බයිස්කෝප් ජෝන් අවුරුදු තුනක් සිර ගෙට

අගෝස්තු 8, 2019

තුර්කි කුමරිය සේ සැරසුන නිළිය එහි තාලයට පැමිණ බැග්ඩෑඩයේ සොරාගේ අතට පැන්නාය. සොරා ඇය ඔසවා ගත්තේය. ඔහු අතින් ඇය උදුරා ගන්නට චීන මංකොල්ලකරුවෝ පිරිසක් සැරසෙති. සංගීතය අවශ්‍ය වූයේ එහි රිද්මය ගොඩ නංවා ගැනීම සඳහාය. එහෙත් පියවරක් වැරදීමකින් දෙවැනි චීන මංකොල්ලකරුවාට එහි ළඟාවන්නට ඇසිල්ලක් ප්‍රමාද විය.

බයිස්කෝප් පිස්සා යනු සිනමා ලෝලින්ට කියන පර්යාය පදයකි. එය අපහාසාත්මක වදනක් වුව ද එලෙස ඇසිය හැකි වනුයේ එහෙමත් එකෙකුටය. එහෙත් බයිස්කෝප් ජෝන් එවැන්නකු නොවේ. 1926 වසරේ අවුරුදු තුනකට සිර ගත වන පුද්ගලයකුගේ අන්වර්ථ නාමය බයිස්කෝප් ජෝන්ය. බයිස්කොප් ජෝන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බයිස්කෝප් පිස්සෙකි. එබැවින් ම උත්පත්තියෙන් ජෝන් නාමධාරී වූ ඔහු විරුදාවලී ලද්දේ බයිස්කෝප් ජෝන් නමින්ය. බයිස්කොප් ජෝන් සිය සගයන් වූ ජාකොබ් ජෝන් හා මයිකල් සමග එක්ව කොළඹ රෙක්ලමේෂන් පාරේ (වර්තමානයේ එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවතේ) ගමන් කරමින් සිටි වෝර්කර් පුත්‍ර සමාගමේ ලිපිකරුවකු ව සිටි ඒ.එස්.ලීට්න් අතැති රුපියල් 3900ක මුදලක් මංකොල්ල කෑවේය. නඩුව ඇසූ විනිසුරු ඩබ්ලිව්.ඇස්. ද සේරම් මහතා විසින් විත්තිකරුවන්ට අවුරුදු තුනක සිර දඬුවමක් සහ රුපියල් 4000ක වන්දි මුදලක් ද ගෙවීමට නියම කරන ලදී. බයිස්කෝප් ජෝන් කවරෙකුවුව සිනමාවට මෙරට සාමාන්‍ය මිනිසුන් ඇබ්බැහි වීමත් එය හා ආශ්‍රිත වචන සාමාන්‍ය ජනයා වෙත සමීප වීමත් මේ සිදුවීම අපට නිදසුන් කොට පෙන්වා දෙයි.

සිනමාවේ ජනප්‍රිය සාධකයක් වන සිනමා තාරකා නමින් සිනමා කෘති ප්‍රසිද්ධ කරවීමේ යුගය මේ වන විට ලංකාවේ ද සිරිතක්ව පැවතිණ. මෙරට සිනමා දැන්වීම් සියල්ලම පාහේ ඒවායේ රඟපෑ ඒ ඒ නළු නිළියන්ගේ නම්වලින් ප්‍රචාරය අරඹා තිබිණ. මේ සියල්ල හොලිවුඩ් නළු නිළියන්ය. ඒ හොලිවුඩ් ආක්‍රමණය ලොව සියලු සිනමා අභිබවා පැතිරෙන බවට සාක්ෂියකි. එයින් බේරෙන්නට දූපත් විසීන්වූ ලාංකිකයන්ට ද නොහකිය.

ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් රඟපෑ ත්‍රී මස්කටියර්ස්, තේඩා බාරා රඟපෑ ද සයිලන්ට් සෝන්ග්, එල්මෝ ලින්කන් රඟපෑ ටාසන් චිත්‍රපට මාලාව මෙන්ම ද කයිසර් ද බීස්ට් ඔෆ් ද බර්ලින්, මේරි පික්ෆෝඩ් රඟපෑ ද ලිට්ල් ඇනී රූනි , ග්ලෝරියා ස්වැන්සන් රඟපෑ ඩෝන්ට් චේන්ජ් යුවර් හස්බන්ඩ්, නෝමා තැල්මේජ් ගේ පැන්තර් ද ද සේෆ් ඩැමේජ් මේ අතර කැපී පෙනෙති. සිනමාකරුවන් අතරින් චාලි චැප්ලින් හැරුණු විට චිත්‍රපට ප්‍රදර්ශනයේ දී දැන්වීම් සඳහා අධ්‍යක්ෂවරයකුගේ නමක් ප්‍රධාන කොට සඳහන් කර ඇත්තේ ඩී.ඩබ්ලිව්. ග්‍රිෆිත් ගේ සිනමා කෘතින් සඳහාය. යුගයේ බිහි වූ දැවැන්තම චිත්‍රපටයක් ලෙස ගැනුන 1923 වසරේ දී සිසිල් බී ඩිමිල් විසින් නිර්මාණය කරන ලද ද ටෙන් කමාන්ඩ්මන්ට්ස් චිත්‍රපටය තිරගත වනුයේ 1926 වසරේ දීය. ඒ වැල්ලවත්තේ ටිවෝලි සිනමාහලේය. වැල්ලවත්තේ ටිවෝලි සිනමාහල ලෙස 1926 වසරේ දී නම වෙනස් වනුයේ එයට දෙවසරකට පෙර ආරම්භ කරන ලද ඔලිම්පියා සිනමාහලයි. කවර හෝ හේතුවක් නිසාවෙන් ඊස්ටර්න් පික්චර්ස් සමාගමේ ඔලිම්පියා සිනමාහල ටිවෝලි සිනමාහල ලෙස පරිවර්තනය වනුයේ නව කළමනාකාරිත්වයක් යටතේ යනුවෙන් දැන්වීම් පළ කරනු ලැබීමෙනි. එහි ඊස්ටර්න් සමාගමේ නම සඳහන් නොවෙයි. එහෙත් පසුකලෙක ‘චිත්‍රපටි කලාව‘ පොත ලියන ඩී.වී.සෙනෙවිරත්නයන් සඳහන් කරනුයේ ටිවෝලි සිනමාහල ද නූර්බායිට අයත් ව තිබුණු විත්තියයි. වැල්ලවත්තේ නූර්බායි හා ඔහුගේ දේපළ ව්‍යාපිරක මට්ටමින් වැදගත් බව හැඟෙනුයේ එල්.ඒ.වික්‍රමසිංහ නමැත්තෙකු විසින් පළ කරන දැන්වීමකට අනුවය. ඔහු කදිම බිම් කොටස් 14 ක් අලෙවි කරනුයේ එය නූර්බායි විසින් අලුතින් ඉදි කරන ලද නිවාස පෙළ සමීපයේ ඇති බව සඳහන් කරමිනි.

1925 වසරේ ජනවාරි මස 15 වැනි දින බුද්ධගයාව වන්දනා කළ බුරුම ජාතික වන්දනා නඩයක ඇතුළත් වාර්තා චිත්‍රපටයක් 1926 ජනවාරි 8 වැනි දින සිට මරදානේ ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශණය විය. ඒ ඉන්දියානු චිත්‍රපටයක් වන කාලිදාස් සමගය. ඒ අන්තර්ජාතික බෞද්ධ සහෝදරත්වය මගින් බුද්ධගයාව ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩ පිළිවලට ආධාර පිණිසය. මේ අවදියේ මෙරට තිරගත කළ බොහෝ ඉන්දියානු චිත්‍රපට මදාන් සමාගම මගින් නිපද වූ හෝ එමගින් බෙදාහරින ලද ඒවා වුවත් කාලිදාස් මදාන් නිෂ්පාදනයක් නොවේ. එය නැෂනල් පික්චර්ස් සමාගමේ නිෂ්පාදනයකි.

