තාත්තා ගෙන් පුතාට ගිය මදන්

මාර්තු 28, 2019

පතිවෘත්තාව පිළිබඳ දේව කතාවක් වන සාවිත්‍රි චිත්‍රපටයේ එන අඩ නිරුවත් හා සරාගි ජවනිකා රාශියක්ම ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලය මගින් ඉවත් කරනු ලැබීය. චිත්‍රපටය බොම්බායේ මෙන්ම ඉතාලියේ ද එකවර ප්‍රදර්ශනය කරවීමට මදන් සමත් විය. මේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් විය. එමෙන්ම එය මුල්ම ඉන්දියානු ජාත්‍යන්තර හවුල් නිෂ්පාදනය ද විය.

 

නල දමයන්ති චිත්‍රපටයට පසුව ඉතාලි සිනමාකරු ඉයුජිනියෝ ඩි ලිගුරෝ විසින් මදන්වෙනුවෙන් නිර්මාණය කරන දෘව චාරිත්‍ර (1921) සහ රාමායන (1922) යන චිත්‍රපට යුගලම අලංකාර නිර්මාණ ලෙස ඉන්දියානු සිනමා ඉතිහාසයේ සඳහන් වෙයි. මේ චිත්‍රපට යුගලෙහිම කතාව තිරයේ පතිත වනුයේ ඒ පිළිබද පූර්විකාවකින් පසුවය. මදන්ගේ අනෙක් විදෙස් සිනමාකරුවා වූ කැමිල් ලෙග්‍රාන්ඩි ප්‍රංශ ජාතිකයෙකි. ඔහු එයට පෙර පැතේ ෆෙරර් සමාගමේ සේවය කළ කෙනෙකි. ඔහු මදන් වෙනුවෙන් නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටයට පාදක වූයේ විශිෂ්ට සංස්කෘත නාට්‍යයක් වන ශ්‍රී හර්ෂ ගේ රත්නාවලියයි. එහි රත්නාවලී ලෙස රඟපෑවේ පේෂන්ස් කූපර්ය. රජු ලෙස ලෙග්‍රාන්ඩ් චරිත නිරූපණය කළේය. නිහඬ සිනමා යුගයේ බැවින් ඔවුන්ට භාෂාව ගැටලුවක් වූයේ නැත.

හින්දි ඉංග්‍රීසි මෙන්ම ප්‍රාන්ත භාෂාවන්ගෙන් ද චිත්‍රපට සඳහා උපසිරැසි යෙදිණ. මදන් සමාගමේ පත්නි ප්‍රතාප් චිත්‍රපටයේ දී ඉන්දියානු සිනමාවේ මුල් වරට ද්විත්ව චරිත නිරූපණය කළ නිළිය ලෙස පේෂන්ස් කූපර් වාර්තාවක් තැබුවාය. ඒ නිවුන් සොහොයුරියන් හැටියට ය. ඇය මදන් සමාගමේ කාශ්මීර් සුන්දරී චිත්‍රපටයේ ද මව සහ දුව ලෙස ද්විත්ව චරිත නිරූපණය කළාය. 1944 වසරේ දී සිය වෘත්තියෙන් ස්වයං විශ්‍රාමයක් ගන්නා පේෂන්ස් ඒ වන විට චිත්‍රපට 40 ක රඟපා තිබුණාය. වඩාත්ම සුන්දර අවදියේ මේ ඇංග්ලෝ ඉන්දියානු යුවතියගේ දේහ විලාසය සමකාලීන හොලිවුඩ් නිළියකගේ ස්වරූපයට සමීප වෙයි.

