කලාපානිගේ විල්මට් සිනමාවට පැමිණි හැටි

අප්‍රේල් 1, 2021

සීමාසහිත සිනමාස් සමාගම 1964 වසරේ අපේ‍්‍රල් මාසයේ 10 වැනිදි තිර ගත කළ ධීවරයෝ චිත්‍රපටය, ගාමිණි ෆොන්සේකා මුල්වරට එම සමාගමේ චිත්‍රපටයක ප්‍රධාන නළුවා වූ අවස්ථාව විය. එයට පෙර සිනමාස් තැනූ සංදේශය හා අදට වැඩි හෙට හොඳයි යන චිත්‍රපට යුගලෙහිම ගාමිණි උප ප්‍රධාන නළුවා විය. ධීවරයෝ බලන්නට රැස්කමින් සිනමාහලට ඇතුළු වූ ප්‍රේක්ෂකයන් ඉදිරියේ සිනමා පටය දිගහැරෙන්නට විදුලි පහන් නිවා දැමිණි. එකවරම චිත්‍රපටයේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර කියාත්මක වී රිදි තිරය මතට ආලෝකය වැටිණ. ප්‍රේක්ෂකයන් දෑස් අයා බලා සිටියේ සිනමා රූපරාමු දෙසය. සිනමාස් සමාගමේ මීළඟ චිත්‍රපටයේ ද ප්‍රධාන නළුවා වූයේ ගාමිණී ‌ෆොන්සේකාය. එහි කොටස් කිහිපයක් තිරයේ පතිත විය. මොහොතකින් තිරය මත වූ රූපරාමු එහා මෙහා විසිවී සෙලියුලොයිඩ පටිය කැඩී ඒ මේ අත ගිය බවක් පෙනුණේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ දෝසයක් හැටියටය. ප්‍රේක්ෂක හූ හඬ මැද කැඩුණු පටිය අහකටම විසි විය. එකල එය සාමාන්‍ය සිදුවීමක් වුවත් අලුත් චිත්‍රපටයක් ආරම්භයේ දී කිසිවිටෙකත් එලෙස සිදුවන්නේ නැත. එහෙත් මෙහි එහෙම විය. ඒ සැණින් සිනමාහල දෙදරවමින් ප්‍රේක්ෂකයෝ හූ කියන්නට වන්හ. හිස් තිරය මතට ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ආර්ක් ලාම්පුවෙන් තද ආලෝකය පමණක් පතිත වී තීබණ.

හූ හඩ සිනමාහලේ වහල විනිවිද ඇසෙන සුළුය.

සැණෙකින් තිරයේ ඉහළ සීමාවට මදක් පහළට වන්නට තිරය පසාරු කරගෙන කිණිස්සක් මතුවූයේ නිහඬ ශබ්ද පටයට සංගීත සංයෝජනයන් ද සපයා දෙමින්ය.

ප්‍රේක්ෂකයෝ තිගැස්සිණ. හූ හඬ එකවරම නතර විය. සිනමාහලම මීයට පිම්බාක් මෙන්ය.

තිරයට අණින ලද කවුරුන් හෝ කිණිසිකරු තව දුරටත් එය පහළට ඇද රිදි තිරය බ්‍රාස් ගාමින් දෙපළු කළේය. ඒ අතරින් සිය වම් කකුල එළියට දමා නරඹන්නා ඉදිරියේ ප්‍රවිශ්ඨ වූයේ අන් කවරෙක් හෝ නොව ඒ වන විට සිංහල සිනමාවේ දැවැන්තම බලාපොරොත්තුව වී සිටි ගාමිණි ෆොන්සේකාය. නරඹන්නන්ගේ විසිල් හඬ මෙන්ම ඔල්වරසන් හඬ ඊළඟ මො‌හොතේ සිනමාහලේ වහල මතින් ඈතට ඇසිණ. තත්පර ගණනකින් හූහඬ විසිල් හඬක් වූ හැටි

රිදි තිරය දෙපළු කොට සිනමාහලට ප්‍රවිෂ්ඨ වී ප්‍රේක්ෂකයා දෙස බලා සිටින ගාමිණි ෆොන්සේකා ගේ රූපය මත සුප්‍රකට නිවේදක කරුණාරත්න අබේසේකරයන්ගේ ගැඹුරු හඩින් ඇසෙන්නේ.

