එකම කතාවේ ඩබල් ඇක්ටින්

දෙසැම්බර් 27, 2018

බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්වූ රමේෂ් සිප්පි 1972 වසරේ ඉතාමත් ජනප්‍රියවූ චිත්‍රපටයක් තිරයට ගෙන ආවේය, මෙය සිතා ඕර් ගීතා නම් විය,එවකට හින්දි සිනමාවේ ඉතාමත් ජනප්‍රිය තලයේ සිටි ධර්මේන්ද්‍ර,හේමා මාලිනි,සංජීව් කුමාර් යන නළු නිලියන් මෙහි ප්‍රධාන චරිත සඳහා යොදා ගත් අතර හේමා මාලිනි මෙහි ප්‍රධාන කාන්තා චරිත වූ සිතා ගේ හා ගීතාගේ චරිත දෙකම නිරුපනය කළාය.ඒ වනවිට මරදානේ ක්‍රවුන්,බොරැල්ලේ රිට්ස්,ලිඩෝ,රාජගිරියේ ඉම්පාලා,බේස්ලයින් සමන්තා,වැනි සිනමාහල්වල හින්දි චිත්‍රපට එක දිගට තිරගතවූ නමුත් මෙම චිත්‍රපටය නම් මෙරට තිරගතවූ බවක් මතක නැත,විශේෂයෙන් 1974 පමණ වන විට හින්දි චිත්‍රපට මෙරටට ගෙන්වීම සිමා කිරීම සමහරවිට මෙය මෙහි තිරගත නොවිම කෙරෙහි බලපාන්නට ඇත, ජි.පි.සිප්පි නිෂ්පාදන දායකත්වයෙන් මෙන්ම ආර්.ඩී බර්මන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වූ මෙහි කතාව ඉන්දීය ලේඛක දෙපළක්වූ සලීම් ඛාන් හා ජාවඩ් අක්තාර් රචනා කරමින් තිර කතාව සකස් කරන ලද අතර මුලින්ම මෙහි ප්‍රධාන කාන්තා චරිත දෙක සඳහා හින්දි සිනමාවේ එවකට සිටි ප්‍රමුඛතම නිළි දෙපළක වූ නුටාන් මෙන්ම මුම්ටාස් ගැනද අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමුවී තිබු නමුත් පසුව හේමා මාලිනීට අවස්ථාව උදා විය.

ළදරු වියේදීම එකිනෙකාගෙන් වෙන් කරවනු ලබන නිවුන් ගැහැණු ළමුන් දෙදෙනෙකි,

දඟකාර එකියක ලෙසද අනිකා අහිසංක දැරියක් ලෙස වැඩෙයි. ගැටළු ඇතිවන්නේ සතුරන්ට එරෙහිව දෙදෙනා මාරුවුණ විටය.

