මාර්තු 21 වැනිදා නිබඳ සිහිවන ගාමිණි හා සුමිත්‍රා

මාර්තු 21, 2019

 'රිදී තිරයේ මල්සරා' යනුවෙන් සුගතපාල ද සිල්වා 1963 දී හැඳින් වූ 'හෙළ සිනමාවේ සක්විති' ලෙස පසුව හැඳින් වූ සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකාගේ 83 වැනි ජන්ම දිනය යෙදී ඇත්තේ අදටය. 1963 දී 'තරුවක් නෙවෙයි නළුවෙක්' නමින් සරසවිය පත්‍රයෙන් එල්මෝ ගුණරත්න හැඳින් වූ එම වසරේම 'රිදී තිරයේ මල්සරා' ලෙසින් 'විසිතුර' පත්‍රයෙන් සුගතපාල ද සිල්වා හඳුන්වා දුන් ගාමිණී මීට වසර 15 කට එපිට ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.

 

ගාමිණී සිනමාවට පිවිසි කාලයේ ඔහු සමීපව ඇසුරු කළ සිනමා පුවත්පත් කලාවේදීන් අතළොස්ස අතර 'සරසවිය' පත්‍රයේ එල්මෝ ගුණරත්න (පසුව ජනතා පත්‍රයේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කොට 'ලංකාදීප' පත්‍රයේ ප්‍රධාන කතුවරයා විය) පසු කලෙක 1964 'සරසවිය සිනමා' සිනමා වාර්ෂිකයට ලියූ ලිපියක ඒ ප්‍රථම හමුවීම (1958) සටහන් කර තිබුණේ මෙසේය.

'ඒ දෛවයෝගයේ මුහුර්ති උත්සවය විය.

කඩවසම් තරුණයෙක් මැදුර ඉදිරිපස තනිවම වාඩි වී සිටියේය. ඔහු කිසිවෙකු සමඟ කතා කළේ නැත. ඔහු කිසිවක් ගැන උනන්දු වූයේ ද නැත.

මැදුර තුළ උත්සවය පැවැත්වෙයි. රුක්මණී දේවි, හා අයේෂා වීරකෝන් (පසුව ඇය වෙනුවට කුමාරිලතා තෝරා ගෙන ඇත) එඩී ජයමාන්න දොඩන කවට බස් නළු නිළියන්ගේ සතුටු සාමිචි අතරින් මා ඇදී යයි.

මම මැදුරින් එළියට ආවෙමි. තරුණයා තවමත් නිසලව සිටී. ඔහු ඊට පෙර දැක ඇති බවක් මට මතක නැත. පිරිසිදුවට, කෙටි කොට කැපූ, යන්තම් රැළි නැගෙන සේ උඩට පීරූ කෙස් ජීවයෙන් පිරි තරුණයෙකුගේ පැහැදිලි දීප්තිමත් ඇති ඇස්, නොමිටි නූස් නැහැය, නොමිටි නූස් මැදහත් පමණ සිරුර, තළෙළු පැහැය, ඇඟට හිරවුණු, කලිසම අත නැමූ කමිසය, නගරයේ කඩිසර තරුණයකු බව මුත්, අමුතුවෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ඔහු කෙරෙහි නොවීය.

'ඔබත් මේ චිත්‍රපටයේ රඟපානවාදැයි' ඔහු අසලට ගොස් ඇසීමි.

ඔව්, සුළු කොටසක් රඟපානවා' යි ඔහු නිශ්ශබ්ද විය.

ගාමිණී ෆොන්සේකා සිනමා නළුවෙකු වූයේ එහෙමයි. ගාමිණී ෆොන්සේකා පළමුවෙන් මට හමු වූයේ එහෙමය'.

ගාමිණී ෆොන්සේකා සමීපව ඇසුරු කළ ඔහුගේ රත්මලානේ සිරිමල් උයනේ නිවසට ගිය අතළොස්සක් පත්‍රකලාවේදීන්ට සුමිත්‍රා ෆොන්සේකා නම් ගෘහපතිනිය දැක් වූයේ විශේෂ සැලකිල්ලකි. ඒ හැත්තෑව දශකයේ මුලය. අද ගාමිණීගේ ගෙය පාළුව ගොස් ඇත්තේ එහි සිටි පති පතිනියන් යුවළම ජීවිතයෙන් සමුගෙන ඇති නිසාය. එදා උඩුකය නිරාවරණයව යුතුව බතික් සරමකින් සැරසී ආලින්දයේ ඇති බොකු ගැසුණු හම්වලින් සෑදුණු පුටුවක හිඳ දුම්වැටියක් ඇඟිලි තුඩුවල රඳවාගෙන අල්ලාප සල්ලාපයේ යෙදුණු ගාමිණී නම් අභීත පෞරුෂය බොඳ වී ගිය රූපයක් පමණි. වසර 35 ක පමණ ගාමිණීගේ ඇසුර ලැබූ මට අද ගාමිණීගේ දියණිය තනුජා හා ආනන්ද අබේනායක හමුවීමට යන විට මේ ගෙදර සිටි ගෘහ පතිනිය හෙවත් මහ කුරුළු ජෝඩුව නොදැකීමෙන් දැඩි සංවේගයක් උපදී. අර ආලින්දයේ තිබෙන බොකු ගැසුණු හම් පුටුව මේ සියලු දේ බලා සිටිමින් ගොළුවත රකී.

