නූර්බායිට මරදාන පල්ලියෙන් නඩු

ජනවාරි 9, 2020

රාජකීය වික්‍රමය මෙරට තිර ගත නොකළ ද ලංකාවේ මුල්ම චිත්‍රපටය ලෙස සලකනු ලබයි. එහි නිෂ්පාදක ටී.ඒ.ජේ.නූර්බායි එයට පෙර ද චිත්‍රපට නිෂ්පාදනයෙහි යෙදිණ. මේ බව සනාථ වනුයේ 1923 වසරේ පෙබරවාරි මස 19 වැනි දින ඩේලිනිවුස් පුවත්පතේ මුල්පිටුව පිරික්සීමෙන්ය. රාජකීය වික්‍රමය මෙරට දී දැක ගත නොහැකිවූ සේම නූර්බායි පිළිබඳ මෙම ප්‍රවෘත්තිය අනුව ඔහු සතුව ඒ වන විටත් සිනමා කැමරා හා උපකරණ තිබිණ. ඒ ගැන ලියනන්ට පෙර පිටකොටුවේ මල්වත්ත පාරේ සිට ඉවත්ව යන නූර්බායි ගැන සොයා බැලීම වැදගත්ය. මේ පිලිබඳ බොහෝ කරුණු පසුගිය සරසවිය පුවත්පත් හා වෙබ් අඩවියට පිවිසීමෙන් කියැවිය හැකි බැවින් ඒ පිළිබඳ දීර්ඝ විස්තර යළි ලිවිය යුතු නැත.

පිටකොටුව මල්වත්තේ ඇති ගොඩනැගිලි ඉවත් කොට හාල් ස්ටෝරු ඉදි කිරීමට විරුද්ධව විරෝධතා රැස්විමක් පිටකොටුව පුස්තකාලයේ පවත්වන නමුත් රජය මගින් එය එතරම් සැලකිල්ලකට ගත් වගක් පෙනෙන්නට නැත. ඒ අනුව එහි තාවකාලික ගොඩනැගිලි සියල්ල ඉවත් කරන අතර අලුතෙන් ඉදිවුණ ගබඩා සංකීර්ණය 1915 වසරේ මැයි මස 11 වැනි දින විවෘත කරනු ලබයි. ඒ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් චාර්මස් අතිනි. ආණ්ඩුවේ හාල් ස්ටෝරුව නමින් ජනතාව අතර හැඳීන්වුන ගබඩා සංකීර්ණයේ නිල නාමය චාර්මස් ධාන්‍යාගාරය වූයේ එහෙයිනි. මෙම ධාන්‍යගාරය විවෘත කිරීම සදහා ව්‍යාපාරිකයන් රැසක් ඇරයුම් ලද අතර එයින් බහුතරය ඉන්දියානු ව්‍යාපාරිකයෝ වූහ. ඔවුහු විශේෂ මල්මාලාවකින් චාමස් ආණුඩුකාරයා පිළිගත්හ. මෙම උත්සවයේ ස්තූති කතාව පවත්වා ඇත්තේ නූර්බායි විසින් වීම විශේෂයකි. කෙසේ වෙතත් නූර්බායි විසින් ආරම්භ කරන ලද ලන්ඩන් බයිස්කෝප් ශාලාව පිළිබඳ කිසිදු පුවතක් ඒ වන විට අසන්නට නොලැබේ. එහි තිබුණු අනිත් සිනමා ශාලාව වන වෝර්වික් මේජර් ගේ එම්පයර් පික්චර් පැලස් ශාලාව තවත් ටික කලක් එහි පැවැතෙන අතර එය අලුත් ස්ථානයේ විවෘත කරනුයේ 1916 වසරේ ජුනි මස 10 වැනි දිනයේය.

මරදානට යන නූර්බායි අලුත් සිනමාහල විවෘත කරනුයේ පැරැණි නාට්‍ය ශාලාවක් වූ මරදානේ සදර්න් රෝඩ් හි පැවැති ක්‍රයිටීරියන් ශාලාව ඔලිම්පියා නමින් සිනමා ශාලාවක් බවට පරිවර්තනය කරමින්ය. සදර්න් රෝඩ් යනු වර්තමානයේ ටී.බී ජයා මාවතට අයත් මරදාන ගාමිණී හෝල් වටරවුමේ සිට මරදාන දුම්රිය පොළ දෙසට ඇති කොටසයි. ඔලිම්පියා සිනමා ශාලාව විවෘත වනුයේ 1918 වසරේ ජූලි මස 5 වැනි දිනදීය. ක්‍රයිටීරියන් ශාලාවේ 1917 වන විට හිමිකරුව සිටියේ එච්එස්.තන්ත්‍රාය. එමෙන්ම ජෝන් ද සිල්වාගේ නාට්‍ය ගීතවල අයිතිය ලබාගෙන තිබුණු ෆ්‍රෙඩී ගුණසිංහ ද ක්‍රයිටීරියන් ශාලාවට සම්බන්ධ වූවෙකි. ඒ ජෝන් ද සිල්වා ගේ අභාවයෙන් පසු ඔහුගේ නාට්‍ය ටවර් හෝල් විසින් රඟ දැක්වීමට එරෙහිව ෆ්‍රෙඩී ගුණසිංහ අධිකරණය හමුවේ නඩු පවරනුයේ ඔලිම්පියා ශාලාවේ ලිපිනය සහිත වීම නිසාවෙන්ය.

