ශෝකෝත්පාදකයේ නූතන හැඩය

පෙබරවාරි 11, 2021

ශෝකෝත්පාදකය ද, සුඛෝත්පාදකයද, ප්‍රහසනයද අතිනාටකය ද යන රංග ආකෘතීන් අතීතයේ සිට ආරම්භව තවමත් රංග කලාව තුළ නොනැසී පවතී. මනුෂ්‍යාගේ චිත්ත සන්තානයේ පවත්නා ගැඹුරු වින්දනයටද එදිනෙදා ජීවිතයේ සැහැල්ලුවට ද අවශ්‍ය සරල වින්දනයට මේ රංග ආකෘතීන් අත්‍යවශ්‍ය වීම හා බලපෑම් කිරීම මෙයට හේතුවයි.

ඇරිස්ටෝටල් ඉපදුණේත් ජීවත් වූයෙත් පැරණි ගී‍්‍රසියේ සම්භාව්‍ය යුගයේ කි‍්‍ර.පූ. 384 - 322 කාලයේදීය. නමුත් ඊස්කිලස් ජීවත් වූයේ කි‍්‍ර.පූ. 523- 456, සොෆොක්ලීස් කි‍්‍ර. පූ. 496- 406, යුරිපිඩීස් කි‍්‍ර. පූ 484-406, ඇරිස්ටොෆනීස් කි‍්‍ර. පූ 427- 386, මෙනැන්ඩර් 342- 291 සහ එපිචාමස් කි‍්‍ර. පූ 540-448 අතර කාලයේදීය. එබැවින් ඇරිස්ටෝටල් නාට්‍ය ගැන ලියන විට ප්‍රධාන නාට්‍යකරුවෝ සියල්ල මිය ගොසිනි. රංගනයද අඩාළ වෙමින් පැවතිණි. අනෙක් අතට ඇරිස්ටෝටල් රාජ්‍ය පාලකයාගේ අනුගාමිකයෙක් වෙමින් ඔහුගේ අනුශාසකයෙක් ලෙස ජීවත් විය. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය ලියන්නට ඇත්තේ නාට්‍ය බලා නොව පෙළ අධ්‍යයනය කිරීමෙන් විය හැකිය. ඒ නිසා කාව්‍ය ශාස්ත්‍රය, නාට්‍ය ශාස්ත්‍රය සහ පුෂිකදෙන් මෙන් පරිපූර්ණ කෘතියක් නොවේ.

එහි ශෝකෝත්පාදක ආකෘතියේ එන වාග් විලාසය, සංගීතය සහ ප්‍රේක්ෂාව ගැඹුරින් විස්තර නොකරයි. ඊඩිපස් නාට්‍ය පරමාදර්ශයක් කර ගන්නා ඔහුගේ අවධානය කාන්තා වීරවරියක් වටා ගෙතුණු ‘‘ඇන්ටිගනී” හෝ ඛේදාත්මක මරණයක් නොව දිව්‍යයමය මරණයක් සහිත කොලොනස්හී ඊඩිපස් ගැන අවධානය යොමු නොකරයි. ශෝකෝත්පාදකයේ වෙනස්ම විකාශයක් සහිත ඇන්ටිගනීහි කථා නායකයා ඇන්ටිගනී ද ක්‍රියෝන්ද යන්න අදටත් විසඳාගත නොහැකි ගැටලුවකි. ඊඩිපස් දිව්‍යයමය මරණයක් හිමිකර ගන්නා කොලෝනස්හි ඊඩිපස් ශෝකෝත්පාදකයේ කවර විශේෂයක් ද යන්න විස්තර නොකරයි.

ශෝකෝත්පාදක වීරවරියන් සහිත ඇන්ටිගනී, අගමෙම්නොන්, මීඩියා සහ ට්‍රෝජන් කාන්තාවෝ ඔහුගේ විග්‍රහයට හසු නොවෙයි. අනෙක් අතට සුඛෝත්පාදකය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කාව්‍ය ශාස්ත්‍රයේ නැත. එබැවින් ශෝකෝත්පාදක ආකෘතිය හඳුනා ගැනීමට ඔහුගේ සිද්ධාන්ත වැදගත් වෙතත් රෝමයේ දී සෙනෙකා අතින් ශෝකෝත්පාදකයේ නව ප්‍රවණතාවයක් ඇති විය. සෙනෙකා ගී‍්‍රකයෝ සඟවා තැබූ ශෝකෝත්පාදක වීරයාගේ මරණය රංගනය තුළට ගෙන ආවේය. එළිසබතන් යුගයේදී ශේක්ෂ්පියර් ශෝකෝත්පාදකයේ බාධක ඉවත දමා, ඒකීය බව බිඳ දමා සෙනෙකාද ඉක්මවා විචිත්‍රත්වයක් ගෙන ආවේය. 19 වැනි සහ 20 වැනි ශතවර්ෂවලදී ඉබ්සන්, චෙකොව්, ආතර් මිලර් සහ ගාර්ෂියා ලෝර්කා ආදීන් යථාර්ථවාදී හැඩතල ගෙන ආවෝහ.