වසරේ මාර්තු 21 වෙනිදා හැත්තෑව දශකයේ නම් රස පිරුණු තැනකි. ඒ ගාමිණීගේ උපන් දිනය නිසාය. ගාමිණීගේ බිරිඳ සුමිත්‍රාට එය වෙනත් අයුරකින් විශේෂ දිනයක්ව තිබුණි. සුමිත්‍රා නම් පතිනිය 2013 වසරේ නොවැම්බර් 11 වෙනිදා මියයාම හරියටම සතියකට කලින් මට හමු වීම දෛවයේ සරදමක් වැනිය. ඇය හමු වී පුවත්පතක් සඳහා අවසාන ලිපියක් ලිවීමට ලැබීම නොසිතූ දෙයකි. එම ලිපිය පළ වූයේ 2013 නොවැම්බර් 10 වෙනිදාය. ගල්කිස්සේ සුසාන භූමියේ ඇය මිහිදන් කිරීමට ප්‍රථම විවෘතව තිබූ දේහයේ දෙපා මුල එම පුවත්පත් ලිපිය දියණියක් තැබුවාය.

'අම්මා දෙව් මව් තුරුලට යන කොට මේකත් ගෙනියන්න' යයි දියණිය හඬමින් කීවාය.

ලිපිය ලිවීමට මට සිත් වූයේ මන්දැයි මම අදත් කල්පනා කරමි. සුමිත්‍රාවන්ගේ ආදරණීය බෑණා කෙනෙකු වූ ප්‍රකට සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මට මේ ලිපිය ලිවීමට පසුබිම සකසා දුන්නේ ඒ වන විට ඇය කිසිදු පුවත්පතකට අදහස් දැක්වීමෙන් වැළකී සිටි නිසාය. සුමිත්‍රාවන් ආනන්ද බෑණා වුව ද එයට වඩා සමීප යාළුවෙක් සේ ඇසුරු කළාය.

'රන්ජිත්ට නම් කමක් නෑ. අපි ගැන හොඳට දන්න කෙනෙක් නේ' සුමිත්‍රාවන් කියා ඇත.

එදා ඇය මා සමඟ කී එදා පුවත්පතේ පළ නොවූ කරුණු රැසක් මගේ සටහන් පොතේ ඉතිරිව තිබුණි.

මා මුලින් කී පරිදි සුමිත්‍රාට මාර්තු 21 දිනය සදා සිහිපත්ව තිබුණේ එය ගාමිණීගේ උපන් දිනයට වඩා වෙනත් කරුණක් නිසාය.

'ගාමිණියි මමයි විවාහ වුණේ 1963 මාර්තු 21 දා. එදා මම කෙසේ අමතක කරම්ද? මට මුලින්ම ගාමිණී හමු වීම සිහිනයක් වගේ. ඒ වැල්ලවත්තේ නත්තල් සාදයකදී. ඒ වන විට මම ප්‍රේමනාත් මොරායස්ගේ 'ශ්‍රී 296' චිත්‍රපටයේ රඟපෑම සඳහා ගිවිසුම් අත්සන් කරලා. ගාමිණී ඩේවිඩ් ලින්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටයේ වැඩ කරන කාලේ. එදා නත්තල් සාදයට පැමිණි සාරියකින් සැරසී සිටි එකම තරුණිය මමයි. ගාමිණිත් සාදයට පැමිණි ඉතාම කඩවසම් තරුණයා ලෙස හැම මොහොතකම කැපී පෙනුණා. ඔහු මා දිහා උනන්දුවෙන් බලනවා මම දැක්කා. අපි දෙන්නගේ ඇස් හමු වුණා. අපි ඇස්වලින් කතා කළා.'

