මරදානට බයිස්කෝප්

මැයි 30, 2019

මරදාන යනු කොළඹ නගරයේ අතිශයින් වැදගත් වෙළෙඳ කොට්ඨාසයක් සේ සැලකිය යුතුය. මරදාන ජනාවාස වනුයේ කවර වකවානුවකදැයි ඉඳුරාම කිව නොහැකිය. එය කොළඹට නුදුරින් වූ නිසාම සියවස් කිහිපයක සිට ජනාකීර්ණ වූ වග නම් සත්‍යයකි.

ලාංකික සිනමා ඉතිහාසය ගැන විමර්ෂණයක දී ලාංකික චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ එළැඹෙන්නට ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන ලද්දේ ලංකාවේ සිනමාව ව්‍යාප්ත වූ ආකාරයයි. ඒ සදහා අප්‍රකටව කාලය කැප කළ කිහිප දෙනකු ගැනම පසුගිය ලිපි මාලාවන් පුරා අවධාරණය කෙරුවෙමු.

මෙරට චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ අනාවරණයට ප්‍රථම අප අවධානය යොමු කරනුයේ මෙරට ජනප්‍රිය කලාවේ නිජබිම ලෙස සැලකිය හැකි මරදාන දෙසටය. මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ ආරම්භය මරදානට නොදුරු කොම්පඤ්ඤවීදියේ සිදුවුව ද මෙරට සිනමාව ජනප්‍රිය කරවීමේ දී මරදාන තරම් බලවත් වෙනත් නගරයක් නැති තරම්ය. මුල්ම කතානාද චිත්‍රපටය බිහිවීමේ ගෞරවය අහම්බෙන් මෙන් මීගමුවට හිමි වුව ද එහි ද බලවත් මෙහෙයුමක් සිදුවනුයේ මරදාන කේන්ද්‍ර කොට ගෙනය.

කොටින්ම මෙරට සිනමාවේ හා සියලු කලාවන්ගේ ද ජනප්‍රිය ලක්ෂණ ගොඩ නැංවීම මරදාන ආශ්‍රිත ක්‍රියාකාරි කම් හේතු වූ වග නිසැකය. ගිය සියවසේ ආරම්භයේ දී මෙරට සිනමාව ගොඩනැඟිමට මරදාන බලපෑ අයුරු මෙවර අපේ අවධානය යොමුවෙයි.

මරදාන යනු කොළඹ නගරයේ අතිශයින් වැදගත් වෙළෙඳ කොට්ඨාසයක් සේ සැලකිය යුතුය. මරදාන ජනාවාස වනුයේ කවර වකවානුවකදැයි ඉඳුරාම කිව නොහැකිය. එය කොළඹට නුදුරින් වූ නිසාම සියවස් කිහිපයක සිට ජනාකීර්ණ වූ වග නම් සත්‍යයකි.

අද මරදානේම කොටසක් වන පරණවාඩියට ඒ නම ලැබී ඇත්තේ පෘතුගීසින් ට එරෙහිව ටිකිරි කුමරු රාජසිංහයන් කඳවුරු බැඳී භූමිය නිසායැයි ජනප්‍රවාදයේ පවතියි. පරංගි දේශයේ රජුට මර උණ ගැනුණේත් කොළඹ කොටුවේ බළල් මස් ගිනි ගණන් ගියේත් එදා පරණ වාඩියේ සිට ටිකිරි කුමාරයන් මෙහෙය වූ සටන නිසාවෙන්ය.

කොයි හැටි වෙතත් මරදාන වඩා ජනාකීර්ණ වනුයේ දහනව වැනි සියවසේ අවසන් භාගයේ බව නම් සත්‍යයකි. ඒ වනවිට පිටකොටුව හා කොටුව හරහා නව වෙළෙඳ ව්‍යාපාර ගොඩනැඟෙද්දී එහි විසුවන් එයට නුදුරු අලුත් බිම් සොයා පදිංචියට ගිය අතර අලුත් ජීවිතාභිලාෂයෙන් යුතු තරුණයන් රැසක් මරදාන ආශ්‍රිතව පදිංචියට පිවිසියේ නව රැකියා පොළක් ඒ ප්‍රදේශයේ ගොඩනැඟුණ නිසවෙන්ය.

