ගොවි තාත්තා කියන්නේ මගේ තාත්තාගේ කතාව

සිනමාකරණයට පිවිසෙන සංගීත අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක
ජූලි 4, 2019

දර්ශන රුවන් දිසානායක . . . අපේ සංගීත ක්ෂේ්ත්‍රය තුළ වෙනස් මඟක් ගත් සංගීත අධ්‍යක්ෂවරයෙක්. සාමාන්‍ය සරල ගීතය තුළ පමණක් නෙවෙයි, චිත්‍රපට පසුබිම් සංගීතය තුළ පවා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ . . සුජීව ගුණරත්නගේ ‘කාල’ ‘ප්‍රතිරූප’ වැනි චිත්‍රපට මේ පෙරළකාර වෙනසත් එක්ක මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කරන ‘මේ තරම් සියුමැලිද කළුගල්’ ගීතයේ සංගීතය මතක් වෙනකොට තාමත් ඇඟේ හී ගඩු පිපෙනවා. ඒක ඒ තරම් රමණීයයි. මේ සත්සරත් එක්ක පෙරළි කරන පෙරළිකාරයා සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයටත් ප්‍රවිෂ්ට වූ වග අපට සතුට දනවන කාරණයක්. මීට ප්‍රථම ලංකා සිනමා ඉතිහාසය තුළ එවැනි වාර්තාවක් තැබුවේ නම් ඒ ‘නිම්වළල්ල’ අධ්‍යක්ෂණය කළ රංජිත් ලාල් ම පමණක් විය යුතුය. එහෙත් ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රථම හා එකම චිත්‍රපටය එය වූ නිසාත්, ඉන් අනතුරුව ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ නොසිටි නිසාත් දේශීය සිනමා ඉතිහාසයට දර්ශන සුවිශේෂ චරිතයක්. වෘත්තීය සංගීත අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස කලඑළි බසින ප්‍රථම අවස්ථාව මේ. ලංකා ඉතිහාසය තුළ පමණක් නොව ලෝක සිනමා ඉතිහාසය තුළ ද මෙවැන්නන් හමු වනුයේ ඉඳහිටයි. අසල්වැසි ඉන්දියාවේ සත්‍යජිත් රායි, සන්ජය ලීලා බන්සාලි වැන්නෝ ද මේ අතර සිටිනවා.

දර්ශනගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ‘ගොවි තාත්තා’ අපේ ඉපැරණි ගොවි සංස්කෘතිය පදනම් කරගෙන ගොඩ නැඟුණක්.

‘සාමාන්‍යයෙන් අපේ රට ගත්තම ගොවි සංස්කෘතිය තිබෙන රටක්නේ. කෘෂි සංස්කෘතිය බිඳ වැටුණට පස්සේ ගොවියාත් කවියත් ඉවර වුණා කියලා මට හිතෙනවා. මොකද ගොවි සංස්කෘතිය ඇතුළේ තමයි සෞන්දර්ය පිරිලා තිබුණේ. ඒක තමයි අපේ පැරණි ශිෂ්ටාචාරය. ලෝකය ගත්තත් එහෙමයි. බැබිලෝනියාව ගත්තත්, ඉන්දු නිම්නය ගත්තත්, සුමේරියාව ගත්තත්, ඊජිප්තුව ගත්තත් කෘෂි සංස්කෘතියත් එක්ක තමයි ශිෂ්ටාචාර බැබලිලා තියෙන්නේ. කෘෂි සංස්කෘතිය බිඳ වැටුණට පස්සේ සෞන්දර්යාත්මක ශිෂ්ටාචාරය කවදාවත් හැදිලා නෑ. හැදෙන්නේ නෑ. කවියා සෞන්දර්යවාදියා මැරෙනවා.