ඇගේ නම සුමිත්‍රා නොවේ. ඩොරති වැලැසියාය. ගෙදරට කීවේ 'ටීනා' කියාය. 1938 ජනවාරි 28 වෙනිදා උපත ලබා වත්තල ශාන්ත ආනා විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත. නැටුම්වලට තිබූ ආදරය නිසා ඇය ප්‍රවීණ නර්තන ශිල්පී ශේෂා පලිහක්කාරගෙන් නර්තනය ඉගෙන ගත්තාය. මේ කාලේ ශේෂා චිත්‍රපට නළුවෙකු ලෙස ද ප්‍රකටව සිටියේ 'මාතලන්' චිත්‍රපටයේ හා 'රේඛාව' චිත්‍රපටයේ රඟපෑම නිසාය. 'රේඛාව' චිත්‍රපටයේ සිටම ශේෂා හා ගාමිණී හොඳ මිත්‍රයන්ව සිටියහ.

නත්තල් සාදයේ සාරියකින් සැරසී සිටි චාම් ලස්සන කෙල්ල ගාමිණීට රසඳුනක් විය. ඇය ශේෂාගේ නැටුම් පන්තියට යන බව දැන තොරතුරු ගවේෂණය කළේය. ශේෂාගෙන් ඇය ගැන වගතුග විමසීය.

'ඔය අර ප්‍රේමනාත්ගේ චිත්‍රපටයේ ඉන්න කෙල්ලනේ. එයා එන්නේ වත්තල ඉඳලා. උඹ ඔච්චර එයාට කැමති නම් ඉරිදා මගේ නැටුම් පන්තියට වරෙන්'

'තිත් තෙයි, තිත් තිත් තිත් තෙයි' සුමිත්‍රා නටමින් සිටියාය.

'මෙයා මේ ඇවිත් ඉන්නේ මනමාල ගමනක්' සුමිත්‍රා ගාමිණී දුටු විගසම සිතුවාය.

ඒ හමුවීම මුල්ම කතාබහ අපූරු ආදර අන්දරයක් ඇරඹිණ.

ගාමිණී 'දෛවයෝගය' 'සන්දේශය' 'පිරිමියෙක් නිසා' 'දස්කොන්' චිත්‍රපට රඟපා 1962 තිරගත වූ 'රන්මුතු දූව' චිත්‍රපටයෙන් ලංකවේ ජනප්‍රිය නළුවා වී සිටියේය.

'රන්මුතු දූව තිරගත වූ කාලේ ගාමිණී හරිම ජනප්‍රියයි. සිනමාහල්වලට යන කොට රසික රසිකාවියෝ රොද බැඳ ගන්නවා'. 'ගාමිණියි ජීවරාණියි' යුගය ආරම්භ වුණා.'ගාමිණී අයියේ ඔයා ගැළපෙන්නේ ජීවක්කාට. ඒ නිසා ඔයා එයාව බඳින්න'. දහස් ගණනක් ලිපි ගාමිණීට ලැබුණා. ඔය අතරවාරේ අපි දෙන්නා විවාහ වන දර්ශනයක් කැමරා ශිල්පී විලී බ්ලේක් රූපගත කළා සුවඳ සබන් වෙළඳ දැන්වීමකට. මේ දර්ශනය රූගත වුණේ ගාමිණීගේ දෙහිවල මහ ගෙදර. පස්සේ ගාමිණීගේ අම්මා අපේ සම්බන්ධය ගැන ඉව වැටිලා තදින්ම යුද්ධ ප්‍රකාශ කළා. තාත්තා නම් විරද්ධ වුණේ නැහැ. මේ නිසා අපේ සම්බන්ධය රහසේමයි පවත්වා ගෙන ගියේ.'

සුමිත්‍රා මේ කාලේ 'ශ්‍රී 296' චිත‍්‍රපටයේ රඟපාමින් සිටියාය. ඇය රඟපෑවේ හෙන්රි ජයසේන, කිංස්ලි රාජපක්ෂ, ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්දෙනිය සමඟය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රේමනාත් මොරායස් ගාමිණීව සිනමාවට හඳුන්වා දීමට පුරෝගාමී වූ සමීපතම මිතුරා නිසා සුමිත්‍රාට ඒ චිත්‍රපටයේ පමණක් රඟපෑමට ඉඩ හැරියේය. 'ටීනා (ගාමිණී කතා කළේ එනමිනි) ඔය මඟුල් උත්සවවලට කරන වියදම් ඔක්කොම පුහු දේවල්. අපි රහසේම විවාහ වෙමු' ගාමිණී දිනක් කීවේය.

'අපිත් සල්ලිකාරයෝ නෙවෙයි. ඔයා කැමති විදිහට අපි රහසේම විවාහ වෙමු' සුමිත්‍රා ද කීවාය.

