රොඩිනි මෙහෙමයි බවලතා අරන් ආවේ

ජුනි 4, 2020

 
 ”අපේ පරිස්සම අපිම බලාගන්න ඕන. බස්එකට නඟින අය ගැන හොඳ සෝදිසියෙන් ඉන්න. බෝම්බ අරගෙන එහෙම නඟින්න පුළුවන්...”
 
 රොඞ්නි වර්ණකුල කියන්නේ අපට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහෝ දෙනාගේ මුවගට හාස්‍ය නංවන්න දක්ෂයෙක්. පේ‍්‍රක්ෂකයන්ගේ හදවතේ ඉබේම හාස්‍ය උපද වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ අපහසු කාර්යයේ නිරත වන රොඞ්නියි මෙවර වේදිකාවේ සිදු වුණු රස මුසු සිදු වීම් සමඟින් ඔබ හමුවට පිවිසෙන්නේ.
 
 රොඞ්නි, ප‍්‍රියන්ත සෙනෙවිරත්න, ගිරා (ගිරිරාජ් කෞශල්‍ය), ජූඞ්(ඇන්ටන් ජූඞ්) කියන්නේ හොඳ යහළුවෝ. ඔවුන් අතුරින් ප‍්‍රාණ හා සමානව සිටිය ජූඞ් සමුගන්නේ නොසිතුව විදියට. රොඞ්නි, ප‍්‍රියන්ත, ගිරා වගේම පේ‍්‍රක්ෂකයන්ගේ හදවත්වලට හාස්‍ය මුසු කළ ජූඞ් මේ වන විට ජීවන රඟමඬලෙන් සමු අරගෙන ගිහින් වසර අටක්. බොහෝ දෙනාට මේ වන විට ඔහුව අමතක වෙලා ගිහින් කිව්වොත් නිවැරැදියි. ඒත් ඔහුගේ ප‍්‍රාණ සමාන මිත‍්‍රයා රොඞ්නිට නම් ජූඞ්ට ඒ සිදු වුණු දේ අද ඊයේ වගේ. මේ තරම් කාලයක් ගියා කියලා හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසාමදෝ ඔහුගේ කතා අතර ජූඞ්ට ලැබුණේ මුල්තැනක්.
 
 ඇන්ටන් ජූඞ්ගේ ”සකි සඳමඬල” වේදිකා නාට්‍යය රොඞ්නිගේ කතා අතර මුල් තැනක් ගත්තා. ඒ කාලයේ ”සකි සඳමඬල” කියන්නේ රටේ හැමතැනම හොඳට දිව්ව වේදිකා නාට්‍යයක්. ඒකේ එක දර්ශනයක් තිබුණේ රත්නපුරයේ. නාට්‍ය කණ්ඩායමේ සියලූ‍ දෙනාම එකතු කරගෙන යන ඒ හැම කටයුත්තක්ම කළේ ජූඞ්. බොහොම පිළිවෙළට ඒ කටයුතු සංවිධානය කරලා තිබුණ නිසාම නාට්‍ය කණ්ඩායම එදා කොළඹින් යන්න උදෙන්ම පිටත් වුණා. හෝමාගම පහු වුණු විතරයි නඬේ ගුරාට හැදුණේ හොඳ බඩගින්නක්.
 
 ”බඩගිනියි... මට බඩගිනියි... උදේට කන්න පුළුවන් ළඟම තැනකින් ඉක්මනටම කමු”
 
 කියලා ජූඞ් කෑගහන්න පටන් ගත්තා.
 
 ”කුමාර බලපන් ඒකට හොඳ තැනක්”
 
