‘අසම’ සිනමාවට වුවමනාය කලම්බෝ

අප්‍රේල් 8, 2021

'කොළඹ' සිනමාපටයේ මේ අසංවිධිත බවට පාදක වන සාධාරණ හේතුවක් ගළපා ගත හැකි ය. එනම් පාතාලයේ තරුණයන්ගේ ජීවන රටාව ද අසංවිධිත ය යන්න ය. සිනමාපටය එහිම ප්‍රකාශනයක් බවට පත් කරලීම අසමගේ අභිලාෂයක් සේ දැකීම යුක්ති සහගත නොවේ. මක් නිසාද යත් ඔහු මෙය වෙසෙසින් ම තහවුරු කරලන හෙයිනි

ප්‍රේක්ෂකයා මුළාවේ නො වැටිය යුතු ය.මේ අප හොඳීන් ම දන්නා කොළඹ නගරය නම් නොවේ. සිනමාපටයේ ප්‍රචාරක පාඨය පවසන්නේ 'කොළඹ - නගරයක් නොවේ, ජීවිතයක් ' ය යන්න ය. එනම් මේ කොළඹ යන කල්පිත නගරය යි. ඇත්ත කොළඹ නගරයේ දුරාතීතය, මෑත අතීතය හෝ වර්තමානය දත හැකි සලකුණු මෙහිලා සේවීම කළුනික සෙවීමටත් වඩා අසීරු ය. එහෙත් ප්‍රබලාකාරයෙන් සිනමාව ජනගත කිරීමට කොළඹ නො එසේනම් 'කලම්බෝ' යන්න මහෝපකාරී වන්නේ ඉහළ ම මට්ටමකිනි. ඉංගී‍්‍රසියෙන් 'කලම්බෝ' යන්න ලියැවෙන විට එන 'එල්' අක්ෂරය පිස්තෝලයක් සේ හඳුන්වා දෙන සිනමාකරු අසම ලියනගේ නො පමාව ඉන් උණ්ඩ නිකුත් කරන්නේ ප්‍රේක්ෂකයා තැති ගන්වමිනි. අසම, මේ තැති ගැන්ම සිනමාපටය පුරාවට ම පවත්වා ගෙන යනු පිණිස දක්වන උනන්දුව ප්‍රේක්ෂකයාට රහසක් නොවේ.

කල්පිත කොළඹ නගරය සේ අසම පළමු කොටම ප්‍රේක්ෂකයාට පෙන්නුම් කරන්නේ වර්තමාන කොළඹ නගරය බව සැබවි. සාගරයේ සිට ඉහළින් පැමිණ උස් ගොඩනැගිලි ද, ජනාකීර්ණ මං මාවත් ද ඔහු තිරය මත පතිත කරන්නේ අවචරප්‍රසාදිත නාගරිකයන් නො වලහා හසු කර ගැනීමේ චේතනාවෙනි.

කල්පිත කොළඹ නගරයේ කල්පිත පාතාලය නිරූපණයට ඉනික්බිතිව අසම සූදානම් වන්නේ කල්පිත ප්‍රවේශය නිසා සාක්ෂාත් කර ගන්නා නිදහස ආයාසයකින් තොරව උපයෝගී කර ගන්නා අතරතුර ය. මේ හරියට ඔවුනො'වුන් විසින් ම පාලනය කරනු ලබන , අනතුරුව පරිපාලනය කරනු ලබන ඉසව්වක් සේ පෙනේ. සිනමාපටය ආරම්භයේදී ම නිරූපිත ජවනිකා දෙක තුනක පසුබිම අසම ප්‍රේක්ෂකයාට පවසන්නේ පසු කාලයේදී ය. හුදු කතා රසය ඔප් නැංවීමට නො වෙහෙසෙන හෙයින් එබන්දක ඵලදායිතාව පිළිබඳ ගැටලු පැන නඟින්නේ කිසිදු පමාවකින් තොරව ය. ඇත්ත වශයෙන්ම මුල, මැද, අග සහිත හෝ රහිත පුවතක් විකාශය කරනු දැකීමේ අරමුණු සහිතව එන ප්‍රේක්ෂකයනට 'කොළඹ' ලබා දෙන්නේ සහනදායී පිළිතුරක් නොවේ. කතා පුවත ඇවැසි නම් ප්‍රේක්ෂකයා සපයා ගත යුතු ය. එහෙත් ඉන් ඵලක් වේ දැයි යන්න නම් පැහැදිලි නැත.ඊට සිනමාකරු අසමගේ දැක්ම ද ගමන් නො කරයි. වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ යම් විචක්ෂණශීලී බවකින් යුතුව සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා ය. මේ කල්පිත නගරයක , කල්පිත අඳුරු පාතාලයේ ඉරණම ය යන්න සැකයකින් තොරව දැක ගත හැකි වීමේ ඉඩ ප්‍රස්ථාව ද කෙමෙන් ප්‍රේක්ෂකයා වෙතින් දුරස් වේ. අවසානය බිහිසුණු ය.මන්ද අවසානය දෘශ්‍යමාන ගැඹුරකින් යුතුව ශුන්‍ය විය හැකි බැවිනි.

