මට පීනන්න බෑ හැබැයි ඉගෙන ගන්නවා

සඳුන් දොළමුල්ල
මැයි 9, 2019

පරිගණක මෘදුකාංග වෘත්තියේ ව්‍යවසායකයකු ලෙසින් ව්‍යාපාර ලෝකයට එක් වූ ඔහු වඩාත් ප්‍රිය කළේ කලාවටය. සංගීත විෂය හදාරමින් කලාවේ අත්පොත් තැබූ ඔහු තම සිතැඟි ආශාව ඉටුකර ගැනීමේ අභිලාෂයෙන් කලා ක්ෂේත්‍රයට ආරම්භයක් එක් කරනුයේ ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසිනි. ඔහු සඳුන් දොළමුල්ලය. පසුගිය අප්‍රේල් මස මුල භාගයේ තිරගත කිරීම් ඇරැඹි ඉස්කෝලෙට මං ආවා චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය.

කොහොමද මුල්ම නිෂ්පාදනයට ලැබෙන ප්‍රතිචාර?

වරදක් නෑ. මම තෘප්තිමත්.

නිෂ්පාදකයකු ලෙසින් අපේක්ෂිත ඉලක්කයක් කරා ඔබව ඉස්කෝලෙට මං ආවා සිනමා කෘතිය රැගෙන ගියාද?

මේ ක්ෂේත්‍රයට මම ආධුනික පුද්ගලයෙක්. මගේ පළමු සිනමා නිෂ්පාදනය මොන මොන දෘෂ්ටි කෝණවලින් කවුරු බැලුවත් ඔවුන් තුළ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් නිෂ්පාදකයකු හැටියට හාපුරා කියලා මම මේ කළ දේ ගැන මම සියයට සියයක් තෘප්තිමත්.

ඔබේ මංගල නිෂ්පාදනය තිරගත වීම ආරම්භ වන්නේ ඒ සඳහා සුදුසු වටපිටාවක නොවෙයි කියලා ඔබට හැඟුණේ නැද්ද?

එහෙම නොදැනුණා නොවෙයි. ඒත් මේ ලැබුණු අවස්ථාවෙන් මම ප්‍රයෝජනයක් ගන්න අදහස් කළා. චිත්‍රපටය තිරගත වෙන කොට අවුරුද්ද වෙනුවෙන් මිනිස්සු ලක ලෑස්ති වෙන කාලයක්. කාගෙත් හිත්වල තියෙන්නේ සිංහල අලුත් අවුරුද්ද. ඒත් මම මේ අවදානම දැන දැනත් චිත්‍රපටය රිලීස් කරන්න කැමති වුණා. එහෙම නොවුණා නම් මට මේ චිත්‍රපටය පෙන්න ගන්න තව අවුරුදු ගණනක් බලන් ඉන්න සිද්ධ වෙනවා.

අවදානම නොසලකා චිත්‍රපටය රිලීස් කළත් කොරේ පිටට මරේ කිව්වා වගේ රට තුළ ඇති වූ හදිසි ත්‍රස්ත ප්‍රහාරය ඔබේ නිර්මාණයට මරු පහරක් වුණා නේද?

මගේ නිර්මාණයට විතරක් නොවෙයි. මේ වෙන කොට තිරගත වෙමින් තිබුණු සෑම නිර්මාණයක් සඳහාමත් ඒ දේ බලපෑවා. චිත්‍රපට හෝල් එක දිගට වසා තැබුවා. ප්‍රේක්ෂකයෝ හෝල්වලට එනවා තියා පාරක බැහැලා යන්න බිය වුණා. සමහර හෝල් තවමත් වහලා.

ඔබ මේ සිනමාපටය නිර්මාණය සඳහා යොමු වන්නේ මීට වසර කීපයකට කලින්?

2017 වසරේ මම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. ඒත් මට මේක පෙන්න ගන්න හම්බ වෙන්නේ 2019 වසරේ. නිර්මාණය කර ගන්නත් එය සමාජගත කරන්නත් මට ලොකු අභියෝග රැසක් ජයගන්න සිදු වුණා ආධුනික චිත්‍රපට නිෂ්පාදකයෙක් නිසා.

එතකොට ඔබ ඔය ගැන නොදැනද නිෂ්පාදන පැත්තෙන් චිත්‍රපට නිෂ්පාදනය තෝරගත්තේ?

ඔව්. අර කියනවානේ වතුරට බහින්න ඕනේ පීනන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මම ගොඩ ඉන්න කොට හිතුවා මම අහල තියෙන දේවල් එක්ක පීනන්න පුළුවන් කියලා. ඉතිං මම ඒ අදහසින් ඉස්කෝලෙට මං ආවා නිෂ්පාදනය අරන් වතුරට බැස්සා. එතකොටනෙ දන්නේ මට පීනන්න බෑ, පිනන්න නම් බොහෝ දේ මේ තුළ ඉගෙන ගන්න ඕනෑ කියලා.

