වැලන්ටිනෝ ට හැඬූ

ලංකාවේ රසිකයෝ
සැප්තැම්බර් 5, 2019

“ප්‍රසිද්ධ චිත්‍රවස්ත්‍ර නෘත්‍යකරුවකු වූ රුඩොල්ෆ් වැලන්ටිනෝගේ හදිසි අභාවය“ මේ දිනමිණ පුවත්පතේ 1927 වසරේ අගෝස්තු මස 25 වැනි දින වාර්තාවකි. චිත්‍රවස්ත්‍ර නාට්‍යකරුයනු සිනමා නළුවකුය යන්නට එදා යෙදූ වදනකි. රුඩොල්ෆ් වැලන්ටිනෝ මිය ගියේ 23 වැනි දිනදීය. ඒ වන විට ඔහු හොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම තරුවක් විය.

1895 වසරේ ඉතාලියේ දී උපන් වැලන්ටිනෝ අකල්මරණයකට ගොදුරු වන විට තිස් දෙහැවිරිදි වියේ පුවිය. වැලන්ටිනෝ රූපශ්‍රීයෙන් ඒ වන විට හොලිවුඩ් සිනමාවේ එවකට සිටි කඩවසම් නළුවා විය. අනංගයා විය. ඔහුගේ අකල් වියෝව හොලිවුඩ් පුරවරයේ මතු නොව එයින් සැතැපුම් දහස් ගණනක් මෙපිට ලංකාවේ පවා සිනමා රසිකයන්ගේ සිත් තුළ කම්පනයක් ඇති කරන්නට සමත් විය. ඒ හොලිවුඩ් සිනමාව ඒ වන විටත් ලොව පුරා ඇති කළ බලපෑමේ තරමය. අතිරේක නළුවකු ලෙස 19 හැවිරිදි වියේ දී හොලිවුඩ් පුරවරයට සමීප වන වැලන්ටිනෝ තවත් දොළොස් වසරක් ගෙවී අකල් මරණයකට ගොදුරුවන විට ලොව ජනප්‍රියම තරුවක් ලෙස කීර්තියට පත් විය. ඔහුගේ අවමඟුලට විසි දහසකට වැඩි රසික සංඛ්‍යාවක් සහභාගිවිනැයි එකල වාර්තා විය. මරණ්‍ය අසා කම්පා වූ හෘදයාබාධ වැළඳ ගත් ගණන ද එමටය. දෙවරක්ම විවාහ වී දෙවරක්ම දික්කසාද වී සිටි වැලන්ටිනෝ හා බැඳුණු පෙම් කතා සංඛ්‍යාව ද ඉමහත්ය. වැලන්ටිනෝ කිසිකලක ශබ්ද සිනමාවට එක් වන්නට වරම් ලැබුවේ නැත.

වැලන්ටිනෝගේ මරණයෙන් පසු මෙරට සිනමා ශාලාවලට එක දිගට ඔහු රඟපෑ චිත්‍රපට ගලා ආවේය. මරදානේ එල්ෆින්ස්ටන්, සහ ඔලිම්පියා කොටුවේ එම්පයර්, සහ වැල්ලවත්තේ ටිවෝලි සිනමා ශාලා සියල්ලේම වැලන්ටිනෝගේ චිත්‍රපට එක දිගට ප්‍රදර්ශනය විය. ද ෆෝ හෝස්මන් ඔෆ් ද ඇපකලිප්සේ, ද ෂෙයික්, ද බ්ලඩ් ඇන්ඩ් සෑන්ඩ්, ද ඊගල්, සහ ද සන් ඔෆ් ද ෂෙයික් එලෙස තිර ගත කළ චිත්‍රපට අතර වෙයි. චැප්ලින් වැනි නළුවකු මෙරට ජනප්‍රිය වීම පුදුමයක් නොවුණත් වැලන්ටිනෝ කෙරෙහිත් ආකර්ෂණයක් ඇති කරන්නට හැකිවන්නේ හොලිවුඩ් සිනමාව මගින් ඉතා සූක්ෂම අන්දමින් කටයුතු කළ ක්‍රමවේදයන් හේතුවෙනි. අමෙරිකානු සිනමාව ජනප්‍රියවත්ම එහි වර්ධනය සඳහා යුරෝපයේ නම් දැරූ සිනමා තාරකාවන් ද සිනමාකරුවන් ද කාර්මික ශිල්පින් ද එයට දායක කර ගන්නට හොලිවුඩ් චිත්‍රාගාර මැළි නොවීය. යුරෝපයේ ජනප්‍රිය තාරකාවක වූ පෝලන්ත ජාතික පෝලා නිග්‍රි හොලිවුඩ් සිනමාවට 1923 වසරේ කැඳවූ පැරමවුන්ට් පික්චර්ස් සමාගම ඇය ලොව පුරා ප්‍රචලිත තරුවක් බවට පත් කළේය. වැලන්ටිනෝ සමග මෙන්ම චාලි චැප්ලින් ආදින් සමඟ තිබුණ ඇයගේ අනේක විධ පෙම්කතා සඳහා ද අනියමාර්ථයෙන් ප්‍රචාරය ලබා දුන්නේ හොලිවුඩ් නිෂ්පාදකයන්මය. චැප්ලින් සහ ඇය අතර තිබුණු සබඳතාව විවාහයක් දක්වා යතැයි මාධ්‍ය මඟින් පැතිර වූ මතය අනුව පුවත්පත් හෙඩිම වූයේ ශෝකාන්ත රැජන විකට රජුගේ අත ගනියි යන්නයි. එහෙත් ඔවුන් අතර ගොඩනැඟු ඕපාදූප විනා විවාහයක් සිදු නොවිණ. වැලන්ටිනෝගේ මරණයේ දී කිහිප වරක්ම සිහිසුන් ව පෝලා නිග්‍රිගේ ඇද වැටීම ද ලොව පුරා ප්‍රවෘත්තියක් විය. එයින් මාස නවයකට පසු සිදුවුණ ඇය හා සර්ජ් මිදිවානි සමග විවාහය ලංකාවේ ද පුවත්පත් සඳහා ප්‍රවෘත්තියක් විය.

