“පුණ්‍යා හීන්දෙණිය වගේ වෙන්න දුවේ....”

මාර්තු 11, 2021
“පොත්ගුල්ලී” නාට්‍යයේ ට්‍රන්ච්බුල් විදුහල්පතිනිය ලෙස කුසුම් රේණු

"පාදඩ අසපුව" නාට්‍යයේ වාසුකි (කුසුම් රේණු) වීථි සැරිසරන නගරශෝභිනීයකි. ඇයත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉන්ද්‍රගුප්ත (ජනක කුඹුකගේ) අතරත් පවතිනුයේ පෙම් සබඳතාවකි. දිනක් වාසුකි, ඉන්ද්‍රගුප්ත සහ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය විජායිනන්ද (වසන්ත විට්ටච්චි) කතා බහ කරමින් සිටියදී හදිසියේ බෝම්බයක් පිපිරී යයි. ඒ දෙසට දිව යන ඔවුන්ට දකින්නට ලැබෙන්නේ නායකයා (ශ්‍රියන්ත මෙන්ඩිස්) බෝම්බයට හසු වී ඇති ආකාරයයි. බෝම්බ ප්‍රහාරය හේතුකොට නායකයාට අතීතය ගැන මතකයක් නැත. නායකයාගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉන්ද්‍රගුප්ත තුළ කවදත් පැවතියේ දැඩි වෛරයකි.

ඔහුට නායකයාගෙන් පළිගැනීමට මෙය කදිම අවස්ථාවකි.එසේ වුවත් ඉන්ද්‍රගුප්ත මෙය කල් දමනුයේ නායකයාට අතීතය නැවතත් සිහිපත් වන තුරුය. ඒ අතර නායකයාට මැරකම් සඳහා සහය වන පාදඩ (ශ්‍රීනාත් මද්දුමගේ) තම හාම්පුතාට සිදු වූ විපත දැක කම්පාවෙන් පැමිණේ. මේ අතර සමාජය උත්සුක වනුයේ පාදඩයා දේශපාලනඥයකු බවට පත් කිරීමටය. ඒ අනුව ඔහු දේශපාලනඥයකු බවට පත් වේ. එහෙත් ඔහුගේ පාදඩ ජන්ම ගතිය නිතැතින්ම ඉස්මතු වෙයි.අවසන නායකයා නැවතත් සුව වී දේශපාලනයට පැමිණෙන විට පාදඩයා ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා බවට පත් වී ඇත.නාට්‍යය අවසානයේ දී පාදඩයා විසින් වෙඩි තබා නායකයා ඝාතනය කරනු ලබයි. "පාදඩ අසපුව" නාට්‍යය (2000) නැරඹූ ප්‍රේක්ෂකයාට එහි අවසාන ජවනිකාවේ නායකයාගේ (ශ්‍රියන්ත මෙන්ඩිස්) මළ සිරුරට පා තබා පාදඩයා (ශ්‍රීනාත් මද්දුමගේ) පවසන මේ දෙබස් ඛණ්ඩය අමතක නොවේ.

"සහෝදරවරුනි, මේක අපේ කාලය.... ඒක වෙනස් කරන්න උත්සාහ කරන්නේ කවුද?...ඔහුගේ ඉරණම....බොරු පුරසාරම් කතා අපට වැඩක් නැහැ...ඔය පාර මැද්දේ ඉන්න හැමෝම කරුණාකරලා පාරෙන් අයින් වෙන්න....අපේ ගමන අපිට යන්න"