මගේ පර්යේෂණයට අනුව 1970 දශකයේ අග භාගයේ තමයි අපේ කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය බිඳ වැටෙන්නේ. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව වැනි රටවල් ඉතුරුවන බෝම්බ විෂ ද්‍රව්‍යවලින් පොහොර තෙල් ආදිය හදනවා. ඒවා කොහේට හරි පිට කරන්න ඕනනේ. ඒ හින්දා කෘෂි ආර්ථිකය තියෙන රටවල්වලට අස්වැන්න දෙගුණ කරන්න පුළුවන් කියලා. අර තිබුණ මානව හිතවාදී, පරිසර හිතවාදී, කෘෂි සංස්කෘතියේ ළබැඳියාව බිඳ වට්ටමින් මේවා එවනවා. ඒ අය අපේ රටවල්වලට ඇවිල්ලා ගොවියන්ට කියනවා වී බුසලකට අස්වැන්න 40 ක් තිබු කෙනාට 80 ක් කරන්නම් කියලා. ඉතින් ඕනෑම අහිංසක ගොවියෙක් ඒකට කැමති වෙනවානේ. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? රජරට ඇතුළු මේ කෘෂි පොළව සම්පූර්ණයෙන්ම විෂ වෙලා. මේ වෙනකොට වකුගඩු රෝගයෙන් 90% ක්ම පෙළෙනවා. මම පර්යේෂණය කළේ පොළොන්නරුව ප්‍රදේශයේ. පොඩි ළමයි පවා ඉන්නවා වකුගඩු රෝගයෙන් පෙළෙන. රටේ ආර්ථිකයට සංවර්ධනයට බලපාන ප්‍රධානම සාධකයක්, බාධාවක් තමයි වකුගඩු රෝගය. වකුගඩුවෙන් පටන් ගත්තම පිළිකාවෙන් ඉවර වෙන්නේ. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙම තියෙන ප්‍රශ්නයක්. ලෝක බැංකුව පවා කියනවා මේ වෙනකොට ලෝකේ සතුටින්ම ඉන්න ජාතිය හැටියට ප්‍රමුඛව ඉන්නේ භූතානය. ඒකට හේතුව රසායනික පොහොර භාවිත කරන්නේ නෑ. සම්පූර්ණයෙන්ම කෘෂි සංස්කෘතියක් තියෙන්නේ. ඒ අය ජල විදුලිය නිෂ්පාදනය කරනවා. අප මුදල්වලින් බලයෙන් යම්කිසි දේවල් ගොඩ නඟා ගත්තත් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය, ජපානය පවා උපරිම කාර්මිකකරණයක් තිබුණත්, මුදල් කොච්චර තිබුණත් සතුට කියන එක අද අහිමි වෙලා තියෙනවා. කෘෂි සංස්කෘතිය නමැති කෙඳු නාරටිය කැඩුණම එකක් තමයි ආහාර ප්‍රශ්නය. ආහාර ප්‍රශ්නය නිසා පිළිකා සහ අඩු වයස් මරණ. මේ ඔක්කොම එක්ක මුළු ලෝකෙම අද ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ඉදිරි අවුරුදු 50 තුළ නැවත රසායනික පොහොර සහ තෙල් භාවිතය අතහැරලා මානව හිතවාදී පරිසර හිතවාදී කෘෂි ආර්ථිකයකට ආවේ නැත්නම් ඉස්සරහ අවුරුදු 50 ඇතුළත මිනිසාගේ ආයුෂ අවුරුදු 50 දක්වා අඩු වෙනවා. අඩු වෙනවා විතරක් නොවෙයි අවුරුදු 150 ක් ඇතුළත සැලකිය යුතු ප්‍රමාණයක් ලෝකෙන් මිනිස් ශිෂ්ටාචාරය මානව සංහතියම නැති වෙලා විනාශ වෙලා යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ශාස්ත්‍රඞකල්පයට පසු රෝගාන්තඞකල්පය එනවා කියලා. ඒක බොහොම ප්‍රායෝගික දෙයක් හැටියට මම දකිනවා.