මෙරට සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ජෝ දේව් ආනන්ද් 1973 තම තුන්වන චිත්‍රපටය වන සුනේත්‍රා චිත්‍රපටය තිරගත කිරීමටත් පෙර තම මීළඟ චිත්‍රපටය ආරම්භ කළා මතකය,පසු කලෙක සුකිරි කෙල්ල නමින් නම් වූ 1975 තිරගතවූ රෝයි ද සිල්වා හා එච් .ආර්.ජෝතිපාල ප්‍රධාන පිරිමි චරිත දෙක රඟපෑ මෙම චිත්‍රපටයේ සුමනා අමරසිංහ චරිත දෙකක් නිරුපනය කළාය, මෙම චිත්‍රපටයේ කතාව සිතා ඕර් ගීතා චිත්‍රපටයෙන් වෙනස් වන්නේ මෙහි ගීතා හා සුජීවා යන අහිංසක හා දඟකාර තරුණියන් දෙදෙනා එකම මවකගේ දරුවන් නොවීමත් ,ඔවුන් දෙදෙනා කලින් සිටම හොඳීන් හඳුනන ඥාති දියණියන් දෙදෙනෙකු වීමත්,ගෙවල් මාරු කරනුයේ දෙදෙනාගේ එකඟත්වයෙන් වීමත්ය,එමෙන්ම දඟකාර සුජීවා නමැති තරුණිය සුමිත් යන විශ්ව විද්‍යාල සිසුවාහට (එච්.ආර්.ජෝතිපාල) බොරු ආදරයක් පෙන්වා රැවටීම මෙහි අතුරු කතාවක් ලෙස විකාශය වන අතර මෙවන් සිදුවීමක් හින්දි සිනමා පටයේ නැත. අවසානයේ පෙම්වතුන් සිව් දෙනාම එක්වන නමුදු සිතා ඕර් ගීතා චිත්‍රපටයේ මෙන් අවසානසටන් අවස්ථාද මෙහි නැත, මේ හැරුණු විට සීතාගේ ඥාති කාන්තාව ලෙස මනෝරාමා නිරුපනය කළ චරිතය මෙහි මේබල් බ්ලයිත් ද ඇගේ පුත්‍රයා ලෙස ෆ්‍රෙඩ් සිල්වාද පෙනී සිටින අතර සුමනා මෙන් මෙහි ඔහුද ද්විත්ව චරිත නිරුපනයක යෙදෙයි, තවද රුපේෂ් කුමාර් හින්දි චිත්‍රපටයේ රඟන රන්ජිත් ගේ චරිතයට මෙහි බි.එස්.පෙරේරා ආදේශ කර ඇති නමුත් වෙනස ඔහු මෙහි රන්ජිත් මෙන් දරුණු පුද්ගලයෙකු වෙනුවට තමාට සුපුරුදු විකටයාම වීමය. කෙසේ නමුත් සුකිරි කෙල්ල සිතා ඕර් ගීතා ආභාසය ලබා ඇති බව පෙනේ.

තම දියණිය ශ්‍යාමා ආනන්ද යොදවා චිත්‍රපට කිහිපයක් තැනු එම.එස්.ආනන්දන් 1978 වසරේ චන්ඩි ශ්‍යාමා චිත්‍රපටය තිරයට ගෙන ආවේ මුල් වරට ගාමිණි ෆොන්සේකා තමාගේ චිත්‍රපටයකට සම්බන්ධ කර ගනිමිනි, මෙම චිත්‍රපටයේ කතාව ද එක එල්ලේම සිතා ඕර් ගීතා චිත්‍රපටයේ කතාවට සමාන අතර වෙනසකට ඇත්තේ මෙහි ශ්‍යාමා අනන්ද නිරුපණය කරන ශ්‍යාමා හා කාන්ති යන චරිත දෙක සඳහා පෙම්වතුන් නොමැති වීමයි,වරක් ඇය සඳහන් කර තිබු පරිදි ඇගේ පියා ඇය පෙම් චරිත නිරුපණය කිරීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදැක්වීම මීට හේතු වන්නට ඇත,ඒ වෙනුවට චිත්‍රපටයේ ගාමිණි ඇගේ සොහොයුරා ලෙස රඟපායි,හින්දි චිත්‍රපටයේ ධර්මේන්ද්‍ර ගේ හා සංජීව් කුමාර් ගේ චරිතවලට මෙහිදී ගාමිණි රඟන චරිතය ආදේශ වී ඇත,එමෙන්ම හින්දි චිත්‍රපටයේ කතාවට අමතරව ගාමිණි හා රෙක්ස් කොඩිප්පිලි මිතුරන් දෙදෙනෙකු ලෙස යොදවා හින්දි චිත්‍රපටයේ නොමැති අතුරු කතාවක් ප්‍රධාන කතාවට සමගාමිව ගොඩ නංවා තිබෙන බව පෙනේ. මෙහිද චිත්‍රපටය ආරම්භයේදීම දරුවන් දෙදෙනා වෙන්වන අතර සිතා ඕර් ගීතා චිත්‍රපටයේ රන්ජිත් නමැති දුෂ්ට චරිතයට මෙහි සමගාමී චරිතය නිරුපනය කරනුයේ සේනක පෙරේරා ය, එමෙන්ම දුෂ්ඨ ඥාති කාන්තාව හා ඇගේ සැමියාද මෙහි ඇත,මෙහි දුෂ්ඨ කාන්තාව ලිලියන් එදිරිසිංහය,අවසන් සටන් ජවනිකාද ඒ අයුරෙන්ම තිබේ,සිතා ඕර් ගීතා චිත්‍රපටයේ හේමා මාලිනි පොලිසියක් තුළ විදුලි පංකාවක් මත නැගී වාඩිවී සිටින අයුරෙන්ම ශ්‍යාමා ද පොලිස් ස්ථානයක් තුළ විදුලි පංකාවක් මත නැගී වාඩිවී සිටින දර්ශනය මෙහිද ඒ අයුරෙන්ම දැක ගත හැක.

