මෙරට තිර ගත කරන ලද මුල්ම ලාංකේය චිත්‍රපටය

නොවැම්බර් 14, 2019

 

මුල්ම සිංහල කතානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව වුවත් මෙරට මුල්වරට චලන චිත්‍රයක් තිරගත කරන ලද්දේ 1897 වසෙර්ය.

ලාංකික සිනමාවේ සැඟවුණු අතීත පුරාවත හෙළිදරවු කිරීමේ ගවේෂණාත්මක ලිපි මාලාවේ 54 වැනි ලිපිය අද පළ වෙයි.

මේ පැරණි ලිපි සියල්ල ඹඹඹ.ඵචපචඵචමඪරච.තඬ වෙබ් අඩවියෙන් කියවිය හැකිය.

 

සමහර දේවල් සොයා ගන්නට ලැබෙනුයේ අහම්බයක් හැටියටය. අපේ සිනමා වතේ සැඟවුණු යටගියාව සොයා පැරණි පුවත්පත් වාර්තා හා දැන්වීම් සොයමින් පසුගිය කාලයේ ගත කළ අපට මෙතෙක් කලක් කාලයේ වැලිතලාවෙන් සැඟව ගත් චිත්‍රපටයක් පිළිබද අපූරු පුවතක් අද අනාවරණය කරන්නට හැකිව ඇත. ඒ මෙරට තිර ගත කළ මුල්ම ලාංකේය චිත්‍රපටය පිලිබඳවය.

සැබැවින්ම වසරකට පෙරාතුව මෙම ලිපි මාලාව ආරම්භ කරන ලද්දේ මෙරට සිනමාවේ උපන් දිනය ලෙස රජය පිළිගන්නා 1947 වසරේ ජනවාරි 21 වැනි දින ට පෙර අතීතය සොයා ගැන්මටය. එමෙන්ම ඒ පිළිබද ලියැවුණු ඇතැම් ලිපිවල ඇති එක් එක් පරස්පර තොරතුරු අතර වඩා නිවැරදියැයි සැලකිය හැකි කරුණු අනාවරණය කිරීමය. කොටින්ම නූතන සිංහල මහාවංශයේ පවා සිනමාව පිළිබඳ සඳහන් කර ඇති කරුණු වල ඇති දෝෂ සොයා ගැන්මය. ඒ ගැන සොයා යද්දී අපේ සිනමා ඉතිහාසයේ සඳහන් නොවුණ බොහෝ කරුණු අපට අනාවරණය කරන්නට හැකිවිය. මේ ඒ අතර අතිශය වැදගත් කරුණක් වනු ඇත්තේ මෙරට තිර ගත කරන ලද මුල්ම ලාංකේය චිත්‍රපටය පිළිබඳ අනාවරණය කිරීමට හැකිවීමය. ලංකාවේ තැනුණු මුල්ම දේශිය චිත්‍රපටය ලෙස රාජකීය වික්‍රමය හෙවත් ශාන්තා චිත්‍රපටයට ගෞරවය හිමිවිය. මෙතුවක් මෙරට තනා තිර ගත කළ මුල්ම චිත්‍රපටය ලෙස සළකන ලද්දේ පළිගැනීම චිත්‍රපටයයි. ඒ 1936 වසරේ මැයි මස 19 වැනි දින කොළඹ කොටහේනේ එවකට පැවැති ගෙයිටි සිනමා හලේ ය. එහෙත් එයට වසර ගණනාවකට පෙර එනම් 1929 වසරේ අප්‍රේල් මස 21 වැනි දින කොළඹ එල්පින්ස්ටන් සිනමාහලේ තිර ගත කරන ලද දේශීය චිත්‍රපටයක් පිළිබද සරසවිය අද මෙලෙස අනාවරණය කර සිටියි. මෙරට සහමුලින්ම තැනුණු මේ චිත්‍රපටයේ නම රොමානිස් නම් වෙයි. එකල තැනුණේ නිහඬ චිත්‍රපට බැවින් මේ දේශිය චිත්‍රපටය සිංහල දෙමළ හා ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම උපසිරැසි ගන්වා තිබිණ. ඩේලිනිවුස් පුවත්පත හෙළිදරව් කරන අන්දමට එහි ඉංග්‍රිසි නම ඊඩ්ඡ් අර්‍ණර්ඒව්ඛ්ඡ් ර්‍ණජ් අර්‍ණර්ඒව්ධ්ඉ විය.