සර්ජි ප්‍රොකොෆිව් වැන්නෝ සංගීතයෙන්ද, ගොර්ඩන් ක්රේග් වැන්නන් පසුතල නිර්මාණයෙන් ද ශෝකෝත්පාදකය නැවත ගොඩනැංවූහ. බර්ටෝල්ඩ් බ්‍රේෂට් ඇන්ටිගනී නිෂ්පාදනයේදී නූතන දේශපාලනික එපික් රංගයක ලක්ෂණ ගෙන ආවේය. ෂෝන් අනුයි පැරණි ශෝකෝත්පාදකය නූතනයට රිසි ලෙසින් නැවත ලිව්වේය. එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ, සිංහබාහු සහ ලෝමහංස නාට්‍යවලින් ශෝකෝත්පාදකයට පෙරදිග දර්ශනයේ හා සංස්කෘත රංග කලාවේ හැඩය ගෙනාවේය. ශෝකෝත්පාදකය පිළිබඳ ඇරිස්ටෝටල්ගේ මූලික අදහස් වැදගත් වුවත් නූතනයේ දී එය ගැඹුරු නාට්‍ය ආකෘතියක් ලෙස ස්ථානගතව ඇත.

එබැවින් ශෝකෝත්පාදකය හඳුනා ගැනීමේදී පැරණි ගී‍්‍රක මතය මෙන්ම රෝමයේ සෙනෙකාගෙන් පසුව සිදු වූ නූතන වෙනස්කම් හා විග්‍රහ විචාරය ද එකතු කරගත යුතුය. සෙනෙකාගේ සිට නූතන ලෝකයේ විශිෂ්ට නාට්‍යකරුවන් දක්වා ශෝකෝත්පාදකයේ ආකෘතියට කළ බලපෑම හා වෙනස්කම් ඇසුරෙන් ශෝකෝත්පාදකයේ ලක්ෂණ සොයා ගත යුතුවේ. මන්ද යත් ශෝකෝත්පාදකය පිළිබඳ පරිපූර්ණ විග්‍රහයක් හෝ චිත්‍රයක් කාව්‍ය ශාස්ත්‍රය ඇසුරින් ලබාගත නොහැකි බැවිනි. ශෝකෝත්පාදකය පිළිබඳ එවන් පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීම යනු විදග්ධ නාට්‍ය කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමක් ද වේ.

සෞන්දර්යය වින්දනය යනු පුද්ගල චින්තනයක් තුළ කෙරෙන භාව ප්‍රකාශනයකි. එය තමා තුළ පමණක් සිට සිරගත නොකොට නැතහොත් සමීපතමයන් අතර පමණක් බෙදා නොගෙන සහෘද සිත් ඇත්තන් සමඟ පුළුල් ලෙස බෙදා ගත් කළ කලා කෘතියක් වේ. රංග කලාවේ ප්‍රධාන ආකෘතීන් අතර ශෝකෝත්පාදක ආකෘතිය ප්‍රමුඛ වේ. උක්ත බෙදා ගැනීමේලා රංග කලාවේ ඇති උසස්තම ආකෘතිය ශෝකෝත්පාදක රංග ආකෘතිය වේ. උසස්ම රස නිෂ්පත්තියක් ඇත්තේ මේ ආකෘතියේය. මේ කාර්යය සඳහා උසස්තම ශිල්ප විධි ක්‍රම අවශ්‍ය වේ. එම ශිල්ප විධික්‍රමයන් හි ඓතිහාසික ස්වරූපය, එහි විකාශය මෙන්ම වර්තමාන ස්වරූපය හඳුනා ගත යුතුය. රංග කලාව හෝ වෙනත් ඕනෑම කලාවක් මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පරිවර්තනයන් සමඟ නිරන්තරව වෙනස් වේ. එබැවින් රංග කලාව පිළිබඳව ද ඇත්තේ වෙනස් වන්නාවූ ආකෘතීන් සමූහයකි. ශෝකෝත්පාදකය පිළිබඳ ඇරිස්ටෝටල්ගේ විග්‍රහයන් රංග කලාවට වඩා නාට්‍ය කලාව නැතහොත් සාහිත්‍ය ග්‍රන්ථවලට සීමා වූ එසේම විද්‍යාත්මක න්‍යාය පද්ධතියට අනුකූල එකකි. සෙනෙකාගේ රංග භාවිතයද සාහිත්‍යය ගත එකකි.

