ස්ත්‍රීන් පුරුෂයන් වූ නාට්‍යයක්

අප්‍රේල් 1, 2021

ලාංකේය වේදිකාවේ නිරූපිත ස්ත්‍රී භූමිකා, නිළි ප්‍රතිරූප විමසා බැලීමේදී ගුවන් විදුලි මාධ්‍යයෙන් වේදිකාවට පිවිසුණු නිළි පරම්පරාවක්ද හඳුනාගත හැකිය. ගීතා කාන්ති ජයකොඩි ඒ අතර වෙසෙසින් කැපී පෙනේ.ගුවන් විදුලි ළමා මණ්ඩපය, ගුවන් විදුලි නාටකය හෙවත් හඬ නළුව ඇයගේ කලා ජීවිතයේ පදනම විය. කුඩා කාලයෙහි සිටම නර්තනයට දස්කම් පෑ ඇය 80 දශකයේ මුල් භාගයෙහි "වසන්ති" ගීත නාටකයේ වසන්ති ලෙස ප්‍රධාන චරිතය රඟපාමින් කලා ලොවට ප්‍රවිෂ්ට වූවාය. මේ වූ කලී ප්‍රවීණ සංගීතවේදී රෝහිත විජේසූරිය, රාජ්‍ය නර්තන කණ්ඩායම සමඟ එක්වෙමින් නිර්මාණය කළ ගීත නාටකයකි.ජාතික රූපවාහිනිය ආරම්භ කළ සමයේ මේ ගීත නාටකය රූපවාහිනි මාධ්‍යයට නැඟිණ.එය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුනිල් සිරිවර්ධන විසිනි. "වසන්ති" ගීත නාටකයෙහි දක්නා ලැබෙන ගීතා කාන්ති නර්තනයෙහි යෙදෙන ගජගා වන්නම ඇසුරු වූ නර්තනාංගයක් එදා පටන් අද දක්වා වරින්වර විකාශය කෙරෙන ජාතික රූපවාහිනියේ තේමා ගීතයටද ඇතුළත් වී ඇත. එහෙත් ඇය පිළිබඳ ප්‍රේක්ෂක, විචාරක උභය පාර්ශ්වයේ අවධානය යොමු වූයේ ආර්.ආර්.සමරකෝන්ගේ "කැලණි පාලම" (1978) නාට්‍යයෙනි. මේ වූ කලී සමරකෝනුන්ගේ විශිෂ්ට පතිකෘතිය (ර්චඵබඥපනඪඥජඥ) වූ සේම සිංහල නාට්‍ය කලාවේ යථාර්ථවාදී සම්ප්‍රදාය පෘථුල කළ නාට්‍යයකි. නීල් අලස්, රම්‍යා වනිගසේකර, සිරිල් ධර්මවර්ධන, මැණිකේ අත්තනායක, වික්‍රම බෝගොඩ, එල්සන් දිවිතුරුගම, පද්මිණී දිවිතුරුගම, ජේ.එච්. ජයවර්ධන, ගීතා කාන්ති ජයකොඩි හා රත්නසිරි ලියනගොඩ එවක එහි රංගනයෙන් දායක වූවෝය. මෙහි චුට්ටේ (නීල් අලස්) සහ මැටිල්ඩා (රම්‍යා වනිගසේකර) යුවළගේ පුත් සරණපාල (සිරිල් ධර්මවර්ධන) පෙම් බඳීන පාසල් සිසුවියක වූ සුරංගනීගේ භූමිකාව ගීතා කාන්ති රඟපෑවාය.