ගොවි සංස්කෘතියේ අපූර්වත්වය පිළිබඳ දර්ශනට අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවෙයි. ඒ ඔහු ජීවිතය දකින්නේ, ජීවිතය විඳින්නේ ඒ තුළම පිහිටා බැවින්. දර්ශන ‘ගොවි තාත්තා’ තිර පිටපත සකසන්නේ ඒ තුළ පිහිටා ගෙනයි. ඊට ඔහුට වඩාත් ආධාර උපකාර වන්නේ ඔහු විසින් කරන ලද පර්යේෂණයයි.

‘මේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම මගේ. මේක සත්‍ය කතාවක් ඇසුරින් ගොඩ නංවන්නේ. කාර්මික තිර රචනය සඳහා ආචාර්ය සුනිල් රණසිංහයන් දායක වෙනවා. මම කතාව ලියලා ඔහුට දුන්නම ඔහුගේ නිර්මාණාත්මක කොටසකුත් මේකට එකතු වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ කතාව හා අධ්‍යක්ෂණයත් සංගීත අධ්‍යක්ෂණයත් මගේ. මම විශ්වාස කරන දෙයක් තමයි සිනමාවේ විශේෂයෙන් මට හම්බ වෙච්ච ගොඩාක් සිනමා නිර්මාණවල මට සෞන්දර්යය ගොඩ නැඟීම හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම සිනමා නිර්මාණය පුරාම අඛණ්ඩව සෞන්දර්ය තියාගන්න අපොහොසත් වෙනවා. මම දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා.

සංගීත අධ්‍යක්ෂවරයෙක් එක පාරටම සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට මේ මේ සුදුසුකම් අවශ්‍යයි කියලා කෙනෙකුට ඉරි ගහලා පෙන්නන්නත් බෑ. කාලාන්තරයක් මුළුල්ලේ කළ හැදෑරීම, කියවීමත් යමෙකුට ජීවිතය වෙනස් කර ගැනීමට යහපත් නිර්මාණ කිරීමට ස්වයං අධ්‍යයන පාසලක් වෙනවා.

‘සිනමාකරණය පිළිබඳ මූලික වස්තු බීජය මා තුළ තැන්පත් වෙන්නේ සිනමා සංගීත අධ්‍යක්ෂණයෙන්. අනිත් පැත්තෙන් සිනමාව පිළිබඳ මගේ කියවීම, මගේ ස්වයං අධ්‍යයනය ලෝක සිනමාව ගැන කියවීම විශේෂයෙන් සිනමාපට නැරඹීම ඒ ඔක්කෝමත් එක්ක තමයි මේ මූල බීජය මා තුළ පිළිසිඳ ගන්නේ. මට හැමදාම තිබුණු හීනයක් තමයි අපිට ලෝකේ පෝසත් මට්ටමේ සිනමා නිර්මාණයක තිබෙන සංගීතයක් නිර්මාණය කරන්න අවස්ථාව නැත්තේ ඇයි කියන එක. ඒ අවස්ථාව සලසා ගන්න ඕන නිසා තමයි මේ සිනමාපටය මමම අධ්‍යක්ෂණය කරන්න හිතුවේ. දර්ශනගේ අභිප්‍රාය ඉෂ්ට වෙනවා ‘ගොවි තාත්තා’ චිත්‍රපටය ඔහුම අධ්‍යක්ෂණය කරලා ඔහුම සංගීතවත් කරනවා. කවරදාකවත් නෙදැනුණ නිර්මාණශීලී නිදහසක් මේ දෙපාර්ශවයෙන්ම ඔහුට දැනෙන්න ඇති. ඔහුගේ චිත්‍රපට කණ්ඩායම 40 ට ආසන්න පිරිසක්. සහාය අධ්‍යක්ෂවරුන්ම හය දෙනෙක්. මේ සියළු දෙනාත් එක්ක දර්ශන නිර්මාණශීලී හරඹයක් කරන්න එකතු වෙනවා.