1924 වසරේ පෙබරවාරි මස 6 වැනි දින ඩේලිනිව්ස් පුවත්පත විසින් චිත්‍රපටයක් රූප ගතකිරීමක් පිළිබඳ විස්තරයක් ගෙන එනු ලබයි. ඒ ලොස් ඇන්ජලීස් නුවර සිටය. චිත්‍රපට දර්ශන තලයක් පිළිබද මෙරට පුවත්පතක පළවුණු මුල්ම ලිපිය එය විය යුතුය. ඒ.ඊ.ඩේවිස් නම් ලේඛකයා මේ ලිපිය ලියනුයේ එයින් හරියටම මාසකට පසුව එනම් මාර්තු 18 වැනි දින ලොව පුරා තිර ගතවීම ඇරඹූ යුනයිටඩ් ආර්ටිස්ට් සමාගමේ නිෂ්පාදනයක් වන තීෆ් ඔෆ් බැග්ඩෑඩ් චිත්‍රපටයේ දර්ශන තලයේ සිටය. නිහඬ සිනමා යුගයේ හොලිවුඩ් සිනමාවේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස සැළකෙන එය රඔල් වොල්ෂගේ අධ්‍යක්ෂණයකි. මේ ලිපිය චිත්‍රපටයක් රූප ගත කරන්නේ කෙසේදැයි විමසන පාඨකයන්ට පිළිතුරක් බව ලිපියේ සඳහන් වෙයි. ඩේවිස් ඩේලිනිවුස් පුවත්පතට ලිපිය ලියන්නේ මෙපරිද්දෙනි.

අපි අඳුරු ශාලාවකට ඇතුළවීමු. මඳ ආලෝකය සමග එහි වූයේ කොළ සහ කහ පැහැ මිශ්‍ර ආලෝකයකි. මා සමීපවූයේ සිගරට්ටුවක් දල්වා ගෙන සිටි ප්‍රතාපවත් ප්‍රසන්න මිනිසකු ළඟටය. මේ තව නොබෝ දිනකින් ලොව පුරා ප්‍රධාන නගරයන්ගේ කතාබහට ලක් විය හැකි තීෆ් ඔෆ් බැග්ඩෑඩ් චිත්‍රපටයේ දර්ශන තලයයි.

සිගරට්ටුවක් උරන බැග්ඩෑඩයේ සොරා ගේ සැබෑ නම ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්ය. ඉතා ප්‍රසන්න ලෙස කතාබහට එක්වන ඔහු තමන්ට සතියකට අවම වශයෙන් ලිපි තුන් දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබෙන බව පැවසුවේය. (ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් එකල හොලිවුඩ් සිනමා රජු ලෙස හැදින්විණ. ඔහු ජනප්‍රිය නිළි මේරි පික්ෆෝඩ් සමග විවාහ වූ පසු මේ යුවළ හොලිවුඩ් රාජකීයන් ලෙස හැඳීන්විණ. ඔහුගේ ජනප්‍රියම චිත්‍රපට ලෙස තීෆ් ඔෆ් බැග්ඩෑඩ් ,රොබින්හුඩ්, මාක් ඔෆ් ද සෝරෝ වැනි චිත්‍රපට සලකනු ලබයි. අමෙරිකානු සිනමා සමාගම්වලට එරෙහිව ගොඩ නඟන ලද යුනයිටඩ් ආටිස්ට් සමාගමේ ප්‍රධාන හවුල්කරුවන් සිව් දෙනාගෙන් කෙනෙකු වූයේ ද ෆෙයාර්බෑන්ක්ය. කෙසේ වෙතත් ශබ්ද සිනමාව ආරම්භයත් සමග ඩග්ලස් ෆෙයාර් බෑන්ක්ස් ගේ සිනමා වේ ස්වර්ණමය යුගය ද නිමාවිය. 1939 වසරේ ඔහු මිය යන විට 56 වැනි වියේ පසුවිය.)

තුර්කියේ දැවැන්ත මාළිගා පසුතල ඒ අවට තිබිණ. තෙල් ගැල් වූ සිරුරෙන් යුත් කළු ජාතිකයෝ කිහිපදෙනෙකු ද ඒ අවට විය. ඔවුන් සිටිනුයේ අඩ නිරුවතින් වුව එය චිත්‍රපටයේ දී එතරම් පැහැදිලි නොවනු ඇත.

එකවරම නිෂ්පාදකගේ හඩ ඇසිණ.

‘ඩග් ලෑස්තිද‘?

අතැති සිගරට්ටුව විසි කළ ඩග්ලස් දර්ශන තලයට ගියේය. ඒ සමග තුර්කි රාජ කුමරියක ලෙස සැරසුණු නිළියක ද එතැනට ගියාය. ඔවුන් දර්ශන තලයට පිවිසුණ සැණින් චිත්‍රාගාරයේ සේවකයන් පිරිසක් දෙපළ ගේ පියවර සලකුණු මකා දැමුවේ එය රූපයට හසුවිය හැකි නිසාය.