ලාංකේය නාට්‍ය කලාව ප්‍රාරබ්ධ වූ යුගයේ ස්ත්‍රීන් හට මේ කලාවට ප්‍රවිෂ්ට වීමට තහංචි, වාරණ පැවැති හෙයින් එකල ස්ත්‍රී භූමිකාද පුරුෂයෝම රඟපෑහ. එහෙත් පසු කාලයේ මේ තහංචි ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වන්නට විය.ඇනී බොතේජු, ලක්ෂ්මි බායි වැනි මෙරට නාට්‍ය කලාවේ මුල් යුගයේ සුපිරි තාරකාවෝ මේ තහංචි බිඳ දැමුවා මතු නොව ඔවුහු කරට කර පුරුෂ භූමිකාද රඟපෑවෝය. චාල්ස් ඩයස්ගේ ඉපැරණි, සුප්‍රකට, ටවර්හෝල් නුර්ති නාට්‍යයක් වූ " සිවම්මා ධනපාල" පසුකලෙක එනම් ටවර්හෝල් නාට්‍ය යළිත් පුනර්ජීවනය ලැබූ සමයේ (70 දශකයේ අග) වික්ටර් වික්‍රමගේ ටවර්හෝල් පදනම වෙනුවෙන් නැවත නිෂ්පාදනය කළේ අත්හදා බැලීමක්ද සමඟිනි. එනම් මෙහි ස්ත්‍රී , පුරුෂ සියලු චරිත කාන්තාවෝ රඟපෑහ. මර්සි එදිරිසිංහ පුරුෂ වෙස් ගෙන ධනපාල ලෙසත් වීණා ජයකොඩි සිවම්මා ලෙසත් ප්‍රධාන චරිත රඟපෑවෝය. එසේම මෙහි ගීතා කාන්ති ජයකොඩි පුරුෂ වෙස් ගෙන සාලිය කුමරු ලෙසත් දමයන්ති ෆොන්සේකා අශෝකමාලා ලෙසත් රඟපෑ අයුරු කැපී පෙනිණ. සුසිලා කුරගමද මෙහිදී පුරුෂ වෙස් ගත්තාය.

"හරිමි රජ සැපා...මං ලක්දිව තී නිසා" යන "සිවම්මා ධනපාල" නාට්‍යයෙහි එන සුප්‍රකට ගීතය ගීතා කාන්ති ගයමින් සාලිය කුමරු ලෙස දමයන්ති ෆොන්සේකා (අශෝකමාලා)සමඟ රඟපෑ ආකාරය තවමත් ප්‍රේක්ෂකයාට අමතක නැත.

 

"හරිමි රජ සැපා මම

ලක්දිව තී නිසා

සොඳුරු ළඳේ මියුරු කතේ

තොප හැර සැප නැතේ

 

ජාතිය මගේ බාල නිසා

ආලෙට බියයි මං

 

ආලය බෙලෙන් ගෝත්‍ර ගතී

සුන් කරලාමි මං

 

ප්‍රාණෙ සරී ස්වාමිට මගේ

ආලය වෙමි තිරා

 

ප්‍රීතිව ගියේ හර්දේ මෙමගෙ

කෞමුද වගේ පුන් පෝදා

 

දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු තමන් අතට පත් රජ සැප හැර අශෝකමාලා නම් සැඬොල් යුවතියක හා විවාහ වීමේ සිදුවීමට සම්බන්ධ මේ ජවනිකාව සමඟ මා හට සිහිපත් වනුයේ වරක් මහාචාර්ය සුචරිත ගම්ලත් මේ ගීතය විග්‍රහ කරමින් පළකළ කියුමකි.

 

"එනමුදු මේ කතාවේ ඓතිහාසික සත්‍යයක් නැත. අනුරපුර යුගයේ රජකම උරුම වූයේ රජුගේ පුත්‍රයාට නොව කනිටු සොහොයුරාට ය. දුටුගැමුණු රජුගේ ඇවෑමෙන් එකල රජ පදවි ප්‍රාප්ති චාරිත්‍රානුකූලව රජ වූයේ දිගාමඬුලු පාලක සද්ධාතිස්ස කුමරුය. හේ දුටුගැමුණු රජුගේ බාල සොහොයුරුය. ඊට පසු සද්ධාතිස්ස පුත් ලංජකතිස්ස රජ වූයේ සද්ධාතිස්ස රජුට බාල සොහොයුරකු නොවූ හෙයිනි. ඒ කෙසේ වෙතත් කලාව යනු සර්ව ප්‍රකාරයෙන් සුනිරවද්‍ය ඓතිහාසික වාර්තාවක් නොවන්නේම නොවැ?"

