කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අගෝස්තු මාසයේ

Friday, අගෝස්තු 9, 2019 - 10:15

අටවැනි වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව පසුගියදා යුනියන් පෙදෙසෙහි ඩයලොග් ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මෙවර නම්කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උලෙළ නමිනි. අගෝස්තු මස 03 වැනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත මේ නාට්‍ය උලෙළ අගෝස්තු 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. අගෝස්තු 04 - 09 වැනිදා දක්වා පැවැත්වෙන නාට්‍ය දර්ශන මරදාන එල්ෆින්ස්ටන් ශාලාවේදී සවස 7.00ටත්, අගොස්තු 5 - 7 දක්වා පැවැත්වීමට නියමිත කොළඹ නාට්‍ය කතිකාව කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, අගෝස්තු 4 - 8 දක්වා නූතන රංග කලා වැඩමුළු ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වෙයි.

මෙම කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළට ශ්‍රී ලංකාව ඇතුළු ජර්මනිය, අමෙරිකාව, රුමේනියාව, ඔස්ට්‍රියාව, පකිස්තානය, ඉන්දියාව ඇතුළු රටවල 08ක නාට්‍ය නිර්මාණ 13ක් වේදිකා ගතවීමට නියමිත අතර දේශීය විදේශීය නාට්‍යකරුවෝ 200ක් පමණ එකම බිමක මුණගැසෙති. අන්තර්ජාතික වශයෙන් මෙවර පැමිණෙන ආරාධිත නාට්‍යකරුවා වන්නේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ නාට්‍ය හා නර්තන අංශ ප්‍රධානී තෝමස් ස්ටුම්ප් මහතායි. මේ නාට්‍ය උලෙළ නැරැඹීමට පැමිණෙන්නන්ට ඹඹඹ.ජඪබටඵපඪතචදඬච.ජධථ යන වෙබ් පිටුව ඔස්සේ සිය ටිකට් වෙන්කර ගත හැකි අතර පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ පහසුකම් යටතේ නාට්‍ය නැරැඹීමට අවස්ථාව උදාකර ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ අධ්‍යක්ෂ එම්. සෆීර්, ප්‍රවීණ නාට්‍ය වේදී පරාක්‍රම නිරිඇල්ල, ප්‍රවීණ ගීතරචක හා නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල, කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ ලේකම් ජයලත් එස්. ගෝමස් ඇතුළු පිරිස පැමිණ සිටින මාධ්‍යවේදීන්, විද්වත් පිරිස ඇතුළු ආරාධිතයන් ඇමතූ අයුරු හා ඒ උත්සව අවස්ථාවේ දසුන් කිහිපයකි.

තිලානි ශානිකා

ඡායාරූප - රුවන් ද සිල්වා