‘මගේ සහාය අධ්‍යක්ෂවරුන් 6 දෙනාගෙන් සමහරු ගොවියෝ. මට ඕන දේ ගන්න අවශ්‍ය පිරිස මං ළං කර ගත්තා. මමත් හොඳ ගොවියෙක්. මේ කතාව මගේ තාත්තාගේ කතාව. තාත්තා හොඳ ගොවියෙක්. ඔහු සමාජ පරිවර්තනයක් කරන්න හදපු මනුස්සයෙක්. ඔහුත් වකුගඩු රෝගයට ගොදුරු වෙනවා. එයාගේ ජීවිත කතාවේ මේ වෙනුවෙන් කරපු අරගලය සහ එයා මේකටම කොටු වෙච්ච හැටි තමයි මේකෙ තියෙන්නේ. මොකද, එයා අඳ ගොවියෙක්. එයාට කුඹුරක් නෑ. ලෝක ඉතිහාසයේත් එහෙමයි. ඉඩම් අයිතිකාරයෝ වෙනම හිටියා. ගොවියෝ වෙනම හිටියා. මම ගොවියෙක් නිසා මට මේක අධ්‍යක්ෂණය කරන්න ලේසි වුණා. ඊළඟට මම විශ්වාස කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් වචනවලින් රූපවලින් තිර රචනයෙන් කියලා ඉවර කරන්න බැරි හැඟීම් සංගීතයෙන් කියන්න පුළුවන් කියන එක. ඒ තැන ඉඳලා තමයි මම මේ චිත්‍රපටය කළේ. මේ සංගීතයට කොහොමද රූප ටික එළා ගන්නේ කියලා අපි කතා වුණා. ගොඩාක් වෙලාවට වෙන්නේ සංගීතය ගොඩාක් පෝසත් තැනක තියෙනවා. රූප ටික පහළ තැනක තියෙනවා. නමුත් සංගීතඥයාට රූපමය සෞන්දර්යය හා නාදමය සෞන්දර්යය යන දෙකම පිළිබඳ අවබෝධයක් තිබුණාම ඒකේ සෞන්දර්ය අඛණ්ඩව රඳවා ගන්න පුළුවන්. ඉතින් මේ සිනමාපටයේ මම දකින දේ තමයි මුළු චිත්‍රපටය පුරාම සෞන්දර්යය රඳවා ගත්තා කියන දේ. මේ ගොවි චරිතයත් බොහොම සෞන්දර්යයකින් ජීවත් වුණු ප්‍රාදේශීය කලාකරුවෙක්. ඒකයි මම කිව්වේ ගොවියත් කවියෙක් කියලා.’

දර්ශනත් සප්ත ස්වරයත් බැඳෙන්නේ කුඩා අවදියේමයි. ඔහු ජීවත් වන කෘෂි සංස්කෘතිය තුළ ගොවියෙක් වූ පියාගේ හෙවණ යට දර්ශන ජීවිතේ ලබනවා. තාත්තගේ කවි ගායනා, අම්මගේ ගී ගායනා ඇසුරේ දර්ශනගේ නාද සෞන්දර්යත් වැඩෙනවා.

‘අපේ තාත්තා ගොවියා, කලාකරුවා, ගමේ ගායකයා. තාත්තත් ගීත ගයනවා. අම්මත් ගීත ගයනවා. මම හැදෙන්නේ වැඩෙන්නේ වෙලේ, දොලේ, ඇලේ, කමතේ සෞන්දර්යයෙන්. මම වැඩිවියට පත් වන්නේ මම තරුණයෙක් වෙන්නේ මේ පසුබිම තුළ. නමුත් දැන් ආපහු හැරිලා බලත්දී මගේ පොඩි කාලේ තිබුණ ගම දැන් නැහැ. ඒක මට ලොකු කම්පනයක්. මේ චිත්‍රපටය මම කරන්නේ ඒ කම්පනයෙන්.