 නාට්‍ය කණ්ඩායමේ හිටිය කුමාර ලියනගේට නඬේ ගුරා ජූඞ් කිව්වේ බඩගින්න ඉවසගෙන ඉන්න බැරිම තැන. ඒ අතර ඔන්න ඉතින් අවිස්සාවේල්ලට මෙහා තිබෙන කොස්ගමට පොඞ්ඩක් මෙහාට වෙන්න තියෙන බොහොම හොඳ තැනකට බස් එක ඇල්ලූ‍වා. ජූඞ්ගේ නාට්‍ය කණ්ඩායමේදි අපූරු සිරිතක් තිබුණා. ඒ නිතරම ඒ වගේ ගමනක් යද්දි උදේ කෑමට කණ්ඩායමේ හැමෝගෙම අතට යම් මුදලක් දීම. ඒක දීලා තිබුණ නිසා ජූඞ් කිසිම කෙනකුව බලන්නේ නැතිවම එතැන තිබෙන බොහොම සාරවත් බුෆෙ එකට රිංගුවා. ආප්ප, ඉදිආප්ප, බත්, පාන්වලින් සාරවත් මේ බුෆෙ එකේ කෑම බෙදා හදාගෙන කන්න හිතුව ජූඞ් කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතිව ගිහින් පිඟානක් අරගෙන බෙදා ගත්තා. නඬේ ගුරා ඒ කටයුත්ත ආරම්භ කළ නිසා ම නඬේ අනෙක් අයත් පිඟන් අතට අරගෙන බෙදා ගත්තේ වෙන කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතිවම. ටික වෙලාවක් ගියා. හැමෝම උදේ බත අනුභව කළා. ජූඞ් ජූඞ්ගේ සල්ලි ගෙව්වා. රොඞ්නි රෝඞ්නිගේ සල්ලි ගෙව්වා. ඒත් ඒ දෙන්නා එළියට එන කොට කණ්ඩායමේ හිටිය අනෙක් අය හිටියේ හොස්සට අත තියාගෙන ඔරෝගෙන.
 
 ”මොකද මල්ලි උදේට හොඳට කාලත් උඹලා තාම ඔරෝගෙන ඉන්නේ”
 
 කියලා ඒ අයගෙන් ඇහුවේ රෝඞ්නි පුදුමයෙන් වගේ.
 
 ”නෑ අයියේ උදේට නම් කෑවා. ඒ වුණාට මේ ඉන්නේ ගෙවාගන්න බැරි වෙලා. අපේ අතට ලැබුණේ රු150යි. ඒත් මෙතන කෑම එක රු350යි.”
 
 වෙලා තිබුණේ හරිම වැඩක්. කන්න කලින් කෑම එකක ගණන නොඅහපු නිසා කණ්ඩායම වැටිලා හිටියේ හරිම කරදරයක. මේ කාලයේ වගේ ඒ කාලයේ වැඩිපුර අතේ සල්ලි ගැවසෙන්නේ නැති නිසාත් ඔවුන් හිටියේ හරිම ප‍්‍රශ්නයකට මැදි වෙලා. රොඞ්නි කුමාරට මේ ගැන දැනුවත් කළා.
 
 ”අන්න ජූඞ් කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතිව උඹ කෑව හින්ද අනෙක් අයත් එතනින් කාලා දැන් ගෙවන්න විදියක් නැතිව ඉන්නවා. අතේ තියෙන්නේ රු 150යි.”
 
 කුමාර ජූඞ්ගේ කනේ තිබ්බේ වෙච්ච ඇබැද්දිය.
 
 ”ආ.... කීයද ගාණ ? මෙන්න ගාණ බලලා ගෙවපන්”
 
 ජූඞ් කිව්වේ කිසිම අදිමදි කිරීමක් නැතිව. ගාණ ගෙව්ව ජූඞ් කණ්ඩායමේ හැමෝම වාහනයට නග්ග ගත්තේ
 
 ”ආයෙත් ඉතින් රත්නපුරයේදි තමයි කන්න ඕන වෙන්නේ” කියාගෙන.
 
 ”ජූඞ් ඒ තරම් සැහැල්ලූ‍ හිත හොඳ මනුස්සයෙක්” රොඞ්නි කිව්වේ ඒ සුහද බව මතකයට නඟන ගමන්.
 
 මේ සිදුවීම සිදු වුණෙත් ”සකි සඳමඬල” නාට්‍ය යේදි. එදා නාට්‍ය දර්ශන තුනක්. නාරම්මල දඹදෙණියේ පාසලක තිබුණු මේ දර්ශන තුන සංවිධානය කරලා තිබුණේ ඒ පළාතේ ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින්. මේ දර්ශන තුන හොඳට කෙරුණ නිසා ඒ ගැන ඔවුන්ට වගේම සංවිධායක කණ්ඩායමගේ සිතෙත් තිබුණේ සතුටක්. ඒ සතුටට ඔවුන් ඒ ආසන්නයේම හෝටලයක බොහොම සුන්දර සාදයක් සංවිධානය කරලා තිබුණේ නාට්‍ය කණ්ඩායමෙන් අහන්නේ නැතිවම. ඔන්න බොහොම හොඳට සාදය නැඟලා ගියා. සියල්ලන්ම කෑමෙන් වගේම මධුවිතෙනුත් සප්පායම් වෙලයි හිටියේ. ගිරා (ගිරිරාජ් කෞශල්‍ය), ප‍්‍රියන්ත, ගාමිණී අම්බලන්ගොඩ, රොඞ්නි, ෆර්නි රෝෂිනි, තරංගා කුමාරි ඇතුළු කිහිප දෙනාත් ඒ සාදය බොහොම හොඳට වින්ඳා. මේ අතර සාදය අවසන් කරන්න කාලය පැමිණියා. සාදය සංවිධානය කරලා තිබුණු කණ්ඩායමට ස්තුති කළ යුතුයි. ඒ නිසා රෝඞ්නි ඒක පැවරුවේ ජූඞ්ට.
 
