එයිදෝ නොඑයිදෝ

ජුනි 6, 2019

පාස්කු ප්‍රහාරය මෙරට සියලු අංශවලට මරු පහරක් විය. බොහෝ ක්ෂේත්‍ර සියයට සියයකින්ම වාගේ කඩා වැටිණ. අප චිත්‍රපට කර්මාන්තය ද මේ වන විට බොහෝ සෙයින් අසරණ වී තිබේ. එයට සිදු වුණේ කබලෙන් ලිපට වැටුණා හා සමාන දෙයකි. තිරගතවීමට ලක ලැහැස්තිව සිටි චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය පමා කිරීමට ඊට අදාළ පාර්ශව තීන්දු ගත්හ. ඇතැම් සිනමාපට කල් ගියේ දින නියමයක් නැතිවය. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අපි කිහිප දෙනෙකුගේ අදහස් විමසීමක් කළෙමු. නම් වශයෙන් ගතහොත් ඔවුන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුමිත්‍රා රාහුබද්ධ, ජනිත මාරසිංහ සහ ජයරත්න ගලගෙදරය. මේ අයගෙන් තිදෙනෙකු මේ වකවානුවේ චිත්‍රපට මුදා හැරීමට සූදානමින් සිටි අයවලුන්ය. කළම්බු සිටි සෙන්ටර්හි සිනමා ශාලා අයත් වන ස්කෝප් සිනමා හි අළෙවි හා නිෂ්පාදන කළමනාකරු ලෙස සේවය කරන ජයරත්න ගලගෙදරගෙන් අප විමිසුවේ මෙතරම් අර්බුද මධ්‍යයේ ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නට සෙනඟ එන්නේ කිනම් හේතුව මත ද කියන කාරණයය. මේ ඔවුන් දැක් වූ අදහස්වල සංෂිප්ත සටහන් වේ.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලයත්, සුමිත්‍රා රාහුබද්ධ සම නිෂ්පාදනයෙන් දායක වූ කන්දක් සේමා සහ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ ජය ශ්‍රී ඇමැතිතුමා තිරගතවීමට පෝලිමේ තිබුණු චිත්‍රපට වේ.

කන්දක් සේමා කල් දාන්නේ නෑ 
- සුමිත්‍රා රාහුබද්ධ 
කන්දක් සේමා චිත්‍රපටයේ සම නිෂ්පාදිකා, රේඛීය නිෂ්පාදිකා සහ තිර රචිකා

කන්දක් සේමා චිත්‍රපටයට ලැබුණු දින වෙනස් කළේ නැහැ. තියෙන තත්ත්වය මත දින වෙනස් කර ගන්නත් බැහැ. කන්දක් සේ මා නරඹන්න මිනිස්සු සූදානම් වෙලා හිටියේ. මගෙනුත් අහනවා චිත්‍රපටය කවද ද එන්නේ කියලා. චිත්‍රපටය එනවා කියලා කලින් අපට සැරින් සැරේ දින කිහිපයක් ලැබුණා. ඒ දිනවලට නොවැළැක්විය හැකි හේතූන් මත චිත්‍රපටය තිරගත වුණේ නැහැ. මේ සැරෙත් දිනය කල් දැම්මොත් මිනිස්සු කියාවි මේක එන චිත්‍රපටයක් නම් නෙවෙයි කියලා. ඒ නිසා චිත්‍රපටය මේ සැරේ පෙන්වනවා. මේකට අති විශාල පිරිවැයක් දැරුවා. මමත් සල්ලි වැය කළා. තවත් කල් දැම්මොත් නිෂ්පාදකවරුන්ටත් අගතියක් වේවි.


