නාළිකා මෙතරම් තිබිලත් අද අපි ලබන ගීත රසය කුමක්ද?

සංගීතවේදී නවරත්න ගමගේ
ජනවාරි 28, 2021

ජීවිතය හරි පාරකට වැටෙන්නට නිවැරැදි මාර්ගෝපදේශයක් අවශ්‍යය. එවැනි මාර්ගෝපදේශයන් ලබන්නට සුදුසු උත්තම ගණයේ මිනිසුන් මුණ ගැසෙන්නේද කෙනෙකුගේ වාසනාවටය. එවැන් මිනිසුන් හමුවූ, ඔවුන් ඇසුරේ ජීවිතය කියවූ කෙනකුට කිසි දිනක පාර වැරැදිය නොහැකිය. එසේ හරි මඟක ජීවිතය ගෙනයමින් මෙරට සංගීත ලෝකය තුළ යහපත් නිර්මාණකරණයේ යෙදෙමින්, සුවහසක් ගීත ශ්‍රාවක පිරිස් සිය සුමියුරු සත්සරින් ආනන්දයටම පත් කරන්නා වූ සංගීතඥයෙකු පිළිබඳයි මේ සටහන.

ඔහු අනෙකකු නොව ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේය. මෙරට සුභාවිත ගීතය තුළ මෙන්ම චිත්‍රපට පසුබිම් සංගීතය, ටෙලිනාට්‍ය සංගීතය මෙන්ම වේදිකා නාට්‍ය සංගීතය තුළ ද ඔහුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ සුවිශේෂී බව ගොඩනැඟෙන්නේ ඔහු තුළින්ම උපන් නිර්මාණකරණයේ ඇති අපූර්වත්වය නිසාය. ඔහු සතුවන්නාවූ නිදහස්කාමී අදහස් උදහස්, කි‍්‍රයාකලාපයන් නිසාය. මුදල් පසුපසම හඹා යන වත්මන් සමාජ පසුබිම තුළ නවරත්න ගමගේ ලා සුවිශේෂී වන කාරණා රැසක් ඇතැයි විශ්වාස කළ හැකිය. ඔවුන් කිසිදිනක සිය නිර්මාණයන්ට වංක වන්නේ නැත. පරමාර්ථය නිර්මාණයේ උසස් බව විනා ඉන් ලැබෙන්නා වූ ආර්ථික වාසිය නොවන බැවින් , ඔවුහු එය සිය ජීවිතය හා සමාන කොට ගන්නේය. එවන් ආදරයකින් එක්රැස් කර ගන්නා ලද නිර්මාණ රාශියක හිමිකරුවෙකු බවට අද ඔහු පත්ව ඇත්තේ ඒ නිසාය. 

පසුගිය කාල පරිච්ඡේදය පුරා ලැබුණු නිදහස් ජීවිතය තුළ ඔහු තම සංගිත අත්දැකිම් තවදුරටත් ව්‍යාප්ත කරලීමේ උත්සාහයක නියුතු විය . ඒ ඔහු කලකට ඉහත කරන ලද ‘පනාමුර කුංච නාදය’ නම් වූ සංගීත සන්ධ්වනිය තවදුරටත් දියුණු කිරීමයි.

‘‘පනාමුර කුංචනාදය”‘ මම නිර්මාණය කළේ 2014 අවුරුද්දෙයි පනාමුරේ ඇත් රජු වස්තු විෂය කරගෙන නිර්මාණය වුණු මේ සංගීත නිර්මාණය කරන්න මම වසර 7-8 ක් වැනි දීර්ඝ කාලයක් පර්යේෂණයක නියුතු වුණා. පහුගිය කාලයේ රටේ ඇතිවුණ විවිධ අවාසනාවන්ත වාතාවරණයන් තුළ මෙය අපට වැඩිපුර ජනගත කරන්න අවස්ථාව ලැබුණේ නෑ. රටේ තිබුණු විවිධ දේශපාලනික සංසිද්ධීන් , බෝම්බ පිපිරීම් වැනි කාරණා මෙයට හේතුවුණා.

