සිතාරයෙන් සංගීතය ගොඩනැඟූ සරත් දසනායක

අගෝස්තු 1, 2019

වසර 1957 ය. හොරණ බෞද්ධ විද්‍යාලයේ (අද හොරණ දොන් පේදිරිස් විද්‍යාලය) ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක් බොහොම අමාරුවෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය. මේ ශිෂ්‍යයා ඉගෙනීමට දක්ෂ කෙනෙකු නොවීය. පුදුමය නම් එම විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ විභාගයට ඉදිරිපත් වූ ළමුන් 105 දෙනාගෙන් විභාගය සමත් වූ 35 දෙනාට තමාත් අයිති වීමය. මන්ද ඔහු බොහෝ වාර විභාගවලදී පන්තියේ අන්තිමයා වී වාර්තාවක් තැබූ ශිෂ්‍යයකු වීම නිසාය.

වෙළඳ ව්‍යාපාරිකයකු වූ දොන් ධර්මපාල දසනායකගේ හා මලලගේ පොඩි නෝනා පීරිස්ගේ දෙවෙනි පුතා ඔහුය. ඔහුට සහෝදර සහෝදරියන් සිව් දෙනෙක් වූහ. අම්මා ගුරුවරියක් ලෙස සේවය කළ නාවලපිටියේ අනුරුද්ධ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබු ඔහු ජාඇල නිවන්දම විද්‍යාලය, ලක්ෂපතියේ ශික්ෂාදාන විද්‍යාලය, හුණුමුල්ල මැදි විදුහලෙන් ද අධ්‍යාපනය ලබා ඇත. මේ ශිෂ්‍යයාගේ නම දීපා මිල්ටන් සරත් දසනායකය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම කර්ණ රසායන තනු නිර්මාණයේ උල්පතක් වූ මහා සංගීතඥයකු වූ සරත් දසනායකය. එක්දාස් නවසිය හතළිස් දෙකේ අගෝස්තු 13 වෙනිදා මොරටුවේ කටුකුරුන්දේ උපත ලැබූ සරත්ගේ කුඩා කාලය අඟහිඟකම්වලින් පිරුණු එකක් යැයි වසර 4-5 ක පමණ පෙර අපට නිහතමානීව ප්‍රකාශ කර සිටියේ ‘මේවා ‘සරසවිය’ පත්‍රයට ලියන්න’ කියමිනි.

‘අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න තිබූ නිසා මම වැඩිදුර ඉගෙන ගන්න උනන්දු වුණේ නෑ. මොකක් හරි රැකියාවක් හොයා ගන්න මම හිතුවා. මම වරෙක ගරාජයක මිකැනික් කෙනෙකු හැටියටත්, රේඩියෝ රෙපයාර් කරන්නෙකු ලෙසත් පුහුණුව ලැබුවා. මේ නිසා මට කාර් එකක කාර්මික දෝෂ හදා ගන්නත්, කැඩුණු රේඩියෝ හදා ගන්නත් හොඳ දැනුමක් ලැබුණා. ඒ හැම දේම පරිසමාප්තව ඉගෙන ගන්න ලැබුණේ නෑ. බලා ඉඳලම ඉගෙන ගත්තා. ඊට පස්සේ ලඝු ලේඛනයත්, ටයිප් කිරීමත් ඉගෙන ගත්තා. ඒකත් ඉගෙන ගනිද්දී අතරමඟ ඇණ හිටියේ ඒ පන්තිය හදිසියේම වසා දැමීම නිසා. මම අධෛර්ය වුණේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගය ගැසට් එක බලලා නිකමට වගේ ඉල්ලුම් කළා. මූලික පරීක්ෂණයෙන් සමත් වී මම පාර්ලිමේන්තුව අසල තිබූ මහා භාණ්ඩාගාරයට ගියා. මම එදා ඇඳ සිටියේ කළු පැහැති කොට කලිසමකින් හා සුදුපාට කමිසයකින්. එහි සිටි නිලධාරියෙක් හිතුවේ මම තවම පාසල් ශිෂ්‍යයෙක් කියලා.