හිතපු දිනයට චිත්‍රපටය පෙන්වනවා 
- මහාචාර්ය සුනිල් ආරියරත්න 
විජයබා කොල්ලය අධ්‍යක්ෂ

මේ සිදු වුණ අර්බුදකාරී තත්ත්වය සිනමාවට විතරක් ඇති වුණ එකක් නෙවෙයි. ඒ ධර්මතාවය හැම ක්ෂේත්‍රයකටම බලපෑවා. ප්‍රහාරය සිදුවන විටත් අප සිනමාව කඩා වැටිලයි තිබුණේ. සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර එහෙම නැහැ. ඒවා යම් මට්ටමක කෙරමින් පැවතුණා. අපේ සිනමාව තවත් පහළට වැටුණා. කවුද කැමැති මේ වගේ වෙලාවක චිත්‍රපට එළියට දාන්න. ප්‍රේක්ෂකයෝ ශාලාව තුළට යාමට බයක් චකිතියක් දක්වනවා. එහෙම චිත්‍රපට නරඹන්න කවුරුවත් කැමැති නැහැ. මොනවා වුණත් ඇවෙන්ජර්ස් වගේ ඉංග්‍රීසි චිත්‍රපට හොඳට දුවනවා. මං ඒක සුබවාදීව දකිනවා. ඉංග්‍රීසි හෝ වේවා චිත්‍රපටයක්නෙ මේ ප්‍රේක්ෂකයෝ බලන්නේ. අගෝස්තු පහළොව මට දින ලැබිලා තියෙනවා. ඒක මං ගත්තේ ප්‍රහාරය සිදුවන්නටත් පෙර. ඒ දිනය වෙනස් කළේ නැහැ. හිතා ගත්තු විදිහට එම දිනයේදීම මගේ විජයබා කොල්ලය චිත්‍රපටය පෙන්වනවා.


බ්ලොක්බස්ටර්වලට සෙනඟ එනවා 
- ජයරත්න ගලගෙදර 
කළමනාකරු අළෙවි හා නිෂ්පාදන ස්කෝප් සිනමා

සිංහල සිනමාව අර්බුදයක තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ගොඩ ගන්නනම් සෑහෙන කලක් යාවි. සිංහල චිත්‍රපට බලන්න සෙනඟ නාවට ඇවෙන්ජර්ස් වගේ චිත්‍රපට නරඹන්න සෙනඟ එනවා. ඒවා බ්ලොක්බස්ටර් චිත්‍රපටනෙ. ඇවෙන්ජර්ස් එනකම් මුළු ලෝකයම බලාගෙන හිටියනෙ. කලම්බු සිටි සෙන්ටර් එකේ හෝල්වලට අපි මිනිස්සු ඇතුළට ගන්නේ හොඳට චෙක් කරලා. ආරක්ෂාව තහවුරු කරලා තියෙන නිසා සෙනඟ එනවා. ඔළුවේ නිදහසෙන් චිත්‍රපටයක් බලන්න පුළුවන් එතකොටනෙ. ඔය දැන් තියෙන පොඩි පොඩි සිංහල චිත්‍රපට නරඹන්න ප්‍රේක්ෂකයා එන්නේ නැහැ. හොඳ බ්ලොක්බස්ටර් එකක් ආවොත් සෙනඟ ඒවි. එතකොට ඔය තත්ත්වය වෙනස් වන්නත් ඉඩ තියෙනවා.


ජය ශ්‍රී ඇමතිතුමා ටිකක් ප්‍රමාද වෙයි 
- ජනිත මාරසිංහ 
ජය ශ්‍රී ඇමතිතුමා නිෂ්පාදක

මම සිනමා ශාලා කිහිපයකටම ගියා. සෙනඟ අඩුයි. ළමයි පාසල්වලට යවන්නේ නැතිකොට චිත්‍රපට නරඹන්න මිනිස්සු එයිද. මේ මාසේ මුල තමයි චිත්‍රපටය එන්න තිබුණේ. නමුත් දිනය ටිකක් පමා කළා. මේ හේතුවෙන් අපේ ඊළඟ චිත්‍රපටවල වැඩ කටයුතු සියල්ලම වගේ ඇනහිටලා තියෙන්නේ. මගේ නෙවෙයි බොහෝ නිර්මාණකරුවන්ගේ එහෙමයි. මගේ පෞද්ගලික අදහස නම් මේ වසරේදී චිත්‍රපටය තිරගත වුණොත් හොඳයි කියන එක.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.