හංගේරියානු නිළියකව සිට පසුව හොලිවුඩ් සිනමාවට දායක වූ ජනප්‍රිය සිනමා තාරකාවක වූ විල්මා බැන්කි විවාහවූයේ හොලිවුඩ් නළුවක වූ රොඩ් ලා රොක් සමඟය. (විල්මා වැලන්ටිනෝ සමග ද ඊගල් සහ ද සන් ඔෆ් ද ෂෙයික් චිත්‍රපට වල රඟපෑවාය.) ඒ 1927 වසෙර්ය. මේ විවාහය සඳහා උත්සව අලංකරණයේ සිට හැම කටයුත්තක්ම සිදූවූයේ නිෂ්පාදක සැමුවෙල් ගෝල්ඩිවින්ගේ උපදෙස් පරිදිය. විවාහයෙන් පසු දරු ප්‍රසූතියට ලැහැස්ති වුණ විල්මාගෙන් පුවත්පත් කලාවේදියකු විමසා සිටියේ ඔවුන්ගේ දරුවාට යොදන්නට බලාපොරොත්තු වන නම පිළිබඳවය. අපි නම් තවම නමක් සූදානම් කරල නෑ. සමහරවිට ගෝල්ඩ්වින් මහත්තයා නමක් සූදානම් කරලා ඇති . විල්මා ගත් කටටම පැවසුවාය. සිනමා තරු සංකල්පයේදී මේ නළු නිළියන් ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා පවා චිත්‍රාගාර අධිපතිවරුන්ගේ බලපෑම කෙතරම්දැයි මේ කියමන ගම්‍ය කරවයි.

විසි වැනි සියවසේ ආරම්භය වන තුරුම නිසල ගම්මානයක් වූ හොලිවුඩ් ගම්මානය කලබලකාරි නොනිදන නගරයක් බවට පත්වනුයේ එහි දෙවැනි දශකය සමගය. ඩොලර් එක්ලක්ෂ හැටපන් දහසක් වැය කොට ලයෙම්ලේ විසින් 1915 වසරේ ගොඩනඟන ලද යුනිවර්සල් චිත්‍රාගාරය එහි වැදගත් ලකුණක් විය. ඒ වනවිටත් හොලිවුඩ් යනු අමෙරිකාවේ චිත්‍රපට රූප ගත කරන්නට ඉතා සුදුසුම බිම්කඩ ලෙසට සිනමාකරුවෝ හා ව්‍යාපාරිකයෝ හඳුනා ගෙන සිටියහ.

රුසියානු යුදෙව් සරණාගතයකු ලෙස අමෙරිකාවට පිවිස පසුකලෙක සිනමා කර්මාන්තයට අත ගැසූ ලුවී බී.මේයර් ගේ මේයර් පික්චර්ස් ආයතනය සැමුවෙල් ගෝල්ඩ්වින්ගේ ගෝල්ඩ්වින් පික්චර්ස් සහ මාකස් ලොයෙව් ගේ මෙට්‍රො පික්චර්ස් ආයතන එක් කොට ගොඩනැඟූ මෙට්‍රො ගෝල්ඩ්වින් මේයර් (එම්.ජී.එම්) සමාගම 1924 වසරේ සෙසු ව්‍යාපාරික ආයතන හා තරගයට පිවිසුණ පසු හොලිවුඩ් සිනමාව සිය ස්වර්ණමය යුගය ඇරඹුවේය. මේයර් සිනමාවට පිවිසියේ ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්ගේ ද බර්ත් ඔෆ් අ නේෂන් චිත්‍රපටය සඳහා ආයෝජනය කරමිනි. 1915 වසරේ තැනුණු බර්ත් ඔෆ් අ නේෂන් කොළඹ එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වනුයේ 1927 වසෙර්ය. එහි ලා ඉහළින්ම සඳහන් වනුයේ මේ දැවැන්ත චිත්‍රපටය ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත්ගේ නිර්මාණයක් බවය. ඒ සිනමාකරුවකු ලෙස ග්‍රිෆිත් ඒ වන විට කෙතරම් ඉහළ අගයක් ගත්තේද යන්නට හොඳම නිදසුනකි එය. මෙරට තිර ගත වන කවර හොලිවුඩ් චිත්‍රපටයක වුව පෝස්ටරය පවා නිර්මාණය වූයේ හොලිවුඩ් චිත්‍රාගාරයන්ගේ මුල් දැන්වීම් අනුව බැව් පෙනෙන කරුණකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.