 

(ගී මිණි ආර 1 - මහාචාර්ය සුචරිත ගම්ලත් , පිටු 21,22)

 

කේ.බී. හේරත්ගේ "මායාදේවි" (1985) නාට්‍යයේ සරස්වතීගේ භූමිකාව ගීතාගේ වේදිකා රැඟුම් අතර සුවිශේෂ වේ. මෙහි මිනීපෙට්ටි සාප්පුකාරයාගේ(ආචාර්ය ජයලත් මනෝරත්න) දියණිය ලක්ෂ්මී (රත්නා ලාලනී ජයකොඩි) පෙම් බඳීන තම මස්සිනා වූ සුගත් (අජිත් ජිනදාස) සංගීත ගුරුවරයෙකි. ඔහුගෙන් සංගීතය හදාරන්නිය සරස්වතී (ගීතා කාන්ති ජයකොඩි) ය. ඇයද ඔහුට පෙම් කරන හෙයින් සුගත් ලක්ෂ්මීට සහ සරස්වතීට මැදිවෙයි. මේ වූ කලී සංකේතාර්ථයෙන් සුගත් ධනයට සහ කලාවට මැදිවීම වැන්න.සැබෑ ජීවිතයේ එක කුස උපන් අක්කා (ගීතා කාන්ති), නඟෝ (රත්නා ලාලනී ) "මායාදේවි" හැරුණු විට නාට්‍ය ගණනාවක එක්ව රඟපෑහ.

විලියම් ෂේක්ස්පියර්ගේ "ඊඩඥ ර්ඥපජඩචදබ ර්‍ණට ඍඥදඪජඥ" නාට්‍යය ඇසුරෙන් බන්දුල විතානගේ නිර්මාණය කළ "වැනිසියේ වෙළෙන්දා" හී පෝෂියාගේ භූමිකාව මුල්වරට රඟපෑවේ ගීතා කාන්ති ජයකොඩිය. එවක බැසානියෝගේ චරිතය ඇය සමඟ රඟපෑවේ ඩග්ලස් රණසිංහය. මෙහි පෝෂියාගේ යෙහෙළිය වූයේ දේවිකා මිහිරාණිය. මඳ කලකට පසුව ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" නාට්‍යයේ රඟපෑමට මුළුමනින්ම කැපවීමට සිදු වූ බැවින් ගීතා පෝෂියාගේ චරිතයෙන් ඉවත් වූවාය.මානෙල් වානගුරු පෝෂියාගේ චරිතයට එක් වූයේ ඉනික්බිතිවය.ඊට සමගාමීව බැසානියෝ චරිතය ආනන්ද වික්‍රමගේ හට පැවරුණු හෙයින් ඔවුන්ගේ ජීවිතවල දෛවෝපගත පෙරළියක් සිදුවිය. ඒ ඔස්සේ ආනන්ද සහ මානෙල් සැබෑ ජීවිතයේ පෙම්වතුන් බවට පත් වී ඉන්පසුව ඔවුහු විවාහ දිවියට පිවිසුණාහ.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිර්මාණය කළ "පුත්‍ර සමාගම"(1985) නාට්‍යයේ සරාෆ්නොව් නමැති මහලු ට්‍රම්පට් වාදකයාගේ (ජයලත් මනෝරත්න) අසල්වැසි නිවසේ කාන්තාව වූ නටාෂාගේ භුමිකාව මුලින්ම ගීතා කාන්ති රඟපෑ අතර පසුව ඒ භුමිකාවට චාන්දනී සෙනෙවිරත්න එක් වූවාය."පුත්‍ර සමාගම" වූ කලී ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ "ඊඩඥ ඡ්තඤඥප ඉධද" නමැති රුසියානු නාට්‍යයෙහි අනුවර්තනයකි.මෙය පරිවර්තනය කොට පිටපත ලීවේ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේය.

 

 

ඉතිරි කොටස ලබන සතියේ...