ඔලිම්පියා ශාලාවේ පිහි ඇනුමක්

ජූලි 4, 2019

 

එක්දහස් නවසිය තිස් එකේ සැප්තැම්බර් මස 10 වැනි දින කොළඹ නගරයට පැය තුනකට වඩා තදින් වැස්සේය. ඒ වන විට පැවැති මෝසම් වැස්ස දුර්වල නමුත් කුණාටුව වේගවත් විය. ඒ අතරවාරයේ තද වැසි නොතකා මරදානේ ටවර් රඟහලට අති විශාල ජන සන්නිපාතයක් රොක්වූයේ එහි සිදුවූ අලුත් වෙනස විමසා බලන්නටත් එක්කය. එයට පෙර අගොස්තු මස 29 වැනි දින දිනමිණ පුවත්පතේ පළවූ දැන්වීම මෙපරිද්දෙනි.

 

“මෙන්න ලංකාවේ චිත්‍ර දර්ශන හා නෘත්‍ය දර්ශන පිළිබඳ ශ්‍රේෂ්ඨතර සිද්ධිය.

මරදානේ ටවර් චිත්‍ර හා නා නා දර්ශන ශාලාව විවෘත වීමේ දිනය බලාපොරාත්තු වන්න”

මෙම දැන්වීම මෙරට සිනමාවේ සහ වේදිකා නාට්‍ය ඉතිහාසයේ පරිවර්තනය පෙන්වන අපූරු සටහනක් ලෙස සැලකීම යුක්ති සහගතය. සිනමාව නාට්‍ය අබිබවා නව සංස්කෘතියක් බිහි කිරීමට පාදක වීමේ අවස්ථාවේ වැදගත්ම සලකුණ එම අවස්ථාවයි . මේ දැන්වීම පළ වී තවත් දින කිහිපයක් ගත වූ තැන එනම් සැප්තැම්බර් 12 වැනි දින ටවර් ශාලාව ඉදිරිපිට සවි කෙරුණේ අලුත් පුවරුවකි. ඒ වන විට සිනමා ශාලා බවට පරිවර්තනය වූ බොහෝ රංග ශාලා නාට්‍ය සඳහා ඉල්ලුම පරිදි සතියකට දර්ශනයක් දෙකක් වෙන් කර දීම සිරිතක්ව පැවතිණ. එහෙත් ටවර් ශාලාව එම සිරිතෙන් ද බැහැර වූ ලකුණු මුලින් පෙනී යයි. එය චිත්‍ර දර්ශන සඳහා වෙන් වූව ද උරුමය වූ නාට්‍ය යන්න ද එහි සඳහන් නොවිණ. ශාලාව නා නා දර්ශන ශාලාවක් විය. අවසානයේ ටවර් ශාලාවේ නාට්‍ය පෙන්වීමට අවසර ලැබෙනුයේ ඒ වන විට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු වූ ඒ.ඊ.ගුණසිංහ මහතාගේ මැදිහත්වීමෙනි. ඒ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වී සති කිහිපයකට පසු නොවැම්බර් මස 27 වැනි දිනය. ඒ අනුව චිත්‍රපට දර්ශන නිමා වූ පසු සිකුරාදා දිනවල පමණක් රාත්‍රී 9.30 ට එක් සිංහල නාට්‍යයක් වේදිකාගත කරන්නට ටවර් නව පාලකයෝ අවසර දුන්හ.

ටවර් සිනමා සහ හෝල් ඔෆ් වෙරායටීස් නම් චිත්‍ර නෘත්‍ය දර්ශන ශාලාව විවෘත කරන අවස්ථාව ගැන විපරම් ඇසින් සිටිනු මැයෙන් තවත් දැන්වීමක් දිනමිණ පුවත්පතේ පළ කරනු ලබනුයේ එෆ්.සී පැරාක් විසිනි. ඒ සැප්තැම්බර් මස 3 වැනි දිනය. පැරැක් මදාන් තියටර්ස් සමාගමේ මෙරට කළමනාකාරවරයා විය. දැන්විම පළකරනු ලබනුයේ ටවර් සිනමා සමාගම විසින්ය. දැන්වීමේ අනුව පැරාක් ටවර් චිත්‍ර සමාගමේ කළමනාකාර හවුල්කරුය. මෙම දැන්වීම අනුව පැරාක් මදාන් තියටර්ස් වෙතින් ඉවත් ව ගොස් ඇති වග පෙනීයයි.