විමල් කුමාර ද කොස්තා සිතා ඕර් ගීතා චිත්‍රපටයේ රුපේෂ් කුමාර් රඟන රන්ජිත්ගේ හා චන්ඩි ශ්‍යාමා චිත්‍රපටයේ සේනක පෙරේරා රඟන දුෂ්ට චරිතයට පණ පොවනුයේ සිතා ඕර් ගීතා චිත්‍රපටයට සමාන්තරව නිපදවූ තවත් සිංහල චිත්‍රපටයක් වන යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ 1993 වසරේ තිරගතවූ චායා මායා චිත්‍රපටයේය, මෙහි චායා හා මායා යන ප්‍රධාන කාන්තා චරිත දෙකම නිරුපණය කරනුයේ ඒ වන විට තම සිනමා දිවියේ මුල් අවදිය ගත කරන දිල්හානි අශෝකමාලාය,මෙම චිත්‍රපටයේ විශේෂත්වය මව විසින් දිළිඳු බව නිසා එක දියණියක් ධනවත් යුවලකට හදා වඩා ගැනීම පිණිස භාර දීමය, රජිව් නානායක්කාර මෙහි සිතා ඕර් ගීතා චිත්‍රපටයේ ධර්මේන්ද්‍ර ගේ චරිතයද අජිත් ජිනදාස සංජීව් කුමාර්ගේ චරිතයද නිරුපනය කරන අතර එම චිත්‍රපටයේ සයේන්ද්‍ර කපූර් රඟන බදිරිනාත්ගේ චරිතය මෙහි ෆ්‍රෙඩි සිල්වා රඟපායි, මෙහි දුෂ්ට කාන්තාවගේ චරිතය සමන්ති ලැනරෝල්ට භාරවී ඇති අතර ඇගේ සැමියා වන්නේ රෝයි ද සිල්වාය,කලින් සඳහන් කළ චිත්‍රපට තුනෙහි මෙන් නොව මෙහි ඇගේ සැමියාද දුෂ්ටයෙකු බවට පත් කර තිබීම විශේෂයකි. රෝයි ද සිල්වා හා ෆ්‍රෙඩි සිල්වා මෙම චිත්‍රපට දෙස බලන විට ස්විශේෂී පුද්ගලයන්වේ,එයට හේතුව මෙම දෙදෙනා සුකිරි කෙල්ල හා චායා මායා යන චිත්‍රපට දෙකෙහිම රඟපෑමය, ඔවුන් දෙදෙනාහට අමතරව දොන් සිරිසේන හා බි.එස්.පෙරේරාද සුකිරි කෙල්ල හා චන්ඩි ශ්‍යාමා යන චිත්‍රපට දෙක සඳහාම දායක වී ඇත.

එමෙන්ම සිතා ඕර් ගීතා චිත්‍රපටයට සමගාමිව තවත් ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වී තිබේ,ගංගා මංගා නමින් 1973 තිරයට පැමිණි තෙලිඟු චිත්‍රපටය මෙන්ම1974 තිරගත වූ වානි රානි චිත්‍රපටයද මිට උදාහරණය, මිට අමතරව 1989 තවත් මේ හා සමාන හින්දි චිත්‍රපටයක් තිරයට පැමිණියේය,ශ්‍රී දේවි ද්විත්ව චරිත රඟපෑ මෙය චාල්බාෂ් නම් විය, චායා මායා වූයේ චාල් බාස්ය. මෙම චිත්‍රපට අතරින් සිතා ඕර් ගීතා වෙනුවෙන් හේමා මාලිනිද චාල්බාෂ් චිත්‍රපටය වෙනුවෙන් ශ්‍රී දේවි ද හොඳම නිළි චරිතය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමි කරගත් අතර දිල්හානි චායා මායා සඳහා ඇයගේ මුල්ම සම්මානය දිනාගත්තාය. ඒ 1994 සරසවිය සම්මාන උලෙළේදීය.

අනිල් වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.