හැබැයි පසුගිය කාලයේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක අපි හැමෝම නිවෙස්ගතව ඉන්න කාලෙ මම මේ ගැන බොහෝ දුරට කල්පනා කළා. පරිසරයත් සමඟ අපේ තිබෙන ගණු දෙනුවේ අකාරුණික භාවය මේ සියල්ලටම හේතු වූ බව මම විශ්වාස කරනවා. මේ අකාරුණිකභාවය නිසා තමයි අද අපිට හුස්ම ගන්න බැරිවෙලා තියෙන්නේ. පනාමුරේ ඇත් රජු ට තිබ්බ වෙඩිල්ලත් මට දැනෙන්නේ අපේ පරිසරය විනාශයට අපි විසින්ම තියා ගත් වෙඩිල්ලක් විදියටයි. අනිත් පැත්තට හිතුවොත් ඒක අපි අපිටම තබා ගත් වෙඩිල්ලක්. ඒ නිසා මම හිතුවා ඒ නිර්මාණය තව ටිකක් ඩිවලොප් කරලා නැවත වතාවක් ජනගත කරන්න.

ඒත් එක්කම තව අලුත් නිර්මාණ කාර්යක් වෙනුවෙනුත් පසුගිය කාලය කැප කරන්න සිද්ධ වුණා. මහගමසේකරයන්ගේ කවි වෙනුවෙන් සංගිත නිර්මාණයක් කරන්න වැඩි කාලයක් පහුගිය කාලයේ වැය කළා.’

නිර්මාණකරුවෙකු ගේ ජීවිතයට විවේකයන් ඇත්තේ නැත. කොයි මොහොතේ කොතැනින් නිර්මාණය ජනිත වේදැයි නිශ්චය කළද නොහැකිය. නවරත්න ගමගේ ගේ ජීවිතයේද එවන් තැන් බොහෝය. කෙසේ වෙතත් ඔහුගේ සංගීතයෙන් හැඩවූ අපුරු චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව පසුගිය කෝවිඩ් කාලය තුළ අවස්ථාව ලැබිණ. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වූ ‘මිදුණු විශ්වයය’ නවරත්න ගමගේ ගේ සුමියුරු සත්සර රටා මේ චිත්‍රපටයට කෙතරම් සාධාරණයක් කර ඇත්දැයි මේ චිත්‍රපටය නැරඹුවහොත් ඔබටත් විඳීය හැකිය.

‘‘පහුගිය කාලයේ හුඟාක් නිදහසේ බොහොම ආදරයෙන් කරපු සංගීත අධ්‍යක්ෂණයක් තමයි මිදුණු විශ්වය චිත්‍රපටය. ජයන්තගෙන් ලැබුණු ආරාධනාවට මම උපරිම සාධාරණය කළා කියලා විශ්වාස කරනවා. මැත කාලයේ පසුබිම් සංගීත ක්ෂේත්‍රයේ මම බොහොම ආසාවෙන්, ආදරයෙන් කරපු නිර්මාණයක්. සිංහල සිනමාවේ අපි අහපු නාද රටා, අපි ආදරෙන් බැඳීලා හිටපු නාද රටා නැවත ප්‍රති නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුණා. අපට තිබුණෙ ඉතාම පෝසත් සංගීතයක්. බොහෝ දෙනා කියනවා හින්දි , දෙමළ අනුකරණාත්මක කියලා. ඒ කොහොම වුණත් මට ඕන වුණේ ඒ පෝසත් කම මේ තුළ ප්‍රතිනිර්මාණය කරන්න.’ 

මිදුණු විශ්වයට අමතරව නවරත්න ගමගේ තවත් චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණ කාර්යයකට එක් වුණේය. ඒ කි‍්‍රස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු හා ශි‍්‍රයානි අමරසේන කළ නවතම චිත්‍රපටය වෙනුවෙන්ය. මේ සමඟ ඔහුගේ මියුරු ගීත නිර්මාණ රාශියක්ද පසුගිය කාලය තුළ එළි දැක්කේය.