ඕනෑම කලාකරුවෙක් තමන්ගේ පෞද්ගලික කම්පනය තමයි ප්‍රති නිර්මාණය කරන්නේ. කවුරු මොනවා කිව්වත්, මොන පණ්ඩිතකම් කිව්වත් තමන් විඳවපු තරම තමයි නිර්මාණයකින් ප්‍රකට වෙන්නේ. කලාකරුවෙක් වුණාම විඳවන්න ඕන. විඳවපු නැති කලාකරුවෙකුට හෝ මිනිසෙකුට හොඳ පෝසත් කලා නිර්මාණ කරන්න බැහැ. මටත් මේ ගොවි පරිසරය තුළ ජීවත් වීමෙන් ලද අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා මේ පැය 1 1/2 තුළ ගොඩ නඟන්න පුළුවන් උපරිම දේ අපි කළා.’

දර්ශන මේ මොහොතේ සිය සිනමා නිර්මාණය හරහා එළි දක්වනුයේ රටේ වත්මන් පවතින උග්‍ර සමාජ ප්‍රශ්නයක්. ‘ගොවි තාත්තා’ මේ වන විටත් විදේශීය චිත්‍රපට උලෙළ රැසකට ආරාධනා ලැබ සිටිනවා. දර්ශනගේ මූලික සුදානම ‘ගොවි තාත්තා’ නුදුරු දිනක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තිරගත කිරීමටය. සුවිශාල කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කිරීමේදී දර්ශන අළුත් අත්දැකීම් රාශියක් ලබාගෙන තිබුණා. ඔහු කිව්වේ ඒ හැම දෙයක්ම තමන්ට සොඳුරු ගැටුම් වූ බවයි.

‘ඇත්තටම අපි වැඩ කරත්දි ගැටුම් ගොඩක් ආවා. නමුත් ඒවා හරි සුන්දර ගැටුම්. ඔවුන් පුරුදු වෙලා තිබුණේ ටෙලි නාට්‍ය / චිත්‍රපට කරන්න වෙන ක්‍රමයකට. මම ඒ ක්‍රමය සම්පූර්යෙන්ම කණපිට හැරෙව්වා. විශේෂයෙන් කැමරා කෝණ වෙනස් කරන්න ගිහින් මට ලොකු ගැටලු ආවා. මම මෙතනට අලුත් කෙනෙක්. වෙලාවකට ඔවුන් මට විරුද්ධව රැස්වීම් පවා පැවැත් වූවා අපේ ඉන්ඩස්ට්‍රි එකට ඇවිත් මෙයා මේක වෙනස් කරන්න හදනවා කියලා. නමුත් ඒවා පස්සේ හරි සුන්දර ගැටුම් බවට පත් වුණා. මම වැඩ කරත්දි හිට්ලර් කෙනෙක්. හැම කෙනාගේම උපදෙස් කතා අහනවා. නමුත් තීරණේදී ඒකාධිපතියි. මම යම් කිසි ප්‍රමාණයකට ඒකාධිපතියා කියන එකට කැමතියි. මොකද නැත්නම් වැඩ කරන්න බෑ. මේකෙදිත් හොඳට හෝ නරකට මම ඒකාධිපති තීරණ ගත්තා. රූප රාමු ඇතුළේ මම ගොඩාක් සංකේත භාවිතා කළා. කොටින්ම කිව්වොත් ෆ්‍රේම් එක ඇතුළේ ෆ්‍රේම් එකක්. චිත්‍රපටය ඇතුළේ චිත්‍රපටයක් තියෙනවා. කොහොම හරි අන්තිමට බොහෝ දෙනෙක් මට ප්‍රශංසා කරලා ගියා මේකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. මම කිව්වේ අළුත් ද පරණ ද කියන එක නෙමෙයි, වැඩේ. ඇඟට පතට දැනෙන එක අගය කරන්නත්, ඒක සඳහා වැඩ කරන්නත්, ඒකෙන් දෙයක් ඉගෙන ගන්නත් පුරුදු වෙන්න කියන එකයි.