ඇයගේ ඡවි වර්ණය කෙස්කළඹ හා ඇස් එවක මදන් කැමරා ශිල්පීන් විසින් ආලෝකය සහ නාරි දේහය පිළිබඳ රූප ගැන්වීමේ අත්හදා බැලීම්වලට යොදා ගත් බව ඉන්දියානු සිනමා විචාරකයන්ගේ මතයයි. ඒ යුගයේ බොහෝ ඉන්දියානු යුවතියන් සිනමාව ප්‍රතික්ෂප කළ හෙයින් ඔවුන් සඳහා ඉල්ලුම ද වැඩි විය.ඒ අවදියේ චිත්‍රපටයේ ප්‍රදර්ශණ අයිතියෙන් කොටසක් ඉල්ලා සිටින්නට තරම් ඔවුන් බලසම්පන්න විය. ශබ්ද සිනමාව පැමිණීමත් සමඟ බොහෝ ඇංග්ලෝ ඉන්දියානු නිළියන්ගේ කල දවස නපුරු විය.

ඒ නිසිලෙස හින්දි හෝ වංග බස උච්චාරණය කළ නොහැකි නිසාවෙන්ය. ඉන්දියානු ව්‍යාපාරිකයකු වූ එම්.ඒ.එච්.ඉස්පානි හා විවාහය ටික කලකින්ම කෙළවර වූ පසු එවකට ජනප්‍රිය නළුවකු වූ ගුල් හමීඩ් ඛාන් සමග පේෂන්ස් දෙවැනි වර විවාහ වූවාය. ඉන්දියාව බෙදීයාමත් සමග ඔවුන් පාකිස්තානයට ගිය අතර පේෂන්ස් ඉන් පසු හැඳීන්වූයේ සබ්‍රා බේගම් යනුවෙනි. 1993 වසරේ මිය යන විට ඇය හදා ගත් දරුවන් 17 දෙනෙකුට මව වී සිටියාය.

බෙංගාලි සිනමාවේ පුරෝගාමි විශිෂ්ටයන් වූ සිසිර් කුමාර් බහදූරි, ජ්‍යාතිශ් බැනර්ජි, ප්‍රියනාත් ගංගුලි, අම්රිත් බෝස්, මධු බෝස්, නරේශ් මිත්‍රා වැනි සිනමාකරුවන් දොරට වැඩියේ ද මදන් හරහාය. වසරකට අවම වශයෙන් චිත්‍රපට අටක් හා දහයක් අතර සංඛ්‍යාවක් නිර්මාණය කළ මදන් චිත්‍රාගාරය සමකාලින ආසියාවේ සියලු චිත්‍රාගාර අබිබවා නැගී සිටියේය. ඒ ඔවුන් හැමවිටම ලෝකයේ නවීන තාක්ෂණය හා ඉහළම උපකරණ භාවිත කළ හෙයින්ය. ඉන්දියානු මෙන්ම විදේශීය කාර්මික ශිල්පිහු ද මදන් චිත්‍රාගාරයේ සමසමව කටයුතු කළහ. එමෙන්ම ඔවුහු ඉන්දියානු සෙසු සිනමා සමාගම්වලට පෙරාතුව බන්කිම් චන්ද්‍ර චැටර්ජි සහ රබීන්ද්‍ර නාත් තාගොර් වැනි ශ්‍රේෂ්ඨයන්ගේ කෘතින් සිනමාවට නැගීමේ අයිතිය ද මිළයට ගැනීමට වග බලා ගත්හ.

1923 වසරේ සිදුවන නිර්මාතෘ ජේ.එෆ්.මදන්ගේ අභාවයෙන් පසු ඔහුගේ පුතුන් පස්දෙනා අතරින් වඩා නිර්මාණශීලි පුද්ගලයා ලෙස සැලකුණ තුන් වැන්නා එනම් ජේ.(ජාම්ශෙඩ්ජි) ජේ.(ජිජිබෝයි) මදන් සිනමා ව්‍යාපාරය සියතට ගත්තේය. ඔහු පියා මෙන් ව්‍යාපාරිකයකු පමණක් නොව නිර්මාණශීලී සිනමාකරුවෙකු ද විය. ජේ.ජේ. සිය ව්‍යාපාරය වඩා තරගකාරි අන්දමට පුළුල් කළේය. චිත්‍රාගාරය පමණක් නොව සිනමා ශාලා ද නවීකරණය කළ ඔහු චිත්‍රාගාරය සඳහා වර්ලිට්සර් වර්ගයේ ඕගනය මිළයට ගැනීමට එවකට ඉන්දියානු රුපියල් 65000 ක් වැය කළේය.