'කලාපානිගේ විල්මට් හෙවත් චුට්ටේ,

ගාමිණි ෆොන්සේකා,

සිනමාස්ගේ චණ්ඩියා

ටයිටස් තොටවත්තගේ වැඩක්‘ එපමණකි.

තත්පර තිහක් වත් නැති තරම් මේ කෙටි පූර්ව ප්‍රචාරක පටිය (ටීසර් පටය) සිංහල සිනමාවේ මුල්ම ටීසර් පටිය විය. එය නිමාවෙත්ම ධීවරයෝ තිරය මත දිග හැරිණ.

 

ගාමිණි එහි නිරූපණය කරනුයේ ෆ්‍රැන්සිස්ගේ චරිතයයි. එහි එක් ජවනිකාවක ෆ්‍රැන්සිස් රා කලයක් ගෙන වාඩිවෙයි. ඔහු පසුපසින් ගාමිණගේ රූපය සහිත පෝස්ටරයකි. එනවා සිනමාස්ගේ චණ්ඩියා එහි සඳහන්ව තිබිණ. සිනමාස් ප්‍රචාරක ක්‍රමය හරියටම හරිය.

චණ්ඩියා තිර ගත වූයේ ධීවරයෝ තිර ගත ව හරියටම අවුරුද්දක් පිරුණ විටය.

පදික වේදිකාව මත ඇන තබාගෙන කාසියක් උඩ දමමින් සිටින නව චණ්ඩියෙකු අසලට පැමිණෙන චුට්ටේය. එය ඔහුගේ මධ්‍යම දුර දර්ශනයකි.

නව චන්ඩියා නැඟිට චුට්ටේට පහර පිට පහර දී බිම දමයි. මේ අතීතාවර්ජනයකි.

කලාපානී විලමට් හෙවත් චුට්ටේ හැදෙන්නේ මුඩුක්කුවකය. පළාතේ එවකට ගණන්කාරයා වූ තඩිපියාට පහර දෙන ඔහු ප්‍රදේශයේ ගණන්කාරයා බවට පත් වෙයි. එයින් පසු පළාතේ සමාජ ශාලාවක හිමිකරු වූ කළුමහත්තයාගේ ගෝලයා වනුයේ ඔහුය. චුට්ටේගේ පෙම්වතිය සුමනාය. සුමනාගේ පියා බේබද්දෙකු වූ පිලෝරිස්, කළුමහත්තයාගේ ණයකාරයෙකි. මේ නිසාම කළු මහත්තයාගේ ද බලාපොරොත්තුවක් වනුයේ සුමනාය. සිසිල් බීම සමාගමක වෙනත් රැකියාවක් සොයා ගන්නා චුට්ටේ සුමනාගේ අවවාද අනුශාසනා මත යහපත් ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරයි. කළුමහත්තයා චුට්ටේ මරා දැමීමට සැලසුම් කරන්නේ චුට්ටේ ගේ හිතවතා වූ පෙදෝරිස්ගේ විවාහයේදීය. ඒ පාපැදියකට බෝම්බයක් ඇටවීමෙනි. එයින් මිය යනුයේ පිලෝරිස් සහ සොහොයුරාය. චුට්ටේ කළුමහත්තයාට මෙන්ම ගෝලයා වූ අණ්ඩයාටත් පහර දෙයි. කළුමහත්තයා මෙන්ම අණ්ඩයා ද සිර ගෙට යයි. චුට්ටේ අධිකරණයෙන් අත් හිට වූ සිර දඩුවම් ලබයි. චුට්ටේ හා සුමනා දැන් එක් දරු යුවළකි. මේ අතරවාරයේ අහම්බයෙන් මෙන් රාත්‍රි සමාජ ශාලාවක හිමිකරු වූ කාල් වයමන් හා ඔහුගේ සහකරු මිල්ටන් චුට්ටේට හඳුනා ගන්නට ලැබෙයි. චුට්ටේ කාල් හා එක්වනුයේ කෙසේ හෝ ධනය උපයා ගැන්මේ අරමුණෙනි. සුමනා හා අමනාප වන චුට්ටේ නිවසින් ගොස් කාල්ගේ සමාජ ශාලාවේම නවතැන් ගනියි. මේ අතරවාරයේ පෙදෝරිස්ගේ භාර්යාව මිය යයි. ඇයගේ දානය වෙනුවෙන් චුට්ටේ කැඳවා ගෙන යාමට ඔහු සමාජ ශාලාවට පැමිණෙයි. මිල්ටන්ගේ පාවාදීමක් මත කාල් පසුපස පොලිසිය ලුහු බදියි. පොලිසියෙන් බේරිමට පලා යන කාල් හා පෙදෝරිස් රිය අනතුරිකින් මිය යයි. ආපසු නිවසට එන චුට්ටේ දකිනුයේ තම තැන ගන්නට වෙනත් චණ්ඩින් බිහිව ඇති බවයි. පෙදෝරිස්ගේ භාර්යාවගේ දානය අතරතුර ඔහුට සුමනා මුණ ගැසෙයි. සුමනා චුට්ටේ ට එක් පොරොන්දුවක් වෙයි.