 ඒ වෙලාවේ නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ම රවුමට ඉඳගෙන හැමෝටම නිශ්ශබ්ද කරලා ජූඞ් කතාව පටන් ගත්තා. ඒ අතර මේ පිරිස අතර පුංචි පුංචි කතා නැතිවම නොවෙයි. ඒක දැක්ක ජූඞ් කළේ තමාගේ කතාව පැත්තක තියලා සභාව නිශ්ශබ්ද කරන එක. ඔන්න ආයෙත් ජූඞ් කතාව පටන් ගත්තා.
 
 ”දඹදෙනියේ ආදි ශිෂ්‍ය කණ්ඩායම ඉතාම....”
 
 කියන කොටම ගාමිණී හිමින් කතා කළා විතරයි ජූඞ් කතාව නැවැත්තුවා.
 
 ”ඒයි ගාමිණී.... ගාමිණී .... කතා කරන්න එපා. මමයි කතා කරන්නේ”
 
 ඒක කියලා නැවතත් අර වාක්‍ය ටික ජූඞ් කියන කොටම ගිරා කට හොලවනවා දකින ජූඞ් ආයෙත් කතාව නවත්තනවා. ගිරාව නිශ්ශබ්ද කරනවා. මේ විදියට පැය භාගයක් යනතුරුම ජූඞ් කළේ කතා කරන එක නවත්තලා අනෙක් අයගේ කතා නැවැත්තුව එක. ඊළඟට ජූඞ් දැක්කේ රොඞ්නිව.
 
 ”රොඞ්ඩා උඹ කතා කරපන්”
 
 අන්තිමට ජූඞ් ඒ කාර්ය පැවරුවේ රොඞ්නිට. රොඞ්නි සියල්ලන්ටම ස්තුති කරලා ජූඞ්වත් අරගෙන කොළඹ ආවා.
 
 මේක නම් සිදු වුණේ නාට්‍ය පුහුණුවීමකට කොළඹ යන අතරවාරයේදි. ඒ දවස්වල හරියට කොළඹත් යුද කලබල. එකපාරටම බෝම්බ පිපිරීම්. පරික්ෂා කිරීම්. මේ නිසා ඒ වගේ කාලයකදි රොඞ්නි තමන්ගේ ගමේ බෝපිටියේ ඉඳගෙන එන බසයෙයි කොළඹට ආවේ. ඒ එන අතරමඟදි මේ බසයට නැග්ගේ කළු උස මහත මනුස්සයෙක්. එකපාරටම ඔහු කතා කරන්න පටන් ගත්තා.
 
 ”අපේ පරිස්සම අපිම බලාගන්න ඕන. බස්එකට නඟින අය ගැන හොඳ සෝදිසියෙන් ඉන්න. බෝම්බ අරගෙන එහෙම නඟින්න පුළුවන්...”
 
 කියලා අනෙක් අය දැනුවත් කළ ඒ මනුස්සයා නිශ්ශබ්ද වුණා. බසය කොළඹට ආසන්න වුණා. තොටළඟින් දෙමළ කාන්තාවන් දෙදෙනකු නැග්ගා. ඔවුන් අතේ පාර්සල් දෙකකුත් තිබුණා නිසා මේ අය හිටියේ හොඳ හෝදිසියෙන්. ටික වෙලාවකින් ඒ කලබලයත් අවසන් වුණා. මේ විදියට ස්ටේඩියම් එක ළඟට බසය ආවා.
 
 ”කාගෙද බෑග් එකක් තියෙනවා. අයිතිකාරයෙක් ඉන්නව ද?”
 