එබඳු ඕගනයක් අයත්ව තිබුණ එකම චිත්‍රාගාරය මදන් චිත්‍රාගාරය විය. නිහඬ චිත්‍රපට වුව ඔවුන්ගේ ශබ්ද තැටි චිත්‍රපට සමග සිනමාහල් වලට යැවිණ. චිත්‍රපටයට පරිබාහිරව එහි දෙබස් ද ගීත ද ප්‍රේක්ෂකයන්ට අසන්නට ලැබිණ. 1923 වසරේ දී ජේ.ජේ විසින් මෝගල් රැජනක වන නූර්ජෙහාන් පිළිබඳ පුරාවෘත්තය සිනමාවට නංවන ලදී. ඔහු ගේ සම අධ්‍යක්ෂවරයා වූයේ පසුකලෙක ඉන්දියානු රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධාන නිෂ්පාදක මෙන්ම ඉන්දියානු සිනමාවේ කැපී පෙනෙන වාර්තා සිනමාකරුවකු වන එස්රා මීර් ය. ඉන්දියානු යුදෙව්වකු වන ඔහුගේ සැබෑ නම එඩ්වින් මේයර්ස් විය.

පේෂන්ස් කූපර් එහි නූර්ජෙහාන් ගේ චරිතය නිරූපණය කළාය. මීර් මෝගල් කුමරෙකුගේ චරිතය නිරූපණය කළේය. එහි අපූර්ව ඇඳුම් විලාසිතා ද මන බඳීන නර්තනයන් ද භාවාත්මක රංගනය සහ කතා පුවත ද ප්‍රෙක්ෂක්යෝ වැළඳ ගත්හ. සමකාලීන සමාජ පුවත් අනුව අගා හෂිර් කාශ්මීර් විසින් රචනා කරන ලද පති භක්ති සහ පත්නි ප්‍රතාප් යන චිත්‍රපට යුගළ ද එක ලෙස ජනප්‍රිය විය. 1924 වසරේ දී මදන් ඉතාලියේ යූජී ඉටැලියානා සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් ඉන්දියානු දේව පුරාණයේ එන පුවතක් රෝමයේ දී රූප ගත කළේය. ඉන්දියානු රාම රාජ්‍යයේ කතා පුවතක් මෙලෙස රෝම රාජ්‍යයේ දී සිනමාවට නංවන ලද්දේ සාවිත්‍රි නමිනි.

එහි ප්‍රධාන චරිත රඟපෑවෝ ඉතාලි නළු නිළියන් වු රීනා ඩි ලිගුවාරෝ , ඇන්ජලෝ ෆෙරාරි, ආදීහුය. ජියෝරිජියෝ මන්නිනි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විය. පතිවෘත්තාව පිළිබඳ දේව කතාවක් වන සාවිත්‍රි චිත්‍රපටයේ එන අඩ නිරුවත් හා සරාගි ජවනිකා රාශියක්ම ඉන්දියානු රැඟුම් පාලක මණ්ඩලය මගින් ඉවත් කරනු ලැබීය. චිත්‍රපටය බොම්බායේ මෙන්ම ඉතාලියේ ද එකවර ප්‍රදර්ශනය කරවීමට මදන් සමත් විය. මේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ වැදගත් අවස්ථාවක් විය. එමෙන්ම එය මුල්ම ඉන්දියානු ජාත්‍යන්තර හවුල් නිෂ්පාදනය ද විය.