ඔයා එනතුරු මම බලා ඉන්නවා.

චුට්ටේ පොලිසියට බාර වනුයේ එයින් පසුවය.

මේ චණ්ඩියා චිත්‍රපටයේ කථාවයි. එහි චුට්ටේ ගාමිණි ෆොන්‌ේකාය. සුමනා, අනුලා කරුණාතිලකය. කළුමහත්තයා එච්.ඩී. කුලතුංගය. පිලෝරිස්,ඩී.ආර්. නානායක්කාරය. කාල්, කාල් ගුණසේනය. මිල්ටන්, ඩොමි ජයවර්ධනය. පෙදෝරිස්, ජෝ අබේවික්‍රමය. අණ්ඩයා, ඇන්තනි සී. පෙරේරාය. දියණිය, බේබ් මධුමතිය. බේබි මධුමති සම්මානනීය නිළි ශාන්ති ලේඛා ගේ දියණියයි.

චණ්ඩියා ටයිටස් තොටවත්තයන්ගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය විය. එයට පෙර ඔහු උපාලි වනසිංහ අධ්‍යක්ෂණය කරන ලද දස්කොන් චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂ වූයේය. චණ්ඩියා චිත්‍රපටයේ සුමනාගේ චරිතයට මුල් තේරිම වූයේ පුණ්‍යා හීන්දෙණිය ලෙස පුවත්පත්වල සඳහන් විය. එහෙත් චිත්‍රපටයේ මුහුරත් උලෙළ දවසේ එය වෙනස්ව තිබුණේ විජිත මල්ලිකා හැටියටය. එහෙත් ඒ වන විට ගම්පෙරළිය චිත්‍රපටයෙන් සිනමාවට හදුන්වා දෙන ලදුව රන්තෝඩු නාට්‍යයෙන් වේදිකාවේ හොඳම නිළිය ලෙස සම්මාන දිනූ අනුලා කරුණාතිලක සුමනා ලෙස චන්ඩියාට එක්වූවාය.