මේ 22 වැනි දින දිනමිණ පුවත්පතේ වාර්තාව සම්පූර්ණයෙන් උපුටා දැක්වීමයි

රොමානිස් ගේ කථාව

ඇල්පින්ස්ටන් ශාලාවේ බයස්කෝප්

දාරාකාභිවෘධිය

මෝඩ මවුවරුන්ගේ නොසැලකිල්ල

රොමානිස් චිත්‍රපටයේ අනතර්ගත කථාන්තරය සැකෙවින් මෙසේයි.

පිටිසර ගමක මව්වරු දෙදෙනෙක් වූහ. ඉන් එක් මවක් සාත්තුකාරියකගේ අවවාද අනුව දරුවෙකු ඇති දැඩි කළාය. ඒ දරුවාගේ නම රොමානිස් විය. රොමානිස් බාල කාලයේ පටන්ම දක්ෂ ළමයෙකි. ඔහු පිටිසර පාඨශාලාවකට ගොස් ‘අයන්න, ආයන්න “ ඉගෙන ගත්තේය. ඉන්පසු මවුපියන් විසින් කොළඹ උසස් ශාස්ත්‍ර ශාලාවකට යවන ලදුව රොමානිස් බාල වියෙහිදීම ශිෂ්‍යත්වයක් දිනාගෙන එංගලන්තේ විශ්ව විද්‍යාලයකට බැඳුණේය. රොමානිස් කල්යෑමේදී උසස් වෛද්‍ය විභාගයකින් සමර්ථ විය. ඉන් පසු ඔහු පෙරළා ලංකාවට අවුත් ස්වකීය ග්‍රාමයේ වෛද්‍ය මෙහෙය පිළිබඳ කටයුතුවල ව්‍යාවෘතවිය. ස්වල්ප කලකට පසු රොමානිස් දොස්තර මහතා උසස් පවුලකින් රූපත් තරුණියක සරණපාවා ගත්තේය. එතැන් පටන් ඒ මහතාගේ ජීවිතය දිනෙන් දිනම වාසනාවන්ත විය.

අනිත් පවුල පරණ සිරිත් විරිත්වලට ඇලීගැලී කටයුතු කෙළේය. දක්ෂ සාත්තුකාරියකගේ අවවාදයෙන් කිසිම පිරිමැස්මක් නොවන්නේයැයි ඒ මූඪ මෑණියෝ කල්පනා කළාය. හිතුමතේ දවසරිමින් සිටි ඒ මවට කොර පුතෙක් උපන්නේය. ඔහුගේ ජීවිතය දවසින් දවසට නොමගම ගමන් කරවන ලද්දේය. තරුණ වයසට පැමිණි කල්හි හෙතෙම ප්‍රසිද්ධ රාබේරුවෙක් විය. මත්පැන් බීමෙන්ම ඔහු අකාලයේ මරුමුවට පත්විය.

.චිත්‍රපටය නමැති මේ අග්ගලා ගුලිය ඇතුලේ අනර්ඝ ඹෟෂධයක් තිබේ. මුදලේ බලයෙන් හෝ පිරිස් බලයෙන් අත්පත් කර ගැනීමට නොහැකි ඒ බෙහෙත් ගුලිය ඊයේ ඇල්පින්ස්ටන් නෘත්‍ය ශාලාවට රැස්වූ සමූහයාට බෙදා දෙන ලද්දේය. පිටිසර පළාත් වැසියන්ට මේ චිත්‍රපටයේ ආධාරයෙන් යහපත් ගුරුකමක් ලබා ගැනීමට ඉඩ තිබේ.

දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති මවුවරුන් වෛද්‍යවරයෙක්ගේ හෝ සමර්ථ වින්නඹුවකගේ අවවාදය ලබා ගත යුතු බැව් චිත්‍රපටයේ කෙටි අදහසයි.

ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවේ හැටියට චිත්‍රපටය ආරම්භ වනුයේ අලුත් විවාහ පත් ජෝඩු දෙකක් වටාය. එක් යුවළක් හෙදියකගේ උපදෙස් ලබා ගන්නා අතර අනිත් යුවල සම්ප්‍රදායික බලි තොවිල් ශාන්තිකර්ම වල යෙදෙයි. රොමානිස් එක් පවුලකට උපදින නීරෝගී දරුවා වන අතර අනිත් පවුලේ දරුවා කොර්නේලිස්ය. කොරනේලිස්ගේ ආබාධ නිසා කම්පා වන ඔහුගේ පියා මත්පැනට ගොදුරු වෙයි. කොරනේලිස් ගේ මෑණියන් වෛද්‍යවරුන් සොයා ගියත් එයින් පළක් නොවෙයි. කොරනේලිස්ට සීතා නමින් සොයුරියක් ද ලැබෙයි. ඔවුන්ගේ ධනවත් මාමා කෙනෙක්ගේ බූදලයක ලැබුණත් එයින් කොරනේලිස් ගේ රෝගී තත්වය සුවපත් කරන්නට උත්සාහ කළත් ඔහු එයට කැමැති නොවෙයි. ඔහු වඩා කැමැති සීතා හොඳීන් අධ්‍යාපනය ලබනු දකින්නටය.