ඒ වන විට ගාමිණී දෙහිවල මහ ගෙදරින් වෙන් වී රත්මලානේ පුංචි ඇනක්සියක පදිංචිව සිටියේය.

දිනය 1963 මාර්තු 21 වෙනිදාය.

එදා ගාමිණී සියල්ල සංවිධානය කර තිබුණි. ගාමිණී තම ළබැඳි මිත්‍ර ජයසේන එල්ලවල යුවළට (බාටා සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ ජයසේන එල්ලාවල 'බිනරමලී' චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයකේ ද විය) හා කේ. විලියම්ස් (චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ) රෙජිස්ටාර් කාර්යාලයට එන්නට පෙර දිනම කියා තිබුණි. චිත්‍රපට කැමරා අධ්‍යක්ෂ සුමිත්ත අමරසිංහට හා රත්මලානේ සෝමසිරි පෙරේරා (සැනසුම කොතනද? චිත්‍රපටයේ නිෂ්පාදක) කියා තිබුණේ පුංචි වැඩකට එන්න කියාය. කොටින්ම විවාහ අපේක්ෂිත සුමිත්‍රාවත් එදින විවාහ වන බව දැනගෙන නොසිටියාය. 'ගම්පෙරළිය' චිත්‍රපටයේ රඟපෑ ගාමිණී බලා සිටියේ කප්පින වලව්වෙන් පිට වී කෙළින්ම පැමිණියේ සුමිත්‍රා හමුවීමටය.

'අපි අද බඳිමු'

'අද . . . මේ දැන්'

ගාමිණීගේ මේ හදිසි තීරණයෙන් ඇය කලබලයට පත් වූවාය. ගැමිණී සැලසුම් කර තිබූ ලෙස ඇය ගෙදරට නොදන්වා සාරියක් බෑගයක දමා තම පුංචි අයියා වූ ජෙරාඩ් සමඟ ජයසේන එල්ලාවලගේ නිවසට ගියාය. ලිලා ජයසේනගේ සංග්‍රහයක් ලැබූ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගියහ. ගාමිණී තමා නවාතැන් ගෙන සිටි ඇනැක්සිය භාර ඇන්ටිගේ සුළු සංග්‍රහයක් පිළිගන්වා ඔහුව රෙජිස්ටාර් කාර්යාලයට පිටත් කළේය. විවාහයට අත්සන් තැබුවේ ජයසේන එල්ලාවල හා කේ. විලියම්ස්ය. දක්ෂතම කැමරා ශිල්පීන් දෙදෙනකු වූ සුමිත්ත අමරසිංහ හා කේ. විලියම්ස් මේ අවස්්ථාවට කැමරාවක් නැතිව පැමිණියේ මේ සියල්ල රහසක්ව තිබූ නිසාය. විලියම්ස් තම බිරිඳ ඉක්මනට ගෙදර යවා කැමරාවක් ගෙන්වා ගත්තේය. විලියම්ස් ගත් පින්තූරයක් නොවන්නට එදා කිසිදු සිහිවටනයක් ඉතිරි නොවන්නට ඉඩ තිබිණි.

'අපේ විවාහයට ගියේ රුපියල් 23 යි. ඒකත් රෙජිස්ට්‍රාර් ගාස්තුව' ගාමිණී අපට කියා තිබුණි.

මේ නිසා මාර්තු 21 ගාමිණී හා සුමිත්‍රාගේ ජීවිතයේ සදා නොමැකෙන සිහිවටනයක් විය.

1972 වසරේ මා විසින් සම්පාදිත 'ගාමිණී සමරුව' නම් සංග්‍රහයට ගාමිණීගේ ආදර කතාව ද ඇතුළත් විය. මෙයට ගාමිණීගේ පෞද්ගලික හා සිනමා ජීවිතයේ විශේෂ පින්තුර රැසක්ම ඇතුළත් විය. එදා සුමිත්‍රා නිර්ලෝභීව තමා එකතු කර තිබූ ඡායාරූප මා අතට පත් කළේ 'පරෙස්සම් කරලා ගෙනත් දෙන්න' කියාය.

'මටත් දරුවන්ටත් අසනීපයක් වුණොත් ගාමිණී හරියට බය වෙනවා. ඒ වගේම වේදනාවෙන් පසු වෙනවා. ඇතැම් විට ෂූටිං කැන්සල් කරනවා. කොහොමත් ගාමිණී ලෙඩ රෝගවලට කලබල වෙනවා. ඔහු මෙතරම් බිය වන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ.

