සමකාලීන සිනමාව ගැන කියන දිනමිණ දැන්වීම

ජූලි 11, 2019

මරදානේ සදර්ලන්ඩ් රෝඩ් නම් පාරේ පිහිටි ඔලිම්පියා තියටර් නම් අභිනව නව නාට්‍ය ශාලාවේ බයස්කෝප් නම් ජීවමාන ප්‍රතිරූප දර්ශනය වැඩබලන ආණ්ඩුකාරතුමාගේ හා ස්ටබ්ස් මැතිණියගෙත් ප්‍රධානත්වයෙන් පළමුවෙනිවරට අද රාත්‍රි පවත්වනු ලැබේ. මේ ශාලාව අලුතෙන් අත්‍යාලංකාර අන්දමින් විශාලකොට පිළියෙළකර තිබේ. බිමට හා ආසනවලට ලක්ෂණ ඇතිරිලි දමා තිබේ.

රැස්වන ජනයාට උෂ්ණයෙන් පීඩාවීම වැළැක්වීම පිණිස විදුලි පංකා තැනින් තැන සවිකර තිබේ. රැස්වන සමූහයාගේ තෙරපීම නොවන ලෙස ඉඩ තබා තිබෙන අන්දම දකින කල සිතට ප්‍රිය උපදවයි. මෙහි පෙන්වනු ලබන ප්‍රතිරූප මෙරට නොපෙන්වූ ඉතා අලංකාර ඒවා වෙත්. ලෝකයේ ඉතා දක්ෂ ශිල්පීන් විසින් තනනු ලබන සිත් ප්‍රිය කරවන පින්තූර පටි විශේෂයෙන්ම ලබා ගෙන පෙන්වනු ලබන බවද සැලයි. යුද්ධය ගැන ද බැලිය යුතු අලංකාර චිත්‍ර රූප රාශියක් පෙන්වනවා ඇත. මේ නෘත්‍ය ශාලාව අමුතුවෙන් පිළියෙළ කර තිබෙන අන්දමද එහි අවට අලංකාර කර තිබෙන අන්දම ද සලකා බලන කල මෙදින පින්තූර දර්ශනය සඳහා බොහෝ පැමිණෙත් යැයි සිතන්ට පුළුවන.

මේ 1918 ජූලි මස 5 වැනි දින දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියකි. එයට සම්බන්ධ වන වෙළෙඳ දැන්වීමක් ද දිනමිණ පුවත්පතේ පළ විය. එය වෙන් වූයේ ඔලිම්පියා සිනමාහල සම්බන්ධවය. මේ දැන්වීම අපේ සිනමාවේ එවකට පැවැති තත්ත්වය පිළිබඳ කදිම හෙළිදරව්වක් වැනිය.

1918 වසර වන විටත් ඉන්දියානු සිනමාව පැවැතියේ ළදරු අවදියකය. සිනමා ශාලා ව්‍යාප්ත වුව ද චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධව සංඛ්‍යාත්මක විශාල ප්‍රගතියක් එයට අත්පත් කර ගත හැකිවූයේ නැත. මුල්ම ඉන්දියානු වෘත්තාන්ත චිත්‍රපටය රාජා හරිශ්චන්ද්‍ර තිරගත වනුයේ 1913 වුව ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදන සංඛ්‍යාව විස්ස ඉක්මවූයේ නැත.

එයට නුදුරින් ඇතිවූ පළමු ලෝක මහා සංග්‍රාමය සමඟ පැටවුණු වෙළෙඳ බාධක හේතුවෙන් දළ සේයා පට සහ සිනමා උපකරණ ආනයනයේ දී ඇතිවූ විවිධ බාධා ළදරු කර්මාන්තයකට ඔරොත්තු නොදුන් බව ඉන්දියානු සිනමා ඉතිහාසඥයන්ගේ මතයයි.

යුද්ධය නිම වුණු පසු 1919 වසරක කාලය ඇතුළත පමණක් බොම්බාය කේන්ද්‍ර කොට නිපද වී තිරයට ආ චිත්‍රපට සංඛ්‍යාව විස්සක් වෙයි. එහෙත් එකී කාලය වන විට චිත්‍රපටය ව්‍යාපාරයක් වශයෙන් මෙන්ම කතන්දර කිමේ නව මාදිලිය ලෙස ද ලොව පුරා මිනිසුන් වසඟයට පත් කර ගෙන අවසානය. සිනමාව ලොවට දායාද කළ පුරෝගාමින් මේ වන විට එහි අයිතිවාසිකම්වලින් බැහැරව ගොස්ය. ඒවෙනුවට සිනමාව යනු මහා මුදල් උපයන නිධානයක් වග වටහා ගත් ව්‍යාපාරිකයෝ පිරිසක් එයට අවතීර්ණය වෙමින් සිටියහ.

සිනමාව ගොඩනැඟූ පුරෝගාමින් වූ ප්‍රංශයේ ලුමියේ සහෝදරවරු හෝ අමෙරිකාවේ තෝමස් අල්වා එඩිසන් විසි වැනි සියවසේ මහා ප්‍රාතිහාර්යට එහා එයින් වඩා නිර්මාණශීලී ඉදිරිපත් කිරීම් කළ හැකියැයි සිතුවේ නැත.

එහෙත් සිනමාවේ ඇස්බැන්දුම මත දිගින් දිගටම පැවැතිය නොහැකි බව එහි දස වසර සමරන විටත් ඇතැම්හු අවබෝධ කර සිටියහ. ඔවහු එහි වඩා අර්ථවත් හා වසඟ කරවන සුලු ගුණය දැන ගත්හ.

