show no 17 house full

මැයි 9, 2019

මෙරට සිනමා ඉතිහාසයේ සැඟව ගිය කතාව සොයා අප විසින් ලියනු ලබන ලිපි මාලාවේ දී පසුගිය සතියේ අප විසින් අවධානය යොමු කරන ලද්දේ හෑන්ස් වැන්ට්‍රැක්ස් විසින් ආරම්භ කරන ලද වර්තමානයේ ද ක්‍රියාත්මක මෙරට පැරණිතම සිනමා ප්‍රදර්ශක සමාගම වූ ඉම්පීරියල් සමාගමේ කතාන්තරයයි. ස්ථාවර සිනමා හල් ඉදි කිරිමේ දී හා චිත්‍රපට නිෂ්පාදනයේ දී බොහෝ කල් ඇරීම නිසා ඔවුනගේ ඉතිහාසය අවධානයට යොමු නොවීය. එහෙත් සංචාරක සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරයේ දී ඔවුන් විසින් දැක්වූ දායකත්වය සුළු පටු එකක් නොවේ. සංචාරක චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ඇරඹි ඉම්පීරියල් ටුවරිං පික්චර්ස් සමාගම පසුකලෙක කථානාද යුගය සමග නිව් ඉම්පීරියල් ටෝකීස් විය. වැන් ස්ටාරෙක්ස් මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදෙන පැරණිතම පවුල බවටත් ඉම්පීරියල් මෙරට පැරණිතම ප්‍රදර්ශන සමාගම බවටත් කිසිදු සැකයක් නැත.

මාතලේ උපන් හෑන්ස් විවාහ වූයේ ජර්මානු ජාතික යුවතියක වන ගර්ට්රූඩ් තෙරේස් රේබන් සමගය. රේබන් පවුල මෙහි පැමිණියේ ලංකා පොළොවේ උපන් මැණික් සොයා ගෙනය. හෑන්ස් සහ ගර්ට්රූඩ්ගේ එකම දරුවා වන ටෝනි වෑන් ස්ටාරෙක්ස් ඉම්පීරියල් සමාගමේ වර්තමාන සභාපතිවරයාය. සිකුරු හතේ සහ පහ සමත් යන චිත්‍රපට යුගලම නිෂ්පාදනය කළේ ටෝනි වැන් ස්ටාරෙක්ස් විසින්ය.

හෑන්ස්ගේ සහෝදරයකුව සිටි ස්ටැන්ලි සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළේය.එහි වර්තමාන සාමාන්‍යාධිකාරි අනුරාධ බී.රැකව සහ ගණකාධිකාරි සුසිල් ජයසේකර යන මහත්වරුන් ලාංකික සිනමාවේ ඉම්පීරියල් පරිච්ඡේදය ලියන්නට අවශ්‍ය කරුණු හා ඔවුනගේ පැරණි ලිපි ලේඛන පවා අපගේ පරිශීලනය සඳහා ලබා දුන් බව සඳහන් කරනු කැමැත්තෙමි. නිව් ඉම්පීරියල් ටෝකීස් පැරණිතම සේවකයා වන ඇල්පිටිය ගමගේ සුමනසේකර ද ඔවුන්ගේ ඉතිහාසය කියන්නට අපට දුන් සහාය අගය කරමි. වර්තමානයේ යටියන්තොට ඉම්පීරියල් සිනමාහලේ සේවය කරන සුමනසේකර එහි සේවයට එක්ව ඇත්තේ 1962 වසරේ ජූනි 25 වැනි දිනය. ඔහුගේ මුල් වැටුප ලේඛන ගත ව ඇත්තේ රුපියල් හතළිහක් හැටියටය. යටියන්තොට ගරාගොඩ උපන් සුමනසේකරට ඉම්පීරියල් සමාගමේ රැකියාව ලැබෙනුයේ කීර්තිමත් දේශපාලකයකු වූ පී. සී. ඉඹුලාන මහතාගේ රෙකමදාරුවක් මතය. යටියන්තොටින් සමාගමට එක්වන සුමනසේකරට මුල්ම පත්වීම ලැබෙනුයේ ඒ වන විට මුත්තූර් ප්‍රදේශයේ පැවැති ඉම්පිරියල් සංචාරක ශාලාවටය. චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා රට වටා ගිය සුමනසේකර විවාහවූයේ අකුරැස්සේ චිත්‍රපට ප්‍රදර්ශනය අතරතුර හදුනා ගත් යුවතියක සමඟය. 1962 වසරේ දෙසැම්බර් 22 වැනි දින හෑන්ස් අභාවප්‍රාප්ත වූ පසු ඔහුට ගරු කිරීමක් ලෙස සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම සිය සිනමා ශාලා වසා දැමුවේය. ඒ වන විට සිලෝන් තියටර්ස් චිත්‍රපට ගම් දනව් පුරා ගෙන යන්නට ඉම්පීරියල් මහඟු සේවාවක් කරමින් උන්නේය.