‘‘ ගීත නිර්මාණකරණයේ යෙදෙන එක නිරන්තරයෙන්ම මා අතින් සිදුවන දෙයක්. පහුගිය කාලය පුරාම නවක ශිල්පීන් රැසකටත් මට ගී තනු නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. මාධ්‍යයෙන් ප්‍රචාරය නොවුණත් මේ වනවිට විශාල ගී නිර්මාණ ටිකක් කරලා තියෙනවා. ටෙලිනාට්‍ය සංගිත අධ්‍යක්ෂණ කාර්යයන් ගත්තත් මම දැනට ටෙලිනාට්‍යයේ එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයකට සංගීත නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා. නමුත් පසුගිය කාලය තුළ ඒ පැත්තට මම නැඹුරු වුණේ හරිම අඩුවෙන්. ඒකට හේතු කාරණා කිහිපයකුත් තිබෙනවා. ඉස්සර නම් ටෙලිනාට්‍ය නිර්මාණය වුණේ නිර්මාණාත්මක ගුණය පදනම් කරගෙන. නමුත් වර්තමාන තත්වයත් සමඟ මේ නිර්මාණාත්මක ගුණය ඇතුළු බොහෝ දේ තීරණය වෙන්නේ මාධ්‍යයට ඕන ආකාරයට. මාධ්‍ය උවමනාවන් ඉටු කරන නිර්මාණකරණයක් නිදහසේ කරන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. අපි මේ මඟ මේතාක් ගමන් ගත්තේ ඉතා වටිනා පූර්වාදර්ශ සමඟින්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, ආචාර්ය රෝහණ වීරසිංහයන්, , එච්. එම්. ජයවර්ධනයන්, ස්ටැන්ලි පීරිස්, විශාරද ගුණදාස කපුගේ ඇතුළු පිරිසක් ගමන් කරපු සොඳුරු මාර්ගයක අපි ආවේ. ඒ අය වැඩ කරපු ආකාරය මම ප්‍රායෝගිකව දැකලා තියෙනවා.

අපේ රටේ සරල ගීතය ඉතා වටිනා තැනක තිබූවක්. එදා රසවිඳී ඒ ගී මිහිරේ ආස්වාදය අදටද කෙනෙකුගේ රස භාවයන් අවදි කරන්නක්. එවන් පූර්වාදර්ශ සමඟින් නිර්මාණකරණයට බට නවරත්න ගමගේ ගේ ගී නිර්මාණ පසුගිය දශක කිහිපයක් පුරා මේ රටේ ගීත ශ්‍රාවකයන්ට නැවුම් ආස්වාදයක් ලබා දුන්නේය. පෙරදා අප විඳී ගීතයේ නැවුම් මිහිර සේම, එම මිහිර විනාශ නොකරන්නා වූ නිර්මාණ රැසක් ඔහු දැයට දායාද කළේය.

‘‘ අපේ රටේ ගීතය තිබුණේ ඉතාම ඉහළ ස්ථානයක. වෙනත් තිසිම විද්‍යුත් නාළිකාවක් නොමැති යුගයේ, ගුවන්විදුලියෙන් ගීත ශ්‍රවණය කරමින් අපි කොයි තරම් රසඥතාවයකින් යුතු මිනිසුන් ලෙස ජීවත් වුණාද කියලා අද හිතනකොට, මේ තරම් නාළිකා එක්ක අද අපි විඳීන්නේ මොන ගී රසයක්ද කියලා හිතෙනවා. අපිට තිබුණු උසස් ගීත නිර්මාණය, උසස් ගී මිහිර අපි මාධ්‍ය උවමනාවන් පස්සේ ගිහින් විනාශ කර ගත්තා . මේ ඩිජිටල් අවකාශය තුළ ඕන දෙයක් අපේ තියෙන ෆොන් එකට ගෙන්න ගන්න පුළුවන් වුණාට එදා තිබුණ ගී මිහිරට ළංවෙන්න අදටත් අපි කාටවත් බෑ කියලයි මම විශ්වාස කරන්නේ. එදා මුත්තුසාමි , රොක්සාමි මාස්ටර්ලා, සරත් දසනායක ඇතුළු පිරිස අද තිබෙන තාක්ෂණය කිසිවක් නොමැතිව කරපු දේ අපිට තවමත් කරගන්න බැරිවෙලා තියෙනවා. එදා 30-40 ක වාදකමණ්ඩලයක් දාල කරපු දේ අද අපි 8-10 ක් දාල ෂේප් කරනවා. ඔවුන් කරපු ඒ සංගීතය නම් මා ඇතුළු කාටවත් තවම ජයගන්න බැරි වුණා කියන එකයි මගේ හැඟීම.