‘ළමයා, මේ ළමයා ඉන්නේ රක්සාවක් කරන වයසක නෙවෙයිනේ, ඉස්කෝලෙකට ගිහිල්ලා ඉගෙන ගන්න.’

බලාපොරොත්තු සුන් කර ගත් මම ගෙදර ගිහින් ඇඳට වෙලා වහලේ උළු දිහා බලාගෙන හිටියා. සරත් දසනායක ඒ කටුක අත්දැකීම් විස්තර කළේය.

සරත්ලා එකල පදිංචිව සිටියේ හොරණය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලය තිබුණේ ඔහුගේ නිවස අසලමය. ඒ කාලේ ශ්‍රීපාලියේ මුද්‍රා නාට්‍යය, නැටුම්, සංගීත පන්ති පැවැත් වූ බව සරත් අසා තිබුණි. එහි වරක් ගිය ඔහුට එක් පන්තියකින් සංගීත භාණ්ඩවල මියුරු නාදයක් අසන්නට ලැබිණ. සංගීතයට කෙතරම් හිත ගියේ ද කිවහොත් ඔහු සංගීත පන්තියේ ගුරුවරයා උගන්වන ආකාරය ජනේලයකින් බලා සිටියේය. ඒ දිනය සරත්ට හොඳට මතකය. 1959 ඔක්තෝබර් 08 වෙනිදාය. මෙතෙක් ගත කළ තමාගේ ජීවිත ගමන වෙනස් කොට බුලත් හුරුල්ලක් ද රැගෙන ශ්‍රීපාලිය වෙත බයිසිකලයක නැගී ගියේය. එදා ද සරත්ට දෛවය සරදම් කළා යයි සිතුණේ පාසල වසා තිබූ නිසාය. එදා සංගීත පන්ති නොපැවැත් වුවත් සංගීත ගුරුවරුන් වූ හේවගේ ප්‍රේමදාස හා වීරසේන ගුණතිලක මේ ළමයා දෙස උවමනාවෙන් බලා සිටියහ.

‘ළමයා මොකද මේ පැත්තේ’

‘සර්, මම සංගීතය ඉගෙන ගන්න කැමතියි’.

‘මේ ළමය නේද සංගීත පන්තියේ ජනේලයෙන් බලා හිටිය ළමයා?’

‘ඔව් සර්’

‘ළමයා අපි අද පන්ති පවත්වන්නේ නෑ. මොකද අපේ සංගීත විශාරදවරයෙක් එඩ්වින් සමරදිවාකර මහත්තයාගේ ආදාහනය අද. අපිත් තව ටිකකින් යනවා’

සරත්ට එවෙලේ හිතුණේ ‘මටමද මෙහෙම වෙන්නේ’ කියාලු. ඔහු බයිසිකලේ නැඟීමට සූදානම් වුණා පමණි. අත්පුඩි හඬක් ඔහුට ඇසිණ. බයිසිකලය ද තල්ලු කරගෙන ඔහු ගුරුවරුන් වෙත පා නැගීය.

‘ළමයා, අද අවසන් ගමන් යන ගුරුවරයා වෙනුවෙන් ඔහුට ගෞරවයක් හැටියට ඔහේට අද ඉඳලම සංගීතය උගන්වන්න අපි හිතුවා. අපට අහිමි වූ ඒ ශ්‍රේෂ්ඨ සංගීතඥයා වෙනුවෙන් අපි තව ඒ වගේ කෙනෙක් මේ විද්‍යාලයෙන් බිහි කරන්න ඕනෑ’ යයි කිී හේවගේ ප්‍රේමදාස මහතා සරත් කැඳවාගෙන සංගීත කාමරය බලා ගියේය.

‘දෛවය එතරම් කුරිරු නෑ’ සිතා සිනාසෙමින් සරත් සංගීතයට පා නැඟීය. ඒ ගමන කෙළවර වූයේ ඒ කාරුණික ගුරුවරයාගේ මඟ පෙන්වීමෙන් අනාගත සංගීත යුග පුරුෂයෙක් බිහි කරමිනි. ඒ හරියටම මීට වසර 60 කට පෙරය. සංගීත කාමරයේ තිබූ සියලු සංගීත භාණ්ඩ දිහා සරත් බලා සිටියේ විස්මලන්තයට ගියා වැනි හැඟීමකිනි.