1925 මාර්තු මාසයේ මදන් චිත්‍රාගාරයේ ඇති වූ ගින්න ඉන්දියානු සිනමාවේ මුල් යුගයේ බොහෝ නිර්මාණ අතුරුදන් කිරීමට සමත් විය. එවකට චිත්‍රපට දළ සේයා පට තනන ලද්දේ වහා ගිනි ඇවිලෙන නයිට්‍රෙට් උපයෝගී කරගෙන බැවින් ගින්න ඉක්මනින් චිත්‍රාගාරය සිසාරා යන්නට වැඩි වෙලාවක් ගත නොවිණ. මේ ගින්නට හසුව අපගේ සිනමා ඉතිහාසය ද විනාශ වූයේ යැයි සැක කරන කරුණක් මේ ලිපි මාලාවේ පසුව ඉදිරිපත් වනු ඇත. ගින්නේන් වූ අලාභය පසෙක ලා යළි නැගී සිටින්න්ට ජේ.ජේ ක්‍රියාත්මක විණ.

12 වන සියවසේ දී සංස්කෘත මහා කාව්‍යයක් වූ ගීත ගෝවින්දය රචනා කරන ලද ජයදේවයන්ගේ ජීවන වෘත්තාන්තය අලළා ජ්‍යාතිශ් බැනර්ජි විසින් නිර්මාණය කරන ලද ජයදේවෝ චිත්‍රපටය එහි ප්‍රතිඵලය විය. තුල්සි චන්ද්‍ර බැනර්ජි හා පේෂන්ස් කූපර් එහි චරිත නිරූපණය කළහ. කල්කටාවේ දී ජයදේවෝ සති 23ක් එක දිගට ප්‍රදර්ශනය විය. මදන් නිර්මාණය කරන ලද්දේ වෘත්තාන්ත චිත්‍රපට පමණක් නොවේ. වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට සිය ගණනක් මදන් සමාගම මගින් එකල තිරයට ගෙන ආවේය. වෛද්‍ය සිසුන් සඳහා තැනුණ ශල්‍ය කර්ම පිළිබඳ අධ්‍යාපනික චිත්‍රපට මෙන්ම තේ,කෝපි, සේද, දුම්කොළ වැනි කර්මාන්ත පිළිබඳ වාර්තා චිත්‍රපට ද බෙංගාලි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිර්මාණය කරන ලද ද ක්‍රයි ඔෆ් චිල්ඩ්‍රන් ද ඒ අතර කැපී පෙනෙයි.

1927 වසරේ ඉන්දියානු සිනමා කර්මාන්තය පිළිබඳ සොයා බලන්නට පත් කළ බ්‍රිතාන්‍ය කමිටුව හමුවේ සාක්ෂි දෙන ජේ.ජේ මදන් ඒ පිළිබඳ හෙළිදරව් කරන කරුණු ඉමහත් වැදගත්ය. ‘අප වෘත්තාන්ත මෙන්ම නිතරම වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට නිර්මාණය කරනවා. මේ සියලු චිත්‍රපට ඉන්දියාවේ මෙන්ම ලංකාවේ හා බුරුමයේ ද අප සතු සිනමාහල්වල නොමිළයේ ප්‍රදර්ශනය කරනවා. අධ්‍යාපන වාර්තා චිත්‍රපට මගින් ඵල ලබන බොහොමයක් සිටිනවා. විද්‍යාර්ථින් අතර අධ්‍යාපනික වාර්තා චිත්‍රපටවලට ඇත්තේ ඉහළ තැනකි. මදන් රිවීව් නම් ප්‍රවෘත්ති චිත්‍රපට සමකාලින ෆොක්ස් නිව්ස් අබිබවා ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන තිබෙනවා. එමෙන්ම අප අමෙරිකාවේ ෆොක්ස් නිව්ස් ප්‍රවෘත්ති චිත්‍රපට ද බෙදාහරිනවා.

ජේ.ජේ ගේ මේ සාක්ෂිය මෙරට වෘත්තාන්ත චිත්‍රපටවලට අමතරව වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට ප්‍රදර්ශනයේ ද පුරෝගාමි මෙහෙවරක් ඔවුන් විසින් ඉටු කරන ලද බව හෙළිදරව් කරන්නකි. එමෙන්ම සෑම වෘත්තාන්ත චිත්‍රපට ප්‍රදර්ශනයක් සමග වාර්තා හෝ ප්‍රවෘත්ති චිත්‍රපට ද තිර ගත කළ බව ද එමගින් පෙන්නුම් කරයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.