එබැවින් ප්‍රංශයේ මේලියේ වැනි පුද්ගලයෝ එයට දෘශ්‍ය ප්‍රයෝග එක් කරමින් මායා ලෝකයකට නරඹන්නන් ගෙන යද්දී එඩිසන්ගේ ගෝලයකු වූ එඩ්වින් එස්. පෝටර් එයින් කතා කිව හැකි බව ඔප්පු කර සිටියේය. තවත් වසර ගණනාවකින් බිහි වන චාලි චැප්ලින් වැන්නෝ එයට හදවතක් එක් කළහ.

1918 වන විට ලොව පුරා සිනමාවේ ජනප්‍රිය නළුවා බවට පත්ව සිටියේ චාලි චැප්ලින්ය. ජේත්තුකාර පාදඩයාගේ රුව රැගත් ඛ්ඩචපතඪඥ ඪඵ ඩඥපඥ යන පෝස්ටරයෙන් පමණක් තම සිනමාහල් පුරවා ගත හැකි බව ලෝකයේ සිනමා ව්‍යාපාරිකයෝ දැන සිටියහ.

චැප්ලින් ගේ අති විශිෂ්ට නිර්මාණ ඒ වන විට එළි නොදැක තිබුණ ද හාස්‍යෝත්පාදය යනු විහිළු කිරීම නොවන බව චැප්ලින් මෙන්ම බස්ටර් කීට්න් ද ලෝකය හමුවේ ඔප්පු කර සිටියේය. ඔලිම්පියා සිනමාහලේ දැන්වීම අනුව මුල් දර්ශන සඳහා ද චැප්ලින් ගේ චිත්‍රපටයක් එක් කර තිබීමෙන් ඔහු මෙරට ද ජනපිය නළුවකු ව සිටි බැව් සනාථ වෙයි.

හොලිවුඩ් දැවැන්ත සමාගම් අතර ඉදිරි ගමනක යෙදුන කාල් ලයෙම්ලේ විසින් යුනිවර්සල් පික්චර්ස් ද ඇඩොල්ෆ් සකර් ඇතුළු සගයෝ විසින් පැරමවුන්ට් පික්චර්ස් ද ගොඩ නඟා ලොවපුරා සිය සිනමා ආධිපත්‍යය පතුරවමින් සිටියහ.

වෝනර් සහෝදරවරු සිය වෝනර් බ්‍රදර්ස් සමාගම සඳහාද විලියම් ෆොක්ස් ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සඳහා ද සැලසුම් කැරමින් සිටියහ. ඇත්තටම කඩිනමින් වුවමනා ව තිබුණේ ඒ වනතෙක් නිහඬ සිනමාවට හරිහමන් කතාවිලාසයක් ගෙන ඒමය.

හොලිවුඩ් ප්‍රධාන සිනමා සමාගම් තමන් සූරා කෑමට එරෙහිව තමන්ගේම චිත්‍රපට සමාගමක් ගොඩ නඟා ගැනීමට රංගන වේදිහු සිව්දෙනෙක් මේ වන විට කටයුතු කරමින් සිටියහ. ඒ චාලි චැප්ලින්, ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්, නිළි මේරි පික්ෆෝඩ් සහ සිනමාකරු ඩී.ඩබ්ලිව්.ග්‍රිෆිත් යන සිව්දෙනාය. ග්‍රිෆිත් සිනමා ප්‍රකාශනයෙහිලා ශක්‍යතාව ඔප්පු කරමින් බර්ත් ඔෆ් අ නේෂන් සහ ඉන්ටෝලරන්ස් යන චිත්‍රපට යුගලම සිනමා තිරයට ගෙන තිබිණ. ඔවුන් සිව්දෙනා ගේ වැර වෑයමෙන් ගොඩ නැඟුණ සමාගම වූයේ යුනයිටඩ් ආටිස්ට් සමාගමයි.

ලෝකය එබඳු සිනමා ගමනක යෙදෙද්දී අපේ සිනමාවේ තත්ත්වය ඉහත පුවත්පත් වාර්තාව පෙන්වා දෙයි. එහි මාතෘකාව චලන චිත්‍ර දැක්මක් නොවේ. ජීවමාන ප්‍රතිරූප දැක්මකි. ඒ තවත් දශක ගණනාවක් ආපස්සට යෑමකි. සිනමාව එලෙස හැඳීන්වූයේ ආරම්භයේය.

ඔලිම්පියා සිනමා ශාලාවේ තැනින් තැන විදුලි පංකා සවිකර ඇත යන්න මගින් ගම්‍ය වනුයේ සමකාලීන වෙනත් ශලාවල ඇති පහසුකම් පිළිබඳවය. නීතිඥ ජෝන් ද සිල්වා බොහෝ නාට්‍ය ශාලා පෝරණු වැනි යැයි චෝදනා කර තිබුණේ එබැවින්ය. සිනමා ශාලාවල තත්ත්වය ද ඒ වන විට සිනමාව සම්බන්ධව තිබුණ ආකල්පද විමසා බලන විට චිත්‍රපට නිෂ්පාදනය වැනි කාරණා ගැන සිහිනෙන්වත් සිතන්නට තරම් පසුබිමක් අපට තිබුණේදැයි සැක කිරීමේ වරදක් නොවේ.

 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.