සැප්තැම්බර් 12 වැනි දින සිට ටවර් සිනමාහලේ ආරම්භක චිත්‍රපටය වනුයේ බැග්ඩෑඩ් නු බුල්බුල් චිත්‍රපටයයි. බැග්ඩෑඩ් නු බුල්බුල් නිහඬ චිත්‍රපටයකි. 1931 වසරේ චන්දුලාල් ෂා ට සහ ඔහුගේ භාර්යාව මිස් ජොහාර් ට අයත් රංජිත් මුවිටෝන් මඟින් නිපදවන ලද මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ නානුබායි වකීල් විසිනි. 1929 වසරේ වීර් පූජන් නමින් මුල්ම චිත්‍රපටය තනන වකීල් 1932 වසරේ දී මුල්ම ගුජරාටි කථානාද චිත්‍රපටය නිර්මාණය කරනුයේ නර්සිංහ් මෙහ්තා නමිනි. වකීල් තනන අවසාන නිහඬ චිත්‍රපටය 1932 වසරේ තැනුණ බැග්ඩෑඩ් කා බඩ්මාශ් ය. නිහඬ යුගයේ ඉන්දියානු සිනමාවේ වැඩිම මිළක් අය කළ නළුවා ලෙස සැලකෙන ඩින්ෂෝ බිලිමෝරියා මෙන්ම මධුරි, බබා උවයිස් ආදීහු එහි චරිත මැවුහ.

මේ ලිපි මාලාවේ පූර්වයෙහි මෙරට කතානාද චිත්‍රපට ප්‍රදර්ශනය 1932 වසරේ ආරම්භ විණියැයි මවිසින් සඳහන් කළ ද දිනමිණ පුවත්පතේ ටවර් සිනමාහලේ මුල් දැන්වීමට යාබද තවත් සිනමා දැන්වීමක දී එම කාරණය ප්‍රශ්ණකාරී වෙයි. සීමාසහිත ලංකා නෘත්‍ය සමාගම මගින් පළ කරන ලද එම දැන්වීමේ පරිද්දෙන් ඒ වන විට කොළඹ රීගල් සිනමාහලේ තිර ගත වනුයේ ද සෝංග් ඔෆ් කැබල්රෝ චිත්‍රපටයයි. 1931 වසරේ නිපදවන එය කතානාද චිත්‍රපටයකි. මේ අනුව කොළඹ රීගල් සිනමාහල ඒ වන විටත් කතානාද චිත්‍රපට ප්‍රදර්ශනය අරඹා ඇති වග පෙනීයයි. එමෙන්ම සැප්තැම්බර් මස විසි වැනි දින දිනමිණ පුවත්පතේම පළ කරන ප්‍රවෘත්තියකට අනුව රීගල් සිනමාහලේ ඊළඟට නියමිත ට්‍රේඩර් හෝන් මෙරට තිර ගත වනුයේ ලන්ඩනයේ තිර ගත වන්නටත් කලින්ය. සෝංග් ඔෆ් කැබල්රෝ යුනිවර්සල් පික්චර්ස් සමාගමේ චිත්‍රපටයක් වන අතර ට්‍රේඩර් හෝන් මෙට්‍රො ගොල්ඩ්වින් මේයර් සමාගමේ චිත්‍රපටයක් විය. ලංකා නෘත්‍ය සමාගම යනු සිලෝන් තියටර්ස් සමාගමයි. අලුත්ම හොලිවුඩ් චිත්‍රපට ඉතා ඉක්මනින් තිර ගතවිමේ ප්‍රවණතාවක් පවතිද්දී නාට්‍ය කලාවට ඇති වන ඉරණම කෙබඳුදැයි අමුතුවෙන් විමසිය යුතු නැත. එමෙන්ම ටවර් සිනමාහලේ අනතුරුව තිර ගත වනුයේ චාලි චැප්ලින්ගේ චිත්‍රපට මාලාවකි. මේ සියල්ලම නිහඬ චිත්‍රපට වෙයි. ටවර් ශාලාව යාවත්කාලින නොවූ සිනමා ශාලාවක් ලෙස මෙයින් පෙනී යයි. එමෙන්ම දැන්වීම් වල ඇති පරිද්දෙන් “තරුණ ලීලාවතී සහ සීතා දේවි නමැති බොම්බායේ සුප්‍රසිද්ධ නළඟණන් හා සංගීතකාරියන් ද චිත්‍ර නෘත්‍ය ශිල්පිකාවන් දෙදෙන රඟ මඬලට බැස රැඟුම් පෑම හින්දුස්තානි දෙමළ සහ තෙළිඟු සින්දු සහ නවීන නාට්‍යය ද චිත්‍රපටය අතරතුර පවත්වනු ඇත.” නිහඬ චිත්‍රපට අතරතුර එලෙස අඩු පුරවන්නට මෙන් සජීවි රංගනයන් හා ගායනයන් වෘත්තිය ගායක ගායිකාවන් විසින් ඉදිරිපත් කරනු ලැබීම එකල සුලබ සිදුවීමකි. මෙරට දි එලෙස මුලින්ම සිනමා තිරයේ ඉදිරියේ රඟපාන්නට පටන් ගත්තේ ලාංකික වේදිකා නළු නිළියන්ය. ඔවුහු එල්ෆින්ස්ටන් මෙන්ම ඔලිම්පියා සිනමාහලේ ද එලෙස රංගනයේ යෙදුන අයුරු එකල දැන්වීම් වල සඳහන්ය. ජනප්‍රිය තාරකාවෝ වූ සුසිලා ජයසිංහ, ඇනී බොතේජු, ලක්ෂ්මී බායි, වැනි නම් ද ඒ අතර වූහ. ඉන්දියානු සංගීත ශිල්පීන් සමග එච්.ඩබ්ලිව්.රූපසිංහ, ජේ.සාදිරිස් සිල්වා, ටී.පී.අල්මේදා, පොඩි අප්පුහාමි වැනි සංගීතඥයෝ ද එහි දී සංගීතය සැපයූහ. එහෙත් ටවර් චිත්‍ර සහ නා නා නාට්‍ය ශාලාව සිය මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනයේ දී ඒ හිස් තැන් පිරවීම සඳහා ද ඉන්දියානු ශිල්පීන් ආනයනය කරවීම ඛේදවාචකයකි. ඒ මාසික වැටුප් ලද ටවර් ශිල්පීන් ද සිටි බැවින්ය. සිනමා ශාලා සියල්ලම කතානාද යුගයට අවතීර්ණය වූ පසු නිහඬ චිත්‍රපට වල හිස් තැන් පිරවූ මේ බොහෝ ශිල්පින්ට සිදුවූයේ තමන් ගේ අතීතය සිහිපත් කොට සුසුම් හෙලීම පමණකි.