'කොළඹ' සිනමාපටයේ මේ අසංවිධිත බවට පාදක වන සාධාරණ හේතුවක් ගළපා ගත හැකි ය. එනම් පාතාලයේ තරුණයන්ගේ ජීවන රටාව ද අසංවිධිත ය යන්න ය. සිනමාපටය එහිම ප්‍රකාශනයක් බවට පත් කරලීම අසමගේ අභිලාෂයක් සේ දැකීම යුක්ති සහගත නොවේ. මක් නිසාද යත් ඔහු මෙය වෙසෙසින් ම තහවුරු කරලන හෙයිනි.

අසම තම ප්‍රමුඛ තරුණයන් තිදෙනාගේ ජීවිතාපේක්ෂා හසු කර ගැනීමේදී දක්වන සංවේදිතාව වරෙක සිනමාපටය යා යුතු සුපැහැදිලි මඟක් තිබෙන වග ඉඟි කිරීමකි. කෙසේ නමුත් මෙබඳු හැගීම්බර කාරණා සමඟ දුර දිග යන ගනු දෙනු පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු සාධනීය ආකල්ප නො දක්ව යි. එසේම ඊට වුවමනා විවේකය ද ඔහු තුළ නො මැති හැඩ ය.

එක් තරුණයකුගේ අපේක්ෂාව එක දරු පෙම්වතිය සමඟ සුපෙම්බර ජීවිතයක් උදා කර ගැනීම යි. තවත් තරුණයකු මිතුරියකගේ ආදර වදන් තුළින් ප්‍රහර්ෂයක් ලබ යි. තෙවැන්නා සිහින දකින්නේ කවදා හෝ සිනමාකරුවකු වීමට ය. ඔහු සිනමා තිරනාටකයක් ද රචනා කොට තිබේ. සිනමාපටයට ඈඳෙන තවත් තරුණයන් දෙදෙනෙකි. ඔවුන'තුරෙන් එකෙකු තමන්ගේ තාඩන පීඩන ලද යුවතියක පිළිබඳ ආදර සිතක් ඇති කර ගනියි. මොවුන් දෙදෙනාම ඉහළ පෙළේ ව්‍යපාරිකයන් වීමේ අදහසින් ම පසුවෙති.

මේවා ඔස්සේ යනු වෙනුවට අසම වෑයමෙන් එක් කරන්නේ දියමන්ති ජාවාරමකට අදාළ තතු ය. මෙවැනි අනීතික ගනු දෙනු නගරයේ පාතාලය විෂයෙහි සිදුවීම අරුමයක් නොවේ. අසම සිය කල්පිත ප්‍රවේශය තව දුරටත් තීව්ර කරන්නේ දියමන්ති ජාවාරම මෙ සමයේ තාත්වික ලෝකයට රැගෙන නො එමිනි. එය එ දවසට ද වලංගු වන ආකාරය පිළිබඳ ඔහු මතු කරන ප්‍රශ්නය සහේතුක ය. මෙවැනි සරල අනීතික ගනු දෙනු වෙතින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදල් ඉපැයීම දෙස ප්‍රේක්ෂකයා බලා සිටින ආකාරය ගැන අසම සැලකිලිමත් නො වීම එක අතකට හොඳ ය.නැතිනම් ඔහු ප්‍රේක්ෂකයා සමඟ යම් ආරවුලකට පැටලෙනු ඇත.