රචනාවලට පමණක් සීමා වූ එකකි. නමුත් ශේක්ස්පියර්, මාලෝ, චෙකොව්, ඉබ්සන්, ආතර් මිලර්, ටෙනිසි විලියම්ස් සහ සරච්චන්ද්‍ර ආදීන්ගේ න්‍යායාත්මක පදනම නාට්‍ය කලාවට අදාළ සාහිත්‍යගත මූලාශ්‍ර මෙන්ම රංග කලාවට අයත් ප්‍රායෝගික තලයෙන් ද පෝෂණය වූවකි. සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු ලෝම හංස සහ බව කඩතුරාව ආදී නාට්‍ය ශෝකෝත්පාදක ආකෘති, සංස්කෘත නාට්‍ය කලාවෙන් පෝෂණය වූ නාඩගම් ආකෘතිය සමඟ වූ සම්මිශ්‍රණයකි. ශෝකෝත්පාදක ආකෘතිය ශෛලිගත නැතහොත් පෙරදිග නාට්‍ය ධර්මී නාට්‍ය ආකෘතිය සමඟ එකතු වූ අවස්ථාවකි.

ශෝකෝත්පාදකය වූ කලී අලෞකික ප්‍රමෝදයක් ජනිත කරන්නකි. සැබෑ ජීවිතයේ වේදනාව හා භීෂණය ඇති කරන සිද්ධි කාව්‍යයෙන් හෝ නාට්‍යයෙන් දකින කල්හි ඇති කරනුයේ අලෞකික ප්‍රමෝදයකි. වර්තමානයේදී සිංහබාහු, ඊඩිපස් සහ ලියර් රජ ආදී නාට්‍යයක් රඟ මඬලේ දකින විට බිහි සහ කරුණ්‍ය පමණක් නොව පහන් සංවේගයක් ද ජනිත වේ. එය පෙරදිග රස විග්‍රහයේ එන ශාන්ත රසය සමඟ මුසුවීමකි. මේ පහන් සංවේගී ශාන්ත රසය දෝජෝ විහාරය, සුමිද නදිය වැනි නෝ නාට්‍යයකද දක්නට ලැබේ. ශෝකෝත්පාදක ආකෘතිය අප තේරුම් ගත යුත්තේ අපරදිග රංග ආකෘතියක් ලෙස නොව සමස්ත ලෝකයටම පොදු විශ්වව්‍යාප්ති රංග ආකෘතියක් ලෙසිනි. රෂෝමාන් සහ නිධානය වැනි චිත්‍රපටයක් නැරඹීමේදී අප ලබනුයේ භාව විශෝධනයකි.

එය බිය හා මුසු කාරුණ්‍ය හා ශාන්ත රසයෙන් හෙබි එකකි. ශෝකෝත්පාදක ආකෘතිය යනු පෙරදිග හා අපරදිග රංග කලාවේ තුලනාත්මක අධ්‍යයනයකින් බිහිවූ රංග ආකෘතියකි. මෙහි අනෙක් අන්තයේ ආකෘතිය සුඛෝත්පාදකය වේ. මෙම ආකෘතීන් දෙක හුදු විනෝදාස්වාදය ඉක්මවා ගිය ප්‍රශාවක් සත්‍යාවබෝධයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්නකි. මේ ප්‍රශාව සත්‍යාවබෝධය සහිත භාව විශෝධනයෙන් ශෝකෝත්පාදකය හා සුඛෝත්පාදකය වියුත්ත වූ කල, හුදු විනෝදාස්වාදය පමණක් අරමුණු කරගත් කල අතිනාටකය ද, ප්‍රහසනයද යන රංග ආකෘතීන් දෙක ඇති වේ.

 

 

 

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්