‘ලයිට්ස් ඔන්‘ විධානයත් සමග එහි තිබුණු දැවැන්ත විදුලි පහන් දැල්විණ. චමත්කාර ජනක ඇඳුම් පැළැඳුම් ද සහිත පිරිවරක් එහි සිටියහ.

සංගීතය සඳහා ද ඇණවුම ලැබිණ. තුර්කි කුමරිය සේ සැරසුන නිළිය එහි තාලයට පැමිණ බැග්ඩෑඩයේ සොරාගේ අතට පැන්නාය. සොරා ඇය ඔසවා ගත්තේය. ඔහු අතින් ඇය උදුරා ගන්නට චීන මංකොල්ලකරුවෝ පිරිසක් සැරසෙති. සංගීතය අවශ්‍ය වූයේ එහි රිද්මය ගොඩ නංවා ගැනීම සඳහාය. එහෙත් පියවරක් වැරදීමකින් දෙවැනි චීන මංකොල්ලකරුවාට එහි ළඟාවන්නට ඇසිල්ලක් ප්‍රමාද විය.

‘වැරදියි‘ අධ්‍යක්ෂ කෑ ගෑවේය. මද විරාමයක් ඇරඹිණ. සෑම නළුවකුම තමන්ගේ කොටස් නිවැරැදිව කරන්නට කැපවෙන බව පෙනෙන්නට තිබිණ. චිත්‍රාගාරයේ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු අසල සියල්ල නිරීක්ෂණය කරමින් සිටියේ සුළු වැරැද්දක් හෝ දුටු විට දැනුම් දෙන්නටය.

චිත්‍රාගාරයේ එක් පසෙක වේදිකාවක් වූ අතර එහි සුරූපි කාන්තාවක් ඇලන් ෆොරෙස්ට් සමග නර්තනයක යෙදුණාය. ඇය මේරි පික්ෆෝඩ් ලෙස පැහැදිලිව හදුනාගතිමි. ඇලන් ෆොරස්ට්ගේ පය කිසිවක වැදීමෙන් ඔහු වේදනාවෙන් ඇඹරිණ.

මේ චිත්‍රපට රූප ගත කිරීමක් පිළිබඳ මෙරට පළ වූ මුල්ම විස්තරය හෝ විස්තර වලින් එකක් විය හැක

අමෙරිකානු තෙල් ආකර කෝටිපතියකු වූ කෝට්ලන්ඩ් එස්.ඩයින්ස්ට සාදයකදී වෙඩි වැදීමක් පිළිබඳ හෙළිදරව්වක යෙදෙන 1926 ඩේලිනිව්ස් වාර්තා අපට පසක් කරනුයේ සිනමා ඕපාදූප පිළිබඳ අවධානය මෙරට මාධ්‍ය වෙත ද යොමු වන අන්දමය. සිනමාව පිළිබඳ ඕපාදූප මේ වන විට ලොව පුරා අධික ඉල්ලුමක් බවට පරිවර්තනය වෙමින් සිටි අතර හොලිවුඩ් සිනමා කර්මාන්තය ගොඩ නැගීමේ දී එය මහෝපකාරි වෙමින් තිබිණ. එය ලංකාවේ රසිකයන්ට ද ගෙන ආ බව මෙයින් පෙනෙන්නේය.. ඩයින්ස් ට වෙඩි ප්‍රහාරය එල්ල වනුයේ ඔහුගේ සාදයකදීය. එහි ආරාධිත අමුත්තන් අතර ඒ වන විට ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු වූ මේබල් නෝමනඩ් සහ එඩ්නා පර්වනස් ද උන්හ. සාදය අතරතුර ඇතිවූ කලහයකදී තෙල් ආකර කෝටිපතියාට වෙඩි වදිනුයේ මේබල් ගේ ආරක්ෂකයා සහ රියැදුරා වන ජෝ කෙලී අතිනි. මෙබඳු ප්‍රවෘත්ති සදහා ලංකාවේ පුවත්පත්වල ද ඉහළ ඉඩක් වෙන්වීම සිනමාව සාමාන්‍ය ජනයාගේ මාධ්‍යයක් වන ලකුණු පෙන්වන සාධකයකි. එමෙන්ම සිනමාවේ ජනප්‍රියත්වය පිළිබඳ උදාහරණයකි. ඒ වන විට හොලිවුඩ් නළු නිළියන් මෙරට අත්පත් කර ගත් කීර්තිය පිළිබඳ සාධකයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.