‘ළමයා ඉගෙන ගන්න කැමැති භාණ්ඩය මොකක්ද’ ගුරුවරයා ඇසීය.

කිසිම සංගීත භාණ්ඩයක් ගැන අවබෝධයක් නැති සරත්ගේ සිත එකවරටම ඇදී ගියේ එතැන තිබූ උසම සංගීත භාණ්ඩය වෙතය. එනම් සිතාරයටයි. සරත්ගේ ඇඟිල්ලට මිශ්‍රණය දැමු ගුරුවරයා සිතාර් වාදනයට නියත විවරණය දුන්නේය. ඔහුගේ පන්තියේ සිටි හොඳම මිතුරා වූයේ නවරත්න අත්තනායකය.

ඔහු සුජාතා පෙරේරා ගායන ශිල්පිනියගේ අනාගත සැමියා විය. ඔවුහු මැනවින් ශිල්ප උගත්හ.

සරත් මුලින්ම සිතාර් වාදකයකු ලෙස සම්බන්ධ වූ චිත්‍රපටය ‘උඩරට මැණිකේ’ (1963) චිත්‍රපටයටය. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ආර්. මුත්තුසාමිය.

සරත් දසනායක මුල්වරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමු කළේ ‘සිතිජය’ චිත්‍රපටය සඳහා වේහැල්ලේ පියතිලක විසිනි. දෙවන චිත්‍රපටය වූයේ චාල්ස් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘විස්මය’යි. ඒ සඳහා සරත් යොමු කරන්නේ සෝමපාල ලීලානන්දය. ඊට ප්‍රථම සරත්, ප්‍රේමසිරි කේමදාස සංගීතය මෙහෙය වූ චිත්‍රපටවල නිත්‍ය සිතාර් වාදකයා විය. සරත් දසනායක ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සිය මුද්‍රාව තබන්නේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයට සරත් සම්බන්ධ කරන්නේ කතා රචක, තිර නාටක රචක හා ජනප්‍රිය ගීත කිහිපයක් රචනා කළ සෝමපාල ලීලානන්ද විසිනි. සෝමපාල විසින් ලියූ ‘පාට පොදක් ගමන් විත්ති’ කෘතියේ මේ ගැන මෙසේ සඳහන් වෙයි. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කරන සේන සමරසිංහ නිෂ්පාදනය කරන ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ප්‍රශ්නයක් ඇති විය. නිෂ්පාදකයා යෝජනා කළේ පී. එල්. ඒ. සෝමපාලය. මිල්ටන් ද ඒ පැත්තේය. සෝමපාල තනි තීරණයේ සිට සරත්ව සංගීත අධ්‍යක්ෂණයට යොදා ගැනීමට සම්‍යයක් ප්‍රයෝග යෙදීය. ඔහු සටන ජය ගත්තේය.

එවකට සරසවිය පත්‍රයේ සිටි මට මුලින්ම සරත් මෙන්ම මිල්ටන් ජයවර්ධන හඳුන්වා දෙන්නේ සෝමපාල ලීලානන්ද විසිනි. මා සෝමපාල හඳුනා ගත්තේ කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියේදීය. දිනක් සෝමපාල මට ගමනක් යන්න කතා කළේය. ඒ 1972 වසරේ යයි සිතමි.

‘රංජිත් වැඩක් නැත්නම් හවස අපි කරුණාරත්න අබේසේකරලගේ ගෙදර යමුද? සරත් ලස්සන තනුවක් හදලා තියනවා. හින්දි ගීත පරාදයි. මමත් සින්දු කිහිපයක් ලිව්වා. ජෝතියි, ඇන්ජියි ගයන සින්දුවට වචන දාගන්නයි ඕනෑ’

‘මම එහෙනං හවස කරු අයියලගෙ ගෙදර එන්නම්’ මම කීවෙමි.