ඔබේ මේ කුළුඳුල් සිනමා නිෂ්පාදනය තිරගත කිරීමේදී ආධුනික චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසින් ඔබට මුහුණ දෙන්න සිදු වුණේ මොන වගේ ගැටලුකාරී තත්ත්වයන්ටද?

අද අපි චිත්‍රපටයක් නිෂ්පාදනය කළත් අපිට ඒක පෙන්න ගන්න හෝල් නැහැ. අද තියෙන්නේ හෝල් මාෆියාවක්. මේ සර්කිට් මාෆියාව ජය ගන්න එක හරි අමාරු වැඩක්. ආධුනික නිෂ්පාදකයකුට ඒක ජය ගන්න හරිම අමාරුයි. චිත්‍රපටය පෙන්න ගන්න අද අත යට ගනුදෙනු නැතුව බෑ. සල්ලි වගේම ස්ත්‍රී පහසත් අද අවශ්‍යම දෙයක්. මේ වගේ අත යට සතුටු කිරීම් මත චිත්‍රපටයක් පෙන්න ගන්නවා කියන එක ප්‍රසිද්ධ රහසක්.

ඔබ මුලින්ම චිත්‍රපට නිෂ්පාදනයට නොවෙයි එක් වන්නේ? ටෙලි නාට්‍ය නිෂ්පාදනයට නේද?

මම කලා ක්ෂේත්‍රයට එක් වන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ලෙසින්. ඒ 2015 වසරේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ පිටකොටුව ප්‍රසාංගික ටෙලි නාට්‍ය ඔස්සේ. මේ ටෙලි නාට්‍ය කොටස් හැටකින් සමන්විතයි. අපි කොටස් 15 ක වැඩ ඉවර කරලා මේ ටෙලි නාට්‍ය ලංකාවේ හැම ටෙලිවිෂන් මාධ්‍යයකටම ලබා දුන්නා. ඒත් අද වෙනකන් ඒ කිසිම නාළිකාවකින් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මම මේ ටෙලි නාට්‍ය වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි හතරක් වැය කළා. ලංකාවේ ප්‍රධාන පෙළේ නළු නිළියෝ රඟපෑවා. මෙහි ටෙලි පිටපත ලියන්නේ එහි අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දමයි.

ඔබේ ටෙලි නාට්‍ය මංගල නිෂ්පාදනයත් ප්‍රේක්ෂකයන් අතරට එක් නොවන මොහොතක ඔබ චිත්‍රපට නිෂ්පාදනයක් වෙනුවෙන් සිත යොමු කළේ?

2012 වසරේ මම සිංගප්පූරුවේ ඉඳලා සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් ලෙස ඉගෙන ගෙන ලංකාවට එනවා. ඒ ඇවිත් මම මගේම ආයතනයක් ආරම්භ කරලා ව්‍යවසායකයෙක් ලෙසින් දිගු ගමනකට ආරම්භයක් ඇති කර ගන්නවා. මේ අතරේ මා තුළ තිබූ කලාවට තියෙන ආශාව නිසා ඒ සඳහා දායක වන්නේ කොහොමද කියලා හිතමින් ඉන්න කොට තමයි හර්ෂ උඩකන්ද මට හඳුනගන්න ලැබෙන්නේ. ඔහුගේ අදහසක් මත මම ටෙලි නාට්‍ය නිෂ්පාදනයට එක් වෙනවා. හැබැයි මේ කර්මාන්තයේ කිසිවක් පිළිබඳ මට දැනුමක් නොමැතිව මම කළේ මුදල් යෙදවීම පමණයි. ඒත් නිර්මාණය එළිදක්වන්න මට නාළිකාවක් නැතුව ගියා.

මගේ හිත තුළ ලොකු ආශාවකුත් තිබුණා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඒ සඳහා කතා සංකල්පයක් මගේ හිතෙත් තිබුණා. ඔය අතරේ ප්‍රසාද් සමරතුංගව හඳුනගන්න ලැබුණා. ඔහුත් සමඟ කතාකරන කොට මට හිතුණා මගේ කතා සංකල්පය කියලා ඔහු ලවා චිත්‍රපටයක් කරන්න ඇත්නම් කියලා. ඒ අනුව මම ප්‍රසාද්ට මගේ කතා සංකල්පය ඉදිරිපත් කළා. ඔහු ඒ අනුව තිර පිටපත ලිව්වා. අවසානයේ යම් යම් සංශෝධන එක් කරමින් අපි තිර පිටපතේ වැඩ ඉවර කරලා චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගත්තා.

