සුනිල් ටී ට ප්‍රශ්න පහක්

මාර්තු 11, 2021

 

සිනමා ක්ෂේත්‍රය යනු නේක කතා මැවෙන තැනකි. මේ දිනවල එවන්වූ කතාවක කතා නායකයා වන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු. ඔහුගේ නවතම නිෂ්පාදනය වන අපට සැදුන අපේ ලෝකය සිනමාපටය නිසා සුනිල්ට පහර දෙන්නට හේතුවක් එනතුරු බලාසිටි අය පහර දෙති. සිනමාපටය නරඹා එය සිත්ගත් අය සුනිල් ටී.ව වර්ණනා කරති. එය එසේ වෙද්දී අපිට සැදුණ අපේ ලෝකය ගැන මැවුණු කතන්දර රැසක් මේ වන විට අත්තටු ලබා ඉගිළෙති. අපද ඔහුගෙන් කෙටි ප්‍රශ්න කිහිපයක් මෙසේ විමසුවේ ඒ ගැනය.

 

ලෝ ප්‍රකට චිත්‍රපට බෙදා හැරිමේ සමාගමක් වන netfix මඟින් අපට සැදුන අපේ ලෝකයේ චිත්‍රපටයට නඩු දාන්න සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

මේකනෙ පුතා. අද ලංකාවට ඇවිල්ලා හෙට කාටවත් නඩු දාන්න බෑ. අනික එහෙම කිසිම දැනුම්වත් කිරීමවත් මට කරලා නෑ. ඔය මේ අපේම අය තමයි මේ වගේ කතාවක් හදාගෙන දඟලන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවේ රෙජිස්ටර් වෙලා තමයි වැඩ පටන් ගත්තෙ. රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතියක් ලැබුණානේ. සංස්ථා මණ්ඩලයෙම තමයි චිත්‍රපටය දුවන්නේ. චිත්‍රපටය ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ ඒ තැන්වලින් තමයි අපෙන් දෙයක් විචාරන්න ඕනි. නැතුව මේ එක එක අය එක එක දේවල් කිව්වට එහෙම චිත්‍රපටිවලට නඩු දාන්න බෑ. මුහුද හත් ගව්වක් තියාගෙන තමයි මේ අමුඩ ගහන්න කට්ටිය සූදානම් වෙන්නේ.

 

ඇයි මේ තරුණ පිරිස ඔබ දරුණු අන්දමින් විචාරයට ලක් කරන්නේ? ඔබත් ඒවට ඊට නොදෙවැනි අන්දමින් ප්‍රතිචාර දක්වනවා?

තරුණ පිරිස එක්ක කිසිදු තරහක් මගෙත් නැහැ. බොහෝ තරුණ නිර්මාණකරුවන්ගේ හිරවෙලා තිබුණු චිත්‍රපට තිරගත කරන්නට මූලිකත්වය ගත්ත කෙනෙක් මම. ඊට හොඳම උදාහරණ ටික තමයි නිනෝ ලයිව්, සය පෙති කුසුම, හෝ ගානා පොකුණ, බොරදිය පොකුණ වැනි චිත්‍රපට. එහෙම තරුණ පිරිසක් එක්ක මම ගැටුම් ඇති කරගන්නවා නම් බොහෝ අයගේ මුල් චිත්‍රපටය මම නිෂ්පාදනය කරන්නේ නැහනේ. තරුණ පිරිසත් එක්ක නිතරම මට වැඩ කරන්න පුළුවන්. ඔය වයස අවුරුදු විස්ස විසිපහ අයව දාගෙන තමයි රිකීෆ්ලික්ස් කියන ප්ලැට්ෆෝම් එකත් මම හැදුවේ.

 

ෆේස්බුක් එකේ ඔබට එක එක දේවල් කියන පිරිස ඔබත් එක්ක යම්කිසි තරහකින්ද ඉන්නේ?

ඒක මට කියන්න බැහැනේ. සමහරු චිත්‍රපටයට බනින්නෙ අඩුම තරමේ ට්‍රේලර් එකවත් බලන්නේ නැතුව. ඒ අය ගැන කවර කතාද.

 

ඇතැම් විට සිංහල සිනමාවේ දුෂ්ටයකු ලෙස ඔබව ඔවුන්ට පේනවා ඇති?

ඒ කියන්නේ හැමෝම නෙවේ. තුන් හතර දෙනෙක් තමයි ඔය වගේ මට කියන්නේ. ඒ අය මාව දැකලවත් තියෙනවද නෑ අඩුම තරමේ මූණට හමුවෙලාවත් නැහැ.

 

බැරිවෙලාවත් ඒ අය ඔබේ මුහුණට හමු වුණොත්?

මූණට හමු වෙනවා තියා මම ඒ අය ගැන තොරතුරු හොයා බලද්දී අඩුම තරමේ ෆේස්බුක් එකට ප්‍රොෆයිල් පින්තූරයක්වත් ඔවුන්ගේ නැහැ. ෆෝන් නම්බර් එකක්වත් හොයාගන්න නැහැ. කිහිපවතාවක් ඔවුන්ව සම්බන්ධ කරගන්නට උත්සාහ කළත් එකක්වත් කරගන්න බැරි වුණේ ඒවා බහුතරයක් ෆේක් එකවුන්ට් හින්දා. කියන්න තියෙන දෙයක් හැංගි හැංගි කියන්නැතුව පුළුවන් නම් මට කෝල් එකක් දීලා කියන්න.

 

 

තිලක් පෙරේරා