මෙසේ අසමගේ කල්පිත නාගරික පාතාලය තුළ මත්පැන්, දුම්වැටි හා ගහ බැන ගැනීම් ඕනෑ තරම් ය. මිනිස් ඝාතනයක් ද ඔහු වරෙක එක් කරන්නේ අර කල්පිත මුහුණුවර තමාට තර්ජනයක් යැයි දැනුණු නිසා විය හැකි ය.

කෙසේ නමුත් අසම දිගින් දිගට ම වෑයම් කරන්නේ සිදුවීම් බහුල ප්‍රවේගවත් සිනමාපටයක් සේ 'කොළඹ' ඉදිරිපත් කරන්නට යි. පුරුෂ මූලික බව ඊට සහය කර ගැනීමට ඔහු දෙවරක් නො සිතන බව පැහැදිලි ය. හේමාල් රණසිංහ හා ධර්මපි‍්‍රය ඩයස් මෙතැනදී ඔහුට ලබා දෙන තල්ලුව කැපී පෙනේ. ධර්මපි‍්‍රය , තමා උපයා ගත් සමත්කම් සමහරක් නිර්ලෝභීව භාවිත කරයි. හේමාල්ට සිදුවන්නේ සිය තරු ගුණය ද රැකගෙන සැරිසරන්නට ය. සිනමා රංගනය සඳහා ඔහුට ලැබෙන සීමිත අවස්ථා ප්‍රමාණවත් නො වන වග මේ සිනමාපටය ද පවස යි.

අසම පළමු කොටම ජය ගත යුතුව තිබූ තත්ත්වයක් ප්‍රේක්ෂකයාට ගෝචර වන්නේ සිනමාපටය මුළුමනින් ම වාගේ නැරඹීමෙන් අනතුරුව යි. එනම් සිය තිරනාටකය හා සංස්කරණ විලාසය අතර අනෝන්‍ය අවබෝධයක් ප්‍රමාණවත් ව වගා කර ගත යුතු වීම ය. සිනමාපටය එක්තරා ආකාරයකින් සංස්කාරකවරයාගේ මුද්‍රා ව සනිටුහන් කළ ස්ථානයක්දැයි කියා හැඟෙන්නේ මේ නො පෑහීම ද නිසාවෙනි.

'කොළඹ' රඳවා ලිය යුත්තේ කොතැනක ද යන ප්‍රශ්නයටත් පිළිතුරක් සෙවිය යුතු ය. ඒ අසම වැනි නිකරුණේ සිනමා අධ්‍යක්ෂණයට නො පැමිණෙන තරුණයන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. ජීවිතය හා සමාජය පිළිබඳ නවමු අරුත් කුළුගැන්වූ සිය සිනමාපට ජනගත කර ගත නො හැකිව ලතැවෙන සිනමාකරුවන් හා ඔවුනගේ බල හීන පාර්ශ්වකරුවන් අබියස අසමට 'කොළඹ' ජනගත වන අයුරු දෑසින් ම දැක ගත හැකිව තිබේ. සිනමාපටයේ රූප රචනයේ සූක්ෂමතා කෙරෙහි අවධානය යොමු කරලිය හැකි ආකාරයේ ඉඩක් ඔහුට ද ලැබීම වැදගත් ය.

මේ කල්පිත නගරයක, කල්පිත පාතාලයක, කල්පිත තරුණ ඉරණම නිරූපිත සිනමාපටයක් සේ ලඝු නො කිරීමට ද ප්‍රවේශම් විය යුතුවේ. සිනමාවට තවත් ආකර්ෂණීය හැඩ තල තිබෙන බව පැවසීමට දැරූ ප්‍රයත්නයක් ලෙසින් ද 'කොළඹ' නිශ්චය කළ හැකි ය. අනුකරණය හා ආභාසය මෙහිලා ගළපා ගත යුත්තේ ස්වීයත්වයට හානි නොකරන ප්‍රමාණයකට ය. අසමගේ තරාතිරම ඇත්තේ එතැන යි. සිනමාපටය ද එතැන රැඳවිය යුතු ය.