ගමෙන් ගම කූඩාරම් මඟින් ජංගම චිත්‍රපට ප්‍රදර්ශනය සිතූ තරම් ලෙහෙසි කාරණයක් නොවේ. එහෙත් ඉම්පිරියල් ටුවරිං සිනමා කම්පනි බාර ගත් හෑන්ස් ඇන්ඩ්‍රියස් සිය කටයුත්තේ ඇති දුෂ්කරතා ගැන සිතුවේ නැත. සංචාරක සිනමාශාලා ගොඩනැංවීමේ දී ඒ ඒ පලාත් වල කාලගුණික දේශගුණික තත්වය ගැන පමණක් නොව තව බොහෝ කාරණා ගැන විමසිල්ලෙන් සිටිය යුතු විය. අද මෙන් නොව එකල මහාමාර්ග හොඳ තත්ත්වයක තිබුණේ කලාතුරකිනි. පණිවිඩයක් යැවීම පහසුවූයේ නැත. එබැවින් ඉම්පීරියල් ගොඩනැගීම දිග් විජය කොට අධිරාජ්‍යයක් ගොඩ නැඟිමක් ම විය. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිට කණ්ඩායම් 24ක් විවිධ පළාත්වල චිත්‍රපට ප්‍රදර්ශනයේ නියැළිණ. එම සිනමාහල් කූඩාරම් හඳුන්වා දෙන ලද්දේ ෂෝ අංක යටතේය. ෂෝ අංකයක් එක සිනමා ශාලාවක් විය. එබඳු කූඩාරම් ශාලා විසි හතරක් හැමවිටම රටේ සතර දිග් භාගයේ ක්‍රියාත්මක විණ. එනම් සංචාරක චිත්‍රපට ශාලා 24ක් රට පුරා හැමවිටම පැවැත්විණ. සුමනසේකර මුල්වරට සේවය කළ මුත්තූර් ෂෝ අංක 17 විය. ( ඵඩධඹ දධ 17) අද මෙන් ජී.පී.එස් තාක්ෂණය නොවුණ ඒ කාලයේ මුළු ලංකාවම ආවරණය වන අඟලේ සිතියම් ඉම්පීරියල් සතු විය. තමන් වෙසෙන ප්‍රදේශය පිළිබද අඟලේ සිතියම් මගින් සමාගම දැනුවත් කිරීම කළමනාකරුගේ දිනපතා අනිවාර්ය රාජකාරියක් විය. සිනමා ශාලාවක් එක් පළාතකින් තවත් පළාතකට යද්දී දිනපතාම නවාතැන් ගන්නා ස්ථානය එම අඟලේ සිතියම් මගින් ප්‍රධාන කාර්යාලයට දැන්විය යුතු විය. නියමිත කාලයේ දී කූඩාරම ගලවා ගන්නා කණ්ඩායම ඔවුන් සතු වාහන මගින් ඊළඟ නගරයට ඇදෙති. අලුත් පළාතේ සිනමාහලක් එන බවට ප්‍රචාරය ලබා දෙනුයේ මෝලං (සංගීත) කණ්ඩායම් සහිත කරත්ත වලිනය. එය පළාතේ ප්‍රබෝධයකට හේතුවෙයි. චිත්‍රපට පිළිබඳ පත්‍රිකා සංගීතය අතරතුර බෙදාහැරිණ. සාමාන්‍යයෙන් දිනකට දර්ශන වාර දෙකකි. ඒ සවස 6.30 සහ 9.30 යනුවෙනි.

ශාලාවක ස්ථිර කාර්ය මණ්ඩලය පහළොවක් විය. කළමනාකරු, සහාය කළමනාකරු, බුකිං ක්ලාක්වරු තිදෙනෙක්, දොරටු පාලකයන් පස්දෙනෙක්, හෙඩ් චෙකර් (ප්‍රධාන පරීක්ෂක ), එන්ජින් ඩ්‍රයිවර් , ටෙන්ට් මාස්ටර් සහ අරක්කැමියා එම සාමාජිකයෝ වූහ. එන්ජින් ඩ්‍රයිවර් යනු විදුලි ජනන යන්ත්‍ර කියාකරු විය. සිනමාහලකට ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙකක් අයිති විය. ඒ හැරෙන්නට විශාල ජල ටැංකියක් ද සිනමා ශාලාව සතුවිය. බොහෝ විට සිනමාහලේ ප්‍රධාන කළමනාකරු බර්ගර් ජාතිකයකු වූ අතර රාජකාරියේ දී යුරෝපීය සම්පුර්ණ ඇඳුම ඔවුන්ට අනිවාර්ය කරුණක් විය. ඔහුගේ වැටුප ආරම්භක සමයේ මසකට රුපියල් 96 ක් විය. එකල එය ඉහළ මිලක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ආරක්ෂාව වෙනුවෙන් රයිෆලයක් සහ දිනකට උණ්ඩ දෙකක් ළඟ තබා ගැනීමට ද සිනමාහලේ කළමනාකරුට අවසර තිබිණ. මේ උණ්ඩ හැමවිටම පාහේ වැයවූයේ දඩ මසක් සඳහාය. සිනමාහලක් සම්බන්ධ ආරවුලක දී උණ්ඩයක් වැය කිරීමට ඉම්පීරියල් ඉතිහාසයේ සිදු වූයේ නැත. එක් කූඩාරමක් ගිනි තබන්නට එක්තරා පළාතක මැරයකු කටයතු කරද්දී කළමනාකරුගේ උණ්ඩයට පෙර එන්ජින් ඩ්‍රයිවර්ගේ පිහිය ඉස්සර විය. උණ්ඩය ඉතුරු විය.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.