සරත්, මිල්ටන්, සේනක හා සෝමපාල එදා කරු අයියලගෙ ගෙදර ඇවිත් සිටියහ. සරත් හාමෝනියම් එකෙන් කිහිපවරක් තනුව ගයා පෙන්වීය. මිල්ටන් කිවේ මේ යුග ගීයේ පෙනී සිටින්නේ ගාමිණී හා මාලිනී බවය. කරු අයියා තනුව මුමුණමින් ගේ පුරා ඇවිද්දේය. වරෙක සරස්වතී දේවියගේ පින්තූරය ළඟ ටික වේලාවක් ගත කළේය. පෑන අතට ගෙන වචන ලියූ අතර සරත් එය ගායනා කළේය.

‘අමර පෙම් ලතාවේ

රන් මලක් උදාවේ

අඳුන් සඳුන් සුව මැවේ

මමෝ මන්දිරේ

ඉසුරුමුණි කතාවේ

යුවළ දැන් සිනාසේ’

සරත් දසනායක අතින් අපූරු ගීතයක් මැවිණි. මේ ගීතයට මා කොතෙක් ආදරය කළා ද යත් එය පටිගත කරන අවස්ථාවට සහභාගි වුණෙමි. ඉන් පසු සරත් හා බැඳුණු මිත්‍රත්වය නිසා පසුව සෝමපාල ලීලානන්ද රචනා කළ ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ (වික්ටර් හා ඇන්ජිට) ‘දෑසේ මාගේ සැතපෙනා’ (ඇන්ජි), ‘වාසනාව දොර ඇරලා බලනවා (ජෝති හා එම්. එස්.) ගීත ද පටිගත කරන අයුරු දැක බලා ගැනීමට ගියෙමි.

සරත් දසනායක මරු සින්දු ටිකක් කරලා තියෙනවා. චිත්‍රපටය ආවාම මිනිස්සු ඒ ගීත අහන්නම දෙතුන් පාරක් සිනමාහල්වලට යාවි. මොනවද? ශංකර් ජයකිෂන්ලා පරාදයි ඒ ගීතවලට. චිත්‍රපට ක්ෂේත්‍රයේ දසතින් ඇසෙන්නට වූහ. සරත් වටා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු රොඳ බැඳ ගත්හ.

සරත් දසනායක විසින් නිර්මාණය කළ ජනප්‍රිය ගීත ගැන සෝමපාල ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ සමරු සංග්‍රහයට ලියූ මේ අටුවාවෙන් ඒ බව මොනවට පැහැදිලි වේ.

‘හේවිසි - බෙරය - හොරණෑව ඔහු අණ වැකුණු සැණින් රඟන්නට ගනියි. වයලීනය සිතාරය බටනළාව ඔහු අණ වැකුණු සැණින් එකිනෙක නාද වෙන්නට ගනියි. ඕබෝ සෙක්සෆෝන් – ක්ලැරිනට් – ඩ්‍රම් සෙට් ඔහු අතින් මොහොතකින් සලිත වෙන්නට ගනියි. ජෝතියි – ඇන්ජි ඔහු අත වැකුණු සැනින් ගයන්නට ගනියි. ඔහු අතරින් කවුරු වයතත් කවුරු ගයතත්, සිංහලකමත්, සිංහල රටටත් කිසිදු හානියක් නෙවෙයි. රසය මෙයයි. සිංහල හදවත ගැස්සෙන තාලය ඔහුගේ තාලයයි. දෑ අනුරාගය ඔහුගේ රාගයයි රාවයයි.’