කොළඹ වරාය ආශ්‍රීතව හා ග්‍රෑන්ඩ්පාස් කොටහේන ආදියේ ඉදිවුණ නව කර්මාන්ත ශාලාවන් සමග ඒ වන විට එහි ජීවත් වූ ධනවතුන් බොහෝ දෙනෙක් කුරුඳුවත්ත ප්‍රදේශයට සංක්‍රමණය වෙමින් සිටියහ. මරදාන හා අවට පදිංචි කරුවන් වන අලුත් බහුතරය ධනවතුන් නොව ජීවිතයේ අලුත් බලාපොරොත්තු සහිතව කොළඹට පිවිසෙන්නන් වූ වග ඔවුන්ගේ අතීත විත්ති විමසීමේදී පෙනී යයි. මරදාන එහිලා මහත් මෙහෙයක් වනුයේ එය ගමනාගමනයේ ද කේන්ද්‍රස්ථානයක් වීම හේතුවෙන්ය.

මෙහිලා මහත් මෙහෙයක් වූයේ මරදානේ දුම්රිය පොළ ඉදිවීමය. 1851 වසර දක්වා මෙරට ඉදිවුණ සැලකිය යුතු මාර්ගය වනුයේ කොළඹ මහනුවර මාර්ගයයි. කොළඹ මහනුවර සහ කොළඹ ගාල්ල අතර ආරම්භ වුණ අශ්ව කෝචිචිය මෙරට ප්‍රවාහනයේ වැදගත් මං සලකුණක් වූ වග පෙනී යන්නකි. එංගලන්තයේ පැතිර ගිය ආර්ථික අර්බුදයන් නිසා වරින්වර කල්ගිය මෙරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුත්තට යළි මුළ පිරුණේ වතු වැවිලිකරුවන් ගේ බලපෑම සමගය.

1855 වසරේ මෙරට ආණ්ඩුකාර ධුරයට පත්වූ හෙන්රි වෝඩ් දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් කළ උත්සාහය නිසාම කොළඹ සිට මහනුවර දක්වා මාර්ග කිහිපයක්ම යෝජනා වූ බව ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය ග්‍රන්ථය ලියන සිරිසේන රාජපක්ෂ මහතා හෙළිදරව් කරයි. අවසානයේ ඒ අතරින් තෝරා ගැනුණු අඹේපුස්ස හරහා මහනුවර දුම්රිය මාර්ගය සඳහා 1858 වසරේ අගෝස්තු මස තුන් වැනි දින පස්වරු 5.30 ට මංගල පස් පිඩැල්ල කැපුණේ වෝඩ් ගේ අතින්ය.

ඒ මරදාන සහ දෙමටගොඩ අතර ලෙකෝ හන්දිය නමින් හදුන්වනු ලබන ස්ථානයේය. මේ අවදියේ මරදාන කොළඹ කොල්ලුපිටිය බම්බලපිටිය මෙන් ජනාකිර්ණ නොවූ වගක් පෙනී යයි. පළමුව කොළඹ සිට අඹේපුස්ස දක්වා ද දෙවැනුව මහනුවර දක්වාද ගොඩ නැගුණ දුම්රිය ගමනාගමනය ආරම්භ වනුයේ 1867 වසරේ අගෝස්තු මස පළමු වැනි දිනය.

එයින් පසු රට පුරා විහිදුණ සියලු දුම්රිය මාර්ගයන්ගේ මූලික කේන්ද්‍රය ගොඩ නැඟුණේ මරදාන වටාය. මහනුවර සිට මාතලේ දක්වා එක් දුම්රිය මාර්ගයක් ද අනතුරුව මහනුවර සිට මුලින් නාවලපිටියටද පසුව නානුඔයට ද අවසානයේ ඌව පළාතේ බදුල්ලට ද දුම්රිය මාර්ග සැකසිණ. බදුල්ල මාර්ගය විවෘත වනුයේ 1924 වසරේ දීය. මුහුදු බඩ මාර්ගය නැතහොත් කොළඹ සහ මාතර මාර්ගය විවෘත වනුයේ 1895 වසරේ දෙසැම්බර් 27 වැනි දිනය. ඕපනායක දක්වා මාර්ගය 1919 වසරේ මැයි මස 2 වැනි දිනය.

පුත්තලම දක්වා මාර්ගය ඉදිවනුයේ 1926 වසරේ දීය. උතුරු දුම්රිය මාර්ගය 1902 වසරේ දී ඉදි කෙරිණ. තලෛ මන්නාරම මාර්ගය විවෘත වනුයේ 1914 ඔක්තෝබර් 14 වැනි දිනය. මේ සියලු දුම්රිය මාර්ගවල මධ්‍යස්ථානයේ වැදගත් මංසන්ධිය වූයේ මරදානයි. කොළඹ මුල්ම දුම්රිය ස්ථානය පිහිටියේ කොළඹ කොටුවත් මරදානත් අතර වර්තමාන කාර්මික විද්‍යාලයට ඉදිරියෙනි.