ළමා මනස ගැඹුරින් ග්‍රහණය කොට ගෙන ළමා නාට්‍ය කලාවක් බිහි කරනු පිණිස අනර්ඝ මෙහෙවරක් ඉටු කළ නාට්‍යවේදීන් අතර අපට මුලින්ම සිහිපත් වනුයේ චන්ද්‍රසේන දසනායක සහ සෝමලතා සුබසිංහ යන පෙර පරපුරේ ප්‍රවීණ නාට්‍යවේදීන් දෙපළය. ඔවුන්ගේ ඇවෑමෙන් මෙරට ළමා නාට්‍ය කලාව සුපෝෂණය කිරීමේ කාර්යභාරය මැනවින් ඉටු කළේ කවුරුන්ද? යන පැනය මගෙන් විමසුවොත් මට එකවර සිහියට නැඟෙනුයේ මගේ පරපුරේ, ප්‍රවීණ නාට්‍යවේදියෙකි.ඔහු නාලක ස්වර්ණතිලකය."දඟමල්ල","පොත්ගුල්ලී", "අමුතු සහ ඉස්කෝලේ", "මම වෙනම මලක්" යනාදී නාලක අධ්‍යක්ෂණය කළ ළමා නාට්‍ය රැසක කුසුම් රේණුද රංගනයෙන් දායක වූවාය. ඉන් ඇගේ වඩාත් කැපී පෙනුණු රංගනය අන්තර්ගත වූයේ "පොත්ගුල්ලි" (2017) නාට්‍යයෙහිය.මේ වූ කලී බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට නවකතාකරු රෝල්ඩ් ඩාල්ගේ "ර්ඒඊධ්ඹ්ච්ඒ" නමැති නවකතාව පාදක කොට ගත් නාට්‍යයකි. මෙහිදී නවකතාවටත් වඩා නාලකට නාට්‍යය සඳහා ආභාසය වූයේ ඒ ඇසුරෙන් බිහිවූ ඩෙනිස් කෙලීගේ "ර්ඒඊධ්ඹ්ච්ඒ ඊඩ්ඡ් ර්උඉධ්ඛ්ඒඹ්" සංගීත නාටකය වේ.

“පොත්ගුල්ලී” නාට්‍යයෙන්

කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර, සංකාරා විජේරත්න සේම දිහිනි කංකානම්ගේ (මැටිල්ඩා ලෙස) ඇතුළු වයිට්ලීෆ් ඇකඩමියේ ළමා රංග ශිල්පින්ද මීට රංගනයෙන් දායක වූහ.ට්‍රන්ච්බුල් නමැති දරදඬු පාලනයක් ගෙන යන විදුහල්පතිනියගේ චරිතය මෙහි කුසුම් රඟපෑවාය. ට්‍රන්ච්බුල් ගුරුතුමියට ළමා මනස, හැසිරීම් රටා හොඳීන් ග්‍රහණය කොට ගැනීමට නොහැකි වේ. ඇය විදුහල්පතිනියකගේ ධුරයට නුසුදුසු තැනැත්තියකි. යගුලිය විසි කිරීමේ අංශයෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පවා සහභාගි වී ඇති ඇය තමා නුරුස්සන ළමයින් හමුවේ ක්‍රියා කරනුයේද අර කී යගුලිය විසි කරන්නියට නොදෙවෙනි ආකාරයෙනි. ට්‍රන්ච්බුල් විදුහල්පතිනියට වඩා ළමෝ බුද්ධිමත් ලෙස ක්‍රියා කරති. රෝල්ඩ් ඩාල්ගේ "ර්ඒඊධ්ඹ්ච්ඒ" නවකතාව ඇසුරෙන් බිහි වූ ඇතැම් නිර්මාණවලින් ට්‍රන්ච්බුල් පිරිමි චරිතයක් බවට පත් කොට නළුවන් ඒ සඳහා යොදා ගෙන ඇති බව දක්නට ලැබේ. එහෙත් නාලක මේ චරිතය දරදඬු ගති ඇති, පිරිමින්ගේ ස්වරූපය ඉස්මතු කරන ගැහැනියක බවට පත් කොට ඇත. ඔහුට ඒ සඳහා ඩැනී ඩෙවිටෝ අධ්‍යක්ෂණය කළ "ර්ඒඊධ්ඹ්ච්ඒ" (1996) චිත්‍රපටයේ ට්‍රන්ච්බුල් ලෙස රඟපෑ පමෙලා ෆෙරිස් නිළියගේ රංගනය ආභාසයක් වන්නට ඇතැයි මම සිතමි.