ටයිටස් තොටවත්ත නැතහොත් ටයි මහත්තයා සිංහල වෘත්තාන්ත සිනමාවට එළැඹෙනුයේ රේඛාව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ හා සංස්කරණ ශිල්පියා හැටියටය. එයින් පසු සංදේශය, රන්මතු දූව, ගැටවරයෝ වැනි චිත්‍රපට රාශියක් ටයි මහත්තයා අතින් සංස්කරණය විය. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම දේශිය සිනමා වංශය ග්‍රන්ථයෙහි ප්‍රථම කාණ්ඩයේදී චණ්ඩියා හා ටයි මහත්තයා ගැන වැදගත් විස්තරයක් ගෙන දෙයි. එය මෙසේය. ‘1960 දශකයේ මහා සිනාමකරුවන් අතර ටයිටස්ගේ නම සහ මුද්‍රාව සටහන් කර තැබීමට චණ්ඩියා පමණක් වුව ප්‍රමාණවත් වේ. චණ්ඩියා ජනප්‍රිය සිනමාවට නව මුහුණුවරක් ලබා දෙමින් එහි හැඩ තල මෙන්ම අර්ථ සාධනය ද වර්ධනය කළ චිත්‍රපටයයි. ටයිටස් තොටවත්ත, අතින් තනා ගත් සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් චිත්‍රපට නරඹන්නට පටන් ගත්තේ කොළඹ ආනන්ද මහා විදුහලේ ඉගෙනුම ලබන අවදියේය. ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන් වෙතින් සංගීතය හදාළ ටයි මහත්තයා හෙළ හවුලේ අනුගාමිකයකු විය. එබැවින් ඔහුගේ සිනමා කෘතින්ගේ නාමාවලියෙහි අධ්‍යක්ෂ, සංස්කරණය, සංගීතය වැනි තනතුරු සඳහා තිබුණේ අදියුරු, සකසු, මියැසි වැනි නාමයන්ය. ඔහු සුඛේන්ද්‍ර දත් යටතේ මනිපුරි, කතකලි නැටුම් ද ශේෂා පලිහක්කාර යටතේ මුද්‍රා නැටුම් ද හදාළේය. ශේෂා පලිහක්කාරගේ නල දමයන්ති මුද්‍රා නාටකයේ නල කුමරු වූයේ ද ඔහුය. චිත්‍ර ශිල්ප හැදැරුවේ ජේ.ඩී.ඒ. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහගෙනි. හේවුඩ් ආයතනයෙන් මූර්ති ශිල්පය ඉගෙන ගත්තේය. සිතාර් වාදනයේ මෙන්ම තබ්ලා වාදනයේ ද ඔහු නිපුණතා දැක්වීය. ඔහු කැමරාකරණය හැදෑරුවේ මරදානේ ටෙක්නිකල් කොලිජියෙනි.

රජයේ චිත්‍රපට අංශයට ආධුනිකයකු ලෙස දායක වන ඔහු එහිදී සිනමා සංස්කරණය හැදෑරුවේය. ඔහුගේ ගුරුවරුන් වූයේ ඉතාලි නවතාත්වික වාදයේ ආභාසය ලද ජුලියෝ ෆෙට්රෝනි ,ෆෙඩ්‍රිනෝ සේරා හා බ්‍රිතාන්‍ය විශිෂ්ට වාර්තා සිනමා කරුවකු වන රැල්ෆ් කීන්ය. ආචාර්ය ලස්ටර් රේඛාව නිර්මාණය කරන්නට රජයේ චිත්‍රපට අංශයෙන් නික්මෙද්දී ඔහු සමඟ එළියට බට දෙදෙනාගෙන් එක් අයෙකු වූයේ ටයිටස් තොටවත්තයන්ය.

ටයිටස් තොටවත්තයන් සිනමාස් සමාගම වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් තැනූ සංදේශය චිත්‍රපටයේ ද සංස්කරණ ශිල්පියා විය. සිනමාස් සමාගමේ නිෂ්පාදනයක් වූ අදට වැඩිය හෙට හොදයි දුටු ටයි මහත්තයාගෙන් නිෂ්පාදක කේ. ගුණරත්නම් චිත්‍රපටය පිළිබද විතාල විට ඔහුගේ පිළිතුර වූයේ ‘අදට වැඩිය හෙට ගඳයි‘ යන්නයි. මෙය අතිශයෝක්තියක් නොවිය හැක්කේ ටයි මහත්තයා එබඳු කතන්දර සඳහා ද චිරපතළ බැවින්ය. කෙ‌සේ වෙතත් නිෂ්පාදක ගුණරත්නම් ටයිටස් තොටවත්තයන්ට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ආරාධනා කළේය. සිනමාස් සමාගම වෙනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ දෙවැනි ලාංකිකයා ද ටයිටස් තොටවත්තයන්ය.

චණ්ඩියා චිත්‍රපටය ගැන බොහෝ දේ ලියන්නට තිබේ. චිත්‍රපටයේ නාමාවලියේ හා ඉතිහාසයේ ද වෙනසක් ඇත. ඒ ගැන සීමා රහිත සිනමා මාන්දමෙන් ලබන සති කිහිපය ඇතුළත කියවමු.