අද සමාජයේ මාකටින්, වීවිස් කියන වචන ඉතාම ජනපි‍්‍රය වචන දෙකක්. නමුත් මම නම් හිතන්නේ මේක නොදියුණු වෙළෙඳ පලක් විතරයි කියලයි. මේ විශාල අවකාශය තුළ හැම කෙනෙක්ම අනුන්ගේ දක්ෂතාවයන් හොරකම් කරන්න පටන් ගත්තා. යූ ටියුබ් ගත්තත්, මාධ්‍ය ආයතන ගත්තත් ලංකාවේ හොඳම සිංදු ටික විනාශ කිරීමේ වරප්‍රසාදය ගත්තා. සදාචාරයට පටහැනි වැඩ කළා. ඒක නිසා අපේ පෝසත් ගීත කලාව විනාශ වෙලා ගියා.’

කලාවක් ලෙසින් පෝෂණය කරමින්, ආදරය කරමින්, රැක බලා ගනිමින් මේ රටේ සංගීත කලාව පෝෂණය කරන්නා වූ නවරත්න ගමගේ වැන්නවුන් ගේ අක් මුල් දුව යන්නේ මේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ගේ නමක් දිනා ගත් සුපිරි වැඩ කරුවන්ගේ නිර්මාණ අභාසයත් සමඟය. මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍ර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්, සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය නන්දා මාලිනී, ආචාර්ය රෝහණ වීරසිංහ, පණ්ඩිත් අමරදේවයන් ඇතුළු මෙකී නොකී බොහෝ දෙනෙක් මේ පසුපස සිටින්නෝය.

ඒ සවිශක්තිමත් පාදම මත ඔහු අද බොහෝ දුර ගමනක් ගිය, මේ රටට අත්‍යාවශ්‍යම නිර්මාණකරුවෙකු වන්නේය. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට මේ ඊයේ පෙරේදා ගායන ලෝකයට පිවිසි ආදිත්‍යා දක්වාත් ගීතනු නිර්මාණය කිරීමේ වරප්‍රසාදය ඔහු හිමිකර ගත්තේය. එසේම ඔහුගේ නිර්මාණාලෝකයෙන් එළිය ලබන්නෝ මේ රටේ විවිධ ගායන ශෛලීන් ගෙන් නමක් දිතා ගත්තෝ වූහ. ඔහු පණ්ඩිත් අමරදේවයන්ට ගීතනු නිර්මාණය කළා සේම නිහාල් නෙල්සන් ටද ගී තනු නිර්මාණය කළේය.

‘‘මගේ නිර්මාණ ජීවිතයේ මම බෙහෙවින්ම සතුටු වන්නේ මගේ වේදිකා නාට්‍ය සංගීත නිර්මාණ වෙනුවෙන්. මුදලට වඩා නිර්මාණ ගුණය එතැන ඉතාම ඉහළින් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

වර්තමාන සමාජ වටපිටාව තුළ රසඥතාවය පිළිබඳ විවිධ ගැටලු වලට මුහුණ දෙමින් සිටියදී අනාගත පරපුරේ රස භාවයන් උද්දීපනය කිරීම වෙනුවෙන් නවරත්න ගමගේ වැන්නන් ගේ නිර්මාණ අවශ්‍යම කරන යුගයක, පවතින ආර්ථික වට පිටාවෙන් වියුක්තව සැබෑ උවමනාවකින්, නිර්මාණයේ ගුණාත්මකභාවය වෙනුවෙන් පමණක් පෙනී සිටින ඔහු වැන්නෝ අපට මහත් සම්පතකි. මේ ස්ථාවරයේ රැඳෙමින් සදාකල් අප පිනවන නිර්මාණ කරන්නට ඔබට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමු.


තිලක් පෙරේරා