ආචාර්ය සුනිල් රණසිංහයන් මාත් සමඟ දවස් 6, 7 ක් විතර හිටියා. ඔහු ලෝකය පිළිබඳ කියවීමක් තියෙන ප්‍රාමාණික විද්වතෙක්. ඔහුගේ ගුරුහරුකමුත් මට මෙතනදි විශාල ශක්තියක් වුණා. මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න ගොඩාක් අය හිටියා. නමුත් මට ඕන වුණා කිසිම අපවිත්‍රකමක් නැති පිරිසුදු මිනිසෙක් සොයා ගන්න. මට ගොවියෙක් හම්බ වුණා. එයා තමයි සරත් බණ්ඩාර කොක්වැව කියන ලංකාවේ එකම රසායනික පොහොර භාවිත නොකරන ගොවි ව්‍යාපාරිකයා. කාබනික පොහොර වලින් ගොවිතැන් කරන ගොවි මහතෙක්. ගොවියෙක් ගැන කරන ප්‍රථම චිත්‍රපටය හැටියට ඔහු ලෝක ඉතිහාසයට එකතු වෙනවා.

මං හිතනවා සංගීත අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවන ආසියාවේ තුන්වැනියා විතර වෙනවා මම. මට කලින් ඉන්නේ සන්ජය ලීලා බන්සාලි තමයි. මේ චිත්‍රපටයේ රංගනයට ජගත් චමිල, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සනත් විමලසිරි, එරික් මදනායක, සරත් චන්ද්‍රසේකර, ගාමිණී ජයලත්, නදීෂා රංගනී, සූර්යා දයාරුවන් ඇතුළු පිරිසක් එක් වෙනවා. ගීත ගායනයෙන් නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය, සුමිත් සිම්ප්සන්, සේනානායක වේරලියැද්ද හා මා එකතු වෙනවා. සේනානායක වේරලියැද්දගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය මේ.

සිනමා සංගීත ක්ෂේත්‍රය තුළ දර්ශන වාසනාවන්තයෙකි. ඒ සඳහා වන සම්මාන 4 කටම ඔහු හිමිකාරයෙකි. ඒත් එක්කම ශ්‍රී ලාංකේය සංගීතය නව මානයකට යොමු කිරීම උදෙසා ඔහුට බිපාෂා අතින් ලැබූ ට්‍රෙන්ඩ් සෙටර් සම්මානය ද විශේෂයි.

‘ඇත්තටම මට මේ වන විට රාජ්‍ය සම්මාන 05 ක් මට හිමි වෙලා තියෙනවා. චිත්‍රපට පසුබිම් සංගීතය තුළ මට සමනල සංධ්වනිය, කාල, ප්‍රතිරූ වැනි චිත්‍රපට මට විශේෂයි. ‘කාල’ චිත්‍රපටය ගැන මට පොඩි වේදනාවක් තියෙනවා. සමහර විනිශ්චය මණ්ඩල කියනවා ඒ චිත්‍රපටය සංගීතය කොටස සම්මාන උලෙළට ඉදිරිපත් කළේ නෑ කියල. මේ සංගීතය මම එංගලන්තෙ ගිහින් විද්වත් තැන් කිහිපයක වාදනය කළා. බී. බී. සී. එකටත් අරන් ගියා. ඒ සෑම වෙලාවකම කාල තේමා ගීතය ගැන ඉහළින් කතා කළා. ඒක මම කරපු සුවිශේෂීම ගීතයක්. කසුන් කල්හාර මගේ මිත්‍රයා, සහෝදරයා කියන්නේ මේක පුදුමයක් කියලයි. ඇත්තටම ඒක මම නිර්මාණය කරපු අරුම ගීතයක්. නැවත ඒ වගේ එකක් කරන්නත් බෑ. ඒක කිසිම ඇගයුමකට ලක් වුණේ නෑ. මාව පැත්තකට දාල ඒකේ ගායකයා ගැන හිතුවොත් ඔහු කළේ ඉතාම අමාරු ගායනයක්. ස්වර 3 යි තියෙන්නේ. සමහරු හිතන් ඇති මේකේ ස්වර තුනයිනේ තියෙන්නේ කියලා. එහෙම හිතන විනිශ්චය මණ්ඩලත් ඉන්නවා. සමහර වෙලාවට එහෙම විනිශ්චය මණ්ඩල හරි විහිළුයි කියලා හිතෙනවා. ඉතින් ‘කාල’ වතුරේ ගියා වගේම මගේ සංගීතයත් වතුරේ ගියා කියලයි මම හිතන්නේ.