එමෙන්ම රොමානිස් තම ගම්මානයේ සේවයට පැමිණෙන්නේ පුවත්පත් වාර්තාවක් කියවා ලද එයින් ලද හැඟිමෙන් ගමට සේවයක් කරන්නටය. ඔහුට යළි සිය පැරණි මිතුරා කොරනේලිස් එහි දී මුණ ගැසෙයි. ඒ වන විට රූමත් යුවතියකව සිටින සීතා හොඳීන් අධ්‍යාපනය ලැබ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් ව සිටී. රොමානිස් සහ සීතා පෙම් සබඳතාවකින් පසු විවාහ වෙයි. ඒ අතරවාරයේ ධනවත් සිංහල කාන්තාවක් ගමේ හොඳ සෞඛ්‍ය සේවාවක් නැංවීමේ අරමුණින් ධන පරිත්‍යාගයක යෙදෙයි. මේ නව රෝහල විවෘත කරනුයේ ආණ්ඩුකාරයා පැමිණීමෙනි.

ඩේලි නිවුස් වාර්තාවේ හැටියට එවකට ආණ්ඩුකාරවරයා මේ දර්ශනයට ස්වෙච්ඡාවෙන් පෙනී සිටියේය.

මේ වකවානුවේ මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වනුයේ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි වය. ආසියානු සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් සේ සැලකෙන හෙතෙම ලංකාව පැමිණෙනුයේ රොඩේෂියාවේ (වර්තමාන සිම්බාබ්වේ ) ආණ්ඩුකාරධුරය දැරීමෙන් පසුවය. රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකාවේ ශාඛාව පිහිටුවාලනු ලබනුයේ ඔහුගේ මෙහෙයවීම යටතේය. එමෙන්ම ඔහු එහි සභාපති පදවිය ද හෙබැවීය.

සිංහලෙන් රොමානිස් හා ඉංග්‍රිසියෙන් ද රොමෑන්ස් ඔෆ් රොමානිස් වූ මෙම චිත්‍රපටය රූප ගත කරන ලද්දේ කළුතර ප්‍රදේශයේය. එමෙන්ම ද සොයිසා ළමා හා කාන්තා රෝහලේ ද කොළඹ මහ රෝහලේ ද එහි රූප ගත කිරීම් සිදුකොට තිබෙන බව පුවත්පත් වාර්තා හෙළිදරව් කරයි. පුවත්පත් වාර්තා අනුව එහි නාට්‍යකරුවන් නිර්නාමිකව සිටීමට වෑයම් කර ඇති අතර සාත්තුකාරියක් ඇතුලු ගම්වැසියන් බොහෝ දෙනෙක් ද චිත්‍රපටයේ දැක්වේ. චිත්‍රපටයේ ධාවන කාලය අතිශය වැදගත්ය. ඒ මිනිත්තු 40 කි. එයට හත් වසරකට පසු තිර ගත වන පළිගැනීම මිනිත්තු 20 කි.

රොමානිස් නම් මේ චිත්‍රපටය තැනුණේ කෙලෙසද ? එහි නිෂ්පාදක කවුරුන්ද ? චිත්‍රපටයේ අධ්‍යක්ෂ විය හැක්කේ කවු ද ? ඒ සඳහා තවත් වසර දෙකක පැරණි පුවත්පත් වාර්තා සොයා ගත යුතු විය.

මේ පිළිබඳ මීළඟ සතියේ කියවන්නට තබමු. එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ දර්ශන වාරයෙන් පසු ආණ්ඩුකාරතුමන් හා ආර්යාව වෙනුවෙන් ද රොමානිස් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පවත්වා ඇත්තේය. එපමණක් නොව චිත්‍රපටයේ තවත් දර්ශන වාර ගණනාවක් මෙරට ප්‍රදර්ශනය කර තිබුණ වග පැරණි පුවත්පත් වාර්තා හෙළිකරයි.

 

 

චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි

 

 

 

Add new comment