ඒ වගේම ගෙදර බුදු පිළිමයට පහනවක් නොදල්වා කවදාවත් ගාමිණී ගෙදරින් පිටව ගියේ නෑ. මට මතක් වෙන්නේ අපේ ළමයි පුංචි කාලේ අපි වීරවිල වත්තට ගිය දවස් ගැන. ගාමිණී එක දිගටම චිත්‍රපටවල දිවා රෑ වෙහෙසිලා ගෙදර එන දවසක මාත් දරුවනුත් අරගෙන වීරවිල වත්තට යනවා. ඒ කාලේ වීරවිල සංචාරක නිවාඩු නිකේතනයක්. ශාන්ත සුන්දර කලාත්මක පරිසරය ගාමිණී කවදත් අගය කළා. වීරවිලවත්තේ නිවාඩු බංගලාවට ඉදිරිපසින් දිස්වන්නේ පරිසරයට රමණීය සුන්දරවයක් ගෙන දෙන නිල්වන් හපුතලේ කඳුවැටියයි. ඉන් ඔබ්බට පිහිටා තිබුණේ කතරගම දෙවියන්ගේ මහානුභාව සම්පන්න තේජසින් ඔද වැඩී දිලිසෙන වැඩිහිටිකන්දයි. විරවිල ගත කළ සමහර රාත්‍රිවල ගාමිණී පැය ගණනක් නිවාඩු බංගලාවේ සඳළු තලයට වී මඳ සුළඟට ගීතවත් වෙමින් රළ නැඟෙන වීරවිල වැව් කොමලිය දෙස බලා ඉන්නවා.'

මේ තොරතුරු සුමිත්‍රා මට කීවේ 1971 වසරේ සංස්කරණය කළ 'ගාමිණී: නළු නිළි සමරුව' හා 1986 ලියූ 'ගාමිණ: හෙළ සිනමාවේ සක්විති' කෘතිය ලිවීමේදී ඇය හමු වූ අවස්ථාවේදීය.

සුමිත්‍රා ගාමිණී මිතුරන් ඇසුරු කළේ පරෙස්සෙමිනි. ඔහු කොතරම් ජනප්‍රිය නළුවෙකු වුව ද මිතුරන් ගණන් අතේ ඇඟිලි ගණනට සීමා කළ බව ඇය පැවසුවාය. ප්‍රසිද්ධියේ පෙනී සිටිම ද ඔහු අකමැති දෙයක් විය. විවේක කාලයේදී චිත්‍ර ඇන්ද ඔහු පොතපත කියවීමට රුසියෙක් බව ද, මිත්‍රයන්ගේ දුකේදී උදව් කළ යළි ප්‍රති උපකාරයක් නොලබන බව ද කීවාය.

'ගාමිණී අවුරුදු 45 දී මිය යන බව දෛවඥයෙක් කිව්වා. මම කිඳෙල්පිටියේ පන්සලට ගිහින් දවස් 45 ක් බෝධි පූජා තිබ්බා. ඒත් ගාමිණීගේ ජීවිතය වයස අවුරුදු 45 දී කිසිම අනතුරක් නොවූවත් ඔහුගේ ජීවිතයේ වෙනසක් ඇති වුණා. මගේ ජීවිතයේ සංක්‍රාන්ති සමය උදා වුණා. ගාමිණිගේ හදිසි වෙනස්වීමෙන් මම කලබල වුණේ නෑ. මගේ දරුවෝ මගේ තනියට හිටියා. මට ඒක ශක්තියක් වුණා. මම කිසිම අයුරකින් ගාමීණීට අබමල් රේණුවකින්වත් අපහාස කළේ නෑ. එයා මීට වසර 50 කට ඉස්සර තිබුණ ආදරය මා තුළ අදත් තියෙනවා. මැරෙන තුරු තියෙනවා.

'මම හැමදාම හවසට ගාමිණීගේ පින්තූරයට දුම් ඇල්ලුවා. ගාමිණී අතින් මොන වැරදි වුණත් මම අවංකව ආදරය කළා. මගේ දරුවන්ගේ පියා ලෙස, මගේ සැමියා ලෙස අපේ ගෞරවය භක්තිය, ආදරය හැමදාම පවතිනවා. දෛවය මට ලබා දුන් උතුම්ම සම්පත ගාමිණී" එදා මිය යාමට සතියකට පෙර සුමිත්‍රා කී සංවේදී කතාව මටත් අදත් සිහි වේ.

මේ නිසා මට පෞද්ගලිකව මාර්තු 21 වෙනිදා ගාමිණී මෙන්ම සුමිත්‍රාත් නිබඳ සිහි වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.