලු" හී කේන්ද්‍රීය පුවත බවට පත් විය. මනෝරත්නයෝ මෙහි තේමාව අරභයා වරක් මෙසේ කීහ.

 

“අපායේ අවුරුදු” නාට්‍යයේ ගාමිණි සමරකෝන් සහ ගීතා කාන්ති ජයකොඩි

"යුද්ධයට එකතුවීම නිසා වියෝවන්නන් වී ගොවිතැන අඩපණ වීමෙන් ණයකරුවන් බවට පත්ව දිවි නසාගන්නන් විදෙස් රැකියා මුවාවෙන් ඒජන්තවරුන්ගේ විවිධ සටකපටකම්වලට ගොදුරු වන්නන් අවසානයේ දී සිය ජීවන යාත්‍රාව සිඳ බිඳ ගන්නේ මුදල හෝ බලය විසින් සිවිල් සමාජයේ අධිපති බවක් ආරෝපණය කරගත් පැලැන්තියක ගොදුරු බවටද පත් වෙමිනි. සී සී කඩව ගිය ස්වකීය පවුල් සංස්ථාව තුළද හුදෙකලා සමාජ සත්වයකු බවට පත්වන ඔවුන් ජීවිතේ පූර්ණ සුවය විඳ ගැනීම කෙසේ වෙතත් පූර්ණකාලීනව විඳවනු ලබන පිරිසක් බවට පත් වනු ලැබීම වැළැක්විය නොහැකි වනු ඇත."

ජයලත් මනෝරත්න, රත්නා ලාලනී ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි හා දයාදේව එදිරිසිංහ මෙහි චරිත නිරූපණය කළහ.නවරත්න ගමගේගේ සංගීත අධ්‍යක්ෂණය "මාල වළලු" නැරැඹූ ප්‍රේක්ෂකයාට අමතක නොවේ.

“මාල වළලු” නාට්‍යයේ 
ගීතා කාන්ති ජයකොඩි සහ රත්නා ලාලනී ජයකොඩි

නීතිඥ ඊ.එම්.ඩී උපාලි විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ "පියාඹන අශ්වයා" (1985) හී දීපාගේ චරිතය ගීතා නිරූපිත භූමිකා අතර වෙනස් මඟක් ගත් බැව් පෙනේ.නාට්‍ය නිර්මාණකරුවකු වූ ධර්මතිලක (එච්.ඒ.පෙරේරා) කලාව වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම හේතුකොට ඊට හාත්පසින්ම වෙනස් තම වෘත්තීය ජීවිතයේ, කාර්යාලයේ ගැටුම්වලට බඳුන් වේ.වරෙක ඔහු තම වෘත්තිය පසෙක තබා නාට්‍ය කලාව වෙනුවෙන්ම කැප වේ. ඔහුගේ බිරිඳ දීපා (ගීතා කාන්ති) තම ස්වාමියා කලාවටමැ පරිත්‍යාග කොට සිටින්නීය. ඇය ගෘහිණියකි. මේ නට්‍යයේ උච්ච අවස්ථාවේදී (ඛ්තඪථචය) ධර්මතිලකගේ නාට්‍යයකට සම්මාන උලෙළක දී සම්මාන පිරිනැමේ. එහෙත් දීපා ඒ වන විට දරු ප්‍රසූතියකට සූදානම්ව රෝහල් ගතව සිටින්නීය. දියණියක බිහි කරමින් දීපා දරු ප්‍රසුතියේදී මියයයි. "පියාඹන අශ්වයා" නාට්‍යය ආරම්භ වනුයේ ධර්මතිලක පිළිබඳ තොරතුරු සොයා පුවත්පත් කලාවේදීන් දෙදෙනකු ඔහුගේ නිවෙසට පැමිණෙන ජවනිකාවෙනි. එවිට මඳක් වැඩි වියට පැමිණ සිටින දියණිය නිවසේ දොර විවෘත කරන්නීය. එතැන් සිට නාට්‍යය විකාශනය වනුයේ පශ්චාත් දෘෂ්ටි කථන ක්‍රමයෙනි (Flashback).

නීතිඥ ඊ.එම්.ඩී.උපාලි

සෑම කලාකරුවකුම එක් අතකින් පියාඹන අශ්වයකු වැන්න. මේ අශ්වයාගේ කුර පොළොවෙහි පතිතව තිබුණත් අත්තටු තිබෙන හෙයින් පියාඹන්නට ප්‍රයත්න දරයි. ඇතැම්හු ඉහළට පියාඹා යති. ඇතැම්හු අතරමඟදී අහසේ සිට පොළොවට ඇද වැටෙති.එහෙත් කලාකරුවෝ පියාඹන්නට දරන ප්‍රයත්නය අත් නොහරිති.මේ නාට්‍යය ඔස්සේ නාට්‍යවේදියා පළ කරන දෘෂ්ටිය එබඳුය. එච්.ඒ. පෙරේරා, ගීතා කාන්ති ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, වසන්ත විට්ටච්චි, උදය තෙන්නකෝන්, දිලිප් රෝහණ, මැල්කම් මචාඩෝ, ශ්‍රී නිමල් පද්මකුමාර, ගාමිණි කමල් ජයකොඩි (ගීතා කාන්තිගේ සොහොයුරු) මීට රංගනයෙන් දායක වූහ. සංගීත අධ්‍යක්ෂණය ඩී.අයි සේනාරත්නගෙනි. ලුවලින් වැන්ඩවෝල් පසුතල නිර්මාණය කළේය. "පියාඹන අශ්වයා" එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ ප්‍රශස්ත නාට්‍ය පහෙන් එකක් ලෙස (ධර්මසිරි බණ්ඩාරනායකගේ "මකරාක්ෂයා", විජිත ගුණරත්නගේ "සුබ සාධක", ආචාර්ය ජයලත් මනෝරත්නගේ "පුත්‍ර සමාගම", ජයන්ත චන්ද්‍රසිරිගේ "අත්") අවසන් වටයට තේරිණ.

“අහසින් වැටුණු මිනිස්සු” නාට්‍යයේ රම්‍යා වනිගසේකර සහ ගීතා කාන්ති ජයකොඩි

ඉතිරි කොටස ලබන සතියේ...