හැබැයි මට ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේදී සාධාරණය ආවා. විශේෂයෙන්ම ජයන්ත අයියට මම ස්තූතිවන්ත වෙන්න ඕන. ඔහුත් සමඟ මම ගොඩක් වැඩ කළා. ඔහු මට නිදහස දුන්නා. මට නිදහස දුන්නොත් තමයි මගෙන් උපරිමය ගන්න පුළුවන්. දර්ශන මෙරට චිත්‍රපට සංගීතය තුළ මෙන්ම සරල සංගීතය තුළ ද වෙනසක් ඇති කරපු සංගීතඥයෙක්. ඔහු අතින් නිර්මාණය වුණු අපූර්ව ගී තනු ඒකට සාක්ෂි දරනවා. ඒ විතරක් නොවෙයි ඔහු බොහෝ අළුත් ප්‍රතිරූප සංගීත ක්ෂේත්‍රය තුළ නිර්මාණය කරන්නට දායක වූවෙක්.

‘ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නව පරපුර දක්වාම මම ගීත නිර්මාණය කරලා තියෙනවා. මට හිතෙන්නේ 1500 ක් විතර කරලා ඇති. මම අළුත් ස්ටයිල් හඳුන්වලා දුන්නා. විශේෂයෙන් මට මෙතනදි මතක් වෙන්නේ ‘රූනි’ වගේ කෙනෙක්. සුනිල් එදිරිසිංහයන්ගේ ‘මේ තරම් සියුමැලිද’ ස්ටයිල් එක වගේම රූනිගේ ‘ගඟන සරන්නට’ වැනි රොක් ශෛලියේ ගීතත් මම කළා. සමහර වෙලාවල ඒ නිසා මට පෙර පරම්පරාවෙන් තාඩන පීඩන, අවි ආයුධත් දික්වෙනවා. ඒවා මම එච්චර ගණන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් ගොඩාක් ප්‍රවීණ අය මාව හරියට අතපත ගාපු නැති අය හිතන්නේ මම හරි පණ්ඩිතයෙක්, ඔලුකමින් ඉන්න මිනිහෙක් කියලා. ඒවා ප්‍රචාරය කරන්නෙම මේවා දරාගන්න බැරි අය. මාත් එක්ක වචනයක්වත් කතා කරලා නෙවෙයි. මම කියවනවා මම හැදෑරීම් කරනවා. නැත්නම් මට මේකෙ හුස්ම ගන්න ඉඩ නෑ. ඒක නිසා හැම වෙලාවෙම අලුතින් එන්නෙ මොනවද, කරන්නෙ මොනවද, මට අදාළ නැති විෂයනුත් මම කියවනවා. කියවන එක මට පිස්සුවක් වෙලා. අපි සදාකල් ජීවත් වෙන්නේ නෑනේ. ජීවත් වෙන කෙටි කාලය තුළ මේ ලෝකයෙන් කීයක් අවබෝධ කරගෙන ද අපි මැරෙන්නේ. ඉතින් මම සතුටු වෙනවා ගොඩක් දේවල් අත්හැරගෙන මේ ගමන මට යන්න පුළුවන් වීම ගැන. මම විශ්වාස කරන්නේ සමාජය හා පරිසරය ගැනයි. ඒක වෙනුවෙන් හොඳක් කරලා ඕන තරම් බැනුම් අහපුදෙන්. ඕන දෙයක් වෙච්චදෙන්.