 එකපාරටම එක මනුස්සයෙක් කෑගහන්න පටන් ගත්තා. බලන කොට පාර්සලයට කිසිම අයිතිකාරයෙක් නැහැ. අර කලින් නැග්ග ගැහැනු දෙන්නත් බැහැලා ගිහින්. ස්ටේඩියම් එක ගාව බසය නැවැත්තුවේ ඉද්ද ගැහුවා වගේ. බස් එකෙන් එක එක්කෙනා බහින්න පොර කෑවා. ඒක නිසා ඉක්මනට කිසිම කෙනකුට බහින්න ලැබුණේ නැහැ. මේ අතර රොඞ්නි කල්පනා කළා.
 
 ”මෙහෙම ගියොත් බෝම්බය පුපුරාවි. මොක ද කරන්නේ”
 
 රොඞ්නි හිටියේ බස් එකේ ජනේලයක් ගාව. රොඞ්නිට ආවේ ගණදෙවි නුවණක්. දෙපාරක් හිතුවේ නැහැ. අතේ තිබුණු පාර්සලය ජනේලයෙන් එළියේ කෙනකුට දුන්න රොඞ්නි ජනේලයෙන්ම කොහොම හරි එළියට පැන ගත්තා. ඒකට පස්සෙයි හොඳම වැඬේ වුණේ.
 
 තවදුරටත් කොන්දොස්තර පාර්සලයේ අයිතිකාරයා හෙව්වා. ඒපාරයි බසය පොලිසියට අල්ලන්න තීරණය වුණේ. මෙන්න එතකොටයි පාර්සලයට අයිතිකාරයා හම්බ වුණේ. ඒ කවුරුවත් නොවේ. අර වේලාසනම නැග්ග උස මහත මනුස්සයා. එයාට හොඳටම නින්ද ගිහින්.
 
 වරක් ගාමිණී හෙට්ටිආරච්චි, සුභාෂිණී හෙට්ටිආරච්චි, රොඞ්නි, දයාදේව එදිරිසිංහ, භද්‍රා නන්දනී ගුණරත්න ඇතුළු කිහිපදෙනකු ම රඟපෑව ”බවලතා” නාට්‍යය වේදිකා ගත වුණේ බණ්ඩාරවෙල නගර ශාලාවේ. බණ්ඩාරවෙල සිංහසමාජය සංවිධානය කරලා තිබුණ මේ 6.30 දර්ශනය හොඳින් වේදිකා ගත වුණා. විවේක වෙලාවත් පහුවෙලා නාට්‍ය අවසන් වෙන්න තවත් තිබුණේ විනාඩි 15 ක් වගේ. ඒත් එක්කම මුළු ශාලාවේම විදුලිය විසන්ධි වුණා. සංවිධායකවරු පේ‍්‍රක්ෂකයන්ව දැනුවත් කළේ තව විනාඩි 10ක් ඔහොමම රැුදිලා ඉන්න කියලා. ඒ ජෙනරේටර් එක ස්ටාට් කරන නිසා. තවත් විනාඩි 30ක් විතර ගෙවිලා ගියත් විදුලිය එන පාටක් නම් පේන්න තිබුණේ නැහැ. ඒ වුණත් පිටිපස්සෙන් නම් ඇහුණේ ගෝරියක සද්දයක්. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ ජෙනරේටරය ගෙනාව මනුස්සයා ජෙනරේටරය ගෙනාවත් ඒක ස්ටාට් කරන ඞීසල් ගෙනැත් තිබිලා නැහැ. ඒක දැන ගත්ත සංවිධායක කමිටුව ඒ මනුස්සයා අල්ලගෙන ගහන්න අරගෙන. පස්සේ ඞීසල් හොයාගෙන කොහොම හරි ජෙනරේටරය පණ ගන්ව ගෙන තිරය ඇරලා මා සුපුරුදු ගමනෙන් වේදිකාවට ගියා. මුළු පේ‍්‍රක්ෂකාගාරයම හිස්. කිසිම පේ‍්‍රක්ෂකයෙක් නැහැ.
 
 අන්තිමට මොනවා කරන්න ද? නාට්‍යය නවත්වලා දමලා සංවිධායකවරුන්ගේ සංග‍්‍රයත් බුක්ති විඳලා ”බවලතා” ත් අරන් නාට්‍ය කණ්ඩායම එන්න ආවා. ඔන්න ඔහොමයි සිද්ධ වුණේ.