ඔලිම්පියා නෘත්‍ය ශාලාව මරදානේ විවෘත වනුයේ එවකට වැඩබලන ආණ්ඩුකාරධුරය දැරූ රෙජිනෝල්ඩ් ස්ටබ්ස් මහතා ගේ සහ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. දිනමිණ පුවත්පත වාර්තා කරන අන්දමට මරුවාගෙන් ජයගත් අය නම් කොටස් 7ක් ඇති පුදුම නාටකය ජීවමාන පින්තූර එදින එහි ප්‍රදර්ශනය කර ඇත. ඊස්ටර්න් ෆිල්ම් කම්පනි වෙනුවෙන් ශාලාවේ කළමනාකරු වූයේ ඇම්.එච්.බෝතාය. 1924 වසර දක්වා ඔලිම්පියා සිනමාහල පවත්වාගෙන ගියේ ඊස්ටර්න් ෆිල්ම් කම්පනි මඟින්ය. මේ බව 1923 පෙබරවාරි 23 ඩේලි නිවුස් ප්‍රවෘත්තිය ද සනාථ කරයි. වැල්ලවත්තේ නූර්බායි විසින් අභිනවයෙන් ගොඩනගන ලද සිනමාහලට මුලින් තබන ලද්දේ ද ඔලිම්පියා යන නාමයයි.

කෙසේ වෙතත් නූර්බායි මරදානේ ඔලිම්පියා සිනමාහලෙන් ඉවත්ව යෑම ද අධිකරණය දක්වා ගිය කාරණයකි. එම නඩුව නූර්බායිට එරෙහිව පවරනුයේ එවකට මරදාන මුස්ලිම් පල්ලියේ භාරකරු වූ සම්සුදීන් මුදලියාර් මොහමඩ් කාසිම් හජ්ජියාර් විසිනි. පැමිණිලිකරුට අනුව ඉඩම පල්ලියට අයිති බැවින් 1920 වසරේ ඔක්තෝබර් මස 1 වැනි දින මාසයකට රුපියල් තුන්සියයක බැඳුම්කරයක් ලියන ලද්දේ එම ස්ථානය සිනමාහලකට සුදුසු අන්දමට සකස් කරදීමටය. (ඒ අනුව ඔලිම්පියා නමින් සිනමාහලක් විවෘත වුව ද එය පැරණි ක්‍රයිටීරියන් ශාලාවේ කිසිදු වෙනසක් නොකර පැවැත්වූ බවක් පෙනී යයි.) නූර්බායි එහි පදිංචියට පැමිනි හෙයින් 1921 වසරේ සැප්තැම්බර් 30 වැනි දින සිට නැවත බැඳුම්කරය අලුත් කරනු ලැබිණ. 1924 වසරේ පෙබරවාරි මස 13 වැනි දින අප්‍රෙල් මස 1 වැනි දින සිට මරදානේ ඔලිම්පියා ශාලාවෙන් ඉවත්වන ලෙස නූර්බායිට දන්වා තිබිණ. එය නොතැකූ නූර්බායි එහි රැඳී සිටියේය. ඔහු එයින් ඉවත්ව වැල්ලවත්තේ ඔලිම්පියා සිනමා ශාලාව විවෘත කරනුයේ ජූලි මස 5 වැනි දිනදීය. එබැවින් දිනකට රුපියල් පන්සියයක් පාඩු වූ බැවින් එම පාඩුව නූර්බායි වෙතින් ලබාදෙන ලෙස හජ්ජියාර් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මරදානේ ඔලිම්පියා සිනමා හල වෙනුවට වැල්ලවත්තේ ඔලිම්පියා සිනමාහල විවෘත කරන නූර්බායි එයින් ඉවත්ව යන්නේ අධිකරණයේ නඩුව සමථයකට පත්කොට එහෙත් වන්දියක් ගෙවිමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් 1923 වසරේ නූර්බායි විසින් කොළඹ පොලිස් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු පවරනුයේ අමෙරිකානු ජාතික සිනමාකරුවකු යැයි හඳුන්වාදෙනු ලබන ඩියුක් සෙලර් හෙවත් කැප්ටන් සෙල්ස්බරි නමින් ස්වයං හැඳීන්වීමක යෙදෙන්නෙකුට විරුද්ධවය. මේ නඩුව අපේ පැරණි නිෂ්පාදනයක යටගියාව හෙළිදරව් කරයි.

 

 

Add new comment