අලුත් අලුත් මල් පිපෙන්න ඕන. ඒ මල්වල සුවඳ විහිදෙන්න ඕන. පරණ මල්වලටම වැඳ වැඳ ඉන්න ඕන කියලා ක්‍රමයක් නෑ. ඒක තමයි සම්ප්‍රදායෙන් පිට පනිනවා කියලා අපිට කියනවා ඇත්තේ. සම්ප්‍රදාය කියන එකත් කාලයත් එක්ක බොරු වෙනවනේ. ඉතිහාසය කියන්නේ මහාවංශය කියන එක නොවෙයිනේ. මම ඉතිහාසය හදාරන්නේ ඔය නිසාමයි. මහාවංශයේ තියෙන එක නෙමෙයි ඇත්ත. මේක ගවේෂණය කරලා පොළොවේ කැණීම් කරගෙන යනකොට ඔන්න ඉතිහාසය නිවැරදි වෙනවා. එතකොට මහා වංශයේ තිබෙන කරුණු බොරු කියලා අලුතින් හොයාගන්න කෙනාට ගහනවා. හැබැයි අලුතින් හොයාගන්න කෙනා ඇත්තයි හොයා ගන්නේ. එතකොට සම්ප්‍රදාය කියන්නේ මහාවංශය කියමුකො. පැවතගෙන ආපු දේ හැමදාම සත්‍ය වෙන්නේ නෑ. මොකද සත්‍යයටම එක එක ආල වට්ටම් වැටිලා අන්තිමට වෙල්ල වැහුම් ‘ජබොක්’ වුණා වගේ දැන් මේකත් එහෙම තමයි. වෙල්ල වැහුම් තමයි අපේ සම්ප්‍රදායේ මුල තිබුණේ. දැන් මේගොල්ල කියන්නේ ‘ජබොක්’ ගැන. ඉතින් අපි වෙල්ල වැහුම් හොයා ගත්තම කියනවා එහෙම කොහොමද ‘ජබොක්’ තමයි තිබුණේ කියලා.’

මේ වෙනකොටත් දර්ශන තවත් සිනමා නිර්මාණ දෙකක වැඩ කටයුතු ආරම්භ කරන්නට සුදානමින් ඉන්නවා. මේ නව අත්හදා බැලීම තුළ කිසිවිටෙකත් දර්ශනට තමන් තුළ සිටින සංගීතඥයා අමතක නොවේවි කියා අප විශ්වාස කරනවා.

‘ඇත්තටම මම කවුද කියලා මම දන්නේ නෑ. මම ඕස්ට්‍රේලියාවට ගියාම සිම්පනි එකකදි සුද්දා මට ර්‍ථඩඪතධඵධනඩඥප කිව්වා. මම කිසිම දෙයකට ලොකුවට ආස කරන්නේ නෑ. මම ර්භඵඪජ ඛ්ධථනධඵඥප චදඤ ච්ඪපඥජබධප. මගේ ටයිටල් එක සංගීතඥයා. මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුත් වුණා. මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කියලා මම කියව ගන්නේ නෑ. මොකක් හරි මටත් නමක් ඇති. දැනට මම සංගීතඥයා සහ චිත්‍රපට අධ්‍යක්ෂණයට ආව අලුත් අධ්‍යක්ෂවරයෙක්. ඉස්සරහට මට මගේ අරබඩඥථ ධට බඩඥ ඒපබ කියන ජාත්‍යන්තර ගී එකතුව කරන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපට දෙකකත් වැඩ ආරම්භ කරන්න තියෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.