මරදානේ දුම්රිය පොළ ඇරඹුණේ 1883 වසරේ ජූනි මස 12 වැනි දිනය. එහි නව ගොඩනැගිල්ල ආරම්භ වනුයේ 1908 වසෙර්ය. කොටුව දුම්රිය ස්ථානය ආරම්භය 1917 වසරේ සිදුවිය. පුදුමය නම් අද මේ වන විට කොළඹට කොළඹ නමින් දුම්රිය පොළක් නොමැතිවීමය. මේ දුම්රිය ඉතිහාසය සැකෙවින් සඳහන් කරන ලද්දේ ඒ හා යන එන පිරිස අතර මරදාන විසි වැනි සියවසේ නව සංස්කෘතියට කළ බලපෑම කොපමණක් වන්නට ඇත්දැයි විමසා බලන්නටය.

මරදානට නව සංස්කෘතියක් බිහිවන්නට දුම්රිය මධ්‍යස්ථානය මෙන්ම තවත් වැදගත් ස්ථාන රාශියක් ඒ සමග ගොඩනැගුණ බව පෙනී යයි. විශිෂ්ටතම අධ්‍යාපන ආයතන කිහිපයක් ද මරදාන කේන්ද්‍ර කොට ගොඩ නැගිණ. සහිරා විදුහල (1892) ශාන්ත ජෝශප් විදුහල (1896) ඒ අතරින් ප්‍රමුඛ වෙයි. 1886 වසරේ පිටකොටුවේ මැලිබන් වීදියේ බිහිවන පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රිසි පාසල මරදානේ පරණවාඩියට ආනන්ද මහා විදුහල ලෙසින් නම් වැද පිවිසෙන්නේ 1895 වසරේ අගෝස්තු මස 23 වැනි දිනය. කාර්මික විදුහල ඇරඹෙනුයේ 1903 වසෙර්ය.

කොළඹ සිතියම සලකා බලද්දී මරදාන යනු එහි විශාල බිමක් බව පෙනී යයි. කොළඹ කොටුවේ දුම්රිය පොළට පසුපසින් මායිම්ව ලේක් හවුස් මන්දිරයද ඇතුළත් කොට ද එහි කෙළවරක් වෙයි. කොම්පඤ්ඤ වීදිය පැත්තට මායිම බේරේ වැවයි. තවත් පසෙකින් බේස්ලයින් පාරේ දුම්රිය පොළ දක්වා ද අනිත් පසින් ග්‍රෑන්ඩ්පාස් ද එහි මායිම් වෙයි. තවත් පැත්තකින් කොළඹ මහ රෝහල ද එහි සීමා මායිමකි. කොටින්ම කොළඹ 10 මරදානේ නාගරික මායිමේ හැඩ රුව මෙලෝ උපන් පුතෙකුට කියා වටහා දිය හැක්කක් නොවෙයි. එය සිතියමක් පෙන්වාම වටහා ගත යුතුය.

එහෙත් මේ බිම් කඩ ගිය සියවසේ ආරම්භයේ අපේ සිනමාවේ මතු නොව ජනප්‍රිය සියලු කලාවන්ගේ ද හැඩ තළ නිර්මාණය කළ අපූරු බිම්කඩක් විය. ලංකාවේ වැඩිම ඡන්ද දායක ප්‍රමාණයක් සහිත ඡන්ද කොට්ඨාසය වන මැද කොළඹ ආසනය අයත් වනුයේ මරදානටය. එහි විවිධ ජාතීහු ජීවත් වෙති. දේශපාලන ආකල්ප අතින් ද මරදාන අපූරු එකකි.

මරදාන එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව යි. එහි ඡන්ද පදනම මෙරට සමස්ත ඡන්ද ප්‍රතිඵලයට ද බලපෑම් කරන්නකි. එජාප බලකොටුව වුව ද මරදාන යනු අපූරු ආසනයක් වනුයේ 1977 දක්වාම එය කොමියුනිස්ට් පක්ෂයේ ද බලකොටුවක් වූ අතර එහි එතෙක් අපරාජිත මන්ත්‍රීවරයා ලෙස නම් දැරුවේ පීටර් කෙනමන් මහතාය. එයින්ම මරදානේ සිනමා සංස්කෘතිය ගැන කියන මාර්ගයට දොර විවර වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.