නෘත්‍යාගාර සිනමා ශාලා ලෙස පරිවර්තනවීම කොළඹට පමණක් සීමාවූවක් නොවිණ. ගාල්ලේ ඔලිම්පියා, කුරුණෑගල රොක්සි, මහනුවර එම්පයර්, කොටහේනේ ගෙයිටි වැනි නාගරික නෘත්‍ය ශාලා පමණක් නොව වාද්දුවේ වීන්ස්, කොස්වාඩියේ වයලට් වැනි නෘත්‍ය ශාලාවෝ ද අනුක්‍රමයෙන් සිනමාව වැළඳ ගත්හ

සිනමාව කෙතරම් ජනප්‍රිය වීද යත් සිනමා ශාලා ඉදිරිපිට නිතර අරගල සිදුවිණ. මරදානේ ඔලිම්පියා සිනමාහලට හොරෙන් රිංගූ ඒ.ෆ්‍රැන්සිස් අප්පුට එහි මුරකරු වූ හැක්ටර් හර්මන් විසින් පිහියෙන් අනින ලද්දේ තත්වය පාලනය කර ගත නොහැකි තැනය.

ටවර් සිනමා වූ පසු මරදානේ අලුතෙන් ඉදිවනුයේ තවත් එක් නාට්‍ය ශාලාවක් පමණකි. ඒ 1940 වසරේ නොවැම්බර් මස 21 වැනි දින ඩාර්ලි පාර (වර්තමාන ටී.බී.ජයා මාවත ) සහ මැකලම් පාර (ඩී.ආර්.විජයවර්ධන මාවත) හන්දියේ ගොඩ නැගුණු නැෂනල් තියටර් ශාලාවයි. නැෂනල් තියටර් විවෘත වීම ශ්‍රේෂ්ඨ ජාතික සිද්ධියක් ලෙස හැඳීන්විණ. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මෙම භුමියෙහි නැෂනල් තියටර් ශාලාව ගොඩ නංවන ලද්දේ ප්‍රවීණ අධ්‍යාපනඥයකු වූ පී. ද. එස්.කුලරත්න මහතාණන්ය. ඒ වන විට කුලරත්න මහතා කොළඹ ආනන්ද විදුහලේ විදහල්පතිධුරය දැරුවේය. නැෂනල් තියටර් ශාලාව ආරම්භක ප්‍රසංගයට එඩී ජයමාන්න, තිත්තවෙල ගුණයා.රුක්මණි දේවි, ආනන්ද සමරකෝන්, චිත්‍රෙස්න, සූරිය ශංකර් මොල්ලිගොඩ, වසන්ත කුමාර සහභාගිවූහ. එයට ද නෘත්‍ය ශාලාවක් ලෙස පවතින්නට ඉඩ ලැබුණේ වසර 11 කි. ඒ 1951 වසරේ මාර්තු මස 9 වැනි දින එය නැෂනල් හැව ඉවත් කොට ගාමිණී සිනමා නම් විය. 1947 වසරේ දී සෙන්ට්‍රල් සහ ක්‍රවුන් මරදානේ දී ඉදිවුණේ සිනමා ශාලා වශයෙන්මය.

පුදුමය නම් නාට්‍ය යුගයේ මරදාන ආශ්‍රිත බැබළුණ ශිල්පීන් අතරින් සිරිසේන විමලවීර සමග සම්බන්ධ වූ පිරිස හැර කිසිවකුට හෝ පසුකලෙක බිහි වන ලාංකික සිනමාවේ ඉඩක් නැතිවීමය. අද මේ ලිපිය ලියද්දී මෙහි සඳහන් කළ කිසිදු සිනමාහලක් මරදානේ නැත. ටවර්, එල්ෆින්ස්ටන් හා ඔලිම්පියා ගොඩනැගිලි ඇතත් එහි චිත්‍රපට නැත 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.