ඉස්කෝලෙට මං ආවා කතා සංකල්පය හරහා ඔබ සමාජයට දෙන්න උත්සාහ ගත්තේ?

මට ඕනෑ වුණේ සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න. උත්සාහය කවදා හරි ජය ගන්නවා කියන දේ. උත්සාහ කළොත් මොන බාධක ආවත් ඒක ජය ගන්න පුළුවන් කියන දේ.

ඔබේ අදහස නිර්මාණය හරහා සමාජගත වුණා කියලා ඔබ තෘප්තිමත්ද?

මගේ චිත්‍රපට නිෂ්පාදනය බලපු අය ඒක තීරණය කරයි මම බලාපොරොත්තු වූ දේ කොච්චර සාර්ථක වෙලාද කියලා.

මම කිව්වොත් ඔබ අධ්‍යක්ෂවරයකු හරහා ඔබේම අත්දැකීමක් සිනමාවට ගෙන ආවා කියලා?

මම ඒ දේට සියයට සියයක් එකඟ වෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා ගුරුවරු. මගේ ගම මාතර. ඒත් මම ලංකාවේ ගොඩක් දුෂ්කර පළාත්වල ජීවත් වුණා. ඉස්කෝල හතක මම ඉගෙන ගත්තා. අම්පාර, බදුල්ල, වැල්ලවාය, මොනරාගල, මහරගම ආදී ප්‍රදේශවල. වැඩිම කාලයක් ඉගෙන ගත්තේ මොනරාගල බුදුරුවගල කණිෂ්ඨ විද්‍යාලයේ. මේ හැම ප්‍රදේශයකටම මට යන්න වුණා මගේ අම්මට තාත්තට ලැබෙන මාරුවීම් හේතුවෙන්. දුෂ්කරතා මධ්‍යයේ තමයි ඉගෙන ගත්තේ. පහසුකම් නැති තරම්. උසස් පෙළ කරන අවධියේ මම සංගීත විෂය කළත් හරියට වාදනය කරන්න සංගීත භාණ්ඩයක් තිබුණේ නැහැ. කොහොම හරි මම ඉගෙන ගෙන සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වුණා. මේ ගමනේ යම් යම් දේ මගේ කතා සංකල්පයට වස්තු බීජ වෙන්න ඇති.

මේ සිනමා නිර්මාණය නිසාවෙන් ඔබව සමහරුන්ගේ චෝදනාවලටත් ලක් වෙන්න සිද්ධ වුණා නේද?

ඔව්. මෙරට චිත්‍රපට නිෂ්පාදනයේ රජෙක් කියන පුද්ගලයෙක් මට පිස්සා කියලා බැන වදිමින් දෝෂාරෝපණ පවා එල්ල කළා. මම කියන්නේ අපේ සිනමා කර්මාන්තය මේ තැනට ඇදලා දාන්න මේ පුද්ගලයෝ වගකියන්න ඕනෑ කියලා. අද මේ තුරුම්පු සෙල්ලම් ඇති වෙලා තියෙන්නේ මේ කුහක ඊර්ෂ්‍යාකාර ප්‍රවීණයන්ගේ වරදින් කියන එක මම පැහැදිලිව කියනවා. යම් නිර්මාණයක් අපි කළාම ඒකට වටිනාකමක් ලැබුණා නම් අපිට චිත්‍රපට කර්මාන්තය ගැන සතුටු වෙන්න තිබුණා. දේශපාලන හිතවත්කම්, බලපැම්, ඇතුළෙන් තියෙන හැඳුනුම්කම්, අත යට ගනුදෙනු නිසා අපේ කලාව අගාධයට යනවා. මම කියනවා අද හොඳ චිත්‍රපට නිර්මාණ බොහොමයක් තියෙනවා පෙන්න ගන්න බැරුව මේ මාෆියාවට කොටු වෙලා. ඒ නිෂ්පාදකයෝ අද අසරණ වෙලා. මෙන්න මේවට විසඳුමක් දෙන එක තමයි වගකිව යුතු හැමෝගෙම යුතුකම විය යුත්තේ.

පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය ලක්මිණි මෙන්ඩිස්. ඇය තමයි මගේ ව්‍යාපාර ලෝකයේ වගකීම් කරටගෙන මාව මේ පැත්තට යොමු කරලා තියෙන්නේ. ඇය මගේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක්. මගේ දුව මනුෂි දොලමුල්ල. ඇය තවම පුංචි ළදැරියක්.

චන්දන දයාසිරිවර්ධන
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.