සරත් දසනායක චිත්‍රපට සංගීතයේ නව වෙනසක් කරමින් චිත්‍රපට රැසකට ජනප්‍රිය මෙන්ම භාවපූර්ණ ගීත රැසක් දායාද කළේය. ‘දිනුම් කණුව’ චිත්‍රපටයට වික්ටර් ගැයූ ‘මියුරු කල්පනා’, ඉන්ද්‍රානි ගැයූ ‘ඉරට අකීකරු’, කස්තුරි සුවඳ චිත්‍රපටයට ජෝති හා ඇන්ජලින් ගැයූ ‘පාට පොදක් තිලකලා’, ‘හද විමන් දොරින්’ ජෝති ගැයූ ‘ලස්සන ලෝකකෙ’ ඇන්ජි ගැයූ ‘පෙම්වතියන්නේ’ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ ඇන්ජි ගැයූ ‘රොන් සොයා’ ජෝති ගැයූ ‘රන් මසු රන්’ ‘සංගීතා’ චිත්‍රපටයට ජෝති ගැයූ ‘ලෝකයේ වෙනස් වුණේ’, ‘සල් සපුනා’ ජෝති හා ඇන්ජි ගැයූ ‘ඉර සඳ වැඳලා’, ‘මී පිරුණු සුවඳ මල් වනේ’ දුහුළු මලක් චිත්‍රපටයේ අබේවර්ධන හා සුජාතා ගැයූ ‘බොඳ මිදුම්’ මල්ලවාරච්චි ගැයූ ‘රෝමයේ ලෙසේ’ ‘උන්නත් දාහයි මලත් දාහයි’ චිත්‍රපටයේ ජෝති සහ ඇන්ජි ගැයූ ‘රන්දුනු හී දරා’ ලතා ගැයූ ‘නිල්මිණි සැංගී පාවි’ ‘නිල්ල සොයා’ චිත්‍රපටයේ මල්ලවාරච්චි හා ඇන්ජි ගැයූ ‘යෞවන උයනේ පියුම් තටාකෙ’, ‘මියුරු පෙම් මදිරාවේ’ මල්ලවාරච්චි ගැයූ ‘නිල්ල නඟන’, ‘මා ආදර කෙල්ලේ’ ‘හිතුවොත් හිතුවාමයි’ චිත්‍රපටයේ ඇන්ජි ගැයූ ‘මා එදා’ ලතා හා වික්ටර් ගැයූ ‘චුක්කි දුක්කි කියල’ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ නන්දා ගයන ‘පිනිදියෙන් විකසිතව’ ‘චණ්ඩි පුතා’ චිත්‍රපටයේ ජෝති හා ඇන්ජි ගැයූ ‘තනියේ ආවාරේ’ ලතා ගැයූ ‘අම්මලා දුක් ගන්නේ’ ජෝති ගැයූ ‘බඹර වාගේ’ ‘යකඩයා’ චිත්‍රපටයේ ජෝති හා සුජාතා ගැයූ ‘ආශා රැළි දෑසේ වෙලී’, ‘විශ්මය’ චිත්‍රපටයේ සනත් ගැයූ ‘ලස්සන නම් පෙනෙන්නෙ’, ‘අමුතු අමුතු අරුණළු’ ‘ආශා දෑසින්’ චිත්‍රපටයේ මල්ලවාරච්චි ගැයූ ‘මුව මද හසේ’, ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයේ කපුගේ ගැයූ ‘උන්මාද සිතුවම්’ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ මල්ලවාරච්චි හා නීලා ගැයූ ‘කීණ දං මිටක්’, ‘මී අඹ අත්තේ’, ‘මීදුම් සිහින’ චිත්‍රපටයේ ජෝති ගැයූ ‘සරා සඳේ’ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයේ ඇන්ජි ග්‍රේෂන් ගැයූ ‘සිහින අහසේ වසන්තේ’, ජෝති හා ඇන්ජි ගැයූ ‘සෙනෙහස පෑවා’ ඒ ගී සයුරෙන් දෝතක් පමණි.

ටී. එම්.ජයරත්න, නීලා වික්‍රමසිංහ, ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා මුල්වරට ගී ගැයුවේ සරත් දසනායකයන්ගේ චිත්‍රපටවලින්.

සරත් දසනායකට අනාගත බිරිඳ ප්‍රීති නීලා විජේසුන්දර මුණ ගැසෙන්නේ සංගීත විද්‍යාලයේදීය. කඩුගන්නාවේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්‍රීති මහනුවර කලායතනයේ සංගීතය ඉගෙන ගත්තාය. එදා ඇය සමඟ සංගීත පන්තියේ සිටි ශිෂ්‍යයන් අතර වික්ටර් රත්නායක, සෝමපාල රත්නායක හා ටියුඩර් ජයශාන්ත ද වුහ. ඉන් පසු රජයේ සංගීත විද්‍යාලයට බැඳී හය අවුරුද්දක පාඨමාලාව හැදෑරීය.