50, 60 දශකවල මෙරට සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සේනාධීර කුරුප්පු (1929-1984), ඥාතීත්වයෙන් කුසුම්ගේ මාමා කෙනෙකි. "මතභේදය"(1955),"දෛව විපාකය"(1956),"දෙයියන්නේ රටේ" (1958), "දෛවයෝගය"(1959) ඇතුළු චිත්‍රපට රාශියක කථානායකයා වූ ඔහු ප්‍රතිපත්තිගරුකව වෘත්තියෙහි නියැළුණු රංග ශිල්පියකු ලෙසද ප්‍රකට විය. කුසුම් මුල්වරට විනී රන්වලගේ "සෛලාසනය" නාට්‍යයේ රාජ කුමාරියගේ චරිතය රඟපෑම සඳහා කැඳවා ගෙන යන ලද්දේ ඔහු විසිනි. එපමණකුදු නොව "ජීවන කඳුළු"(1979), "සත්කුළු පව්ව" (1981) වැනි චිත්‍රපට ඔස්සේ සිනමා රංගනයට කුසුම් හඳුන්වා දීමට මුල් වූයේද සේනාධීර කුරුප්පුය.

 

“දෙයියන්නේ රටේ” චිත්‍රපටයේ සේනාධීර කුරුප්පු සහ පුණ්‍යා හීන්දෙණිය
 

මගේ දෙමවුපියන් මෙරට කලා ක්ෂේත්‍ර දෙකක සක්‍රියව දායක වූ නිසා බොහෝ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ළාබාල වියේදීම දැන හඳුනාගැනීමේ භාග්‍යය මට ලැබිණ. එහෙත් සේනාධීර කුරුප්පු ජ්‍යෙෂ්ඨ කලාකරුවා දිවමන්ව සිටි කල හඳුනා ගෙන කතා බහ කිරීමට අවස්ථාවක් මා හට නොලැබිණ. ඔහු 1984 වර්ෂයේ දී මියගියේය. සේනාධීර කුරුප්පු කලාකරුවාණන්ට අවසන් ගෞරවය දක්වනු පිණිස මගේ පියා (ඒ.ඩී.රන්ජිත් කුමාර) බොරැල්ලේ කනත්තට මාද කැටුව (එවක මම අට හැවිරිදි වියෙහි පසු වුණෙමි) ගියේය. භද්‍ර යෞවනයෙහි සිටි කුසුම් රේණු රංගන ශිල්පීනිය මා පළමුවෙන්ම දුටු දිනය එය විය. සේනාධීර කුරුප්පු තම ඥාති දියණියට සර්වකාලීන අගයක් ඇති වටිනා ඔවදන් ද්වයක් දුන්නේය. ඒ ඔවදන් කුසුම් රේණුට පමණක් නොව පරම්පරාවෙන් පරම්පරාවට මෙරට සමස්ත නිළි පරපුරටමැ එකසේ වැදගත් වන්නා වූ සදුපදේශයෝ වෙත්.

නාලක ස්වර්ණතිලක

 

"දුවේ ඔයා නිළියක් වුණොත් අගහිඟකම් ජීවිතයේ පැවතුණත් කලා වෘත්තීයේ ගරුත්වය රැක ගෙන ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඕනෑ. ඔබේ සුන්දර, යහපත් පැවැත්ම අනුවයි ඔබට සමාජය ගරු කරන්නේ.අනෙක මට ඕනෑ දුව පුණ්‍යා හීන්දෙණිය වගේ නිළියක් වෙනවා දකින්නයි."

සේනාධීර කුරුප්පු "දෙයියන්නේ රටේ" (1958) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ පුණ්‍යා හීන්දෙණිය රූපණවේදිනිය සමඟිනි. ඔවුන් අතර සමීප මිත්‍රත්වයක් හා අන්‍යෝන්‍ය ගරුත්වයක් පැවතිණ. රූමත් තරුණියක හා දක්ෂ නිළියක ලෙස එදා පුණ්‍යාට තිබුණු අනේකවිධ අභියෝග, බලපෑම් සහ ඇය ඒවායින් බුද්ධිමත් ලෙසත් සූක්ෂ්ම ලෙසත් ගැල වී නිළි වෘත්තීය ගෞරවය ආරක්ෂා කොට ගත් හැටි ඇසින් දුටු සාක්ෂිකරුවන් අතර සේනාධීර එක් අයෙකි. සේනාධීර මෙහිදී ආදර්ශයට ගැනීමට කුසුම් හට පැවසුවේ පුණ්‍යා සතු වූ රංගන ප්‍රතිභාවටත් වඩා ඇය ගෞරවනීය ලෙස නිළි වෘත්තියෙහි නියැළුණු ආකාරයයි.

 

ඉතිරි කොටස ලබන සතියේ...