ඒ කාලයේ සරත් සංගීත විද්‍යාලයේ සිටි දක්ෂතම සිතාර් වාදකයා ලෙස කැපී පෙනුණ ඔහුගේ ගුරුවරු වූයේ කේ. ඒ. දයාරත්න, ලයනල් එදිරිසිංහ, කේ. ඒ. ධර්මසිරි පෙරේරා, ගුණපාල පෙරේරා, එස්. ඩී. එස්. ජයසේකර.

‘මම ඉගෙන ගත්තේ එස්රාජය. සරත් තමයි සංගීත විද්‍යාලයේ වාදන මණ්ඩලය මෙහෙය වූයේ. වාදක මණ්ඩලය මෙහෙය වන අතරෙ සරත් මා දිහා බැලුවා. මම ගණන් නොගෙන හිටියා. මම සමූහ වාදන කරන කොට සරත්ගෙන් උපදෙස් ගත්තා. මට වඩාත් ඔහු උනන්දුවෙන් උදව් කරනවා දුටු මගේ යාළුවෝ අපේ නම් එකතු කරලා විහිළු කරන්න පටන් ගත්තා. ඒ කාලේ මගේ පන්තියේ හිටිය සුජාතා පෙරේරා (අත්තනායක) මට කිව්වා ‘සරත් හොඳයි නේද? දක්ෂ ළමයෙක්’ කියලා. සරත්ගේ විද්‍යාලයේ හිටිය හොඳම යාළුවා නවරත්න අත්තනායකනෙ. පස්සේ සුජාතා විවාහ වුණේ නවරත්න එක්ක. අන්තිමට විහිළුව ඇත්ත වුණා. 1970 දෙසැම්බර් මාසයේ අපි විවාහ වුණා.’

සරත් සහ ප්‍රීතිට දරුවන් තිදෙනෙකි. ලොකු පුතා රංග දසනායක අද සංගීත ක්ෂේත්‍රයේ තාක්ෂණයත් සමඟ නව අත්හදා බැලීම් කරන ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශබ්ද පරිපාලනය විෂයය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ඔහු ඩ්ඪබ ජ්චජබධපර ශබ්දාගාරයේ අධිපතිවරයාය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස රංග ජූලියා - දළදා ගමන - සරුංගල් - අජාසත්ත චිත්‍රපටවලින් ප්‍රතිභාව දැක් විය. දියණිය ලක්මලී දසනායක දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගෞරවයක් දිනා දැන් එංගලන්තයේ වෙසෙයි. බාල පුතා සංඛ දසනායක දක්ෂ වාදකයෙකි. ඔහු මව සමීපයේ වෙසෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ සංගීතය භාර අධ්‍යක්ෂවරයකු ලෙස සරත් සේවය කළ අතර බිරිඳ ප්‍රීති ලුම්බිණි විද්‍යාලයේ සංගීත උපදේශිකාව ලෙස කලක් කටයුතු කළාය.

සරත් දසනායක චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද විය. මිහිදුම් සිහින, මධු සිහින, ආත්මා ඔහු නිපද වූ චිත්‍රපටය. ඔහු 1984 වසරේ ‘ඈතින් ඈතට’ සහ 1985 වසරේ ‘සසර චේතනා’ චිත්‍රපට සඳහා සරසවිය සම්මානවලින් පුද ලැබීය.

සිංහල චිත්‍රපට රැසක පසුබිම් සංගීතය මෙහෙයවා අනර්ඝ ජනප්‍රිය ගී සමුදායක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ සරත් දසනායකයෝ මීට හරියටම වසර 20 කට පෙරෙ එනම් 1999 නොවැම්බර් 18 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. ඔහු මානව දයාවෙන් යුතු නිහතමානී මිනිසෙකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.